වමට පණ දුන් “ඩබල් ඩොක්ටර්”


 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන උණුසුම්ව කතා බහ කෙරෙන අද පවා නිරතුරුව සිහිපත් වන දේශපාලන චරිතයකි කෘතහස්ත වාමාංශික දේශපාලනඥයකු හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ නීතිවේදියකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා.


උසාවිය පමණක් නොව ජනවේදිකාව ද පාර්ලිමේන්තුව ද ඇඳබැඳ තබා ගත හැකි අපූර්ව වාග් ශෛලියක් ඔහු සතු විය. මහත් ආන්දෝලනයට තුඩුදුන් සිවිල් සහ දේශපාලනමය නඩු රැසක් ජයගැනීමට කොල්වින් ගේ අපූරු තර්ක විතර්ක හේතු විය.


සතාසිවම් නඩු විභාගය. හාරලක්ෂ මංකොල්ලය, වයිට් හවුස් මිනීමැරුම, ඬේමියන් කුලරත්න මිනීමැරුම මෙන්ම 1966 දී හත්හවුල් ආණ්ඩුව පෙරළා දැමීමට කළ කුමන්ත්‍රණ නඩුවේදී ද ජයගත්තේ කොල්වින් පෙනී සිටි පාර්ශ්වයයි. එද‌ා හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් වෙනුවෙන් පෙනී සිටි කොල්වින් දින 60 ක් පුරා විත්තියේ දෙසුම පවත්වා උන්වහන්සේ වෙනුවෙන් කරුණු කී අයුරු අමතක නොවේ.


​මෙතරම් වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ කොල්වින් ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වය උසුලමින් ඇන්.ඇම්. පිලිප්, ලෙස්ලි, දොස්තර වික්‍රමසිංහ වැනි සමකාලිනයන් සමග ඉන්දීය නිදහස් සටන්වලට පණ දුන්නේය. ඔවුන් සමඟ සිරබත් කෑවේය.


1907.02.16 දින බලපිටියේ උපත ලැබූ කොල්වින් රෙජිනෝල්ඞ් ද සිල්වා පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කෙරිණ. 1924 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද 1926 දී ලන්ඩන් සරසවියෙන් ශාස්ත්‍රවේදී හා දර්ශනවේදී උපාධිය ද හිමිකර ගත් ඔහු බි්‍රතාන්‍යයේදී නීතිය හද‌ාරා බැරිස්ටර් විභාගය ඉහළින්ම සමත් විය.


රට සුදු අදිර ද පාලනයෙන් මුද‌ා ගැනීම භාණ්ඩ හා සේවා හුවමාරුව, ජනසතු කිරීම, ජාතිකුල ආගම් භේද පිටු දකින සමානාත්මතාව අගයන සමාජයක් බිහිකිරීම ඔහුගේ අරමුණ විය.


 මෙම යුගයේම මැලේරියා වසංගතය රට තුළ පැතිර යන්නට වූයෙන් රෝගීන් බේරා ගැනීමට සමසමාජවාදීහු වහ වහා ක්‍රියාත්මක වූහ. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයෝ මූලිකත්වය ගත් මෙම කටයුත්තේදී නියම කළ බෙහෙත් වර්ග රත්නපුර හා සබරගමු දිස්ත්‍රික්කවලට ගෙයින් ගෙට ගොස් බෙද‌ා හරින ලදී.


කොල්වින් එම කටයුත්ත මනාව ඉටු කළේ තමන් විසින්ම සැකසූ ලු‍ණුකැඳ ද අසාධ්‍ය රෝගීන්ට පොවමිනි. මැලේරියා මර්දන සටන නිමා වන විට තවත් අභියෝගයක් ඔවුන් කරා එල්ල විණ. ඔහු දිනක් අලු‍ත්කඬේ උසාවියේ නඩුවක දේශනයක් පවත්වා එළියට එන විට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය අධිරාජ්‍යවාදී යුද්ධයක් බව’ ප්‍රචාරය කිරීමේ චෝදනාවටය. එද‌ා 1940 ජූනි 17 වැනිද‌ාය.


කොල්වින්ගේ පක්ෂ සගයෝ සියල්ලෝම සිරබත් කෑහ. එහෙත් ඔවුන්ගේ අරමුණ ජයගැනීමේ සටන නිමාවක් නොවිණ. තම සාධාරණ සටන ගැන බන්ධනාගාර නිලධාරින් ද දැනුම්වත් කෙරිණ. එහි ප්‍රතිඵලය වූයේ 1942.04.07 දින මැදියම් රැයේ දේශපාලන සිරකරුවෝ සිරගෙයින් පලා යාමය. ඒ නිකම්ම නොවේ බන්ධනාගාර නිලධාරි සොලමන් ද සමගය.


“ලංකා සම සමාජ පක්ෂය තහනම්, නායකයන් දුටු තැන අල්ලනු” සුදු පාලකයෝ නියෝග කළහ.


සම සමාජ නායකයන් ඉන්දියාවට පලා ගිය නමුත් ඇන්. ඇම්. සහ පිලිප් නැවත අත්අඩංගුවට පත් වූහ. එහෙත් කොල්වින් තම ඥ‌ානය මෙහෙයවා කල්කටාවට පලාගොස් ඉන්දීය නිදහස් සටනට එක් විය. ඔහු ඉන්දීය බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය පිහිටුවා එහි නායකත්වය දැරුවේය. ඔහු පුවත්පත්වලට ලිපි ලිව්​වේ එස්. ගෝවින්දන් යන ආරූඨ නමිනි.


කොල්වින් හා ලෙස්ලි යළි සිය රටට ආවේ ලෝක යුද්ධය නිම වී තමන්​ගේ වරෙන්තු ද ඉවත් කළ පසුවය.


1947 දී විවෘත දේශපාලනයට පිවිසි කොල්වින් එම මහ මැතිවරණයට  ඉදිරිපත් වූයේ වැල්ලවත්ත - ගල්කිස්ස අසුන නියෝජනය කරමිනි විශාල ජනතා ප්‍රතිචාරයක් ඔහුට හිමි වූ අතර කොල්වින් අතින් එද‌ා පරාජය වූයේ එජාපයේ බලවතකු වූ එස්. ද එස්. ජයසිංහයන්ය.


1956 දීද තම ජයග්‍රහණය තහවුරු කළ කොල්වින්ට 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග වාමාංශික නායකයන් හා සන්ධානගත වී පිහිටු වූ සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක හා වැවිලි කර්මාන්ත අමාත්‍යධුරය පිරිනැමිණි.


සම සමාජයෙත් කොල්වින්ගේ දේශපාලන සිහින අතරින් එකක් වූ බි්‍රතාන්‍ය අදිරදවාදීන් සතුව වතු ව්‍යාපාරය ජනසතු කිරීමට සමගි පෙරමුණ ආණ්ඩුව තුළින් පියවර ගැනිණි. ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වීම නිසා සමාජවාදී ප්‍රතිපත්තීන් ගණනාවක් මල්ඵල ගැන්විණ.


සුදු පාලකයන් අප රටට ද‌ායාද කළ සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට පූර්ණ නිදහස් ස්වෛරි ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් වූයේ කොල්වින් සම්පාදනය කළ 1972 මැයි 22 වැනිද‌ා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව ව්‍යවස්ථාව තුළිනි.


මින් පෙර එනම් 1953 මහා හර්තාලයේදී චූදිතයන් 450 ක් වෙනුවෙන් නොමිලයේ උසාවියේ කතා කරමින් ඔවුන් නිදහස් කරගැනීමේ වීර ක්‍රියාව කොල්වින්ගේ අනන්‍යතාව පෙන්වා දෙයි.


අඩ සිය වසරක් වාමාංශික සටන් පෙරමුණේ නායකත්වයට උර දෙමින් ද වතුකරයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට මෙන්ම මැයි දින පෙළපාළිවලට ඥ‌ානබල ශක්තිය දෙමින් කොල්වින් කටයුතු කළේය.


කොල්වින්ගේ වාග් චාතුර්යය ගැන පාර්ලිමේන්තුවේදී හොඳ සහතිකයක් දුන්නේ අගමැති බණ්ඩාරනායක විසිනි. යම් ගැටලු‍වක් මතු වූ විට කොල්වින් ඒ දෙස බැලු‍වේ අමුතුම ඇසකින් බව අගමැතිවරයා කීය.
දැන් බලන්න කොහේ හරි ඇල්පෙනෙත්තක් වැටිලා තිබුණොත් අපි එක්කෝ ඒක අයින් කරල ද‌ාල යන ගමන යනවා. නැත්නම් නොදැක්කා වගේ යනවනේ. ඒත් මා මිත්‍ර දෙහිවල - ගල්කිස්ස මන්ත්‍රීතුමා හිතනවා මේක වැටුණේ ධනේෂ්වර කාන්තාවකගෙන් නම් එය අහුලා ගත්තොත් ධනේෂ්වර පන්තියට වාසි වේවි කියලා.”


හැබැයි ඒ ඇල්පෙනෙත්ත නිර්ධන පන්තියෙ කෙනෙකුගෙ ඇනුණොත් ඒක නිර්ධන පන්තියට පීඩාවක්. අවාසියක් කියල එතුමා තර්ක කරාවි. අන්තිමට ඒක එයාගෙම කකුලෙ ඇනගන්න පුළුවන්.” බණ්ඩාරනායක මහතා සභාව සිනහගන්වමින් කීය.


ආචාර්ය කොල්වින්ගේ තැනට සුදුසු නුවණ ගැන කියැවෙන තවත් කතාවක් මේ.


1949 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 වැනිදා තෙක් පළමු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තේරීමේ මැතිවරණය පැවැත්විණ. ගාල්ල අසුන වෙනුවෙන් තරග වැදුණේ විජයානන්ද දහනායකය. ඒ වාමාංශික දේශපාලනය නියෝජනය කරමින්. දහනායකගේ ඡන්ද ලකුණ වූයේ තරුවය.


ප්‍රතිගාමි අපේක්ෂකයා වූයේ ඉඩම් හිමි වැවිලිකරුවකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ එච්. ඩබ්. අමරසූරියයි. ඔහුගේ ලකුණ වූයේ අලියාය.

 

අමරසූරිය පාර්ශ්වයට මේ ගැන දැන ගන්නට ලැබී එය කඩාකප්පල් කිරීමට තීන්දු විය.


ඒ සඳහා යෙදූ උපක්‍රමය වූයේ වහ වහා මහ සඟරුවන එහි ගෙන්වා පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමයි. ඒ අනුව කොළ පාට කොඩි හා බෞද්ධ කොඩි ඇඳ වේදිකාවක් තනා පිරිත් සජ්ඣායනාව අරඹන ලදී.
මේ බව නොදත් කොල්වින්ගේ රිය එහි පැමිණෙන විට සියලු‍ පින්කම් කටයුතු ඇරඹි තිබිණ. කොල්වින් මදක් කල්පනාකාරී විය. ඔහු තම රිය ඒ අසල වූ අම්බලම ළඟ නවතා එහි බොනට්ටුවට නැග වේගවත් කතාවක් ඇරඹීය. සියල්ලෝම තුෂ්ණිම් භූතව එය අසා සිටි අතර මෙම ආරංචිය ගමේ ප්‍රචාරය වීමෙන් එකා දෙන්නා එහි රොක් වී ජන ගංගාවක් ඇති විය. පිරිත් පොළේ සිටි අය ද කොල්වින්ට සවන් දීමට ලැබුණු වාසනාව ගැන සිතා එහි පැමිණි අතර පිරිත් පින්කම කඩාකප්පල් වී කොල්වින්ගේ රැලිය ජයගත්තේය.


එම මැතිවරණයෙන් දහනායක ජයගත්තේ අමරසූරිය වැඩි ඡන්ද 2496 කින් පරදවමිනි.


කොල්වින්ලා ආගම ධර්මයට හා සංස්කෘතියට ගරු නොකරන පිරිසක් ලෙස ප්‍රතිගාමීහු ප්‍රචාරයක් ගෙන ගියහ. කොල්වින්, ඇන්. ඇම්., ලෙස්ලි ආදීහු ශ්‍රීලනිපය සමග සමගි ආණ්ඩුව හද‌ා මුලින්ම විහාරස්ථානවලට ගොස් තෙරුවන් වැඳ නමස්කාර කර එම මතවාදය බොරු බව ඔප්පු කළහ.


වරක් වාමාංශික කවියකු වූ දයාරත්න රණේපුර මෙහෙය වූ “රණරාව’ කවි සමුළුව රට පුරා වේදිකා ගත විය. එය කෙතරම් ජනප්‍රිය වූවා ද යත් කොළඹත් ගම්බදවත් ඊට ඉල්ලු‍ම ගලා එන්නට විය. කොල්වින්ට කිසිද‌ා ඊට ඇරයුම් නොලැබුණේ ඔහු එවැනි සංස්කෘතික කටයුතු සඳහා එක්වන්නකු නොවන බව හැඟු‍ණ නිසාය.


එහෙත් කොළඹට නුදුරු පළාතකදී සංවිධානය කළ රණරාව කවි සමුළුවකට කවුදෙ‌ා් කොල්වින්ට ද ඇරයුම් පතක් යවා තිබිණ. රණරාව ඇරඹෙන්නට පළමුව තුන් සීනුව ගසා විදුලිය නිවන විට පසුපස පේළියකට කඩි මූඩියෝ පැමිණි අමුත්තෙකු අසුන්ගනු පෙනිණ. ඔහු කළු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසුණු උස මත අයෙකි.


ඉතා සාර්ථකව පැවැති රණරාව තුළින් ප්‍රතිගාමි අදහස් පතුරු ගැසිණ. කිසිවෙක් සිටි තැනින් නොසෙල්වී කවි දෙසුම් අසා විනෝද වූහ. තිරය වැසෙන විට රණේපුරගේ බිරඳ මහත් කලබලයකින් දිව ආවාය.
“අන්න ඔයාලගේ නායකතුමා යන්න හදනවා.”


රණේපුර විස්මිත විය.“කවුරුද?” කියාගෙන ඔහු වේදිකාව අසලට දිව ගියේය. කොල්වින් ඔහු වැලඳ ගත්තේ මහත් ප්‍රීතියෙනි. “ඇයි මට නොකිව්වේ? ඇයි මාව අමතක කළේ අපට දේශන සියයකින් කියන්න බැරි දේවල් සහෝදරයා කවියකින් කියනවා. හරි සතුටුයි. දිගටම මට කියල එවන්න. කවුරු නැතත් මං එනවා.” දහසින් බැඳි පියල්ලක් සුරත තැබූ කොල්වින් නොපෙනී ගියේය.


වයෝවෘද්ධ වියේදීත් කොල්වින් වම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් බිමට ආවේය. 88-89 භීෂණ යුගයේදී පවා නාරාහේන්පිට අබේසිංහාරාමයේ පැවැති රැස්වීමක් ඇමතීමට පැමිණි කොල්වින් ඇතුළු වමේ සගයන් වෙත එල්ල වූයේ බෝම්බ ප්‍රහාරයකි. ජීවිතය බේරා ගත්තද කොල්වින්ගේ පාදය බරපතළ ලෙස තුවාල විමෙන් සද‌ාකල්ම රෝගී තත්ත්වයට පත්විණ. 1989 දී කොළඹ උසාවිය තුළදී රෝගාතුර වූ පසු ඔහුට ශල්‍යකර්මයක් සිදුකෙරුණ අතර මාරාන්තික රෝගයෙන් 1989.02.27 දින සවස ඒ අයෝමය නායකයා දැයෙන් සමුගත්තේය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි