වලව් ලෙන් දොර ජනතාවට විවර කළ මිණිපුර රතු තරුව


1986 වසරේ මැයි 22 වැනිදා උතුරට අඳුරු දිනයක් විය. යාපනය ප‍්‍රධාන උතුරේ සියලූ නගරවල වෙළෙඳසල්, කාර්යාල හා පාසල් වසා දමා සුදු කොඩි එසැවිණ. ජනතාව හැඟුම්බරව තම ශෝකය පළකළහ. බස්රථ ධාවනය නතර විය. සටන් විරාමයක්ද සිදුවිණ.


උතුරේ බැනර් එසැවිණ. ඒ ජනනායකයකු වෙනුවෙන් ශෝකය පළකිරීමටය. මෙම ජනනායකයා ද්‍රවිඩ ජාතිකයකු නොව දකුණේ සිංහලයකු වීම සුවිශේෂය සටන් නැවතුණේ පටු චේතනාවකින් නොව එම උතුම් පුද්ගලයාට හා ඔහුගේ දර්ශනයට ගරු කිරීමක් ලෙසිනි.


දකුණේ ද එලෙසම ශෝකය පළකිරීම සඳහා සුදු ධජ අහසට එසවිණ. ‘‘සරත් අප්පො මතු බුදු වේවා’’ 


සරත් ඔබ මිය ගියේ නැත මියගියේ අපයි’’ එහි සඳහන් වූ වැකිය. දකුණේත් උතුරේත් සාමාන්‍ය ජනතාව සරත් හදපත්ලෙන්ම අනුමත කළ බවට රත්නපුර පිට්ටනියට දස දිගින් ගැලූ මහජන ගංගාවෙන් පෙනී ගියේය. ඔහු අන් කවරකුවත් නොව සමාජවාදී පිලේ කොමියුනිස්ට් නායකයකු වූ මහජන මන්ත‍්‍රී සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයාය.
එහෙත් උපතින් ඔහුට සමාජවාදී පසුබිමක් නොවීය. සබරගමුව රදල පරපුරේ බලවතකු වූ හර්බට් එක්නැලිගොඩ  මුත්තෙට්ටුවේගම  රටේ මහත්මයා ඔහුගේ ආඩම්බරකාර පියාය. 


ප‍්‍රවේණිගත රදල බවින් ඔද්දල් වුවද රටේ මහත්මයා යුක්තිගරුක, සෘජුව තර්කානුකූලව සිතන, බණදහම් හා ශාස්ත‍්‍රිය ඥානයෙන් පිරිපුන්, එහෙත් දැඩි මාක්ස් විරෝධී ධනවාදියකු විය. ඔහු හිස නැමුවේ මහා සංඝයාට පමණි. එයම පුත් කුමරුට වාසනාව ගෙන ආවේය.


ගරාවැටෙන වලව්වෙන් මිල්ලවිටියේ නව නිවසට 1940 දී පිවිසුණු රටේ මහත්මයාගේ දරුපවුලේ ළඟම අනුශාසකයා වූයේ විද්‍යාවර්ධන පරිවේනාධිපති වූ ගොඩකුඹුරේ ශ්‍රී සුමනතිස්ස මහ නා හිමිපාණෝය. මව සමග පෙහෙවස් සමාදන්වීමට එහි ගිය සරත් අප්පො තුළද ‘දැහැමි සමාජයක්’ පිළිබඳ බීජය රෝපණය වන්නට ඇත. කුඩා වියේදිම මව සදහටම ඔවුන්ගෙන් වියෝවූයේ ඒ අංකුරය ඔහු තුළ ඉතිරි කරමිනි.


 

සිලියා මුත්තෙට්ටුවේගම මැතිනියගේ අභාවයෙන් පසු දරු දෙදෙනාට රැුකවරණය සැලසුවේ ඇගේ වැඩිමහල් සොයුරිය වූ ඉලේන් විජේසේකරය. මෑණිවරුන් දෙපොළගේ ද පියාගේද ආශිර්වාදය ඔවුන් මියගිය පසුවද තමන්ට ලැබෙන බව සරත්ගේ යටි හිත පැවසීය. බෝසත් පුතකු ලෙස මියයන තුරුම සරත් ඔවුන් සැමරීය.


සරත්ට ඇසුරට ලැබුණේ රදල පැලැස්තියේ දරුවන්ය. සමාජයේ දක්නට ලැබෙන ‘සතර පෙර නිමිති’’ පිළිබද ගැටලූ ඔහු විසඳාගත්තේ මිතුරන්ගෙන් නොව හාමුදුරුවන්ගෙන් විමසීමෙනි.


‘මේ ඔක්කොම අනිත්‍යයි සරත් අප්පො. තණ්හාවට පොදි බැඳගෙන හිටියට දවසක සේරම දාල යන්න වෙනවා. උසස් මිනිහෙක් වෙන්න නම් මෛත‍්‍රී චින්තනේ වවන්න  ඕනැ. සමාජයේ සියල්ලටම සමාන අයිතිවාසිකම් තියෙන්න  ඕනෑ. එතකොට තමයි සිත නිවී සැනසෙන්නෙ’’


ගුරුතලාව ශාන්ත තෝමස් විදුහල එදා බටහිරගැති ප‍්‍රභූවරුන්ගේ දරුවන්ට වෙන්ව තිබිණ. සරත් අප්පෝද මූලික අධ්‍යාපනය ලැබුවේ එහිදීය. ද්විතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙනි. ඉන් පිටවූයේ උසස් ඉංග‍්‍රීසි සාහිත්‍යධරයකු ලෙසිනි.


1976 ගමේ පන්සලේ කොත් පැලැඳවීමේ උළෙලක් පැවැත්විණ. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ජනපති විලියම් ගොපල්ලවය. ආරාධනා කතාව කළේ සරත්ය.


ඔබතුමාගෙ පියා තමයි පන්සලේ දායක සභාවේ සභාපති වෙලා හිටියේ. දැන්වත් ඔබතුමා තනතුර භාර ගන්නවානම් හොඳයි’’ නාහිමියෝ යෝජනා කළහ. ‘‘අනේ හාමුදුරුවනේ, අපේ දෙවෙනි ආගම වගේ තියෙන පක්‍ෂ දේශපාලනේ අත් ඇරල නම්  ඕවට එන්න බෑ. ජිවිත කාලෙ පුරාම කරන්න තියෙන ආගමික යුතුකම් ටික කරන්නම් කෝ.
සරත් දැඩිලෙස එම පොරොන්දුව ඉටුකළා පමණක් නොව තම පුත් ‘‘මෛත‍්‍රිද’’ ඊට යොමු කළේය. මහසඟරුවනට බැති උපහාර කළේය.


‘‘කොමිනියුස්ට් කාරයින්ට ආගමක් ධර්මයක් සංස්කෘතියක් නෑ’’ යන ධනවාදි ආකල්පය සරත්ගේ අසිමිත බොදු බැතිය තුළින් බොරු විය.


1935 අපේ‍්‍රල් 29 වැනිදා රටේ මහත්මයාට හා එම මැතිනියට දාව උපන් කුමරා පිළිබඳ වේලාපත්කඩ සැකැසුවේ බළංගොඩ ආනන්ද මෛත‍්‍රී ලොකු හාමුදුරුවෝය.


එදා ‘සරත් චන්ද්‍ර’’ හෙවත් සරත් අප්පො වූ දරුවා රට පිළිගත්තේ සරත් සහෝදරයා ලෙසය. සරත්ගේ එකම නැඟනිය මයුරාංගනීය. 1956 දී නීති විද්‍යාලයට ඇතුළුව සිටියදි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයට සරත් බැඳුණේය. 


දොස්තර සුගීශ්වර වික‍්‍රමසිංහ හා පීටර් කෙනමන් වැනි පක්ෂ නායකයන්ගේ දෙසුම් අසා සරත් විස්මයටත් කුතුහලයටත් පත්විය. සරත් නමැති රදල තරුණයා කොමියුනිස්ට්කාරයකු කිරීමට ඔවුන්ගේ ඇසුර සමත් විය.
රත්නපුර දිසාවට සරත් සඳේ එළිය වැටෙන විට ඇන්. ඇම්. පෙරේරා නමැති සූර්යයා රුවන්වැල්ල නියෝජනය කරමින් සිටියේය.


1930 දී මෙරට පැතිරුණ දරුණු මැලේරියා වසංගතයට එරෙහිව යුද වැදුණු පිරිසට නායකත්වය දෙමින් සමසමාජ පක්‍ෂය බිහිවිය. ඒ අධිරාජ්‍ය විරෝධි සූරියමල් ව්‍යාපාරය තුළිනි. එහෙත් 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවිමෙන් පසු ශීඝ‍්‍රයෙන් වමේ තරුණ පිරිස එම පක්‍ෂය වැලඳගත්හ. රතු බළකොටු රත්නපුරයේදී ඉඳිවිය.


‘‘සරත් දැන් බොහොම වැඩියි. මිනිහ කොච්චර ජනප‍්‍රියද කිව්වොත් රත්නපුරේ උසාවියෙ නඩුත් වැඩියි. මිනිහව අවිස්සාවේල්ලට යවාගන්න තියෙනවා නං හොඳයි.


සරත්ට ඊර්ෂ්‍යා කළ අය රටේ මහත්මයා ලවා පුතුට අවවාද කිරීමට ගත් උත්සාහයට පියපුතු විරෝධය පළ කළේය.
අගමැති බණ්ඩාරනායකගේ ලිපියක් රැුගෙන එදා රත්නපුර මන්ත‍්‍රී පළාත් පාලන හා සංස්කෘතික අමාත්‍ය ජයවීර කුරුප්පු මහතාද වලව්වට ආවේය.


‘‘අපේ පී. එම්. කියනවා සරත්ට අපේ පක්‍ෂයට බැඳෙන්න කියලා. එයා කැමතිනම් හෙට වුණත් රත්නපුරේ ආසනේ බාර දෙන්න කැමතිලූ’’


‘‘ඇමැතිතුමා, මං දේශපාලනය කරන්නෙ මගෙ හෘදය සාක්ෂියට එකඟවයි. ඒක වෙනස්කරන්න මටවත් බෑ සරත් දේශපාලන තනතුරු සහ වරදාන ප‍්‍රතික්‍ෂප කළේ එසේය.


තවත් බලා නොසිට තම ශක්තියෙන් උපරිම ඵල නෙලාගත යුතු යයි සරත් අප්පොට සිතිනි. ඒ නිසාම 1957 දී කුරුවිට කෝරලයේ උඩපත්තු ගම්සභාවේ පුස්සැල්ල සම සමාජ බළකොටුව එරෙහිව කොමියුනිස්ට් පක්ෂයෙන් සරත් ඉදිරිපත් විය.


පුස්සැල්ලේ ඒ. ඞී. කේ. චන්ද්‍රසේකර කපු මහත්තයා පරදා අලූතින් සටනට ආ සරත් අප්පො එම ඡුන්දයෙන් දිනුවේය.
මේ කොමියුනිස්ට් බීජ රත්නපුරේ පැළ වුණොත් දිස්ත‍්‍රික්කයම විනාසයි’ යන සාවඥ වදන් සරත්ගේ ජනප‍්‍රියතාව හමුවේ ගොළුවිය.


‘‘ඔන්න සරත් අප්පෝ එනවා’’


තමන්ට පදවාගන ආ රිය වංගුවෙන් මතුවන විට ගැමියෝ සතුටින් කෑගැසූහ. සරත් වාහනයේ වේගය අඩුකොට ගැමියන් හා කතාබහ කළේය. නගරයට යන්නවුන් එහි නංවාගත්තේය. කොල්ලො කුරුට්ටෝ මඩ නාවර පිටින්ම වලව්වේ අප්පොගෙ රියේ නැඟ ආඩම්බරයෙන් එහා මෙහා ගියහ.


එහෙත් අවාසනාවක මහත!


එක්නැලිගොඩ මිල්ලවිටිය වලව්වේ පැරණි ගේට්ටුව පමණක් ගම්මුන්ට විවෘත නොවීය. පුතේ අපේ හත්මුතු පරම්පරාවක උදාවිය අඩුකුලේ එවුන් වලව්වේ පස්ස පැත්තෙන් මිසක් ඉස්සරහින් ඇතුළට වැද්දගත්තෙ නෑ. මේ පුටුවල ඉන්ඳව ගත්තෙ නෑ. අපට අවනම්බු කරන්න නම් එපා රටේ මහත්තයා කරදඬු උස්වූ පුතුගෙන් ඉල්ලා සිටියේය.


‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’ පුතාගේ පිළිතුරයි.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි