වමට ළය දුන් රතු ලියෝ


‘සෑම සාර්ථක මිනිසකු පසු පසම අපූරු ගැහැනියක් සිටී’ යනු බොහෝ දුරට සත්‍ය වූ කියමනකි. මෙය ලොව දේශපාලන ක්ෂේත්‍රයටද පොදුය.


මෙරට සාර්ථක දේශපාලනඥයන්ගේ දියුණුවට බලපෑ මව්වරු, සොයුරියන් හා දූවරුන් පිළිබඳ තොරතුරු මාධ්‍ය තුළින් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. වාමාංශික දේශපාලනයේ නියැළුණු ලක්දිව ප්‍රධාන චරිත රැසක් හැඩගැන්වී ඇත්තේ සමාජවාදී දර්ශනයෙන් හා ප්‍රගතිශීලී මානසිකත්වයෙන් හෙබි කාන්තාවන්ගේ ක්‍රියාකාරි සහයෝගය තුළිනි.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පිටර්, කෙනමන්, ලෙස්ලි ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වැනි වාමාංශික යෝධයන්ගේ චරිත හදාරන විට ඔවුන්ගේ ජීවිතවලට බැඳී දිරිදුන් කතුන් රැසකගේ තොරතුරු යන්තමින් හෝ සඳහන් වේ.


දර්ශන හා ආර්ථික විද්‍යා උපාධි දෙකෙන්ම පිදුම් ලත් ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. එම්. පෙරේරා හැඳින්වෙන්නේ ‘ඩබල් ඩොක්ටර්’ යන නමිනි. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඉතිහාසය හා නීතිය පිළිබඳ උපාධි දෙකෙන්ම පිදුම් ලැබූ බැවින් ආචාර්ය නාමයෙන් හැඳින්විණි.


ඇන්. ඇම්. තුන්කෝරළයේ ගැමිජනතාව අතර ජනප්‍රිය වූයේ ‘පරිප්පු මහත්තයා’ යන අන්වර්ථ නාමයෙනි. මැලේරියා වසංගත සමයේ ඇන්. ඇම්. ඇතුළු වාමාංශික නායකයෝ ගම් නියම් ගම්  සැරිසරමින් පරිප්පු වැනි වියළි ආහාර බෙදාදුන් අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්හ. ඒ නිසා පරිප්පු මහත්තයා ලෙස ඇන්. ඇම්. ට නම පටබැඳිණ. රෝගී ජනතාව අතරට නොබියව ගොස් ඔවුන්ට පිහිට වූ දිරිය කතුන් රැසක්ද මෙම පිරිස අතර වූහ.


එක් කාන්තාවකි. සෙලිනා පෙරේරා, ඇය  ඇන්. ඇම්. ගේ බිරින්දෑ විය. ඇගේ මුල් නම සෙලිනා පීරිස්ය. බදුල්ලේ ධනවත් පවුලක උපත ලද ඇය පසුව ඉන්දියාවේ පදිංචියට ගියාය. කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියක වූ සෙලිනා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගෙන ගුරු වෘත්තියට පිවිස බෞද්ධ කාන්තා විදුහලක විදුහල්පතිනිය වූවාය.


ධනපති පවුලක උපත ලැබුවත් ඇය තුළ දුප්පත් ජනතාව පිළිබඳ පැවතියේ දැඩි කරුණාවකි. දුප්පත්කම ලොවින් තුරන් කිරීම පිළිබඳ ඇය දිවා රෑ කල්පනා කළාය. එහිදී ඇය රුසියානු විප්ලවවාදී නායකයකු වූ ට්‍රොට්ස්කිගේ අදහස්වලට ඇලුම් කළාය.


මෙරටට පැමිණි වහාම ඇය කළේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට අසුව තිබූ රට මුදවාගැනීමේ සටනට දායක වීමයි. දකුණු කොළඹ වාමාංශික තරුණ සංගමයට බැදී සූරියමල් ව්‍යාපාරයට එක් වූවාය. 


ඇන්. ඇම්. තම විෂය පථයට අමතරව ඉතා ජනප්‍රියව සිටියේ සිනමා නළුවකු ලෙසිනි. දිනක් රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේ පැවැති ඉංග්‍රීසි නාට්‍යයක රැජින ලෙස සෙලිනා රඟපාන අයුරු දුටු තරුණ ඇන්. ඇම්. ඇයට වශීවිය. නාට්‍යය නිම වූ විගස වේදිකාවට ගොඩ වූ ඔහු සෙලිනාට සුබ පැතීමෙන් ප්‍රේමයේ මුල් බීජය රෝපණය විය වාමාංශික මතධාරී බ්‍රේස්ගර්ඞ්ල් මෙරටට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග දී තිබිණ. පොලිසිය ඔහු සොයන විට සෙලිනා මැදිහත්ව ඔහුට සැඟවීමට උපකාර කළාය.


තම ආදරණීය විප්ලවවාදී නායක ට්‍රොට්ස්කි අමතක කිරීමට ඇයට නොහැකි විය. ඇය දිගින් දිගටම ඔහුට ලියුම් ලීවාය. ඇයගේ මෙම හැසිරීමට මව්පියෝ අකමැති වූ නිසා වැඩිපුර අධ්‍යාපනය සඳහා සෙලිනා එංගලන්තයට යැවිණ.


ලන්ඩන් සරසවියෙන් ඇය ඉගෙන ගත්තේ බටහිර විෂයයන් නොව පෙරදිග භාෂාවන්ය. ඇය එහිදීද කළේ තම හැඩරුව සඳහන්කොට නුදුටු මිතුරු ට්‍රොට්ස්කිට ලිපි යැවීමයි. ඇය ඔහු හමුවීමට උත්සාහ ගත් නමුත් දේශසීමා ගැටලු නිසා වීසා නොලැබීමෙන් එය වැළැක්විණ.
සෙලිනා ඇන්. ඇම්. ගේ අත ගත්තේ 1937 මාර්තු 03 දාය. 1940 දී ඇන්. ඇම්. ඇතුළු වාමාංශිකයෝ අධිරාජ්‍යවාදීන්ගේ අත්අඩංගුවට පත්වූහ. සෙලිනා පිරිමියකුසේ ඇප කැපවී තම ස්වාමියාගේ පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරී සේවයේ යෙදුණාය.


1942 දී ඇන්. ඇම්. ඇතුළු පිරිස බෝගම්බර සිරගෙයින් පලා ගියහ. සෙලිනා දුක්මහන්සිවී ඔහු සොයා ගියාය. අන්තිමේදී හමු වූ අඹුසැමියෝ දිගු කලක් බොම්බායේ කුලී නිවසක බොරු නම්වලින් සැඟවී සිටි බවත් ඇය පාසල් ගුරුවරියක ලෙස පවුල ජීවත් කළ බවත් සඳහන් වේ.


සුරියමල් ව්‍යාපාරයට එක් වූ තවත් වාමාංශික දිරිය කතක් ලෙස යුදෙව් ජාතික හෙඩි සයිමන් මහත්මිය සඳහන් කළ හැකිය. ඇය සමසමාජයට සම්බන්ධ වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ පීටර් කෙනමන් හරහාය. දේශීය වාමාංශික ව්‍යාපාරය සමඟ හරිහරියට ඇප කැපවී ඇය කටයුතු කළාය.


යුද බියෙන්, දිළිඳුකමින් හා වසංගත රෝගබියෙන් අන්ත අසරණ වූ වැඩකරණ ජනතාව අතරට ගොස් ඔවුන්ට ‘බජිරි නම්’ ධාන්‍ය වර්ගය, බෙදූ නිසා ඇය ගැමියන් හැඳින්වූයේ ‘බජිරි නෝනා’ නමිනි. අමුතු සමක් අමුතු අංග චලනයක් හා භාෂා විලාසයක් තිබූ මෙම කත තෙරේසා මවුතුමිය ලෙස පෙනෙන්නට ඇත.


පිටර් කෙනමන් මෙරට විනිශ්චයකරුවකුගේ පුත්‍රයෙකි. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ උගත් හෙඩි සයිමන් උපන්නේ වියානා හිදීය. ඇය ගමෙන් පිටවූයේ හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් බේරීමටය. ඇයගේ මව වූ මග්දලේනාද ඇය සමඟ වූවාය.


ශ්‍රී ලංකාවේ කෙනමන් සමඟ පෙමින් බැඳුණු ඇය ලන්ඩන්හි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක වූවාය 1939 දී ඔවුන්ගේ විවාහය ස්විට්සර්ලන්තයේදී සිදුවිණ. 


පීටර් කෙනමන් ඬේලිනිවුස් පත්‍රයේ පුවත්පත් කලාවේදියකු සහ පූර්ණ කාලීන වාමාංශික ක්‍රියාකරුවකු වූ අතර හෙඩි කොළඹ සරසවි අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණාය. වාමාංශික දේශපාලනයේ රස හා ගුණ ඇය හඳුනා ගත්තේ ඔහුගෙනි.
‘බජිරි හටන’ නමින් යූ.ඇන්.පී. දේශපාලන කඳවුරට පහර පිට පහර දුන් ටැබ්ලොයිඞ් ප්‍රමාණයේ ජනප්‍රිය පුවත්පතක් ගැන පැරැන්නන්ට මතකය. එතුළ උපහාස රසය මනාව ගැබ්ව තිබිණ.


‘බජිරි නෝනා’ වැනි වාමාංශික කතුන්ගේ අගය දැනෙන්නේ මේ කාලෙටයි. ඔවුන් හිටියා නම් ජනතාවට සියලු අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් අනේ රටකට ගිය කල්.


මෙවැනි අදහස් ‘බජිරි හටන’ තුළින් ලයනල් සරත් ගෙන ආවේය. නීතිය ඔහුටද හරස්විය.


කාලයාගේ ඇවැමෙන් 1945 දී නැවත යුරෝපයට යාමට හෙඩි සයිමන් මැතිනියට සිදුවිය එහිදී හමු වූ පිටර් ස්ට්‍රැඞ්ලස් නම් සංගීත වේදියා සමඟ පසු කලෙක විවාහ වූ බවට තොරතුරු ඇත. පීටර් කෙනමන්ද යළි විවාහ දිවියට පත්විය. වාමාංශික ව්‍යාපාරය කේන්ද්‍රකරගත් කාලයට අනුගතව බිහි වූ මෙවන් දිරිය කතුන් පිළිබඳව ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් පර්යේෂණ නිබන්ධයක්ද රචනය කර ඇත.
බජිරි නෝනාගේ පරපුර ඉන් අවසන්වී නොමැති බව ලේඛක කරුණාරත්න අමරතුංග කියයි ඇගේ එක් දරුවකු බි්‍රතාන්‍ය අධිකරණ විනිසුරුවරයකු වන අතර අනෙක් දරුවා බි්‍රතාන්‍ය මන්ත්‍රීවරයකු විය. 


යළි වගා සංග්‍රාමය ලියන්ට ඇති යුගයක සෙලීනා හා බජිරි නෝනා වැනි වීරචරිත අප මතකයට නැඟීඑයි.

 

 

 

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි