අසූ නවය භීෂණ සමයේ ත්‍රස්ත කල්ලි දෙකක් වයඹ භීෂණය තුළ රඟදැක්වී යැයි පොලිස් වාර්තාවල සඳහන් වෙයි. එම වාර්තාවලින් කියවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අමතරව එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයේ ත්‍රස්ත භීෂණය ද වයඹ පළාතේ ක්‍රියාත්මක වූ බවය.
එල්.ටී.ටී.ඊ හෝ වෙනත් ත්‍රස්ත කල්ලියක බලපෑම් වයඹට පැමිණ තිබුණේ එවකට ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ඔවුන් සමග පැවති සම්බන්ධතා හරහා බව ද පොලිස් වාර්තාවල සඳහන්ව ඇත. වයඹ පළාත් සභාවේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට වන්නියේ කැලේ අවි පුහුණුව ලබා දී ඇත්තේ එවැනි දෙමළ සන්නද්ධ කණ්ඩායම් මගිනි. ඒ සම්බන්ධය මත විවිධ ක්‍රියාකාරකම් සඳහා දෙමළ ත්‍රස්තවාදය වයඹ පළාතට පැමිණ ඇති බවට පොලිසිය වාර්තාකර තිබුණි.
ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි සහ ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර ඉලක්කකර පන්නල රැස්වීමට එල්ලකළ බෝම්බ ප්‍රහාරයද පොලිස් වාර්තා අනුව බැර කර ඇත්තේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයටය.
පන්නල බෝම්බ සිද්ධිය ඇති වූයේ දෙවැනි පළාත් සභා මැතිවරණයේදීය. එම මැතිවරණය පැවැත්වෙන දිනය වූයේ 1993 මැයි 17 වැනිදාය. මෙම දිනය ආසන්න වෙද්දී වයඹ උද්ගතවෙමින් පැවති තත්ත්වය ඉතාමත් දරුණු අතට විය. ඊට විශේෂයෙන් බලපෑ කරුණක් විය.
ඒ වන විට මහ ඇමති හැටියට සිටියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාය. අනූතුනේ පළාත් සභා මැතිවරණය අවස්ථාව වන විට එක්සත් ජාතික පක්‍ෂය දෙකට කැඩී තිබුණි. එසේ කැඩී ගිය කණ්ඩායමේ නායකයකු වූ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා මෙම පළාත් සභා මැතිවරණයේ වයඹ පළාත් සභාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්‍ෂකයා විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා විය. එස්. බී. නාවින්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයාය.
ජයවික්‍රම පෙරේරා මහාතාත් ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර මහතාත් අතර මෙම මැතිවරණය ද්වන්ධ සටනක් විය. දෙදෙනාම කෙනෙකුට කෙනෙක් පසු නොබසින ශක්තියෙන් සහ ජවයෙන් යුක්ත වූයෙන් වයඹ සියලු භීෂණ පසුබා නැගී ආවේ එම පක්‍ෂයේ කලක් එකට සිටි මේ දෙදෙනාගේ සටනය.
වඩමාරච්චිය නමින් හැඳින්වුණ කටුපොත පොලිස් කොට්ඨාසයේ භීෂණය ශුද්ධකරගෙන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පොලිසියයි පන්සලයි සංකල්පය ක්‍රියාවට නංවාගනිමින් සිටි කටුපොත පොලිස් ස්ථානාධිපති අප්පුහාමි මහතාට ද අතගසන්නට වන තරමට අලි - රාජාලි ගැටුම උග්‍රවී තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමක් පැවැතියහොත් ජයවික්‍රම පෙරේරා මහතාගේ උදවුකරුවන්ගෙන් යම්කිසි නොසන්සුන්තාවක් ඇතිවීම බොහෝ තැන්වල සිදුවිය. ඒ නිසා පොලිසියටද ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතාගේ රැස්වීම්වලට වැඩි ආරක්ෂාවක් සැපයීමට සිදුවිය. එවැනි විශේෂ අවස්ථාවලට යොදා ගැනුණේ කටුපොත පොලිසියේ ස්ථානාධිපති ඉන්ස්පෙක්ටර් බී. එල්. ටී. අප්පුහාමි මහතාය. අප්පුහාමි කියූ පමණින් ඒ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලබලකරුවන් සලිත කරන චරිතයකි.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ වයඹ පළාත් සභා මැතිවරණයේ පන්නල රැස්වීම පැවැත්වුණේ ඡන්දයේ උණුසුම් අවස්ථාවකය. පොලිසිය සැලකූ හැටියටත් ලැබී තිබූ බුද්ධි තොරතුරු අනුවත් පොලිසිය අදහස් කළේ මෙය ඉතාම භයානක අවස්ථාවක් විය හැකි බවය.
ගාමිණී දිසානායක මහතා සහ ලලිත් ඇතුළත්මුදලි යන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන නායකයන් දෙදෙනාම මෙම රැස්වීමට සහභාගි වන නිසා දැඩි ආරක්ෂාවක් සැලැස්විය යුතුය. එමෙන්ම එම පක්‍ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධාන බළකොටුව වීමත් විශේෂ විය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි ලියනගේ මහතා මෙම රැස්වීමේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යෙදවීය.
සහකාර පොලිස් අධිකාරි මෙත්තානන්ද මහතා යටතේ පොලිස් නිලධාරීන් 200ක් නගරයේ තෝරාගත් ස්ථානවල ආරක්ෂාවට යොදවා තිබුණි. වේදිකාවේ ආරක්ෂාව බාර දී තිබුණේ කටුපොත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එල්. බී. අප්පුහාමි මහතාටය.
වේදිකාව ඉදිරිපිට බෝම්බ දෙකක් වැටී පිපුරුවේ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා කතා කරන අවස්ථාවේදීය. සෙනග සීසීකඩ දුවන්නට වූහ. වේදිකාවේ සිටි සමහරු ද පැන දිවූහ. තුවාලකරුවන් ගැන බලාගන්නට සෙසු පොලිස් නිලධාරීන් යෙදවු අප්පුහාමි මහතා වේදිකාවට ගොඩවුණි. ගොඩ වී බලන විට ගාමිණී දිසානායක මහතාත් ලලිත් ඇතුළත්මුදලි මහතාත් වේදිකාව මත බිම වාඩි වී සිටී. පසුව ඔවුහු එයින් බස්සවාගෙන විත් වාහන වෙත රැගෙනගොස් රියැදුරන් පැනගොස් සැඟවී සිටි තැන්වලින් සොයාගෙන මෙම නායකයන් දෙදෙනා ගිරිඋල්ල දක්වා ආරක්ෂිතව ගෙනගොස් ඇරලවා ආපසු පැමිණියේය.
එදින පුපුරා තිබූ බෝම්බවල කොටස් අනුව පොලිසිය තීන්දු කළේ ඒවා එල්.ටී.ටී.ඊ සංවිධානය පාවිච්චි කළ බෝම්බ වර්ගයක් බවය.
වදාකඩ නවරත්න