වම පණ ලබයි


නන්දසේන සූරියආරච්චි ලියූ “ඇන්.ඇම්.” කෘතියෙනි

මෙරට සමාජවාදී දේශපාලන ගමන්මඟෙහි පුරෝගාමීන් වූ සූරිය මල් ව්‍යාපාරය පොදු මහජනතාව එක්ව ගමන් ගත් පිරිස සූරිය මලක් රැගෙන පොදු ජනතාව අතරට ගමන් ගත්තේ එය අලෙවි කිරීමට පමණක් නොවේ. ගැමියන්ගේ හදවත් අධිරාජ්‍ය විරෝධී හඬ හා එක් කිරීම ඔවුන්ගේ පරම අදහස වී තිබුණි. බුරුතු පිටින් මහජනයා නව මඟකට පිවිසෙන්නට වූහ. කරුණු කාරණා අවබෝධ කරගත් පිරිස් තම හඬ මුළු පළාතකම පැතිර වූහ. ආගමික වශයෙන් ධර්මානුකූල ජාතියක යුතුකම හෙළි කරමින් අනගාරික ධර්මපාලතුමා මේ වන විට ඇතිකොට තිබූ අවිහිංසාවාදී ධර්ම යාත්‍රාව ඔවුන්ගේ මේ ගමනට පාවඩ එළීමක් බඳු විය.


ඉඩ කඩම්, වතුපිටි හිමි ධනපති පන්තියත්, ඉහළ මධ්‍යම පන්තියත් නියෝජනය කළ ලංකා ජාතික සංගමයේ මූලික පරමාර්ථය වූයේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ගැන ජනතාව ඉදිරියේ පෙනී සිටීම විනා පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමට යොමු වීම නොවේ. මේ වනවිට නව සමාජයක් කෙරෙහි මතුව එන තරුණ පිරිස්වලට බි්‍රතාන්‍ය නිලධාරි බලයට නතු වූ පොලීසියෙනුත් ප්‍රගතිගාමී නායකයන්ගේ පෙලඹවීම මත බිහි වූ දාමරිකයන්ගෙනුත් විවිධාකාර උපද්‍රවවලට ගොදුරු වීමට සිදුව තිබිණ. 


අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පැමිණ සිටි මුදලි හා මුහන්දිරම්වරු, කෝරලේ මහත්වරුන්, විදාන ආරච්චිවරුන් හා ගම්මුලාදෑනින් මෙන්ම ඉඩම් හිමි ධනවතුන්ගේ බලයද නැඟී එන තරුණ කණ්ඩායම් ගොදුරු බවට පත්කර ගන්නට මාන බලමින් තිබිණ. ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සමාජවාදී දේශයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව අධිරාජ්‍යවාදයටත් ධනේශ්වරවාදයටත් විරෝධය දක්වමින් 1935 දෙසැම්බර් 18 වැනිදා ලංකා සමසමාජ පක්‍ෂය බිහි විය.


මරදානේ ලෝරන්ස් විද්‍යාලයේදී පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සභාවේදී පක්‍ෂයේ සභාපති ලෙස ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ද ලේකම්වරයා ලෙස වර්නන් ගුණසේකරද පත්වූහ. පක්‍ෂයට නම තැබූයේ බී. ජේ. ප්‍රනාන්දුය. පක්‍ෂයේ ප්‍රධාන පරමාර්ථ ලෙස සම්පූර්ණ ජාතික නිදහස ලබා ගැනීම නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ ක්‍රම සාධාරණ තත්ත්වයට පැමිණවීම සහ පන්ති භේද, කුලභේද, දෘෂ්ටි භේද හා ලිංග භේද නිසා පැන නඟින සමාජය හා අර්ථ සංරක්ෂණය අසමානතාවන් සහ පීඩනයන් නැති කිරීමෙන් සමසමාජය යන කරුණු දැකවිණි.


එසේම ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් වහා ඉටුවිය යුතු කරුනු 22ක්ද පළමු ප්‍රකාශයට ඇතුළත්ව තිබිණි. 


ඒ මෙසේය. 


1. ගෙදරවල සහ කර්මාන්තශාලාවල ළමයින්ගෙන් අයුතු ලෙස වැඩගැනීම නතර කිරීම. 
2. මූලික පාඨශාලා ශිෂ්‍යයන්ට නොමිලයේ පොත් සැපයීම.
3. මූලික පාඨශාලාවන්හි සියලුම ශිෂ්‍යයන්ට කිරි හා ආහාර ද්‍රව්‍ය නොමිලයේ සැපයීම.
4. හැම ගම්බද පෙදෙසකම නිදහස් තණබිම් ඇති කිරීම.
5. දිය බද්ද නැති කිරීම.
6. ගොවියන්ට පෙලී නැතිව බිත්තර වී සැපයීම.
7. තේ, රබර් කූපන් නැතිව විකිණීම තහනම් කිරීම.
8. ඉණි වැල් කපා ගැනීමට හා ලී ගෙන යාමට  හැකිවන සේ කැලෑ නීති වෙනස් කිරීම.
9. සියලුම කර්මාන්තකරුවන් සඳහා රක්ෂා නැති කල්හි ප්‍රයෝජන පිණිස ඉන්ෂුවරන්ස් ක්‍රමයක් ආරම්භ කිරීම.
10. දුප්පත් හැමදෙනාටම වැඩ හෝ රැකෙන්නට මුදලක් හෝ දීම.
11. කම්කරුවකු යහපත් සේ ජීවිකාව ගෙන යා හැකි පරිදි අඩුම වැටුප මෙතෙකැයි සීමා කිරීම.
12. වැඩ කිරීමේ කාලය දිනකට පැය අටකැයි සීමා කිරීම.
13. කම්කරු සමිති ලියාපදිංචි කිරීමට බල කිරීමේ ක්‍රමය නැති කිරීම.
14. කර්මාන්තශාලා පිළිබඳ නීතියක් ඉදිරිපත් කිරීම.
15. ගෙවල් කුලිය සීමා කිරීමේ නීතියක් ඉදිරිපත් කිරීම.
16. මුඩුක්කු නැති කිරීම හා වඩාත් ලාභවූද සැප පහසුකම් ඇති වූද වාසස්ථාන කම්කරුවන්ට ලබාදීම.
17. පහළ උසාවි වල ස්වභාෂවෙන් නඩු ඇසීම සහ පොලීසිවල සටහන් හා ප්‍රකාශන ස්වභාෂාවෙන් ලිවීම, ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තු දක්වා ස්වභාෂා භාවිතය ඇති කිරීම.
18. ලෙඩුන්ගේද, මහල්ලන්ගේද, සූතිකාවන්ගේද ප්‍රයෝජනය සඳහා ජාතික සෞඛ්‍ය සහතික ක්‍රමයක් ඇති කිරීම. 
19. දැනට වඩා ලොකු ආදායම්වලින් දැනට වඩා බදු අය කිරීම.
20. රුපියල් 25,000 කට වැඩි බූදල්වලින් මරාල බදු අයකිරීම.
21. අධිරාජ්‍යයට වැඩි සැලකිලි දැක්වීම හා ජපන් රෙදි සීමා කිරීමද නැවැත්වීම.
22. කෑමට ඇඳීමට ගන්නා ද්‍රව්‍යවලින් අයකරනු ලබන බදු නැති කිරීම.


ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක රැස්වීමේදී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා වත්මන් සමාජයේ පවත්නා පීඩනයන් ගැනද, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා දේපොළ මහජන සන්තක කිරීම ගැනද, පිලිප් ගුණවර්ධන ජාතික නිදහස ලබාගැනීම ගැනද වශයෙන් දේශන පැවැත්වූහ. පක්ෂයේ සාමාජික මුදල වූයේ සත විසිපහකි. මෙරට පහළ වූ පළමුවන දේශපාලන පක්ෂය ‘ලංකා සමසමාජ පක්ෂය’ දේශපාලන ප්‍රශ්න ගැන, න්‍යායන් ගැන මෙන්ම දේශපාලන උපක්‍රම ගැනද අප රටේ මිනිස්සුන් තුළ දැනීමක් ඇති කිරීමට හැකි විය. රටේ ආර්ථික, සාමාජයික, සංස්කෘතික වෙනස්කම් ඇති කිරීමේ ප්‍රථම පියවර මෙසේ ඇරඹිණි. 


පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැර දෙවන සභා වාරයට නියෝජිතයන් තේරීම සඳහා නාම යෝජනා භාරගනු ලැබූයේ 1936 ජනවාරි මස 15 වැනිදාය. 1935 දෙසැම්බර් 18 වැනිදා පක්ෂයක් වශයෙන් ඇරඹුණු ලංකා සමසමාජ පක්ෂයෙන් මෙම මැතිවරණයට හතර දෙනෙක් ඉදිරිපත් වූහ, රුවන්වැල්ල ආසනයට ඇන්. ඇම්. පෙරේරා, අවිස්සාවේල්ලට පිලිප් ගුණවර්ධන, පානදුරයට ලෙස්ලි ගුණවර්ධන සහ මොරවකට දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මෙසේ ඉදිරිපත් වූ කණ්ඩායමයි.


රුවන්වැල්ලට ප්‍රතිවාදී කණ්ඩායමෙන් ඉදිරිපත් වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි ප්‍රබල තරගකාරිය වූයේ 1931 පළමු මැතිවරණයේදී එම අසුන සඳහා ඉදිරිපත්ව නිතරගයෙන් තේරී පත්වූ ජෝන් හෙන්රි මීදෙණිය මහ අදිකාර්ම්ගේ දියණිය මෙන්ම පියාගේ අභාවයෙන් ප්‍රතිවාදීන් තිදෙනෙකු වැඩි ඡන්ද 9498 කින් පරදවා ජයග්‍රාහිකාව වූ හෙයින් පමණක් නොව ප්‍රදේශයේ අනුබද්ධව දිගු කලක් මුළුල්ලේ පරම්පරාගතව මහජනතාව හඳුණන එමෙන්ම ධන බලයෙන්ද පිරිස් බලයෙන්ද ඉහළ මට්ටමක සිටි තරගකාරියක වීමෙනි. එමෙන්ම ඇයගේ සැමියා වූ සර් ප්‍රැන්සින් මොලමුරේ රුවන්වැල්ල ආසනයට යාබද දැදිගම ආසනයේ නියෝජිතයා ලෙස 1931 දී පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් පත්ව සිටියෙකි. ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි සතු තවත් සුවිශේෂී වූ කරුණක් වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ පළමු වැනි කාන්තාව වීමය. තුන් කෝරලයම ඇය දන්නා හඳුනන්නියකි.