වම හැඩ කළ දෙමළ ලකුණ


ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පෙරමුණේ සිටි නායකයෙක් වූ එන් ෂන්මුගදාසන් සහෝදරයා උපත ලැබුවේ 1920දීය. ඔහුගේ දෙමාපියෝ යාපනයේ මනාපායි නගරයේ ජීවත් වූහ. 


ෂන්ගේ දෙමාපියන්ට සාමාන්‍ය දේපළක් තිබුණු අතර කුඩාකල සිටම ෂන් ඉගෙනීමට දක්ෂයෙක් විය. කොළඹ විශ්වවිද්‍යාලයට 1938දී ඇතුළත් වුණු ඔහු ඉතිහාසය හැදෑරීමට පටන් ගත්තේය. ඒ අතර ඔහු කොමියුනිස්ට් නායකයන් හා අනිකුත් වාමාංශික නායකයන් ඇසුරු කිරීමට ද යුහුසුළු විය. 1943 දී ලංකා කොමිනියුනිස්ට් පක්ෂයේ ආරම්භයත් සමග ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 


විශ්වවිද්‍යාලය තුළ කැපී පේන ශිෂ්‍ය නායකයකු වූ ඔහු 2 වැනි ලෝක සංග්‍රාමය ආරම්භයත් සමග විශ්වවිද්‍යාලය තුළ අධිරාජ්‍ය විරෝධී දේශපාලන පත්‍රිකා බෙදා හැරීමට පටන් ගත් හෙයින් කිහිප වතාවක් විශ්වවිදයාල අධිකාරීන්ගෙන් දඩුවම් ලැබිණ. සටන්කාමී දේශපාලන කටයුතුවල නිරත වුණු නිසා ෂන් කෙටි කලකින්ම සිසුන් අතර ආදරයට පත්විය. මේ නිසා විශ්වවිදයාලයේ  ශිෂ්‍ය සංගමයේ ලේකම් හා සභාපති ධුර ඉසලීමට ද ඔහුට අවස්ථාව ලැබිණි. විශ්ව විද්‍යාලයේ උප කුලපති වූ අයිවෝ ජෙනින්ස් (Ivor Jenninges ලියා ඇති the road to Peradeniya)  පේරාදෙණියට පාර නම් ග්‍රන්ථයේ ෂන් ප්‍රමුඛ පෙළේ ක්‍රියකාරී ශිෂ්‍ය නායකයකු වූ බව හේ සඳහන් කරයි. පසු කාලයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛයකු වූ අගනුවර නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක් වුද වික්ටර් ද සිල්වා, විශ්වවිද්‍යාලය තුළ ෂන්ගේ සමකාලීනයකු විය. 

 

 

විශ්වවිද්‍යාලය තුළ බටහිර ඉතිහාසය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ ඔහු දෙවන පංතියේ සාමාර්ථයක් ලබා ගත්තේය. මේ ලබාගත් සාමර්ථය අනුව ඔහුට ලේසියෙන්ම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යයකු වීමට සුදුසුකම් ලැබූ නමුත් ෂන් රෝස මල් පඳුරු අස්සෙන් යන ජීවියට වඩා පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා විප්ලවයේ දුෂ්කර ගමන් මඟ සිය කැමෙත්තෙන්ම තෝරා ගත්තේය. 


1943 දී විශ්වවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු නිම කළ ෂන් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. 1947 රජයේ සේවකයන්ගේ වැඩවර්ජනය සාර්ථක කිරීමට නොයෙකුත් පෙරමුණු මගින් කටයුතු කළ ඔහු 1953 අගෝස්තු හර්තාල් අරගලයේදී කම්කරු සමිති පෙරමුණේදී විශාල කාර්යභාරයක්ද ඉටු කළේය. 


ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීනයකු වශයෙන් සේවය කිරීමේදී ෂන්ගෙන් අනර්ඝ සේවාවක් ඉටු වූයේ පක්ෂ සාමාජිකයන්ගේ දේශපාලන දැනුම වර්ධනය කිරීමටය. ඉතාමත් ගැඹුරු ලෙස මාර්ක්ස් ලෙනින්වාදී සාහිත්‍ය ග්‍රහණය කරගත් ෂන් එ ඉගැන්වීම් සාමාජිකයන්ට කියා දීමේදී ඉතාමත් සරල බසක් උපයෝගී කර ගත්තේය. මිනිස් වර්ගයගේ උපතේ සිට ඇතිවුණු පන්ති සටන් ගැනද ද්වීඝඨනාත්මක භෞතිකවාදය ගැනද ධනේශ්වර ක්‍රමයේ සිට සමාජවාදය කරා පරිවර්තනය වීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු ගැනද කම්කරු පන්තියේ හා ගොවි ජනතාවගේ සන්ධානයන් ගැන ද ප්‍රජතන්ත්‍රවාදී විප්ලවය  ගැනද ජාතික ධනේශ්වර පන්තිය සමග ඇතිකර ගන්නාවූ සන්ධානවලදී අනුගමනය කළ යුතු සමගිය හා සටන උපායන් ගැනද පක්ෂය තුළ ගෙන යායුතු  විවේචනය හා ස්වයං විවේචන ගැනද නිර්ධන පන්තියේ පෙරමුණු බළඇණිය වශයෙන් පක්ෂය සංවිධානය කිරීමේ වැදගත්කම ගැනද අන්තර් ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ඇතිවී ඇති ගැටලු ගැනද කොමියුනිස්ට් ප්‍රකාශනය  ගැනද සෙසු දේශපාලන ප්‍රශ්න ගැනද ෂන් පක්ෂ සමාජිකත්වය මනා ලෙස දැනුම්වත් කළේය. භාෂා තුනෙන්ම දේශපාලන පන්ති පවත්වා ගෙන යෑමට ෂන්ට හැකියාවක් තිබිණි. 


උතුරේ එල්ටීටිඊ සංවිධානය හිස එසවීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒ ප්‍රදෙශයේ පැවැති උග්‍ර කුලවාදය බවට සමහර දේශපාලන විචාරකයන් පෙන්වාදී තිබේ. අඩු කුලයට අයත් සම්මත ජනයාට උසස් කුලයට අයත් සම්මත ජනයා යන එන කෝවිලට ඇතුළත්වීමේ තහනමක් පැවිතිණ.


මෙවැනි කෝවිලක් වූයේ උතුරේ මාදිද්දිපුරම් (Maviddopuram) කෝවිලය. උතුරේ කුලබේදයට විරුද්ධව උග්‍ර සටනක් කළ ෂන් 1968 එක් දිනක අඩු කුලේයයි සම්මත අති විශාල ජනකායක් පිරිවරා ගෙන එම කෝවිලට ප්‍රවේශවීම නිසා ගැටුමක් ඇතිවිය. මේ ගැටුමේදී මහාචාර්ය සී. සුන්දරලිංගම්  ඇතුළු උසස් කුලේයයි සම්මත කුලවාදීන් අඩු කුලේ යැයි සම්මත ජනයා එම කෝවිලට ඇතුළුවීම වැක්වීමට උග්‍ර සටනක් කළහ. උපතින්ම සටන්කාමීයකු වු ෂන් සටන අත්හැරියේ නැත. මේ නිසා පොලිසිය කැඳවීමට සිදුවිය මේ සමාජ අරගලයේදී කැපී පෙනුණු ලක්ෂණයක් නම් පෙඩරල් පක්ෂයේ නායකයන් සටනින් කර හැරීමය. චෙල්වනායක හා අමිර්තලිංගම් වැනි පෙඩරල් නායකයන් ඇත්ත වශයෙන් ගත්තේ අඩු කුලේ යැයි සම්මත ජනයාගේ පැත්ත නොව උසස් කුලේයයි සම්මත ජනයාගේ පැත්තය. 


කෝවිල වටා සමාජ අරගලය උග්‍ර වූ හෙයින් ඒ අවධියේදී අගමැතිව සිටි ඩඞ්ලි සේනානාක මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි ආර්. සුන්දරම්ලිංගම් මහතාට ඉතාමත් නිර්භිතවූද නියෝගයක් දුන්නේය. ඒ නියෝගය නම් මේ කෝවිල අඩු කුලේ යැයි සම්මත ජනයාටද පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු බවයි. එතැන් සිට මෙම කෝවිලේ දොර සියලු දෙනාට විවෘත විය. 
වීරෝධාර ෂන් අඩු කුලේ යැයි සම්මත ජනයාට ආගමික නිදහස ලබාදුන්නේ මෙවැනි අරගල මෙහෙය වීමෙනි. මේ අවධියේදී කොමිසුනිස්ට් පක්ෂයේ උතුරේ නායකයන් වූ එ. වෛද්‍යලිංගම්, වී පොන්නම්බලම් හා පී. කන්දයියා වැනි අවශේෂ කොමියුනිස්ට් හා වාමාංශික නායකයන් සමග එකතුවී ෂන් තව කලක් උතුරේ සංවිධාන කටයුතු කළේ නම් උතුරේ දේශපාලන තත්ත්වය බොහෝ දුරට ජාතිබේදවාදී දේශපාලනයෙන් මුදවා ගැනීමට ඉඩ තිබිණි. 


ෂන්ට කම්කරු සමිති පෙරමුණට ප්‍රවේශ වන ලෙස පක්ෂය විසින් ආරාධනා කරන ලද අතර එයට මුල්වූයේ ලංකා කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එම්. ජී. මෙන්ඩිස් සහෝදරයාය. ෂන් ඉතා කැපවීමකින් යුක්තව කම්කරු සමිති පෙරමුණේ කටයුතු කළ අතර කම්කරු විනිශ්චය සභාවල දීද පඩි පාලක සභාවල දීද කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා උනන්දුවෙන් කටයුතු කළේය. ඔහු ඉතාමත් කෙටිකලකදී කම්කරු නීතිරිති  අණපනත් ග්‍රහණය කිරීම ගැන කම්කරු විනිශ්චය සභාවල විනිසුරුවන්ද හාම්පුත්තුද මවිතයට පත් වූහ. ෂන් කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මුර්තිමත් කිරීම සඳහා එම්. ජී. මෙන්ඩිස් සමග විදේශීය සම්මේලන කිහිපයකට සහභාගි වූ අතර අන්තර්ජාතික කම්කරු සංවිධානය (International
labour Organization)විසින් කැඳවන ලද රැස්වීම්වලටද සහභාගි විය. 


ෂන් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වශයෙන්ද අන්තර් ජාතික සමුළු කිහිපයකට සහභාගී විය. පුවත්පත් කලාව කෙරෙහි බලවත් උනන්දුවක් දැක්වු ඔහු ජාතික පුවත්පත්වලටද අන්තර්ජාතික පුවත්පත් වලටද නිරත දේශපාලන ලිපි සැපයීය. (Peking Review)


1953 යම් දිනක ෂන් මට පක්ෂ කාර්යලේදී මුණ ගැසිණි. ඒ වන විට මා හට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකාරිය පන්ති තහනමක් පනවා තිබූ බැවින් මා නිතර පක්ෂ කාර්යාලයට පැමිණ නොයෙකුත් වැඩවල යෙදුණි. සෝවියට් කොමිනියුනිස්ට් පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂය අතර නියාමක මත ගැටුම් උග්‍රවීමට පටන් ගත්තේ මේ අවධියේය. ෂන් තමා ළඟදීම සතිපතා පුවත්පතක් පළ කිරීමට යන බවත් එයට සහයෝගයක් ලබා දෙන ලෙසත් මගෙන් ඉල්ලා සිටියේය. මම කැමැත්ත පළ කළෙමි. සති කිහිපයක් කම්කරුවා සතිපතා පුවත් පත එළි දැක්කේය. මුල් කලාප කිහිපය මාත් පදුමසේන මෙන්ඩිස් සහෝදරයාත් සංස්කරණය කළෙමු.


කෙසේ වුවත් ෂන් පක්ෂයෙන් ඉවත්වීමට කටයුතු කරන බවට මට දැනිණි. ඒ නිසා කම්කරුවා සම්පාදනය කිරීමේ කටයුතුවලින් මම මිදුනෙමි. ඊට පසු කොමියුනිස්ට් පක්ෂයේ කොලොන්නාව ප්‍රදෙශයේ නායකයෙක් වූ ඩී. කේ. ඩී. ජිනේද්‍රපාල සහෝදරයාත් තරුණ කාලයේදීම කොමියුනිස්ට් පක්ෂයට එක්වුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ගාමිණි පී. විජේරත්නම් ‘කම්කරුවා’ සම්පාදනය කිරීමට ඉදිරිපත් විය. 


මාඕ චින්තනය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කළ ෂන්, පසු කාලයේදී වෙනම සංවිධානයක් පිහිටුවා ගත්තත් එය සාර්ථක නොවීය. ගාමිණි යාපා ආරම්භ කළ ‘පෙරදිග සුළඟ’ සංවිධානය සමගද ෂන් සම්බන්ධකම් පැවත්විය. 1971 කැරැල්ල සමයේදී අභූත චෝදනා මත ෂන් සිරභාරයට ගනු ලැබීය. 


ෂන් සිය සමස්ත දේශපාලන ජීවිතයම ගත කළේ කොමියුනිස්ට් සමාජයක උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීමට මියෙන ජීවිතය නොමියෙන දේශපාලන දර්ශනය වූ මාක්ස් ලෙනින්වාදය ආදර්ශවත් ලෙස කැප කළ ෂන්ගේ හදවත 1993 පෙබරවාරි මස 8 වැනි දින බි්‍රතාන්‍ය ලන්ඩන් නුවරදී නිසල විය.

 

 

 

 

 

 

 

 

 

 


යු. ඊ. පෙරේරා