නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්ව සිටි දැනට 92 වැනි වියේ පසුවන ලීටින් සුදරිංග මහතා එම පක්ෂය වෙනුවෙන් මැතිවරණ වලදී ඉටුකළ මෙහෙය ගැන ද කතා බහ කිරීමට අමතක කළේ නැත.
සෝල්බරි කොමිසම ලංකාවට ආවේ අපේ රටේ එතෙක් තිබූ උද්ඝෝෂණ නිසාත් ඉන්දියාවට නිදහස ලැබීම යන කරුණු සැලකිල්ලට ගනිමිනි. 1947 සෝල්බරි කොමිසම අපේ රටට පැමිණි කරුණු කාරණා විමසා බලා ඒ වසරේම අපේ රටට අර්ධ නිදහසක් ලබාදීමට කටයුතු කළා. 1947 වසරේ අපේ රටේ පැවැති පළමු මහමැතිවරණයේදී තනි පක්ෂයක් විදිහට කටයුතු කර ආසන 28 කට තරග කර ඡන්ද 204,020 ලබා ගත්තා. ඒ අනුව මන්ත්‍රීන් 10ක් ලංකා සමසමාජ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. මෙය සුවිශේෂ හා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ බව පැවසීමට පුළුවනි.
“1936 වසරේ පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී එන්. එම්. පෙරේරා සහෝදරයාගේ මැතිවරණයට මම සක්‍රියව දායක වුණා. මා ඇතුළු පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වුණා. අපි එන්. එම්. සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සති ගණන් ඒ පළාතේ නැවතිලා ගෙයක් ගෙයක් ගානේ කැන්වසින් ගිය හැටි තාමත් මතකයි. වෙහෙස මහන්සිය කියා දෙයක් අපට දැනුණේ නැහැ. බොහොම උනන්දුවෙන් හා කැපවීමෙන් අප ඒ කටයුත්ත ඉටුකළා. කැන්වසින් යන කාලයේ ගම්මුන් අපට කැමැත්තෙන්ම ආහාර පාන වලින් සංග්‍රහ කළා. ඉහළින්ම පිළිගත්තා. අපි රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ සෑම ගමකම පාහේ පොකට් මීටින් තිබ්බා. මමත් ඒ මීටින්වල කතා කළා.
මට තවත් දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනෑ. එදා මෙදාතුර සෑම මැතිවරණයකදීම ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් වේදිකාවලට නැගලා කතා කර තිබෙනවා. අපේ පක්ෂය ප්‍රතිපත්තියක් විදිහට කාගේවත් පෞද්ගලිකත්වයෙන් කාටවත් චෝදනා මුඛයෙන් චෝදනා කරන්න ගියේ නැහැ. කෙනෙකුගේ චරිතය ඝාතනය කරමින් වේදිකාවලට නැගලා හඬ නොනැගීමට අපි වග බලා ගත්තා. ඒවාගේ දේවල් කිසිසේත්ම මනුෂ්‍යකමට ගැළපෙන්නේ නැහැ. අප කළේ අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කිරීමයි. ඊට අමතරව විරුද්ධ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනය කිරීමත් සිදුකළා. ඒත් අප කණ්ඩායම්වලද අලුතින් ආ අය අතර අන් පක්ෂවල දේශපාලකයන්ගේ වේදිකාවල සිට චරිත ඝාතනය කිරීම සිදුවූ අවස්ථා පසු කාලීනව දක්නට ලැබුණා. ඒත් එවැනි වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම වැළැක්වීමට පැරණි පාක්ෂිකයන් විදිහට අප වගබලා ගත්තා” යනුවෙන් සුදරිංග මහතා කීය.
ලංකාවේ දරුණු ලෙස මැලේරියා උණ වසංගතය 1934 සහ 35 අතර කාලයේ පැතිරී ගියා. ඒ කාලයේ ලංකා සම සමාජ පක්ෂය අතිමහත් කාර්යභාරයක් ඉටු කළ බව සුදරිංග මහතා පෙන්වා දෙයි.
ඒ හා සම්බන්ධව ඔහු හඬ අවදි කළේ මෙසේය.
“1934 - 1935 අතර කාලයේ අපේ රට පුරා මැලේරියා උණ වසංගතයක් ලෙස පැතිර ගියා. සිය ගණන් මිනිස්සු මේ උණ රෝගයෙන් මියගියා. මැලේරියා උණට පරිප්පු හොඳ බෙහෙතක් කියා තිබුණා. පරිප්පු කෑමෙන් සිරුරට හොඳ ප්‍රතිශක්තියක් ලැබෙන බව දොස්තර මහත්වරු පවසා තිබූ නිසා අපේ පක්ෂයේ නායකකාරකාදින් ජනතාවට පරිප්පු බෙදාදෙන්න කටයුතු කළා. පක්ෂයේ සමාජිකයන් ගම් දනව් පුරා සැරි සරමින් මැලේරියා උණ රෝගය වැලඳී සිටි අයට පරිප්පු නොමිලයේ බෙදා දෙන්න පටන් ගත්තා. මේ නිසාම අපේ පක්ෂයේ නායකයාව සිටි ඇන්. ඇම්. සහෝදරයාට සමහරු පරිප්පුවා කියා නමකුත් පටබැන්දා” යැයි සුදරිංග මහතා පැවසුවේ සිනාසෙමිනි.
මැලේරියා වසංගතය රට පුරා පැතිර යමින් පැවති කාලයේ මම බැමිණිගල්ල ඉස්කෝලේ ගුරුවරයෙක් විදිහට සේවය කරමින් සිටියා. කුලියාපිටියේ ඉඳලා සැතපුම් පහක් විතර කුරුණෑගල පාරේ ගියාම උණලිය මං සන්ධිය හම්බවෙනවා. එතැන් සිට සැතපුම් දෙකක් විතර ගියාම බැමිණියගල්ල ඉස්කෝලේ හම්බවෙනවා. බැමිණියගල්ල කියන ගමත් මැලේරියා මදුරු වසංගතයට ගොදුරුවෙලා තිබුණා. ඒ ගමේ එක දරුවෙක් හැරෙන්න අනිත් දරුවෝ සේරම දෙනා මැලේරියා උණෙන් මිය ගියා. ඉතිරිවුණ දරුවත් අංගවිකල වෙලා තිබුණා යැයි කියා සුදරිංග මහතා කිව්වේ ඒ ගැන මතක් වෙනකොට හදවත රිදුම් දෙන බව කියමින්ය.
ඉතිරිය ලබන සතියට...
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය