වැරැදි තීන්දුවෙන් කිරුළ අහිමි කරගත් කම්කරු නායකයා


මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළත් වැඩ කරන ජනතාව අතරේත් 1933 වසරට පෙර අවදියෙහි ඒ. ඊ. ගුණසිංහ මහතාට හිමිව තිබුණේ විශාල පිළිගැනීමකි. ගෞරවයකි. 1933 වැල්ලවත්ත රෙදි මෝලේ ඇති වූ වැඩ වර්ජනය ගුණසිංහ මහතාගෙන් වැඩ කරන ජනතාව ඈත්වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.


1899 වසරෙහි ආරම්භ කරන ලද වැල්ලවත්ත රෙදිමෝලේ අයිතිය ඉන්දියානු ජාතිකයන් සතුවිය. ලංකාවේ එවකට තිබූ විශාලම රෙදි කම්හල වූ මෙහි පුහුණු හා නුපුහුණු කම්කරුවෝ 1400 ක් පමණ සේවය කළහ.


ලංකාවටද බලපාන ලෙසින් ලෝක ආර්ථික පරිහානියක් ඇති වූයේ වැල්ලවත්ත රෙදි මෝලට පමණක් නොව සියලු කර්මාන්තවලට බලපෑමක් ඇති කරමිනි. වැල්ලවත්ත රෙදි මෝලේ පාලකයෝ සියලු සේවකයන්ගේ වැටුප් අඩු කිරීමට පියවර ගන්නා බවට සියලු සේවකයන්ට දැනුම් දුන්හ. මෙරට වැඩපළක වැටුප් අඩු කිරීමක් ගැන තීරණයක් ගත් පළමු අවස්ථාවද මෙය විය.


වැල්ලවත්ත රෙදි මෝලේද පැවතුණේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ වෘත්තිය සමිතියකි. 1923 - 1926 හා 1929 වසරවලද ගුණසිංහගේ නායකත්වයෙන් මෙහි වැඩ වර්ජන ඇතිව තිබිණ.
වැටුප් අඩු කරන්නට පාලකයන් ගත් තීරණයත් සමග ඇවිස්සුණු කම්කරුවෝ එක්රොක්ව හදිසියේම වැඩ වර්ජනයකට යොමුවූහ.


මෙම කම්කරුවෝ සියලු දෙනාම පෙත්සමක් අත්සන්කර ආණ්ඩුවට බාරදුන් අතර මෙම වැටුප් අඩුකිරීමේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන්නැයි ඒ. ඊ. ගුණසිංහ මහතාටද ආයාචනයක් කළෝය.


කවදාවත් නොවූ ලෙස ගුණසිංහ මහතා කම්කරුවන්ට දැනුම් දුන්නේ වැඩ වර්ජනය නවත්වා ආපසු වැඩට යන ලෙසය. ඔහු ඊට හේතු ලෙස දැක්වූයේ කලින් දැනුම්දීමකින් තොරව වර්ජනය කිරීම සංගමය හා සේවය සම්මේලනය අතර අත්සන් කර ඇති ගිවිසුම උල්ලංඝනය කිරීමක් මෙන්ම වර්ජනයට සම්බන්ධ සේවකයන් රැසකගේ සංගම් සාමාජිකත්වය අහෝසි වී ඇති බවත්ය.


වැටුප් අඩු කිරීමක් ගැන ගිවිසුමේ නොමැති බවත්, වැඩ වර්ජනය කිරීමේදී සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නැති අතර කළ යුත්තේ ඔවුන්ගේ සාමාජිකත්වය අලුත් කිරීම පමණක් බවත් වර්ජිත කම්කරුවෝ කියා සිටියහ.


ගුණසිංහ මහතා රෙදිමෝලේ කම්කරුවන්ට අවනත නොවීය. මෙම සිද්ධිය අනෙකුත් ආයතනවල වෘත්තිය සමිති වෙත ද ගලා ගියේය.


කරගත හැක්කක් නොවූ තැන රෙදිමෝලේ සේවකයෝ ඊට නුදුරුව පදිංචිව සිටි තරුණ නීතිඥයකු මෙන්ම එවකට පැවති තරුණ සංගම් ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු ද වූ නීතිඥ එච්. ශ්‍රී. නිශ්ශංක මහතා හමුව තම සටනට සහාය ලබාදෙන ලෙස ඉල්ලූහ.


“එංගලන්තයේ ඉඳල මේ මෑතක ලංකාවට ආපු හොඳ උගත් බුද්ධිමත් මහත්මයෙක් ඉන්නවා. ඒ වගේම එයා හොඳ නීතිඥයෙක්. ඔයගොල්ලන්ගේ නඩුව ඉදිරිපත් කරන්න හොඳම කෙනා එයා” යැයි වර්ජිත කම්කරුවන්ට කරුණු පැහැදිලි කළ එච්. ශ්‍රී නිශ්ශංක මහතා ඔවුන්ව යැවුවේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අලුතින් ආරම්භ කළ කාර්යාලය වෙත ය.
කොල්වින්ගෙන් මෙම කම්කරු පිරිසට ලැබුණේ හොඳ ප්‍රතිචාරයකි. “මේකට අපි නඩු ගිහින් වියදම් කර ගන්න ඕනැ නැහැ. මේක සාධාරණ කරුණක්. වැටුප් අඩු කරන්න කොම්පැනි අයිතිකාරයන්ට බැහැ. අපි අලුතින් සමිතියක් පිහිටුවාගෙන සටන ඉදිරියට ගෙන යමු. අපිට මේක දිනන්න පුළුවන්” කොල්වින් කම්කරු පිරිසට කීවේය.


එවකට වාමාංශික ව්‍යාපාරයට පෙර මං තැනූ දකුණු කොළඹ තරුණ සංගමයේ සියලු සාමාජිකයෝ මෙම සටනට සහායදීමට එකතු වූහ. ඔවුනතර පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, ඇස්. ඒ. වික්‍රමසිංහ, බර්නාඞ් සොයිසා, රොබට් ගුණවර්ධන, වර්නන් ගුණසේකර, ජේ. ඩබ්ලිව්. සේනානායක, සුසන්ද සිල්වා, එච්. ශ්‍රී නිශ්ශංක වැනි පිරිස් සමග අප්පුහාමි, කුට්ටන්, රාමයියා වැනි ක්‍රියාකාරි කම්කරු සටන්කාමීහුද වූහ.


1933 පෙබරවාරි 23 වැනිදා වැඩපළේ සියලු කම්කරුවෝ එක්ව නව සමිතියක් ආරම්භ කළහ. එයට නම තබන ලද්දේ “වැල්ලවත්ත රෙදිමෝලේ කම්කරු සංගමය” ලෙසිනි. සභාපති පදවියට පත් කර ගත්තේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. වර්නන් ගුණසේකර සහ ජේ. ඩබ්ලිව්. සේනානායක සම ලේකම්වරු වූහ.


වැඩ වර්ජනය දෙමාසයක්ම ඇදී ගියේය. මේ කාලය තුළ ගුණසිංහගේ උත්සාහය වූයේ පාලකයන් හෝ ආණ්ඩුව විසින් අලුත් සමිතිය පිළිගැනීම වැළැක්වීමයි. අලුත් සමිතිය සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ රෙදි මෝලේ පාලකයෝ ගුණසිංහ මහතා හැර වෙනත් කිසිවකු පිළිනොගන්නා බවද කියා සිටියෝය. කම්කරු සංවිධාන කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් කම්කරුවන් නොමග යවන බවට ගුණසිංහ තරුණ සංගම් ව්‍යාපාරයට චෝදනා කළේය.


කම්කරුවන් ජීවත්වීම සඳහා රැකියාව යන එකම අරමුණින් සංවිධානගතවීම හැර ජාති කුල ආගම් ගැටලු ඔවුන්ට නොවීය. ගුණසිංහ මහතා කළ බරපතළම ප්‍රහාරය වූයේ ජාතිවාදය මතු කිරීමයි. එවකට මලයාලි ජාතිකයෝ මෙරට විශාල වශයෙන් සේවය කළහ. රෙදිමෝලේ සෑහෙන මලයාලි පිරිසක් වූහ. මලයාලි විරෝධී හැඟීම් ඇවිස්සීමට ගුණසිංහ ගත් ප්‍රයත්නය යම් තරමකට බලපෑමක් ඇති කළේය.


වර්ජනය කඩා කප්පල් කිරීමේ අරමුණින් මෝල තුළට සිංහල හොරිකඩයන් යැවීමට ගුණසිංහ කළ වෑයම නොසන්සුන්තාව දෙගුණ කිරීමට හේතුවිය. වැඩට යාමට කැමැති අයට ආරක්ෂාව සැපයීමට යැයි කියමින් වරාය, පිටකොටුවේ යම් පිරිස් ලොරිවල නංවා මෝල ඇතුළට යවා වැඩට යාමට කැමැති අයට ආරක්ෂාව සැලසීමට එය කළ බව කීවේය. පිටින් ගෙන එන්නන් හා මලයාලින් අතර ගැටුම් ඇති කිරීම පොලිසියටද මැදිහත්වීමට තරම් බරපතළ තත්ත්වයක් නිර්මාණය විය.


ජාතිභේද උග්‍ර වී පැතිරයන තත්ත්වයක් එළඹිය හැකි බැවින් මෙම වර්ජනය සමථයකට පත් කිරීමේ අවශ්‍යතාව කම්කරු ඇමැතිවරයා ආණ්ඩුකාරයාට දැන්වීය. ප්‍රතිඵලය වූයේ 1931 කාර්මික ආරවුල් ආඥාපනත යටතේ රෙදි මෝලේ ප්‍රශ්නය සමථයකට පත් කිරීම සඳහා කොමිෂමක් පත්කිරීමයි.


කාර්මික ආරවුලක් සමථයකට පත් කිරීම කාර්මික ආරවුල් ආඥාපනතේ විධිවිධාන යොදාගත් ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.


කොමිසන් සභාවේ වාර්තාවද ඉක්මනින් ලැබිණි.


සාකච්ඡා නොකර වැඩ නැවැත්වීම එමගින් කම්කරුවන්ට දොස් පවරා තිබිණි. කම්කරුවන් වැඩට යැවීමට ගුණසිංහ දැරූ උත්සාහයද සාධාරණ බව දැක්විණි.
රෙදි මෝලට මුල්‍යමය සහනයක් අවශ්‍ය නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් වැටුප් අඩු කිරීම අවශ්‍යම දෙයක් බවද සාධාරණීකරණය කර තිබිණි.


සියයට 12 කට වැඩි ප්‍රමාණයකින් වැටුප් අඩු නොකළ යුතු බවද එහි නිර්දේශයකි. 


රෙදි මෝලට ඇති මුදල් අමාරුකම් නිසා කම්කරුවන් ඉල්ලන අනෙකුත් පහසුකම් ලබා දීම්ද නිර්දේශ කළ නොහැකි යැයි කොමිසන් වාර්තාවේ දක්වා තිබිණි.
කම්කරු සමිතියත්, කම්කරුවෝත් මෙම වාර්තාවට විරෝධය පාන්නට වූහ. පුදුමයට මෙන් ඒ. ඊ. ගුණසිංහගේ කම්කරු සංගමය කොමිසමේ වාර්තාවට සතුට පළකිරීමට රැස්වීමක් සංවිධානය කළේය.


මෙම වාර්තාව යුක්ති සහගත හෝ සාධාරණ නොවූවක් බැවින් එය පිළිගැනීමට ගුණසිංහට අවශ්‍ය වූවාට කම්කරුවන් සූදානම් නැතැයි නව රෙදිමෝලේ සමිතියේ සභාපති කොල්වින් ආර්. ද සිල්වා කීවේය.


දැනට පවතින වැටුප් සාධාරණ නොවී තිබියදී තවත් අඩු කිරීමට යෝජනා කිරීම කිසිසේත් යුක්ති සහගත නොවේ යැයි කොල්වින් කිීවේය.


අපට දැන් සටන් කිරීමට සිදුව ඇත්තේ වෘත්තිය සමිතියක් සමග නොව බලගතු දැනුම් සම්භාරයකින් යුත් සංවිධානයක් සමග යැයි රෙදි මෝලේ පාලක තැන වාර්තා කළේය.
වැඩවර්ජන කාලය තුළම එම කම්කරුවන්ගේ අවශ්‍යතා, කෑම බීම ආදිය සඳහා තරුණ සංගම් ව්‍යාපාරය අරමුදල් රැස් කිරීම් හා සහනාධාර බෙදාදීම් ආදිය කරන ලදි.
කුපිතකරවන සුලු අවලාද, නින්දා, ඇනුම් බැනුම්, කඩාකප්පල්කාරී සිදුවීම් සහ ජාතිභේද වාදී වෛරය ඇවිස්සීම් ගැන නව රෙදිමෝලේ සමිතියේ සම ලේකම් වර්නන් ගුණසේකර ගුණසිංහට චෝදනා කළේය.


වැටුප් අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ගුණසිංහගේ වෘත්තිය සමිතිය නාමික විය. සෑම ආයතනයකම පාහේ ගුණසිංහගේ සමිති දෙදරුම් කෑවේය. වර්ජනයෙන් වසර දෙකක් යන විට රටපුරා තරුණ සංගම් නායකයෝ, ක්‍රියාකාරිහු එක්ව ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය පිහිටුවූහ. වැල්ලවත්ත රෙදි මෝල සමිතියේ සභාපති ලංකා සම සමාජ පක්ෂයේ සභාපති විය. එහි සම ලේකම් වර්නන් ගුණසේකර ලංකා සමසමාජ පක්ෂයේ සමලේකම් විය.
ඒ. ඊ. ගුණසිංහ යටතේ තිබූ සියලු වෘත්තීය සමිති ජාතිවාදී සංශෝධනවාදී ගුණසිංහගේ ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කර ලංකා සම සමාජ පක්ෂයේ සටන්කාමී වෘත්තිය සමිති සමග පෙළගැසෙන්නට විය.


මෙරට වාමාංශික නායකයෝ සිය ප්‍රථම වෘත්තිය සමිති අත්දැකීම් ලබාගත්තේ වැල්ලවත්ත රෙදි මෝලේ සටනින් නිසා එයද ඉතිහාසයට එක් වූ ඓතිහාසික කරුණක් වෙයි.

 

 


දයා සෝමසිරි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි