විජමුගේ මචං


 

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ චර්යා රටාවන් විවිධය. විචිත්‍රය. මා පාර්ලිමේන්තුවේ සිටි කාලපරිච්ඡේදයේ ලද අත්දැකීම් තුළින් ඒවා විග්‍රහ කළහොත් රසවත් අවස්ථාවන් හා අමුතු ආකාරයේ සිදුවීම් රැසක් මතුකරගත හැකිය. විවිධ ජන කොටස් ඇසුරු කරමින් ඡන්ද දායකයන් තමන් කෙරේ රඳවා ගැනීමට වෙනස් වෙනස් ආකාරයේ ක්‍රියාදාමවල නිරතවෙමින් සාමාන්‍ය කෙනෙකුගේ කථා විලාසයන්ට වඩා වෙනස් කථා විලාසයක් අනුගමනය කරමින් කටයුතු කරන්න ඔවුන්ගේ හැසිරීම් ශෛලිය රටේ පොදු ජනතාව ද දැන් මැනවින් හඳුනාගෙන තිබේ.


ජනතාව ඔවුන් කරා පැමිණෙන අවස්ථාවලදී ඉදිරිපත් කර ඕනෑම ප්‍රශ්නයක් සලකා බැලීමට කටයුතු කිරීම මන්ත්‍රීවරයාගේ සාමාන්‍ය සිරිතකි. ඡන්දදායකයා අමනාපවේ යැයි බියෙන් ඕනෑම ප්‍රශ්නයක් භාරගෙන “මම ඒක හොයල බලන්නම්” “මම ඒක කරන්න බලන්නම්” ආදී උත්තරදීම බොහෝ විට දක්නට ලැබේ. සමහරු එසේ භාරගන්නා ප්‍රශ්න විසඳන අතර තවත් සමහරු එසේ භාරගත් ප්‍රශ්න දෙස නිකමටවත් නොබලන අතර භාරගත් ලිපි ලේඛන කුණු කූඩයට බහාලති. මේ ගැන කටයුතු කරල දෙන්නැයි කියා ලේකම්වරුන්ට භාරදුන් ඉල්ලීම් ලිපි ද මන්ත්‍රීතුමා නොදැනුවත්වම කුණුකූඩයට යාම බොහෝවිට සිදුවන්නකි. සමහරු තම ඡන්ද කොට්ඨාසයේම රැඳී ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට සමහරු කොළඹට වී සිටිති. ඔවුන් ගමට යන්නේ කලාතුරකිනි. තවත් සමහරු ගමට නොගියත් කොළඹ සිටියත් පාර්ලිමේන්තු යන්නේ ඉතා කලාතුරකිනි. සමහර මැතිඇමතිවරු පිරිසක් වැඩි දින ගණනක් පාර්ලිමේන්තු යති. තවත් ඉතා සුළු පිරිසක් පාර්ලිමේන්තු රැස්වීම් පවතින හැම දවසකම පාර්ලිමේන්තු පැමිණෙති.


පාර්ලිමේන්තු පැමිණෙන මැති ඇමතිවරුන්ගෙන් බොහෝ විට විවාදවලට සහභාගිවෙමින් කථා කරන්නේ එකම පිරිසකි. සමහරු නිතර කථා කරති. තවත් අය හදිසියෙන් කථා කරති. තවත් කීපදෙනෙකු කථා කරන්නේම නැත. විවාද වලදී ඉතා දක්ෂව කරුණු හදාරා ඉතා සාරවත්ව සමහර මන්ත්‍රීවරු කථා කරන අතර තවත් අය කිසිදු හැදෑරීමකින් තොරව කරුණු රහිතව ගැලරියට කථා කරති. එම කථාවල ගත යුතු කිසිත් හරයක් නොමැත. එකල ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙකොටසේම මන්ත්‍රීවරු අසා සිටීමට කැමැති කථාවක් වූයේ අනුර බණ්ඩාරනායක මහතාගේ කථාවයි. ඔහු හොඳ හැටි කරුණු හදාරා ඉතා හරවත් හා පරිපූර්ණ කථාවක් පාර්ලිමේන්තුවේදී කළ බවත් බොහෝ මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය එම කථාවට හිමිවන බවත් මා දැක තිබේ. එපමණක් නොව එතුමා විචක්ෂණ කථානායකවරයෙකු වශයෙන්ද කාගේත් පිළිගැනීමට ලක්විය.

 

  • මැති ඇමතිවරුන් අතර කථාබහේදී සර්, අයියා, මල්ලී, මචං ආදී ව්‍යවහාරයන්ද සිදුවන බව පෙනෙන්නට තිබුණි. සමහරුන් නම කියා කථා කිරීම ද සිදුවිය. මේ අතර විජමු ලොකුබණ්ඩාර මහතා බොහෝ දෙනෙකුට ආමන්ත්‍රණය කළේ “මචං” කියාය. එතුමා ගැමි ස්වරූපයෙන් හා ළෙන්ගතුකමින් හැමටම වාගේ එසේ ඇමතීම අමුත්තක් නොවීය.


මැති ඇමතිවරුන් අතර කථාබහේදී සර්, අයියා, මල්ලී, මචං ආදී ව්‍යවහාරයන්ද සිදුවන බව පෙනෙන්නට තිබුණි. සමහරුන් නම කියා කථා කිරීම ද සිදුවිය. මේ අතර විජමු ලොකුබණ්ඩාර මහතා බොහෝ දෙනෙකුට ආමන්ත්‍රණය කළේ “මචං” කියාය. එතුමා ගැමි ස්වරූපයෙන් හා ළෙන්ගතුකමින් හැමටම වාගේ එසේ ඇමතීම අමුත්තක් නොවීය. අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වශයෙන් සිටිය දී සම තත්ත්වයේ සිටි අයට පමණක් නොව ඉතා අලුතින් පත්වූ මන්ත්‍රී කෙනකුට ද වුව ඇමතුවේ මචං කියාය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී දේශීය වෛද්‍ය ඇමතිවරයා වශයෙන් කොළකැඳ වීදුරුවක් හැමදා උදෑසන පාවිච්චි කිරීමේ වැදගත්කම එතුමා පෙන්නුම් කරදීමේ ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නොව රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් පෞද්ගලිකව හැම හන්දියක් ගානේත් කොළකැඳ විකිණීමටත් බීමටත් ජනතාව පුරුදුවීමයි. ඇත්තටම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මනාව ප්‍රචලිත වී ඒ හා සම්බන්ධ වැඩ කටයුතු රැසක් එතුමාගේ කාලයේ සිදුවිය.


ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් එතුමා කටයුතු කරද්දී අප ඉදිරිපත් කළ කරුණුවලට සවන් දී ඒවා ඉටුකිරීමට විජමු ලොකු බණ්ඩාර මහතා විශේෂ උනන්දුවක් දැක්වීය. දිනක් මා එතුමා හමුවීමට ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 5ක් මධ්‍ය මහා විද්‍යාල බවට පත්කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අනුමැතිය ලබා ගැනීමටය. මා දුටු විගසම ලොකු බණ්ඩාර මහතා ඇසුවේ මොකද්ද මචං කෙරෙන්නෙ ඕනෑ” කියාය. මා වහාම මා අත තිබූ ලිපිය එතුමාට දික් කළෙමි. එම ලිපිය අතට ගත් සැණින් වැඩි විස්තර නොවිමසාම එතුමා එය අනුමත කළේය. එතුමාගේ අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් විගස එය ඉටුවිය. බොහෝ ලිපි ලේඛනවලට අනුමැතිය දීමට ඔහු වැඩි වේලාවක් ගත්තේ නැත. තවත් දිනක සාමදාන විනිශ්චයකාරවරුන් වශයෙන් පත් කිරීමට නම් 35 ක ලැයිස්තුවක් ලොකු බණ්ඩාර අමාත්‍යතුමාට ඉදිරිපත් කළ විට එය ලබාගත් මොහොතේම හරි මචං කියා අනුමැතිය ලබා දුන්නේය. ඒ එතුමාගේ හැටිය. තවත් සමහර ඇමතිවරුන්ට භාරදුන් ලිපි බොහොමයක් ගැන පාර්ලිමේන්තුව විසුරුවන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අවස්ථාවන් ද ඇත. එක් එක් අයගේ වැඩ කිරීමේ ස්වරූපය අනුව එසේ සිදුවන අතර නිසි පරිදි ජනතා ප්‍රශ්න නොවිසඳුනොත් පිළිතුරු ලැබෙන්නේ ඡන්දයකදීය. කෙසේ වුවද අප ඉදිරිපත් කළ පොදු ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන් මැති ඇමතිවරුන් රැසක් සිටි අතර විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ නම විශේෂයෙන් සඳහන් කළේ ඔහුගේ සුවිශේෂී භාෂා ශෛලිය හා කඩිනම් අනුමැතිය දීමේ කලාව පෙන්නුම් කිරීමටය.