වැඩිම මනාපය තවමත් චන්ද්‍රිකාට


වරක් යුඇන්පී ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය දැරූ යු. බී. වන්නිනායක මහතා අයවැය කතාවේදී ගෙන ආ යෝජනා ශ්‍රීලනිප මන්ත්‍රීනි ශිවා ඔබේසේකර මහත්මිය විසින් දන්නා සිංහලෙන් විවේචනය කළේ මෙසේය.


‘දිලිසි දිලිසි යැංකිපනේ 
හරිම බජට්ටුවකි මේක
ඔබේ ප්ලෑන් ලොකු උන්ටයි 
අනෙක් උන්ට මොකවත් නෑ’


පාර්ලිමේන්තුවේ ඇතැම් කාන්තාවන්ගේ හඬ පෞරුෂය හා සටන්කාමිත්වය නිසා වාද විවාද ආරවුල් තත්ත්වයට පත්වූ වාර බොහෝය. 
‘වට්ටි අම්මා’ කටසැර අම්මන්ඩි’ යනුවෙන් ඇතැම් මන්ත්‍රීවරු බැණ වැදුණහ. කාන්තාවන්ට ලිංගික හිංසන හා අයුතු යෝජනා කරන බවටද පසුගියදා මැසිවිලි නැගිණි. කෙසේ වුවත් පාර්ලිමේන්තු විනය නීතිය යටතේද සාමාන්‍ය කාන්තා හා ළමා හිංසන නීතිරීති යටතේද එසේ කිරීම සාවද්‍ය බව කවුරුත් දනිති.


නව වැනි පාර්ලිමේන්තුවේදී වැඩිම කාන්තා නියෝජනයක් සිදුවූ අතර දස වැනි පාර්ලිමේන්තුවේදී එනම් 1994 දී බිහිවු ආණ්ඩුව තුළ මැති ඇමැතිවරියන් පමණක් නොව මෙරට දෙවන අගමැතිනියද බිහිවිය. 


ඒ බණ්ඩාරනායක අගමැති යුවළගේ බාල දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි.  ගම්පහ දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇය ශ්‍රී ලංකාවේ මෙතෙක් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරිය ඇගේ මනාප ගණන 4,64,588කි. 
94 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරියෝ නව දෙනෙකි. ඔවුන් මෙසේය. 


ගම්පහෙන් චන්ද්‍රිකා කුමාරතුංග, කොළඹ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලිගේ බිරිඳ වූ ශ්‍රීමනී, මොනරාගලින් සුමේධා ජී. ජයසේන, කළුතරින් සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර, බදුල්ලෙන් හේමා රත්නායක, මුල්කිරිගලින්, නිරූපමා රාජපක්ෂ, වලපනෙන් රේණුකා හේරත්, ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක, රත්නපුරෙන් පවිත්‍රා වන්නිආරච්චි.


ශ්‍රීමනී ඇතුළත්මුදලි මහත්මිය මුල් වරට දේශපාලනයට පිවිසුණද ඇයට ලක්ෂ  එකහමාරක මනාප ඡන්ද ලැබුණ අතර ප්‍රවාහන අමාත්‍යධුරයෙන්ද පිදුම් ලැබුවාය. පාරිසරික හා වනිතා කටයුතු ද ඇයට පැවරිණි. 


මේ අතර අමරා පියසීලි රත්නායක සහ රේණුකා හේරත් නොඩකවා තුන්වරක් සභාව නියෝජනය කළ බව අපට මතකය. 


චන්ද්‍රිකා  කුමාරතුංග මහත්මිය බස්නාහිර මහ ඇමැති පදවියෙන් ඇරඹූ දේශපාලන ඡන්ද සටන අගමැති තනතුරින් ඔපවත්ව විධායක ජනාධිපති ධුරයෙන් අවසන් විය. යු.ඇන්.පී. රජය විසින් ප්‍රජා අයිතිය අහෝසි කර  මැතිවරණ සඳහා තරග කිරීමේ වරම තහනම් කර සිටියදී නව ජනාධිපතිනි චන්ද්‍රිකා ඇයගේ බාධක බිඳදමා අග්‍රාමාත්‍ය ධුරයෙන් මව පිදුවාය. 


ඒ වනවිට සිරිමාවෝ මැතිනිය දෙවරක් විපක්ෂනායක ධුරයද දරා තිබිණි.

 
1994 දී විධායක ජනාධිපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා වූයේ යුඇන්පීයේ ගාමිණි දිසානායක මහතාය. අති බිහිසුණු එල්ටීටිඊ ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ දිසානායකයෝ තොටළඟ පැවැති ප්‍රචාරක රැලියේදී බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විය. 


එතුමාගේ බිරිඳ ශ්‍රීමා, සැමියා වෙනුවට ජනපති සටනට එක්වූවාය. එහෙත් ඇයට චන්ද්‍රිකා හමුවේ පරාජය භාර ගැනීමට සිදුවිය. 2000 වසරේ 11 වන පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී මණ්ඩලයට කාන්තා නියෝජනය වූයේ නව දෙනකු වැනි සුළු පිරිසකි. ඒ 1994 ට වඩා 13%ක අඩුවීමකි.


මුල් යුගයේ තරගවැදුණු අපේක්ෂිකාවන් කිහිප දෙනකුට තම අසුන රැක ගන්නට නොලැබුණු අතර වැඩි වාරයක් තරගවැදී තම අසුන රැකගත් කතුන් රැසක්ද වෙති. 


මන්ත්‍රී පදවියට අමතරව කාන්තාවෝ රැසක් උප ඇමැති, ඇමැති තනතුරු ලැබූහ. 1956 දී සෞඛ්‍ය ඇමැති ලෙස විමලා විජයවර්ධන පත්වූ අතර ඇය කැබිනට්ටුව නියෝජනය කළාය. ශිවා ඔබේසේකර 1976-77 යුගයේ සෞඛ්‍ය ඇමතිවරියයි. විමලා කන්නන්ගර 1977දි කැබිනට් ඇමැතිවරිය වන්නේ නාවික ගුවන් ගමන් හා සංචාරක අමාත්‍යාංශයේය. 


සුනේත්‍රා රණසිංහ 1983 සිට කාන්තා කටයුතු ඇමැතිනියයි. 1947 සිට 2004 දක්වා කාන්තා ඇමැතිවරියෝ 17 දෙනකු පදවි දැරූහ. 
මෙලෙස කාන්තාවන් පාර්ලිමේන්තුවට පත්වීමේ හේතු කිහිපයක් දක්විය හැකිය. පවුල් පසුබිම, වාමාංශික පසුබිම හා ධනබලයයි. ජනප්‍රිය දේශපාලන පවුල් පසුබිමක් ඇති කාන්තාවන්ට මේ රටේ ඉහළට ජනප්‍රසාදය හිමිවිය. ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්, පියවරුන් හා ඥාතින් ස්වභාවික හෝ අස්වභාවික ලෙස මරණයට පත්වීම නිසා ඇතිවූ කම්පනය ඡන්ද බලය වැඩිවීමට ආසන්නම හේතුවකි.

 
මුල් යුගයේ වාමාංශික නායකයන් කෙරේ නායකවගේ තිබූ දැඩි ආදරය හා විශ්වාසය නිසා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට  සහෝදරත්වයෙන් සැලකිමට ජනතාව පෙළඹුණහ. එම පවුල්වල පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද ඔවුන් තුළ වූයේ ගෞරවයකි. 
ශ්‍රී ලංකාව හා සමකාලින ලෝක නායිකාවන් ගැන බැලීමේදී ද මේ හා සමාන වාතාවරණයකදී ඔවුන් බලයට පැමිණි බව පෙනේ. 
ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, පාකිස්ථානයේ බෙනසීර් භූතෝ, බංග්ලාදේශයේ ඛලිඩාෂියා හා ශික් හසිනා, එංගලන්තයේ යකඩ ගැහැනිය හෙවත් මාර්ග්‍රට් තැචර්, ඊශ්‍රායලයේ ගෝල්ඩා මෙයර්, ඉන්දුනීසියාවේ සුකර්ණෝ පුත්‍ර්‍රි, ජර්මනියේ ජාදින්, මියන්මාරයේ සුකී ආදින් බලයට පත්වූයේ බලය  පමණක් නොව ආදරය හා අනුකම්පාව නිසාය. 


2004 වසරේ මහ මැතිවරණයට ස්ත්‍රීහු 375ක් ඉදිරිපත් වුහ. 


1987 දී පළාත් සභා පිහිටවූ අතර 1989 දී පැවැති තිරස්චිත බිහිසුණු භීෂණය නිසා ඡන්දය ඉල්ලනු තබා ඡන්දය දීමටද නොහැකිවන පරිදි ජනතා නියෝජිතයෝ අසරණ වූහ. 1993 වන විටද එම පසුබැසීම පැවැතිඅතර මෙරට ප්‍රථම මහ ඇමැතිවරිය බිහිවුණේ මෙම කාලයේය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. 


පළාත් සභාවල කාන්තා නියෝජනය පිළිබඳව වෙනමම කතා කළ යුතු වුවද ජාතික දේශපාලනයට ඔවුන්ට පාර කැපුණේ පළාත් දේශපාලනය නිසා බවද කිව මනාය. යළි මෙරටේ පාර්ලිමේන්තු කාන්තා නියෝජිතත්වය වැඩිකළ යුතු යැයි තදබල යෝජනා  ඉදිරිපත්වි ඇති යුගයක අපගේ අවධානය ලෝකය දෙසටද  යොමුවිය යුතුය.


පකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය කාන්තාවන් සඳහා ඡන්ද කොට්ඨාස වෙන්කර ඇත. කාන්තා දේශපාලන අයිතිවාසිකම් උදෙසා රටවල් අටක පමණ අනුග්‍රහය ලැබී පවතී. ඒ මාතෘ මුලික සමාජයක ඇති වටිනාකම තේරුම් ගැනීමට තරම් එතෙර දේශපාලන බලධාරීන් බුද්ධිමත් නිසාය.

 

 

 

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි