වමට - දකුණට කැරකැවුණ වයඹ එජාප බලකොටුව


අතුරු මැතිවරණ පුරාණයෙන්

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයට සුවිශේෂ පිළිගැනීමක් හිමිවූයේ ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දේශපාලන ලෝකයේ විවාදාත්මක චරිතයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් සර් ජෝන් ලයනල් කොතලාවල මහතා සුවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත්වීම හේතුවෙනි.


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය අවසන් වී (සර් ජෝන් කොතලාවල මහතා 1931 පළමුවන රා. ම. සභාවට වැඩි ඡන්ද 9045 ද, 1936 දෙවන රා. ම. සභාවට නිතරඟයෙන් ද කුරුණෑගල ආසනයට තේරී පත්විය) 1947 පැවැති ප්‍රථම මහා මැතිවරණයේ දී සර් ජෝන් කොතලාවල මහතා සමග තරගයට එළඹුණ සී. බී. මොලගොඩ (යතුර) ලබාගතහැකිවූයේ ඡන්ද 2263 ක් පමණි. මුළු ඡන්ද 17,548 ක් හිමිකරගත් සර් ජෝන් කොතලාවල මහතා වැඩි ඡන්ද 15,285 ක් ජයග්‍රහණය අත්කර ගත්තේය. 1952 දෙවැනි මහා මැතිවරණයේදී වැඩි ඡන්ද 14,568 න් සිය ප්‍රතිවාදියා වූ සී. ඒ. මැතිව් (කුඩය 6466) පරාජය කිරීමට හෙතෙම වගබලා ගත්තේය. 1956 මහා මැතිවරණයේ දී එජාපය ආසන අට දක්වා පහළව ඇද වැටුණ අවස්ථාවේ පවා මුළු ඡන්ද 20,286 ක් ලබාගෙන මඑපෙ අපේක්‍ෂක ටී. බී. හේරත් (අත - 12,012) මහතා පරදවා වැඩි ඡන්ද 8272 න් සිය අසුන රැකගත්තේ, විරුද්ධවාදීන් ඔහුගේ දේශපාලන චරිතය වටා අපහාසාත්මක කථා පතුරුවමින් සිටි පසුබිමක් තුළදීය. එතුමා දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු දොඩම්ගස්ලන්ද ආසනය ප්‍රභූ පංතියෙන් ඉවත් වී සාමාන්‍ය පංතියෙන් බිහි වූ අපේක්ෂකයෙකු 1960 මාර්තු මැතිවරණයේදී මැති සබයට යැවූ ආකාරය දැකගත හැකිවිය. එම සුවිශේෂී ඡන්ද ප්‍රතිඵලය මෙසේ දැක්විය හැකිය. ඒ යූ. රොමාතිස් (එජාප - අලියා) 7571, ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්‍ෂ (කො.ප. - තරුව) 5638, ඇම්. බී. පුස්සැල්ල (ශ්‍රීලනිප - අත) 4323, රත්න බී. ඒකනායක (මඑපෙ - කරත්ත රෝදය) 1124, ජී. ජී. ඒ. ද සිල්වා (ල.ප්‍ර.ප. - කුඩය) 258. වැඩි ඡන්ද සංඛ්‍යාව 1933. 1960 ජූලි මැතිවරණයේදී ද වැඩි ඡන්ද 2511 න් දොඩම්ගස්ලන්ද ආසනය එජාපයට හිමිකර දීමට ඔහු සමත්විය.


බළකොටුව බිඳවැටෙයි


1965 මහා මැතිවරණයේ දී වර්ෂ 13 ට පසු දොඩම්ගස්ලන්ද ආසනය එජාපයෙන් ගිලිහීගියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. එයට පළාතේ ඡන්ද කොට්ඨාස 15 න් දොළහක්ම එජාපය සතුකර ගනිමින් පාර්ලිමේන්තුව තුළ ආසන 66 ක බලයක් රඳවාගනිමින් රජයක් පිහිටවූ මෙම මැතිවරණයේදී දොඩම්ගස්ලන්ද ආසනය ශ්‍රීලනිපය සතුකර ගත්තේය. පසුව මැතිවරණ පෙත්සමකට ද යොමුකෙරුණ එම ඡන්ද ප්‍රතිඵලය සම්පූර්ණයෙන් මෙසේය. ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්‍ෂ (ශ්‍රීලනිප - අත) 13,426, ඒ. යූ. රොමානිස් (එජාප - අලියා) 12,372, පී.බී. රත්නායක (ම.එ.පෙ. - කරත්ත රෝදය) 151. වැඩි ඡන්ද සංඛ්‍යාව 1054,  ජයග්‍රාහී ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්‍ෂ මහතා පළමුවරට දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හරහා බව මීට ඉහත විස්තර කර ඇත. 1960 ජූලි මැතිවරණයට ‘නිදහස්’ අපේක්‍ෂකයෙකු ලෙස තරගවැදුණු ඔහු, ඡන්ද 6247 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය අත්කර ගත්තේය. 1965 දී ශ්‍රීලනිපයට එකතුව තරග කළ අතර එවර කො.ප. නිල අපේක්ෂකයෙකු නොවූයෙන් එම පක්‍ෂයේ ද සහයෝගය රාජපක්‍ෂ මහතාට ලැබෙන්නට ඇතුවා නිසැකය.


ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක්


ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්‍ෂ මහතාට හයවැනි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරු මන්ත්‍රී ධුරය දැරීමට ඉඩ ලැබුණේ නැත. ඔහුගේ පත්වීමට එරෙහිව 1965 අප්‍රේල් මාසයේදී මැතිවරණ පොත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්විය. පෙත්සම්කරු වූයේ මැල්සිරිපුර පදිංචි ආර්. ඇම්. කිරිබණ්ඩා ලේනව මහතාය. 1965 මහා මැතිවරණයේදී (1) දොඩම්ගස්ලන්ද ආසනයට එජාපයෙන් තරග කළ ඒ. යූ. රොමානිස් මහතාගේ පෞද්ගලික චරිතය හා හැසිරීම සම්බන්ධයෙන් මැතිවරණයට පෙරත් මැතිවරණ කාලයේදීත් රාජපක්‍ෂ මහතා හෝ ඔහුගේ අනුදැනුම ඇතිව ඔහුගේ නියෝජිතයන් විසින් අසත්‍ය ප්‍රකාශ කරන ලද බවද (2) ඡන්දදායකයන්ට නොයෙකුත් අන්දමේ තර්ජනයන් කර ඔවුන් ඡන්දයදීමෙන් වැළැක් වූ බවද පෙත්සමෙන් චෝදනා නගා තිබුණි. ඡන්ද පෙත්සම විභාග කළ විනිසුරුතුමා රාජපක්‍ෂ මහතාගේ තේරීපත්වීම බලරහිත කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙම තීන්දුවට එරෙහිව රාජපක්‍ෂ මහතා ඇපෑලක් ඉදිරිපත් කළ අතර එය එච්. ඇන්. ජී. ප්‍රනාන්දු, එච්. ඩබ්ලිව්. තම්බයියා සහ ඒ. ඩබ්ලිව්. එච්. අබේසුන්දර යන විනිසුරුතුමන්ලාගෙන් සැදුම්ලත් රජ තුන් කට්ටුව ඉදිරියේ සලකා බැලිණ. 1966-09-06 දින තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු  මඬුල්ල, රාජපක්‍ෂ මහතාගේ ඇපෑල ගාස්තුවටත් යටත් කර නිෂ්ප්‍රභ කළේය. ඇපැල් අධිකරණයේදී ලක්‍ෂමන් කදිරගාමර්, ආනන්ද පරණවිතාන සමග රාජ නීතිඥ සී. රෙන්ගනාදන් මහතා පෙත්සම්කාර කිරිබණ්ඩා ලේනව මහතා වෙනුවෙන් කරුණු දැක්වූ අතර වගඋත්තරකාර රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජයා පතිරණ, එස්. එස්. සහබන්දු සහ එන්. ජෙයනාදන් සමග ඊ. ආර්. එස්. ආර්. කුමාරස්වාමි මහතා පෙනී සිටියේය.


අතුරු මැතිවරණයට නාම යෝජනා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුව දොඩම්ගස්ලන්ද ආසනයට නව මන්ත්‍රීවරයෙකු තෝරාගැනීම සඳහා පවත්වන අතුරු මැතිවරණයේ දින වකවානු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අග්‍රාණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත්කරනු ලැබීය. ඒ අනුව නාම යෝජනා භාරගැනීම 1966-11-21 දින කුරුණෑගල කච්චේරියේ දී සිදුකෙරිණ. එදින නාම යෝජනා පත්‍ර භාරදුන් අපේක්‍ෂකයින් තිදෙනා මෙසේය. එස්. ඩබ්ලිව්. අලවතුවල (එජාප), ලිලියන් ලැටීෂියා රාජපක්‍ෂ (ශ්‍රීලනිප), එම්. ඩී. සමර පාල (ස්වාධීන). 1960 මාර්තු සහ ජූලි මැතිවරණවලදී තේරීපත්වූ ඒ. යූ. රොමානිස් මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත අතුරු මැතිවරණයට ඉදිරිපත්වීමට මනාපය පළ නොකළ හෙයින් ඡන්ද අපේක්‍ෂකයා තේරීමේ කමිටුව මගින් එස්. ඩබ්ලිව්. අලවතුවල මහතා නම් කෙරුණේය. ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ හෙතෙම කොහොන්සිය පත්තුව ගම් කාර්ය සභාවේ සභාපතිවරයාද විය. ලැටීෂියා රාජපක්‍ෂ මහත්මිය හිටපු මන්ත්‍රී ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වූවාය. ඇය මැතිවරණයකට ඉදිරිපත් වූයේ පළමු වතාවට ය. එම්. ඩී. සමරපාල මහතා මෙම අතුරු මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීම ශ්‍රීලනිපයට බලවත් ගැටලුවක් නිර්මාණය කළේය. ඊට හේතුව සමරපාල මහතා රම්බොඩගල්ල ගම් කාර්ය සභාවේ සභාපතිවරයා වීමයි. කොට්ඨාස 16 න් සමන්විත රම්බොඩගල්ල ගම්කාර්ය සභාවේ මැතිවරණය 1966-12-02 දිනට නියම කර තිබුණි. එහි නියෝජිතයින් 13 දෙනෙකුම ශ්‍රීලනිපයට අයත්වූහ. ගම් සභා ඡන්දයට ශ්‍රීලනිපයෙන් තරග කිරීමට අවශ්‍ය නම් අතුරු මැතිවරණයේ නාම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොකළහොත් ගම් සභා ඡන්දයේ දී ඔහුට විරුද්ධව කෙනෙකු ඉදිරිපත් කරන බවත් පක්‍ෂයෙන් දන්වා යැවීය.


1965 මහා මැතිවරණයෙන් පසුව පවත්වන්නට යෙදුණ හතරවැනි අතුරු මැතිවරණය මෙය වූ අතර ඊට පෙර එකම දිනයකදී එනම් 1966-10-24 දින පැවැත්වූ - බෙන්තර - ඇල්පිටිය, - බණ්ඩාරවෙල සහ - බලංගොඩ යන ආසන සඳහා වූ අතුරු ඡන්ද තුනෙන්ම ආණ්ඩුව පරාජයට පත්ව සිටියේය. 1965 දී වැඩි ඡන්ද 1001 න් ජයගත් බෙන්තර - ඇල්පිටිය ආසනය අහිමිවූයේ වැඩි ඡන්ද 1676 කිනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රාහී ස්ථාවරයක සිටිමින් අතුරු මැතිවරණයට සූදානම් වූ ආකාරය දැකගත හැකිවිය. ප්‍රථම ප්‍රචාරක රැලිය විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහභාගිත්වයෙන් රිදීගමදී පැවැත්වුණි. මෙම ප්‍රථම රැලියට ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. මහතා සහ කො.ප. ප්‍රධාන ලේකම් පීටර් කේනමන් මහතා ද සහභාගිවීම විශේෂ සිදුවීමක් වූ අතර එය එජාප බළකොටුවක් අත් පත්කර ගැනීමේ සටනට ධෛර්යදීමක් ද විය. පක්‍ෂයේ ප්‍රචාරක කටයුතු ආර්. ජී. සේනානායක (දඹදෙනිය) සහ ටී. බී. සුබසිංහ (කටුගම්පොල) ප්‍රමුඛ කණ්ඩායමකට පවරා තිබුණි.


ආණ්ඩු පක්‍ෂය මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ප්‍රධාන වශයෙන්ම රජයේ වගා ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් දෙමිනි. මේ වන විට සහල් සලාකයෙන් සේරුවක් කපාහැර ඉතිරි සේරුව නොමිලයේ සැපයීමට රජය තීරණයක් ගෙන තිබුණි. වැඩි වැඩියෙන් ආහාර වගා කිරීමට එය රුකුලක් බව රජයේ මතය වූ අතර දුප්පතාගේ බඩට ගසමින් සහල් සේරුවක් කපාහැරියේ ආණ්ඩුවේ බංකොලත්භාවය නිසා බවට විරුද්ධ පාක්‍ෂිකයෝ චෝදනා කළහ. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සහල් සලාක පොත් “රජයට භාරදීමේ” වැඩසටහනක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පැවතුණි. රජයේ නීතියක් නොකර, සහල් සලාකය ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති විශාල සංඛ්‍යාවක් හඳුනාගත් ස්වේච්ඡා සංගණනයක් ලෙස එය හැඳින්වීම නිවැරදිය. ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් මුදල් අමාත්‍ය යූ. බී. වන්නිනායක, කෘෂිකර්ම සහ ආහාර අමාත්‍ය ඇම්. ඩී. බණ්ඩා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අතුරු ඡන්දයේ කටයුතු සංවිධානය කළහ. අතුරු මැතිවරණ අරභයා අගමැති ඩඞ්ලි සේනානායක මහතා මාධ්‍යය හරහා ජනතාව වෙත කළ විශේෂ ප්‍රකාශනය මෙසේ සඳහන් විය. “මෙම අසීරු අවස්ථාවේදී දොඩම්ගස්ලන්ද වාසී ජනතාව දක්වන සහයෝගය මාගේ ධෛර්යට හේතු වී ඇත. ජාතියේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඉදිරිපත්වීමෙන් ඔවුන් විසින් දක්වනු ලබන ජාති හිතෛෂිභාවය ඉතා ප්‍රශංසනීයය. ඉතා අන්ත දිළිඳු තත්ත්වයක පසුවන අය පවා තමන්ට විඳීමට සිදුවන ගැහැට නොතකා දහස් ගණන් අවුත් සලාක පොත් රජයට භාරදීමෙන් දැක්වූ ජාත්‍යාලය උදාරය. මෙම අති උතුම් ක්‍රියාව හෙළා දකින අප විරුද්ධවාදීන් නිසැකයෙන්ම රටේ ප්‍රගතියට බාධාකරන ජාතීද්‍රෝහීහු වෙති. මෙවර අතුරු මැතිවරණ සටනට පදනම් වූ ප්‍රශ්න ඉතා පැහැදිලිය. ඉන් පළමුවැන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂිත කිරීම සඳහා රජය විසින් දරනු ලබන උත්සාහයට පොදු ජනතාව දෙන තීරණය ගැන මට කිසිම සැකයක් නැත. දෙවැන්න මාක්ස්වාදීන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රීලනිප නායකයින්ගෙන් බුද්ධ ශාසනයට එල්ල වී ඇති තර්ජනයයි. මෙහිදී ද බුද්ධ ශාසනයේ ආරක්‍ෂකයින් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්ව සිටින මේ රටේ ජනතාව දෙන තීරණ ගැන කිසිම සැකයක් නැත. රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින මෙම අවදියේ තමන්ගේ පටු අදහස් උදහස් බැහැර කර ජාතික රජයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන ලෙස දැනට නොමග ගොස් සිටින අයට මම ආයාචනා කරමි.


අතුරු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්ථාන 28 කදී සිදුකෙරිණි. ඡන්ද සටන ඉතා තියුණු ස්වභාවයක් ඉසිලීය. කවර පක්‍ෂයකට ජයග්‍රහණය අත්වේදැයි නිසැක වයෙන්ම සිතාගැනීමට නුදුළුවන් විය. රජය පිහිටුවා වර්ෂ 01 මාස 09 දින පසුව 1967-01-15 දින පැවැත්වූ දොඩම්ගස්ලන්ද අතුරු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වූයේ මේ අයුරිනි. ලිලියන් ලැටීෂියා රාජපක්‍ෂ (ශ්‍රීලනිප - අත) 14,164, එස්. ඩබ්ලිව්. අලවතුවල (එජාප - අලියා) 13,771, එම්. ඩී. සමරපාල (ස්වාධීන - පුටුව) 178 වැඩි ඡන්ද සංඛ්‍යාව 393. ලිලියන්  ලැටීෂියා රාජපක්‍ෂ මහත්මිය දිවුරුම්දීමෙන් පසු සයවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව 06 ක් විය.

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි