වැලිකතර ගිනියම් කළ කටාරයේ පුරාණයෙන්


 

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය ශ්‍රී ලංකාවට දෙආකාරයකින් බලපානු ලබයි. එයින් පළමුවැන්න මෙරට පුරවැසියන් දහස් ගණනක් එරට රැකියාවල නියුක්තව සිටීමය. දෙවැන්න මෙවැනි අවස්ථාවක නිසැකවම සිදු විය හැකි පරිදි තෙල් මිල ඉහළ යාම නිසා අපේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑමයි. තවත් සාධක තිබිය හැකිය. ප්‍රධාන වශයෙන්ම මෙම කරුණු දෙක නිසා පමණක් වුවද සිදුවන බලපෑම සුළුපටු නොවේ. ඒසා විශාල ගැටලු නිර්මාණය කරන මෙම කටාර් අර්බුදයේ කතාන්දරය සවිස්තරව සොයා බැලීම සහ අවබෝධ කර ගැනීම කාලෝචිතය.


වසර පහළොවක් තරම් දීර්ඝ කාලයක් මම මැදපෙරදිග රටක වාසය කළෙමි. එකල කුඩා දැරියක වූ මගේ දියණිය මගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවාය. ඒ රටවලට මැද පෙරදිගයැයි කියන්නේ ඇයි? මම එය ඇයට පහදා දුනිමි. කලකට පෙර පෙරදිග කලාපය කොටස් තුනක් වශයෙන් හැඳින් වූ බවත් ඒවා ඈත පෙරදිග මෑත පෙරදිග සහ මැද පෙරදිග නම් වූ බවත් මම ඇයට විස්තර කළෙමි. ඉන් පසු මැද පෙරදිග රටවල් ගැනද කෙටි විස්තරයක් කියා දුනිමි. ඇය සෑහීමට පත් වූවාය. කල් යාමේදී ඇය වඩා ගැඹුරෙන් යමක් විමසනු ඇතැයි සිතූ මම එයට පෙර සූදානමක් වශයෙන් අරාබි ඉතිහාසය දැන ගැනීමට උනන්දුවක් දැක්වූවෙමි. එහෙත් ඇය කිසි දිනක ඒ ගැන මගෙන් විමසුවේ නැත. ඒ නිසා මම දැනගත් දේ අද ඇයගේ දරුවන්ට කියා දෙන්නෙමි. මෙම ලිපියේ ප්‍රවේශයට එය කදිම සටහනක් ලෙස මම සලකමි.


ඉන්දියාවේ ප්‍රකට ජන නායකයෙකු ඇමතිවරයෙකු සහ එරට නිදහස් සටනේ නායකයෙකුද වූ සර්දාර් වල්බායි පතේල් වරක් උපහාසයෙන් යුතුව මෙසේ කියා ඇත. “ඔබට ලෝක ඉතිහාසය කියවීමට අවශ්‍ය වුවහොත් විවිධ රටවල ඉතිහාසය සොයමින් කියවමින් වෙහෙසට පත් නොවන්න. ඒ සඳහා බි්‍රතාන්‍ය ඉතිහාසය කියවන්න එය ප්‍රමාණවත්ය.” මෙහි සැඟවුණු අර්ථය වන්නේ කලකට පෙර ලෝකය බි්‍රතාන්‍යයේ අභිමතය යටතේ පැවති බවයි. මහාද්වීප පහේම විහාල භූමි ප්‍රමාණයක් අරා පැතිරෙන මහා අධිරාජ්‍යයක් ඔවුන් සතුව පැවතුනි. ඒ හරහා බි්‍රතාන්‍යයේ රාජ්‍ය භාණ්ඩාගාරයට ගලා ආ ධනස්කන්ධය නිසා එරට වැසියෝ සමෘද්ධිමත්ව වාසය කළහ. මෙවැනි බලවත්කම් නිසා එරටට යටත් නොවූ ජනයාට පවා බලය පෑමට ඔවුන්ට ශක්තිය තිබුණි. ධනය හා බලය පිළිබඳව සැලකීමේදී පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ මෙම ක්‍ෂෙත්‍ර දෙකෙහිම තෘප්තිමත් වූ කෙනෙකු ලොව නැති වීමය. තව තවත් ධනය සහ බලය සොයමින් කටයුතු කිරීම මානව සංහතියේම ගති සොබාවය.


ඊළඟට මැද පෙරදිග නමැති භූමි කලාපය හඳුනා ගැනීම උචිතය, ඩබ්ලිව්. බී. පිෂර් නමැති භූගෝල විද්‍යාඥයා සඳහන් කරන අන්දමට ආසියාව, අප්‍රිකාව සහ යුරෝපයේද කොටස් මෙම කලාපයට ඇතුළත් වේ. බටහිර ආසියාවේ සවුදි අරාබිය. ජෝර්දානය, යේමනය, ඕමානය පර්සියානු බොක්කේ පිහිටි ධනවත් දූපත් රාජ්‍යයන් වන කුවේට්, කටාර්, බහරේන් මෙන්ම උතුරු අප්‍රිකාවේ පිහිටි ඊජිප්තුව, ලිබියාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඇල්ජීරියාව, මොරිටේනියාව ඇතුළු තවත් රටවල් රාශියක් මෙයට ඇතුළත් වේ. යුරෝපයේ රටක් ලෙස සැලකෙන සයිප්‍රසය සහ තුර්කියද මෙම කලාපයට අයත්වන බව පිෂර් සඳහන් කරයි. ඉතා පුරාණ කාලයේදී මහා ඬේරියස් සයිරස් ආදී අධිරාජයන් බිහි කළ පර්සියානු අධිරාජ්‍යයේ කීර්තිය තවමත් සිත තුළ රුවාගෙන දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉරානයත්, මිනිස් ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස සැලකෙන යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා නිම්නය ආශ්‍රිත පෙර මෙසපොටේමියාව සහ බැබිලෝනියාව යයි නම්ලත් වර්තමාන ඉරාකයද ඒ ආසන්නයේ සිරියාව සහ එයින් බෙදුණු ලෙබනනයද යුදෙව් දහමේ සහ කිතු උපතටද මග සැලසූ බිම වන පලස්තීනය මත ගොඩනැගුණ ඊශ්‍රායලය නමැති බලවත් රාජ්‍යයද මැද පෙරදිගට අයත්ය. 


ඉතා කර්කෂ වියළි පොළවක් සහ දේශගුණයක් සහිත මෙම රටවල එම උණුසුමට සරිලන පරිද්දෙන් රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලන සහ යුද උණුසුම නිරන්තරයෙන් රජකරයි. මෙම ප්‍රදේශවාසීහු අනාදිමත් කාලයක් මුළුල්ලේ ස්ථිර වාසස්ථානයක් නොමැතිව ඔටුවන් සහ බූරුවන් මත සකල සේසතම පටවාගෙන තවලම් ගමනේ යෙදෙමින් සංචාරක ජීවිතයක් ගත කළ ගෝත්‍රික මිනිස් කොට්ඨාසයක් වූහ. අරාබි වංශයට අයත් මොවුන් උද්‍යෝගයෙන් හා ක්‍රියාශීලී බවෙන් තොර අලස නිද්‍රාශීලි පිරිසක් වූ බව කියනු ලැබේ. මෙකී සිසිර නිද්‍රාවෙන් අරාබි ජනතාව මුදවා ගන්නා ලද්දේ අරාබියෙන් බිහි වූ ඉස්ලාම් ධර්මයේ සම්භවයක් සමගිනි. සවුදි අරාබියේ මක්කම නගරයේ විසූ මහම්මත් නබිතුමාණන් මගින් අල්ලාහ් නම් වූ සව්බලධාරී දෙවියන්වහන්සේ විසින් ලෝකයට ප්‍රකාශ කරන ලද ඉස්ලාම් ධර්මය ක්‍රි.ව. 570 දී අරාබි ජනතාව ප්‍රබෝධමත් කර අභිමානවත් ජාතියක් ලෙස පෙරට යාමට මග සැලැස්වුණි. සමස්ත අරාබිය පමණක් නොව එවකට ඉතා බලගතු රාජ්‍යයක් වූ යුරෝපයේ පිහිටි ස්පාක්‍ඳ්ක්‍ඳය දක්වා මුස්ලිම්වරු දිග්විජය කළහ. දැනටත් ස්පාක්‍ඳ්ක්‍ඳයේ දක්නට ලැබෙන එකී කොර්ඩෝමා නටබුන් අතර ඇති අල්-හම්රා මාලිගා පරිශ්‍රය එකී අරාබි වසන්තයේ අභිමානය සිහිපත් කරවයි. 


මෙම දීර්ඝ ජයග්‍රාහී ගමනේදී අරාබි සේනාවෝ ස්පාක්‍ඳ්ක්‍ඳය හරහා ප්‍රංශයටද කඩා වැදී පහර දුන් නමුදු ප්‍රංශයේදී එකී ඉදිරි ගමන ආපසු හැරවීමට ඔව්හු සමත් වූහ. ඒ වන විට ස්පාක්‍ඳක්‍ඳයේ සිට මොන්ගෝලියාව දක්වා එකම අධිරාජ්‍යයක් බවට පත්ව තිබුණි. ඉන්දියාවේ සින්දි ප්‍රාන්තයද මෙයට ඇතුළත්ව තිබුණි. ඒ වර්තමාන පකිස්ථානයේ කොටසක් බව කියනු ලැබේ. ඉස්ලාම් ආගමික නායකත්වය සහ රාජ්‍ය නායකත්වය එක විට දරමින් ඉතා බලවත් තත්ත්වයක සිටි නායකයා කාලිෆ් නමින් හැඳින්වුනි. මුල් යුගයේ මෙම තනතුර දරන ලද්දේ මහම්මත් නබිතුමාගේ පරපුරේ අය විසිනි. පසු කාලීනව මෙම කාලිෆ් පදවිය සම්බන්ධයෙන් ඇති වූ මතභේද නිසා හටගත් භේදයක් අනුව මුස්ලිම් ජන සමාජය සුන්නි සහ ෂියා යන නිකාය දෙකකට බෙදුණු බව කියනු ලැබේ. අද ලෝකයේ භීතිය මුසු කරන කටාර් අර්බුදයට මූලිකව ඇත්තේද මෙම ෂියා-සුන්ති මත ගැටුම බව විශ්ලේශකයෝ පවසති.


කාලය වේගයෙන් ගෙවී ගියේය. ඉරාකයේ බැග්ඩෑඞ් නගරයේ හරූන් අල් රෂීඞ් ආදී බලවත් රජුන් ගැනත් ඔවුන්ගේ මාලිගා, අන්තඃපුර සහ විඳින ලද සුරසැප ආදිය ගැන අපි අරාබි නිසොල්ලාසය වැනි පොත්පත්වල කියවා ඇත්තෙමු. පසු කලෙක සිරියාවේ දමස්කස් නුවරින් මෙම පාලනය බැග්ඩෑඞ් නගරයට මාරු විය. යුරෝපා ජාතීහු බලවත්ව ලෝකය පාලනය කිරීමේ වගකීම ඔව්හු  අතට ගත්හ - බි්‍රතාන්‍ය, ප්‍රංශය, ස්පාක්‍ඳ්ක්‍ඳය, පෘතුගාලය, ඕලන්දය, ඔස්ටි්‍රයාව ආදී යුරෝපීය ජාතීහු ලෝකයේ බැබළෙන්නට පටන් ගත්හ. අරාබිය හුදකලා විය. ලෝකයට අමතකව ගියාක් වැනි විය. පලස්තීනයේ පේරුසලමට වන්දනාවේ යන කිස්තියානු බැතිමතුන්ටත් මක්කම යන ඉස්ලාම් භක්තිකයන්ටත් පමණක් එය සීමාවිය. ලෝක දේශපාලන ක්‍ෂෙත්‍රයේ තැනක් හිමිව තිබුණේ මැද පෙරදිග කලාපයෙන්ම තුර්කියට පමණි. එය ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය නමින් බලවත්ව පැවතුනි.


එක් දහස් නවසියය ශතකය ලබන විටත් අරාබිය ලෝකයේ වැඩි අවධානයක් නොමැති දුගී රටක් විය. ඒ නිසාම ලොව බෙදාගැනීමට පෙර කෑ ධනවැද්දෝ මේ කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක් වූ බව පෙනී ගියේය. මෙකල අරාබි රාජ්‍යය පැවතියේ රටවල් දෙකක් වශයෙනි. ඒවා හැඳින්වුණේ හෙජාස් සහ නෙඞ්ජ් යන නම්වලිනි. ඉස්ලාම් ධර්මයේ උපත සිදු වූ මක්කම සහ මදීනා යන පූජනීය නගර සහ සුප්‍රසිද්ධ ජෙඩා වරායද පිහිටියේ හෙජාස් රාජ්‍යයෙහිය. ඉන් පහළට පර්සියානු බොක්ක දක්වා නෙජ් රාජ්‍යය විය. එය පාලනය කළේ ඉබන් සවුද් නම් කුමරුවෙකි. මක්කම මුල් කරගත් හෙජාස් රාජ්‍යයේ බලවතාවූවේ එවකට කාලිෆ් පදවිය බලාපොරොත්තුවෙන් සිටි ෂෙරිෆ් හුසේන් නමැති රාජකීයයෙකි. ඔහු ලවා කැරලි ඇතිකර තුර්කිය දුර්වල කිරීමට මගපාදාගත් බි්‍රතාන්‍ය ඉබන් සාවුද් කුමරුටද මසකට රුපියල් හැත්තෑ දහසක පමණ මාසික වැටුපක් ගෙවා තමන් යටතේ තබා ගැනීමට සමත් වූහ. උපක්‍රමශීලි පුද්ගලයෙකු වූ ඉබන් සාවුද් බි්‍රතාන්‍ය සහායද යම් පමණකින් ලබාගෙන නෙජ් රාජ්‍යයක් තමාගේ අණසක යටතට පත්කර ගත්තේය. සවුදි අරාබි රාජධානිය බිහිවූයේ ඒ ආකාරයෙනි. අදත් එම රාජ්‍යයේ රජකම දරන්නේ ඔහුගේ දරුවෝය. මෙයට පෙර කාලිඞ්, අබ්දුල්ලා, පාඞ් ආදී වශයෙන් සවුදි කිරුළ දැරුවේ වර්තමාන රජුගේ වැඩිමහල් සොයුරෝය.


නෙජ් රාජ්‍යයේ පාලනය අහිමි වූ ෂෙරිෆ් හුසේන්වද ඉවත නොදැමීමට බි්‍රතාන්‍යයෝ වග බලාගත්හ. ජාතීන්ගේ සංගමයේ අධිකාරී බලය ලැබූ බි්‍රතාන්‍යය පලස්තීනයට අයත් භූමියෙන් බෙදා වෙන්කරන ලද අලුත් රටක් වූ එවකට ට්‍රාන්ස් ජෝර්දානය යනුවෙන් හදුන්වන ලද වර්තමාන ජෝර්දානයේ රජකමට පත් කළේ ෂෙරිෆ් හුසේන්ගේ පුත්‍රයෙකු වූ අබ්දුල්ලා කුමරුය. මෑතක් වන තුරු එය පාලනය කළ හුසේන් රජු ඔහුගේ මුනුබුරාය-බි්‍රතාන්‍යයට අධිකාරී බලය තිබූ තවත් රාජ්‍යයක් වූ ඉරාකයේ රජකම ෂෙරීෆ් හුසේන්ගේ තවත් පුත්‍රයෙකු වූ ෆයිසාල් කුමරාට භාරවිය. මේ සියල්ල පාලනය වූවේ බි්‍රතාන්‍යයට අවශ්‍ය පරිදිය. ලංකාව ගැන ලෝකය දැනගත්තේ ‘ලිප්ටන්ගේ තේවත්ත” යන නමින්යයි කියවේ. එමෙන්ම මැද පෙරදිග කලාපයම බි්‍රතාන්‍යය සතු වතුයායක් මෙන් පාලනය වූ බව වටහා ගැනීම වරදක් නොවේ. 


සිරියාව පැවතියේ ප්‍රංශයේ අධිකාරී බලයට යටත්වය. කවදත් රණකාමී ජනතාවක් වූ ඔව්හු යටත්විජිත පාලනයට එරෙහිව මාරාන්තික සටන් කළහ.


බෙදා පාලනය කිරීමේ සුපුරුදු කූට ක්‍රමය අනුගමනය කළ ප්‍රංශයෝ සිරියාව ජනපද පහකට බෙදූහ. ක්‍රිස්තියානි ආගම අදහන්නන් බහුල වූ ලිබනන් කඳුකර ප්‍රදේශය එක් ජනපදයකි. තුර්කියට යාබදව පිහිටි තුර්කි භාෂාව කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශය ඇලෙක්සැන්ඩ්‍රවා ජනපදය විය. වෙරළබඩ කඳුකරය මුස්ලිම් ජනයා වෙනුවෙන් වෙන් කරන ලදී. මෙම කූට උපක්‍රමය මගින් සිරියාවට වෙරළක් අහිමි කරනු ලැබීය. ලෙබනනය යන සැමදා අර්බුද සහ ලේ වැගිරීම් ඇති රාජ්‍යය ඇතිවුණේ ඒ ආකාරයෙනි. එහි විසූ ඞ්රූස් නමැති ගෝත්‍රික පිරිසට ජබෙල් අල් ඞ්රූස් නම් ජනපදය පවරා දෙන ලදී. සිරියාවේ අදද පවතින නොනිවෙන ගින්නට මෙම බෙදීමද අඩුවැඩි වශයෙන් සාධක සපයයි.


අරාබි අර්ධද්වීපයේ මුල්ම කොටස වූ යේමනය රෝම අධිරාජ්‍ය යුගයේදී පවා ඉතා වැදගත් කොට සලකන ලද භූමි ප්‍රදේශයක් විය. එකල එය හඳුන්වන ලද්දේ අරාබියා ෆිලික්ස් හෙවත් වාසනාවන්ත අරාබිය යනුවෙනි. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එක්වන ස්ථානය වන ඒඩන් වරායද යේමනයේ කොටසක් වීම නිසා එයද බි්‍රතාන්‍යය සතු විය. උතුරු දකුණු ලෙස බෙදී තිබුණු යේමනය ඒඩනයට නිදහස ලැබීමෙන් පසු එරට එක්සත් රාජ්‍යයක් හැටියට ඉමාම්වරයෙකුගේ පාලනයට භාරව ඇත. යේමනයද වර්තමානයේ පවතින මැද පෙරදිග අර්බුදයේ පාර්ශ්වකරුවෙකි. 


ලෝකයේ නව තාක්ෂණික දියුණුවත් සමග ඉන්ධන භාවිතය ඉහළ ගිය අතර එය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් බවට පත්විය. මෙයට සාපේක්ෂව මැද පෙරදිග කලාපය පුරා ඛනිජ තෙල් සොයා ගැනීමත් නිශ්පාදනය ඇරඹීමත් සමග එම රටවල් කෙරෙහි අවධානය යොමු වීම වැඩි වූවා පමණක් නොව නොදියුණු ගෝත්‍රික ජනයා විසූ බොහෝ රටවල් වෙත අති විශාල ධනස්කන්ධයක් ගලා ඒම නිසා සුරපුරයක් වැනි අති නවීන සමෘද්ධිමත් රාජ්‍ය බවට පත්විය. දශ ලක්ෂ ගණන් වූ ආසියාතික වෘත්තිකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගනිමින් සංවර්ධනයේ මුදුන් පෙත්තටම නැගීමට අරාබි ජාතිකයෝ සමත් වූහ.


ඉබන් අල් සාවුද් රජු හෙජාස් සහ නෙජ් යන රාජ්‍ය දෙක ඒකාබද්ධ කර සවුදි අරාබි රාජධානිය බිහි කිරීමෙන් පසු එය එක්සත් අරාබි රාජ්‍යයක් වශයෙන් පෙරට යාම ඇරඹුවේය. එතෙක් සංචාරක ජීවිතයක් ගත කළ තවලමේ ගිය ගෝත්‍රික ජනතාවට එසේ තැනින් තැන යාම තහනම් කළ රජු ස්ථිර නිවාස තනාගෙන ගම්මානවල ස්ථිර පදිංචියකට යොමුවන ලෙස නියෝග කළේය. ඒවා කඩකරන අයට දැඩි දඬුවම් පමුණුවන බවද ඔහු ප්‍රකාශයට පත් කළේය.


දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව ලෝකයේ අනෙක් බොහෝ තැන්වල මෙන්ම ගල්ෆ් කලාපයේද වෙනස් දේශපාලන තත්ත්වයක් හට ගැනිණි. තෙල් සම්පතේ බල මහිමය නිසා සවුදි අරාබිය ලෝක බලවතුන්ට පවා බලපෑම් කළ හැකි වාසනාවන්ත රාජ්‍යයක් බවට පත්විය. එයට අමතරව මහම්මත් නබිතුමාට ඇති සම්බන්ධය නිසාත් මක්කම මදීනා ආදී ඉස්ලාම් ආගමේ පූජනීය ස්ථානවල භාරකරු හැටියටත් ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ නායකත්වය එරටට හිමිව ඇති බවක් දක්නට ලැබුණි. පෙරද සඳහන් කළ පරිදි සවුදියේ ඉබන් සාවුද් රජ පරපුරේ අය එහි බලය තම අතෙහිම තබා ගත්තෝය.


ඔමානයේ අල් සයිඞ් බින් තයිමූර් එරට බලය අත් කරගෙන සිටි අතර ඔහු පලවා හැරි එකම පුත් සුල්තාන් කබූස් බින් සායිඞ් බලය අල්ලා ගත්තේ 1970 දීය. එවක් පටන් මේ දක්වා ඔහු එරට පාලනය කරයි. 1995 දී මා එරට රැකියාව කරන යුගයේදී සුල්තාන් කබූස්ගේ රාජ්‍යපදප්‍රාප්තියෙන් විසිපස් වසර සපිරීම වෙනුවෙන් එරට එදා සේවය කළ සැම දෙනෙකුටම මාසික වැටුපක් “බක්ෂිස්” ලෙස ලැබුණු ආකාරය මෙන්ම අප සුල්තාන් කබූස්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ අන්දමද මට සිහිපත් වේ. එම මහා උත්සවයට සමගාමීව මස්කට් අගනගරයේ පැවති ගල්ෆ් රාජ්‍ය නායකයන්ගේ මහා සම්මේලනයේ විචිත්‍රත්වය දැකගැනීම සඳහා “මස්කට්” හි අල් බුස්ටාන් පැලස් හෝටලය අසලින් බස්රියේ අපි ගමන් කළෙමු. අදත් ඔමාන් සුල්තානය පාලනය කරන්නේ සුල්තාන් කබූස් යයි මම සිතමි. ඔහු ජීවත්ව සිටින්නේ නම් අපේ ජීවිතවලට නොදැන හෝ දැක් වූ අනුග්‍රහය වෙනුවෙන් එතුමන්ට නැවතත් සුබ පතමි. 


පර්සියානු බොක්කේ පිහිටා ඇති යූ.ඒ.ඊ අබුඩාබි, ඩුබායි, සාජා, රාස් අල් කයිමා, පුජෙයිරා අජ්මාන්, අල් කුවෙන් යන ප්‍රාන්ත එකතුකර සාදන ලද මෙම එක්සත් එමීර් රාජ්‍යය පාලනය ගෙන යනුයේ අල් නෙහියාන් එමීර් පවුල විසිනි.


බි්‍රතාන්‍ය බලපෑමට යොමු වූ බහරේනය, කුවේට් සහ කටාර් රාජ්‍ය තුනද තෙලේ බලේ හේතු කොටගෙන අති මහත් දියුණුවකට පත් වූ බව අපි දුටුවෙමු. කටාරය මෙයින් සුවිශේෂී වන්නේ අද මුළු මහත් ලෝකයම උණුසුම් කරන අර්බුදයක් එරට තුළ නිර්මාණය වී ඇති හෙයිනි. අනෙකුත් සියලුම අරාබි රටවල්වලට පාහේ සිදු කෙරෙන ආකාරයෙන් කටාරයේද ක්‍රියාත්මක වන්නේ එමීර්වරයා ඇතුළත් වන රජ පවුලේ පාලනයකි. මෙයට හොඳම නිදසුනක් ලෙස දැක්විය හැක්කේ කටාරයේ ඇමති මන්ඩලයේ සංයුතියයි. එහි දාහතර දෙනෙකුගෙන් යුතු ඇමති මණ්ඩලයේ අතිබහුතරය අමීර්වරයාගේ අල්කානි පවුලේ සාමාජිකයන් වන අතර ඉතිරි කීප දෙනාද විවාහයෙන් සම්බන්ධ වූ ඥාතීන් බව කියනු ලැබේ. එම නම් ලැයිස්තුව මෙසේ වේ.


1. කටාරයේ අමීර් සහ අගමැති -- ෂෙයික් කලිෆා බින් හමාඞ් අල් තානි
2. ආරක්ෂක ඇමති සහ හමුදා ප්‍රධානි - ෂෙයික් හමාඞ් බින් කලිෆා අල්තානි
3. අධ්‍යාපන ඇමති - ෂෙයික් මහම්මත් බින් හමාඞ් අල් තානි
4. විදේශ ඇමති - ෂෙයික් සුහේම් බින් හමාඞ් අල්තානි
5. මුදල් සහ ඛනිජ තෙල් කටයුතු ඇමති  - ෂෙයික් අබ්දුල් අසීස් බින් කලිෆා අල් තානි
6. ආර්ථික සහ වෙළද ඇමති - නාසර් බින් කලිෆා අල්තානි
7. විදුලිය සහ ජල සම්පාදන ඇමති - ෂේක් ජසීම් බින් මහම්මත් අල්තානි
8. අභ්‍යන්තර කටයුතු ඇමති - ෂෙයික් කාලිම් බින් හමාඞ් අල්තානි
9. කර්මාන්ත සහ කෘෂිකර්ම ඇමති - ෂෙයික් ෆයිසාල් බින් අල්තානි
10. සෞඛ්‍ය ඇමති - සයිඞ් කාලිඞ් බින් මහම්මත් අල්මානා
11. ප්‍රසිද්ධ වැඩ ඇමති - සයිඞ් කාලිඞ් බින් අබ්දුල්ලා අල් අත්යා
12. ප්‍රවෘත්ති ඇමති - සයිඞ් ඊෂා බින් ගානිම් අල් අන්තානි
13. විදේශ කටයුතු රාජ්‍ය ඇමති - ෂෙයික් අහමඞ් බින් ෂයිෆ් අල් තානි


මෙසේ පවුලේ සමගියේ ධෛර්යෙන් කටාර් රාජ්‍යය සුපිරි ආර්ථික බලවතෙකු බවට පත්වීමට හැකිවිය. පර්සියන් බොක්කේ රටවල් ලෙස සවුදි අරාබිය, ඕමානය, කුවේටය, බහරේනය, යූ.ඒ.ඊ. සහ කටාරය ගල්ෆ් සහයෝගතා සංගමයක් පිහිටුවා ගනිමින් කලාපීය සහයෝගය, එකිනෙකා අතර අන්‍යොන්‍ය උදව් උපකාර මෙන්ම ජාත්‍යන්තර සහයෝගය පළ කරමින් සමගියෙන් කටයුතු කරනු දක්නා ලදී. එකට කෑවත් බොක්ක වෙනස් යැයි සිංහල කියමනක් තිබේ. එම කතාව කුමන බොක්කට වුවද සර්වප්‍රකාරයෙන්ම සාධාරණය. කුමන බැඳීම් සහිතව සමගියෙන් සිටියද සෑම රටක්ම කටයුතු කරන්නේ තම රටේ ජාතික උවමනාවක් සහ එම ඵල ප්‍රයෝජනවලට මුල්තැන දෙමින් බව බෙංගාල බොක්කේ වාසීන් වූ අපි පසුගිය කාලයේ සිදුවීම්වලින් අත්දැකීමෙන් දනිමු. ජාතික අර්බුදයේදී බෙංගාල බොක්කේ ලොකු අයියා වූ ඉන්දියාව කටයුතු කළේ සාක් කලාපීය ප්‍රඥප්ති අමතක කරමිනි. පර්සියන් බොක්කේ අද මතුව ඇති අර්බුදයද. එවැනි  සිදුවීමකි.


කලකට පෙර ඉරානය (පර්සියාව) හැඳින් වුණේ මැද පෙරදිග පැරිසිය යනුවෙනි. මුස්ලිම් සංස්කෘතිය මුළුමනින්ම අමතක කොට ප්‍රංශ ශිෂ්ටාචාරයට අනුගත බටහිර ක්‍රමය එහි ස්ථාපනය කළේ එවකට සිටි ෂා රජු විසිනි. ඔහු හැඳින්වුණේ ෂහෙන් ෂා යනුවෙනි. එහි අර්ථය වනුයේ රජුන්ගෙත් රජු යන්නය. මෙම බටහිර කාමුක හා නිරුවන් සංස්කෘතියට එරෙහිව නැගී ආ ආගමික බලවේගයක් මගින් ෂා රජු ඉරාන සිහසුනෙන් පන්නා දමන ලද්දේ 1979 දීය. රජුන්ගෙත් රජ වූ ෂා නිවහනක් නැති අනාථයෙකු ලෙස ජීවත්ව විදේශයකදී මිය ගියේය. ඉරානය, අයතුල්ලා කොමේනිගේ සහ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් යටතේ බලගතු ආගමික රාජ්‍යයක් වශයෙන් ජාත්‍යන්තර කරළියේ නැගී ආවේය. ෂියා ආගමික නිකාය එම පාලනයේ ප්‍රමුඛත්වය ගත්තේය. “අරාබි වසන්තය” සමග සය වසරක් දැවෙන සිරියානු අර්බුදය තවත් සාධකයක් වෙමින් මැද පෙරදිග හවුල් අවුල් කළේය.


මැද පෙරදිගට ගැටුම් හා අර්බුද යනු අලුත් දේ නොවේ. එවැන්නක් නැති දිනයක් ඇත්තේම නැති තරම්ය. මේවා  පසුපස සිටින ලෝක බලවත්තු නූල් සූත්තර මගින් රූකඩ නටවති. අද පවතින කටාර් ගැටලුව මතුවූවේ ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සවුදි සංචාරයෙන් පසුව බව නොරහසකි. ධනයෙන් මත්ව සිටින මැද පෙරදිග පාලකයන් නොපමාව මේ බව වටහා ගතහොත් ඔවුන්ටම හොඳය.

සෝමසිරි වික්‍රමසිංහ