වමට පණ දුන් සිංහල සිනමාවේ පළමු ප්‍රධාන නළුවා


 

මිනිස් ආත්මයක් ලැබ ඉපදීමට ලැබීම සසරේ ඉතාමත්ම දුර්ලභව සිදුවන්නකැයි බුද්ධ දේශනාවේම සඳහන් වෙතැයි කියති. ඒ සා දුෂ්කර වූ මිනිස් අත් බැව් ලබන බොහෝ මිනිස්සු උපන්නාට වෙනුවට ජීවත්වෙති. මියයති. එහෙත් ඕනෑම සමාජයක අතිශය සුළුතරයක් දෙනා තමා උපන් රටට ජනතාවට මහත් වූ වැඩ සිදුකොට මිය පරලොව යති. එවැන්නෝ අතිශය දුර්ලභයහ. පසුගිය සතියේ 112 වැනි ජන්ම දිනය සැමරූ (දැනට ජීවත්ව නැති) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නම් වූ සුප්‍රකට කීර්තිමත් දේශපාලනඥයා අයත් වන්නේ එම දුර්ලභ වූ මිනිස් කුලකයටය.

 

කොළඹ තොටළඟ පදිංචිව සිටි ඇන්. පී. ඒබ්‍රහම් පෙරේරා මහතාට සහ ආර්. ජොහානා පෙරේරා යන දෙපොළට දාව 1905 ජූනි 06 වැනිදා උපත ලද දරුවාට මාටින් යන නම තබන ලදී. පසුකලෙක විදේශ අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබූ නිසා ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දරුවෙකු ලෙස වර්තමානයේදී බොහෝ ලේඛකයන් විසින් හඳුන්වන අවස්ථා නිතරම පාහේ අපට දක්නට ලැබේ. එහෙත් තම පවුල ගැන ඇන්. ඇම්. කියා ඇත්තේ මේ ආකාරයෙනි.


“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා, තොටළඟ කව්රුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කිව්වාම කව්රුත් දන්නවා. මා ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක් - පරණ තාලෙ මිනිහෙක් - සතෙන් ආරම්භ කරලා බොහොම අමාරුවෙන් තමයි ඔහු දියුණුවෙන්ට උත්සාහ කළේ. ඔහු සමාජවාදියෙක් නොවෙයි. තාත්තා මැරෙන තුරුම කොණ්ඩෙ බැන්දා - පනාවකුත් ගැහුවා - පෘතුගීසි කාලෙ බලපෑම උඩ කැස්බෑ ලෙලි පනාවකුත් ගැහුවා. ඉතින් මම ඔය වගේ දුප්පත් පවුලකින් පැවත එන මිනිහෙක්. ඒ නිසා මාටින් කියන නම මට නම්බුවක්. මම රිදී හැන්දක් කටේ තියාගෙන උපන්න කෙනෙක් නෙවෙයි.” 


මෙය හැන්සාඞ් වාර්තාවේ සඳහන් වන නිසා පිළිගන්නට සිදු වේ.


ඇන්. ඇම්. ගේ උපත තවත් අතකින් වැදගත් වේ. ඔහු හත් මාසයෙන් උපන් දරුවෙකි. ඒ නිසා හදාවඩාගත්තේ ඉතා අසීරුවෙනි. ලේන් පැටියෙකුට කිරි පොවන්නාක් මෙන් පාන් තිරයක් කිරෙන් පොඟවා දරුවාට තොල ගාන්නට දීමෙන් මෙම දරුවා පෝෂණය කරන්නට එම මාතාව කාරුණික වූවාය. ඔහුගේ වැඩිමහල් සොහොයුරන් ඉගෙනීමෙහි දක්ෂවීම ඇන්. ඇම්. ටද වාසිය ගෙනාවේය. මෝදර ගල් පල්ලියේ ස්කෝලයෙන් සහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩනයේ ස්කූල් ඔෆ් එකොනොමික් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ පී. එච්. ඩී. උපාධි දෙකක් දිනාගනිමිනි. එයින් එකක් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්වීම විශේෂත්වයකි. කලක් බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ සභාපති පදවියද දැරූ ප්‍රකට සමාජවාදියෙකු වූ මහාචාර්ය හැරල්ඞ් ලැස්කි ඇන්. ඇම්. ශිෂ්‍යයා සරසවි අධ්‍යාපනය ලබද්දී ඔහුගේ ආචාර්යවරයකු විය. ඒ නිසාම එම දේශපාලන ආභාසය ඇන්. ඇම්. ට මහත් සේ බලපෑ බව කියනු ලැබේ. එංගලන්තයේදී හඳුනාගත් කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, ඇස්. ඒ. වික්‍රමසිංහ, පී. එච්. විලියම්ද සිල්වා, ටී. බී. සුබසිංහ ආදී පිරිස ට්‍රොට්ස්කිවාදී දේශපාලන මතයද රැගෙන ආපසු මව්බිමට පැමිණ මෙරට ප්‍රථම මාක්ස්වාදී සහ විප්ලවවාදී දේශපාලන පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. විලියම් සිල්වා, ටී. බී. සුබසිංහ ආදීන් සම සමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයන් නොවුණත් එම දැනහැඳුනුම්කම් මත පසුව පක්ෂයට බැඳුණු බව කියවේ.
කෙසේ වුවත් ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීම අරභයා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ කාර්යභාරය කිසිසේත්ම සුළුපටු නොවේ. ඔහුගේ ක්‍රියා පටිපාටිය පිළිබඳව බොහෝ දේ නිතර නිතර ලියවේ කියවේ. ඒ නිසා වඩාත් ප්‍රචලිත නොවූ අවස්ථා කීපයකින් මෙම ලිපිය සැකසීම සුදුසුයැයි මම සිතමි.


අද රටේ මාක්ස්වාදී පක්ෂ බොහෝ ගණනක් රතු කොඩිය සෙවණේ දේශපාලනය කරන බව අපි දනිමු. ඒ අය අතර නොයෙකුත් මතභේද, න්‍යායාත්මක ගැටුම් සහ ගුරු කුල දක්නට ලැබේ. එසේ ඒ කාටත් පූර්වාදර්ශයන් සැපයුවේ සම සමාජ පක්ෂය සහ එහි පුරෝගාමින් බව නොරහසකි. විශේෂයෙන් බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ මෙවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් නොදීමට සුදු පාලකයෝ වගබලා ගත්හ. ඒ නිසා රටේ දේශපාලන ක්ෂේත්‍රයේ නායකත්වයේ සිටි ප්‍රබලයෝ සියලු දෙනාම පාහේ රතු පාටට නොකැමැත්තක් දැක්වූහ. එයට එක් සාධකයක් වූවේ සම සමාජයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ඇන්. ඇම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන යන දෙදෙනා ගෙන ගිය ප්‍රගතිශීලි ක්‍රියාකාරිත්වයයි.


යටත් විජිත යුගයේ මේ රටේ ගම්බද පාලනය පැවතියේ බොහෝ සෙයින්ම ගම්මුලාදෑනිවරුන් හරහා ය. මේ අයගේ අකටයුතුකම් නිසා ගම්බද ජනයා අතිශයින්ම පීඩාවට පත් වූහ. ඉඩකඩම් ප්‍රශ්න, සුළු ආරාවුල් ආදී නොයෙකුත් කරුණු කාරණා සම්බන්ධයෙන් මුලාදෑනිවරු කටයුතු කළේ වාසි බලාගෙන ඉතා පක්ෂපාතී අයුරිනි. මැතිවරණවලදී පවා ඉතා අනිසි බලපෑම් යොදමින් උදව් කළේ රටේ ප්‍රභූ පක්ෂයටය. එය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් ඉක්මවමින් කටයුතු කළ අවස්ථා බොහෝ විය. ඒ නිසා ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කර වෙනත් සුදුසු ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයැයි 1937 දෙසැම්බර් 14 වැනිදා ඇන්. ඇම්. පෙරේරා මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනා කළේය. එහෙත් එම යෝජනාව පරාජයට පත්වූවා වුවත් දීර්ඝකාලීන සටනකින් පසු එය අහෝසි කරවා ගැනීමට ඇන්. ඇම් ලා සමත් වූහ.


එකල මධ්‍යම කඳුකරයේත් අවට අනෙකුත් පළාත්වලත් පැවති වතු අධිරාජ්‍යය මුළුමනින්ම පාහේ අයත්ව තිබුණේ සුදු ජාතිකයන්ට සහ ඔවුන්ගේ සමාගම්වලටය. මෙම වතුවල සේවය සඳහා දස දහස් ගණන් ඉන්දියානු වතු කම්කරුවන් මෙරටට ගෙන ඒම දිගටම සිදුවිය. මෙය අනාගතයේදී බරපතළ ජාතික ගැටලු නිර්මාණය කරන්නක් වන බැවින් සහ එම කම්කරුවන්ටද බලවත් පීඩාවක් සහිත වහල් සේවයක් ගොඩනැගී ඇති නිසාත් දුරදක්නා නුවණින් යුතුව 1937 සැප්තැම්බර් 03 වැනිදා ඇන්. ඇම්. පහත සඳහන් යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. “මේ සභාවේ අදහසේ හැටියට රජයේ ආධාර ඇතිව ඉන්දියානුවන් තවදුරටත් මෙරටට පැමිණීම මේ රටේ යහපතට අදාළ නොවන බැවින් මෙම කම්කරුවන් ගෙන්වන බලපත්‍ර කිසිම අයුරකින් නොදෙන ලෙස මෙම සභාව කම්කරු කර්මාන්ත හා වෙළද කටයුතු භාර ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටී.”


මෙරට රජය ඉන්දියානු වතු කම්කරුවන් ගෙන්වීම ආරම්භ කළේ 1848 තරම් දුර ඈත අතීතයකදීය. ඒ සේවය සඳහා ලක්වැසියන් යොදා නොගෙන, ඉතා අඩු වැටුපකට සේවයේ යොදවා ගත හැකි වන පරිදි ඉන්දියානු කම්කරුවන්ගෙන් වැඩ ගැනීම වතුකාරයින්ට අධික ලාභ ගැනීමට හැකිවීම නිසාය. රජයේ නිල වාර්තාවක් අනුව ඉන්දියානු කම්කරුවන් දාහතර ලක්‍ෂයක් ගෙන්වා තිබුණි. මෙයින් හාර ලක්ස හැටහතර දහසක් ආහාර සහ වෛද්‍ය පහසුකම් නොමැතිකමින් මරුමුවට පත් වූ බව ඇන්. ඇම්. පෙන්වා දුන්නේය. මෙසේ ගෙන්වන වතු කම්කරුවන්ට මානුෂික අයිතිවාසිකම් සහිතව සැලකිය යුතු අතරම ඔවුන් ගෙන්වීම නතර කළ යුතු යැයිද හඬ නැගීය. ඉන්දියානු වතු කම්කරුවෙකුට මේ දිනවල ගෙවන ලද වැටුප වූයේ දිනකට ශත හතළිහක් පමණි. එමෙන්ම එම යුගයේ නුවරඑළිය වැනි සැපදායක ප්‍රදේශවල පවා වතුකම්කරු ප්‍රජාව අතර ළදරු මරණ සංඛ්‍යාව දහසකට දෙසිය විසි පහක් බව සඳහන් විය. මෙවැනි කරුණු වතු අධිපතියන්ගේ අවධානයට යොමු කරනු ලැබුවත් ඒ ගැන සැලකිල්ලක් යොමු වූයේ නැත. ඔවුන්ගේ එකම අපේක්ෂාව වූයේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාගෙන අධික ලාභයක් ලැබීම පමණකි.

සෝමසිරි වික්‍රමසිංහ