විජය කුඩුකේඩු දේශපාලනඥයෙක් නොවේ


මැතිවරණ ක්‍රියාදාමයේදී එකට කටයුතු කිරීමෙන් විජය සහ අනුර බණ්ඩාරනායක යන දෙදෙනා අතර සුවිශේෂි මිත්‍රත්වයක් ගොඩ නැගුණු බව කියවේ. ඒ හේතුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය ඇසුරු කිරීමේ අවස්ථාව විජයට හිමිවිය. එය ප්‍රේම සම්බන්ධයක් බවට පත්ව විවාහය දක්වා දුර දිග යාමට වැඩි කලක් ගතවූයේ නැත.


1978 පෙබරවාරි 20 වැනි දින විජය - චන්ද්‍රිකා විවාහය සිදුවිය. එය ලෝක දෙකක් අතර සිදුවූ විවාහයක් ලෙස සමහරු හැඳින්වූහ.
වංශාධිපති සලමොන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාගේ මිනිබිරිය මෙන්ම ඔහුගේ පුත් හිටපු අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේත් ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස ලෝක වාර්තාවක් තබමින් වසර දොළහක් ශ්‍රී ලංකාව පාලනය කළ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේත් කනිටු දියණිය චන්ද්‍රිකා - ආගමෙන් මෙන්ම සමාජ විෂමතාවෙන්ද යුතු පවුලක තරුණයෙකු වූ සිනමා නළු විජය අතිනත ගැනීම ජනතාව අතර කතාබහට ලක්වුණු කරුණක් විය. එය වැඩවසම්වාදී සහ ධනවාදී ආකල්ප බිඳ දමා සමාජවාදී ප්‍රතිපත්ති මත ගනු ලැබූ අගනා පියවරක් ලෙස ශ්‍රී.ල.නි.ප බහුතරයකගේ මතය විය. මෙම පසුබිම හමුවේ විජය වඩ වඩාත් දේශපාලන ක්‍ෂේත්‍රය කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. 1980 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසු පක්‍ෂය තුළ ඇතිවුණු අර්බුදයේදී ඇය වෙනුවෙන් නැගී සිටි ප්‍රබලම පුද්ගලයා වූයේ විජයයි. අනුර බණ්ඩාරනායක මහතා පවා මැතිනියගේ ප්‍රතිවාදීන් සමඟ එක්ව ඇයට නායකත්වයෙන් ඉවත්වෙන ලෙස බල කරද්දී එසේ නොකරන ලෙසත් දිගටම නායකත්වයේ රැඳී සිටිමින් ජයග්‍රහණය ලබනතුරු පක්‍ෂය මෙහෙයවනු දැකීම බහුතර පාක්‍ෂිකයාගේ අපේක්‍ෂාව බවත් පෙන්වා දෙමින් ඇය ආරක්‍ෂාකර දීමේ මහා සටනට මුළුමනින්ම උරදුන්නේ විජයයි. චන්ද්‍රිකාද ඔහු සමඟ සිටීම ඔහුට ධෛර්යයක් විය.


1982 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහු විසින්ම 1978 දී පනවා ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කරමින් තම නිල කාලය තවත් කාලය ඉතිරිව තිබියදී නව ජනාධිපතිවරණයක් කැඳවීමේ තම අභිමතය ප්‍රකාශ කළේය. විශාල අර්බුදයක ගිලී සිටි ශ්‍රී.ල.නි.පයට එම තරගය සඳහා අපේක්‍ෂකයෙකු නම් කිරීම පවා දුෂ්කර විය. පක්‍ෂ නායිකා සිරිමාවෝ මැතිනියට ප්‍රජා අයිතිය අහිමි කර තිබුණු නිසා ඇයට අපේක්‍ෂකත්වය දැරිය නොහැකි විය. මෙවිට කලින් රජයේ ඉඩම් ඇමති ධූරය දරමින් ජනතාවගේ ප්‍රසාදයට හේතුවන අයුරින් සේවය කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් කර ඔහුගේ සටනේ ප්‍රධාන සෙන්පති ලෙස ක්‍රියා කළේ විජය කුමාරණතුංගයන්ය. පක්‍ෂයේ අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය පිණිස වියදම් කිරීමට පක්‍ෂ අරමුදල් නොලැබෙද්දී එම සටන් සඳහා විජයගේ රංගනයෙන් උපයාගත් පෞද්ගලික මුදල් මිලියන ගණනක් වියදම් කළ බව සත්‍යයකි. එමෙන්ම එම ජනාධිපතිවරණයේ ප්‍රධාන කථිකයා වූයේ විජය ය. මෙසේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ නමුදු බලවත්තු තම අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා කකුලෙන් අදින බව ඔහුට වැටහුණි. මෙය නැන්දණිය සහ බෑනා අතර අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු විය. ජනාධිපතිවරණයෙන් ජේ. ආර්. දිනුම ලැබූ පසු බලවතෙක් ඔහුට දුරකථනයෙන් අමතා කියා තිබුණේ ඡන්දය පැවති දින රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවීමට නියමිතව තිබුණු බවයි. එය නැක්සලයිට් මාදිලියේ කැරලිකාරී ස්වරූපයක් ගැනීමට ඉඩ තිබුණු බවද කියා තිබුණි. එම ඔත්තුව මත විජය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රදවා තබා ගන්නා ලදී. ඔහු සිර දුක් වින්දේය. 


අවසානයේ නඩුත් නැතිව නිදහස් විය. සිදුව තිබුණේ වෙනත් දෙයකි. ඊළඟ මැතිවරණයේදී මෙම “කරදරකාරයා” ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසක් සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමය. මැතිවරණයක්ද නොපවත්වා, ජනමත විචාරණයක් මගින් හයෙන් පහේ බලයක් සහිතව පවතින රජයේ බලය ආරක්‍ෂා කර ගන්නා ලදී. විජයගේ පාර්ලිමේන්තු ගමන ප්‍රථම වරට වළක්වනු ලැබුවේ එසේය.


1982 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී.ල.නි.ප තුළ විජයට එරෙහි කැපුම්, කෙටුම් අතිශය බහුල විය. පක්‍ෂය දක්‍ෂිණාංශය කරා දක්කාගෙන යන බව ඔහුගේ වැටහීම විය. ටී. බී. ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක වැනි ජ්‍යෙෂ්ඨයෝද මේ බව වටහාගෙන සිටියහ. එනිසා 1984 ජනවාරි 20 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මහා සමුළුවකදී විශාල ජන සහභාගිත්වයකින් යුතුව ශ්‍රී ලංකා මහජන පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී.


1977 ජූලි මහා මැතිවරණයේදී බිංදුවට බැස හතර ගාතයෙන් ඇද වැටී සිටි මෙරට වාමාංශික ව්‍යාපාරයටද ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ බිහිවීම මහත් ආශ්වාදයක් විය. දශක තුන හතරක් මුළුල්ලේ ධීර වීර වික්‍රමාන්විතවලින් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රය ප්‍රකම්පනය කළ වාමාංශික ප්‍රබලයෝ විජය පෙරමුණේ තබාගෙන නව ගමනක් ඇරඹූහ. ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම විකල්පයක් වශයෙන් මෙම එක්සත් සමාජවාදී පෙරමුණ ඉදිරියට යනු ඇතැයි ජනතාවද මහත් බලාපොරොත්තු ඇතිකර ගත්හ. ඒ විජයගේ මැදිහත්වීම නිසාය. ඔහු විශ්වාසය තැබිය හැකි නායකයෙකු වශයෙන් ජනතාව පිළිගැනීම නිසාය.


උතුරේ ජනවාර්ගික අර්බුදය 1987 වන විට සෑහෙන දුරට ඔඩු දුවා තිබුණි. මෙයට විසඳුමක් වශයෙන් බලය විමධ්‍යගත කිරීමේ යෝජනාව වමේ පෙරමුණ පිළිගත්තේය. විජයගේ ස්ථාවරයද එයම විය. ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවාදී දේශපාලනය විජය හඳුනා නොගත්තේ දැයි සැක හිතෙන පමණට ඔහු අවංක වූවේය. මෙරට පවතින ජනප්‍රිය රැල්ලේ සටන් පාඨ සමඟ ජල  ප්‍රවාහයේ පහළට පීනා යාමේ සම්ප්‍රදාය ඔහු හදුනා නොගත්තා සේය. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අල්ලා ගන්නා ලද හමුදා සෙබළුන් දෙදෙනෙකු බේරා ගැනීම පිණිස සටන්කාමීන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔහු සපිරිවරින් යාපනයට සහ මදුරාසියට ගියේය. එම යුගයේ කිසිම දේශපාලනඥයකු එවැනි අවදානමක් භාර නොගන්නා බව ස්ථිරය. කිට්ටු, රහීම් වැනි එවකට ත්‍රස්තවාදී නායකයෝ සාකච්ඡා කළහ. විජය යනු කුඩුකේඩු දේශපාලනඥයෙකු නොවීය. තමා හිර ගත කොට දසවධ දුන් ආණ්ඩුව ගැටලුවක හිරවුන විට සතුටක් ලැබීම ඔහුට රුචි නොවීය. දෙන්නම් බැටේ න්‍යායට කිසි දිනක ඔහු ගරු නොකළේය. ජාතික අර්බුදය රජයේ හෝ ජේ. ආර්ගේ ප්‍රශ්නයක් ලෙස සලකා අවඥාවෙන් බැලීම විජයගේ ප්‍රතිපත්තිය නොවීය. සිංහල - දෙමළ ජන වර්ග දෙකේම තරුණයන් මියයන මෙම උග්‍ර ප්‍රශ්නය විසඳීම රටේත් ජනතාවගේත් යහපතට සිදුවන්නක් බව ඔහු වටහාගෙන තිබුණි. එහෙත් මෙම මැදිහත්වීම ගැන සතුරෝ විජය පතුරු ගැසූහ. සමහර මිතුරෝද ඔහු හැර ගියහ.


මෙම කිසිවකින් කම්පා නොවූ විජය දිගටම මහජන පක්‍ෂය සංවිධානය කෙරෙහි කැප වූවේය. පක්‍ෂයෙන් ඉවත්වීමට පෙර එකල පැවති මහර අතුරු මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ විජය පරාජය කිරීමට සතුරු මිතුරු දෙපාර්ශවයම රොද බැඳගෙන කටයුතු කළහ. එය ඡන්දයක් නොව යුද්ධයක් විය. විජයගේ පණ බේරුනේ කෙස් ගසකිනි. ප්‍රතිවාදීන් විසින් මෙහෙයවනු ලැබූ මැරයකු තැබූ වෙඩි පහරක් විජය අසල සිටි ආධාරකරුවකු ගොදුරු කර ගත්තේය. ඊළඟට මින්නේරිය අතුරු මැතිවරණය සඳහා මහජන පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් ඔහු නැවතත් ඉදිරිපත් විය. ඡන්ද මංකොල්ලයන් සිදුවූ එම යුගයේ ඔහු මින්නේරිය ආසනයේ ඡන්දය සඳහා අලුත්ම උපක්‍රමයක් යෙදීය. ප්‍රධාන පක්‍ෂ තුනේ අපේක්‍ෂකයන් තිදෙනාට අමතරව ස්වාධීන අපේක්‍ෂකයන් හතළිස් අට දෙනකු ඉදිරිපත්ව තිබුණි.

නාමයෝජනා භාර දීමෙන් පසු පොළොන්නරුව කච්චේරියේ සිට මාතලේ දිස්ත්‍රික් මායිම වූ කිරිඔය දක්වා මින්නේරිය ආසනයේ පිළිගැනීම් සංඛ්‍යාව දහසකට ආසන්න විය. ඇළහැර, බකමූණ, කිරිඔය ආදී ප්‍රදේශවල බරපතළ ඡන්ද දූෂණ සිදුවිය. පක්‍ෂය සතු වටිනාම තුරුම්පුව වූ විජය මින්නේරියේදී පරාජය වුවහොත් බරපතළ හානියක් සිදුවන බවත් එනිසා ඔහු ඉදිරිපත්වීමෙන් වළකින ලෙසත් අත්දැකීම් සහිත ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ ටී. බී. ඉලංගරත්න මහතා පවා අවවාද කළේය. විජය පරාජයට පත්විය. තෙවැනි වතාවටත් ඔහුගේ පාර්ලිමේන්තු ගමන වැළකුණි. ඒ ඡන්ද දූෂණ නිසාය. 


ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පාමින් 1987 දී ආරම්භ වූ විරෝධතාවලින් ශ්‍රී ලංකාවේ පාලනය දෙදරා ගියේය. රට අරාජික වූ ආකාරයක් දක්නට ලැබුණි. මුළු දකුණමත්, බටහිරද ඇතුළු සිංහල ප්‍රදේශවල කැරලිකාරී ස්වභාවයක් ගත්තේය. ආයුධ සන්නද්ධ තරුණ පිරිස් හිතුමතයේ මිනී මරමින් රට අවුලෙන් අවුලට ගෙන ගියේය. එය මර්දනය කිරීම සඳහා රජය පාර්ශ්වයෙන්ද අපරාධ සිදුවිය. ඉන්දියන් සාම සාධක හමුදාවේ සම්ප්‍රාප්තිය නිසා උතුරු - නැගෙනහිර පමණක්  නොව උතුරු මැද පළාතද අනාරක්‍ෂිත විය. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් බැරැක්කවලට සීමා කොට උතුර - නැගෙනහිර ආරක්‍ෂාවට ඉන්දියන් හමුදාව යෙදවීම නිසා කොටින් සහ ඉන්දියන් හමුදාව යන දෙපාර්ශ්වය අතට පත්විය. රට ආකූල ව්‍යාකූල වූවේය.


මෙවැනි වාතාවරණයක් පවතිද්දී 1988 පෙබරවාරි 16 වැනිදා උදාවිය. එදින විජය පොල්හේන්ගොඩ සිය නිවස ඉදිරිපිට සිට ඔහුගේ දියණිය ඇඳි චිත්‍රයක් බලමින් සිටියේය. අවට රැක සිටි ත්‍රස්තවාදියෙකුගේ ගිනි අවියක් තමා දෙසට යොමුව ඇති බව විජය දැන සිටියේ නැත. මොහොතකින් එයින් නිකුත් වූ උණ්ඩ ඔහුගේ සොඳුරු මුහුණ විනාශ කරමින් හා විජය මරු තුරුලට යවමින් නැවතුණි. ඒ සොඳුරු මිනිසා මෙලොවින් සමුගත්තේය.


ලක්‍ෂ සංඛ්‍යාත දේශපාලන අනුගාමිකයෝ සහ හිතවත්තුද මිලියන ගණනක් වූ සිනමා රසිකයෝද හඬා වැලපුණහ. රටම එකම මළ ගෙයක් බවට පත් විය.


ඔහු වෙනුවෙන් වූ ශෝකය නිසා දොළොස් දෙනෙක් දිවි නසාගත් බව පුවත්පත්වල පළවිය. 


විජය කුමාරතුංගයන් වෙඩි වැදී අවසන් හුස්ම හෙළන ලද ස්ථානයේ පිහිටුවා ඇති සමරු ඵළකයේ මෙසේ සඳහන් වෙයි. “සකල ලංකාවාසී නිර්ධන පංතියේ ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල භේදයන්ගෙන් තොර සමාජවාදී එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීම උදෙසා ස්වකීය කාලයත්, ශ්‍රමයත්, ධනයත්, දහඩියත්, කඳුළත්, ලෙයත්, අවසානයේදී තම ජීවිතයත් වර්ෂ 1988 පෙබරවාරි මස 16 වැනි අඟහරුවාද මධ්‍යහ්න 12 පසුවී විනාඩි 20ට පමණ මෙම ස්ථානයේදී පූජා කළ අපේ යුගයේ මහා මානව හිතවාදියා වූද, අසාමාන්‍ය කලාකරුවාවූද, නිර්මල දේශපාලකයා වූද, එඩිතර නායකයා වූද ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නිර්මාතෘවරයාණන් වූද, එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකිරීමේ පුරෝගාමියා වූද, යුගයේ සැබෑ වෙනසක් ඇති කිරීම උදෙසා කැප වූ විජය කුමාරතුංග විරුවාණන්ගේ ගුණ සදා සිහිපත් වනු පිණිස මෙම පුවරුව පිහිටුවනු ලැබිණි.” ඒ ජනතාවගේ මතයයි.

සෝමසිරි වික්‍රමසිංහ