මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක් මෙන්ම හිටපු ඇමැතිවරයකු ද වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද අනුගමනය කරන්නේ උග්‍ර යූ.ඇන්.පී විරෝධී පිළිවෙතකි. යූ.ඇන්.පී කාරයන් අද ඔහුට නයාට අඳුකොළ වැනිය. වෙනකක් තියා එ.ජා.ප. නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔහු ඉකුත් දා පාර්ලිමේන්තු සභාගැබ තුළදී නොසරුප් බසින් බැණ වැදුණේය.
“මම කිව්වේ ඇත්තනේ..!”යි කී වාසු අඩුම වශයෙන් ඒ ගැන පාර්ලිමේන්තු සභාගැබ තුළදී තම කනගාටුව පළ කිරීමවත් නොකළේය. ඒ ගැන ඇසූ ඇතැම් මධ්‍යස්ථ දේශපාලන මතධාරීන් කියා සිටියේ පක්ෂවලින් ඒ මේ අතට පැනීම නිසා වාසුදේවගේ දේශපාලන සදාචාරය පවා වල් වැදී ඇති බවය.
1970-77 අතර පැවැති සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ මොකක්දෝ දේශපාලන හුටප්පරයක් මත ආණ්ඩු පක්ෂයෙන් කැඩී ගොස් සිටි ඔහු එවකට එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තු අසුන ඉදිරිපිට මල්වඩමක් තබා පැන දිව්වේය. එදා ඔහු එම අසම්මත ක්‍රියාව සිදු කර පැන යද්දී එවකට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයකු වූ දි.මු. ජයරත්න මහතා වාසු මන්ත්‍රීවරයා අල්ලා ගැනීමට ඉදිරියට පැන්න ද හෙතෙම ආඳකු මෙන් ලිස්සා ගියේය.
“හැබැයි උන්නැහේ එදා මගේ අතට අහුවුණා නම් එහෙම මම හොඳ පාඩමක් උගන්වන්නයි හිටියේ ආයේමත් ඒ විදියේ වැඩක් නොකරන්න.”
පසු කාලයකදී මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පවා පත්වූ දි.මු. ජයරත්න මහතා ලියම්කරු සමඟ එසේ කීවේ එදා ගාලුමුවදොර පාර්ලිමේන්තු සභාගැබ තුළ සිදුවූ එම අභාග්‍යමත් සිද්ධිය ගැන ආවර්ජනය කරමිනි. කෙසේ වෙතත් පසු කාලයක දී වාසු දේවත්, දි. මුත් පාර්ලිමේන්තුවේ එක පිලකට අයත් ගජ මිතුරෝ දෙපළක් බවට පත්ව සිටියහ.
1965 මහ මැතිවරණය වනවිට ලංකා සමසමාජ පක්ෂයට ළැදි නීති ශිෂ්‍යයෙක්ව සිටි වාසුදේව නානායක්කාර හබරාදුව අසුනට තම පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කරවීමට ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට තදබල අවශ්‍යතාවක් තිබුණේය. එහෙත් ප්‍රදේශයේ උග්‍ර යූ.ඇන්.පී. කාරයන් වූ වාසුගේ දෙමාපියන් ඇතුළු පවුලේ සමීප සාමාජිකයන්ගේ තදබල විරෝධය නිසා අවසන් මොහොතේ එම උත්සාහය අසාර්ථක විය.
“ලොකු පුතා මොකටද ඔය හිඟන පක්ෂයෙන් තරග කරන්නේ? උඹට පර්ලිමේන්තුවට යන්න ඕනනං ඔය විභාග වැඩ ඉවරයක් කරපුදාට මම යූ.ඇන්.පී. එකෙන් ටිකට් එක අරගෙන දෙන්නං!” යි කී ඔහුගේ පියාවූ ප්‍රැන්සිස් නානායක්කාර මහතා තම පුත්‍රයාගේ සහය එ.ජා.ප.ය පැත්තට ඇද ගැනීමට ලොකු උත්සාහයක් දැරුව ද හෙතෙම ඊට මුනිවත පෑවේය. අන්තිමේදී සිදු වූයේ වාසු හබරාදූව ආසනය සඳහා ල.ස.ස.ප.යෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට බැඳගෙන වැඩ කිරීමය. එහෙත් එවර වාසුලා දැරූ උත්සාහය අසාර්ථක විය.
කෙසේ වෙතත් 1965 මහ මැතිවරණයෙන් ජයගත් එ.ජා.ප.ය ආණ්ඩු බලය පිහිටුවන ලද්දේ එ.ජා.ප නායක ඩඞ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. දේශපාලන පක්ෂ 7ක් එකතු කර පිහිටුවන ලද එම ආණ්ඩුව වාසුලාගේ ගර්හාවට ලක්වූයේ හත් හවුල් ආණ්ඩුව යන අපහාසාත්මක යෙදුමකිනි. එපමණක් ද නොව එම ආණ්ඩුවට විරෝධය පා ල.ස.ස.පය ඇතුළු සමගි පෙරමුණ සන්ධානයෙන් සංවිධානය කළ දැවැන්ත පෙළපාළි සහ උද්ඝෝෂණවලදී වාසුදේව ද ඉහළින්ම කැපී පෙනුණු සටන් සෙබළෙකු විය. එකල ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ කර්තෘ සහ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩී. එච්. අබේසිංහ මහතා අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා හැඳින්වූයේ ජාතියේ සඳුන් රුක වශයෙනි. එහෙත් ඊට පටහැණි පිළිවෙතක් අනුගමනය කළ ‘ඇත්ත’ කර්තෘවරුන් වූ එච්. ජී. එස්. රත්නවීර සහ බී. ඒ. සිරිවර්ධන යන මහත්වරු ඩඞ්ලි පචබාහු, පිටිබාහු වැනි නොයෙකුත් විකට නම්වලින් හැඳින්වූහ. වාසු එවැනි විකට යෙදුම් ජනතාව අතරට ගෙන ගියේ ඉමහත් අභිරුචියකිනි.
1965න් පසු එළිවුණු තත්ත්වය එසේ වුවද මෙරටට නිදහස ලැබීමෙන් පසු පවත්වන ලද 1952 මහ මැතිවරණයේදී වාසුදේව නානායක්කාර ඩඞ්ලි සේනානායක මහතාගේ එ.ජා.ප.ය ජයග්‍රහණය කරවීම සඳහා බොක්කෙන්ම වැඩ කළේය. එකල වාසුලා විසූ මිහිරිපැන්න ප්‍රදේශය ඇතුළත් වැලිගම ආසනය වර්තමානයේ හබරදූව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් ද සමන්විත අතිවිශාල මැතිවරණ කොට්ඨාසයක් විය. එහි එ.ජා.ප අපේක්ෂකයා වූයේ ඊට පෙර පැවැති ආණ්ඩුවේ බල කණුවක් වූ මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාය. ඒ කාලයේ මොන්ටේගු ජයවික්‍රම මහතා වාසුලාගේ මිහිරිපැන්නේ පිහිටි නිවසට නිතර ආගිය පවුලේ හිතවතකු විය.
“ඉතින් කොහොමද ප්‍රැන්සිස්, ඔන්න මෙදා සැරෙත් ඔහෙලට තමයි මගේ ඉලෙක්ෂන් කැම්පේන් එක ගෙනියන්න වෙන්නේ”
මොන්ටි එසේ කියන්නේ ඒ අසල සිටින වාසු දෙස ද බලමිනි. වාසු එකල ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයකු විය.
“ආ.. ඒ ගැන මොනවට කතා කරනවද” යි අසන වාසුගේ පියා ඊළඟට කරන්නේ ගෙතුළට ගොස් අල්මාරියෙන් ගත් මුදල් නෝට්ටු මිටියක් රැගෙන ලොක්කාගේ අතට දීමය. වාසුලාගේ මිහිරිපැන්නේ නිවසේ දී එවැනි සිදුවීම් එකල බොහෝ විට ප්‍රතිරූපණය විය.
“මට මතක හැටියට ඒ හැම මහ මැතිවරණයකදීම වගේ අපේ අප්පොච්චි කොළ පාට සාරි පනස් දාහක් විතර ඉන්දියාවෙන් ගෙන්නලා අපේ පළාතේ තිබුණු එ.ජා.ප මැතිවරණ ප්‍රචාරක රැලිවලදී බෙදා දුන්නා. අපේ අප්පොච්චි ගාල්ලේ අමරසූරිය මහත්තයටත් බැඳගෙන වැඩ කෙරුවා. ඒ දවස්වල අපේ ගෙදර මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් වගේ. අපේ ගෙදර කුස්සිය ඊට හපන්. කොහොමත් දවසකට තුන් හාරසීයකට විතර කෑම දෙන්නේ අපේ ගෙදරින්. මටත් ඒ දවස්වල හරියට වැඩ” වාසු එසේ කියන්නේ සිනාසෙමිනි. මහ මැතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වනවිට ගමේ යහළුවන් සහ තම විද්‍යාලයේ පන්ති මිතුරන් හැට හැත්තෑවක් පමණ දෙනා සමඟ කොළ පැහැති ක්‍රේප් කොළවලින් සරසන ලද බයිසිකල්වල නැගී කොළ පැහැති ටී ෂර්ට් සහ කැප් තොප්පි පැලඳ වාසුලා මුළු වැලිගම ආසනය පුරා සැරිසරන්නේ “අපි මොන්ටිට - මොන්ටි අපට, මොන්ටි ජයවික්‍රම දිනේවා!” ආදී වශයෙන් සටන් පාඨ හඬනගා කියමිනි.
“අපි හැමෝගෙම පිටේ ඩඞ්ලි සේනානායක මහත්තයගෙයි, මොන්ටි මහත්තයගෙයි පින්තූර එල්ලාගෙනයි අපි ඒ විදියට දවසකට හැතැක්ම තිහ හතළිහක්ම යන්නෙ. අපේ කට්ටිය හැටහැත්තෑවක් බයිසිකල්වලින් පාරේ යනකොට හරිම ලස්සනයි. කොයි තරම් ලස්සනද කියනවානං පාර දෙපැත්තේ ගෙවල්වල ඉන්න ගෑනු ළමයි පාරට දුවගෙන එනවා. ඒ අතරේ මොන්ටිත් එක්ක තරග කරන පානි ඉලංගකෝන් මහත්තයාගේ බයිසිකල් පෙළපාළිත් මගදී මුණ ගැහෙනවා. හැබැයි දෙපාර්ශ්වය අතර කිසිම කලබැගෑනියක් නෑ, අපි කියනවා මොන්ටිට ජයවේවා! ඒ අය කියනවා පානිට ජයවේවා! කියලා එච්චරයි.”
වාසු එසේ ආවර්ජනය කරන්නේ තමන් එ.ජා.පයේ ජයග්‍රහණය සඳහා වැඩ කළ 1952 මහ මැතිවරණය සමයේ අත්දුටු සිදුවීම ගැනය. එවර මහ මැතිවරණයෙන් එ.ජා.පයේ මොන්ටි ජයවික්‍රම තම ප්‍රතිවාදියා වූ ස්වාධීන අපේක්ෂක පානි ඉලංගකෝන් පරාජය කරමින් වැඩි ඡන්ද 2591කින් ජය ගත්තේය. එදින තමන්ගේ සිතට අතිවිශාල ප්‍රීතියක් දැනුණ බව වාසුදේවට තවමත් මතකය.
නිහාල් ජගත්චන්ද්‍ර