විජය ඝාතන පරීක්ෂණ නතර කළ චන්ද්‍රිකා ජවිපෙ දීගය


විජය ළය දැදුරු කළ  වෙඩි උණ්ඩයේ  කතාව

 

මානව හිතවාදියකු මෙන්ම, ජනප්‍රිය රංග ධරයකුවූ විජය කුමාරතුංගයන් පිළිබඳ අප පසුගිය සති කීපය පුරාම කතා බහ කළේ ඔහුගේ ඝාතනය සිදුවී වසර 30 ක් ගතවීම නිමිත්තෙනි.


වසර 1988 පෙබරවාරි 16 වැනිදා විජය ඝාතනයට ලක්වූයේ සිය පොල්හේන්ගොඩ නිවසේ රැඳී සිටියදීය. එදින අඟහරුවාදා දිනයක් විය. විජය ගේ ඝාතනය සිදුවූ පෙබරවාරි 16 වැනිදා භයානක අඟහරුවාදා නැතහොත් අඳුරු අඟහරුවාදා යනුවෙන් හැඳින්විණ.

වසර 1945 ඔක්තෝබර් 08 වැනිදා සීදුවේදී උපත ලැබූ විජය කුමාරතුංග මුලින්ම හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට අවතීර්ණ විය. එහෙත් ඔහු සිනමාවේ මෙතරම් දුරක් යනු ඇතැයි සිතන්නට නැත. සිනමාවේදී ඔහු ලබාගත් සම්මාන රැසකි. එකිනෙකට වෙනස් චරිතවලට පණපෙවූ විජය සිනමාවට නැතිවම බැරි චරිතයක් විය.


සිනමා ජීවිතයේදී ඔහු සිනමාවේ සෙසු සහෝදර ශිල්පීන් සමග ඉතා සුහද හා නිහතමානී චරිතයක් වූ බව ඔහුගේ සමකාලීනයෝ පවසති. ඔහු සිය සිනමා ජීවිතයේ චිත්‍රපට 114 ප්‍රධාන චරිත රඟපා ඇති අතර ඒ සියලුම චරිත ඉතා ජනප්‍රිය විය. ගඟ අද්දර චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් ගායන ලොවට පිවිසි විජය පසුව ගායනා ක්ෂේත්‍රයේ ද සිය සුවිශේෂ හපන්කම් පාමින් පොදු ජනතාවගේ හදවත් තුළ නොමියෙන මතකයක් දයාද කෙරිණ. ඔහුගේ එම ගායන හැකියාව නිසා හොඳම පසුබිම් ගායකයාට හිමි “සරසවි” සම්මානය දෙවතාවක්ම හිමිකර ගැනීමට සමත් විය. ඔහු ගීත 100කට වැඩි සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඔහු ගැයූ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් විජය මුදලක් අයකර ගෙන නැත. විජයගේ සිනමා ජීවිතයේ සුවිශේෂ ස්ථානයක් වන්නේ ගෝඞ් කින්ග් නැමති ඉංග්‍රීසි චිත්‍රපටයට මෙන්ම නන්ගුරන් නමැති දමිළ චිත්‍රපටයට රඟපා දස්කම් දැක්වීමය.


රංගන ජීවිතයට අමතරව විජය 1977 මහ මැතිවරණයට කටාන ආසනයෙන් තරඟ වැදී ඡන්ද 19,738 ක් ලබාගැනීමට සමත්විය. ඔහු ක්‍රියාකාරී ලෙස දේශපාලනයට පිවිසුණේ 1982 වසරේදීය. ඒ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජයග්‍රහණය කරවීම සඳහායි. එම මැතිවරණයෙන් පසු විජය 1982 නොවැම්බර් 19 වැනිදා සිරගත කළේ නැක්සලයිට් චෝදනා මතයි. 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී මහ මැතිවරණයට ඉදිරිපත්වූ විජය පසුව 1983 අතුරු මැතිවරණයෙන් මහර ආසනයට තරඟ කොට ඡන්ද 24,899 ක් ලබාගැනීමට සමත්විය. 1984 වසරේ මින්නේරිය ආසනයට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදුණු විජය එහිදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,568 කි.


විජය දේශපාලනයට ක්‍රියාකාරී අයුරින් සම්බන්ධ වූයේ එවකට පැවති ජාතිවාදී අරගලයට ස්ථිර විසඳුමක් ලබාදීම අරමුණු කරගෙනයි. ඒ සඳහා ඔහු 1986 වසරේ උතුරේ එල්.ටී.ටී.ඊ. කඳවුරු වෙත ගොස් කොටි නායකයන් සමගද සාකච්ඡා පැවැත්වීය.


මෙම ගමන සඳහා විජය සමග ඔසි, ෆීලික්ස් පෙරේරා ඇතුළු ඔහුගේ සමීපතමයෝ කිහිපදෙනෙක්ම සහභාගි වූහ. විජයගේ පාසල් අවධියේ සිටි සමීපතම හිතමිත්‍රයෙකු වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා විජය සමග සිය දේශපාලන කටයුතු කළ ආකාරය අප කොටස් වශයෙන් පළ කළෙමු. මේ එහි අවසාන කොටසයි.


විජයගේ මතකය පිළිබඳ අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා මෙසේ පවසයි.


අපි විජයගේ අදහස් හා ප්‍රතිපත්තිවලට දැක්වූ එකඟතාව නිසා ඔහුත් සමග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියා. අද වගේ නොවෙයි එදා බොහොම භීෂණකාරී තත්ත්වයක් මධ්‍යයේ තමයි අපි දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකළේ. විජයගේ මූලික අරමුණ වුණේ ජාතිවාදී ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන්නයි. ඒ සඳහා ඔහු යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පවා හමුවුණා.


කොහොම වුණත් විජයගේ දේශපාලන ක්‍රියාපිළිවෙත අනුමත නොකළ පිරිසක් ඔහුව ඝාතනය කරන්න සැලසුම් කළා. විජයව ඝාතනය කරන්න සැලසුම් කළේ 1980 වසරේ සිටයි. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ කොමිසමේ සාක්ෂි අනුව ලයනල් හෙවත් ගාමිණී නැමැති අය ලබා දුන් කටඋත්තරයේ සඳහන් වෙනවා. ඒක පිටු 141 ක කටඋත්තරයක්.


විජයගේ දයාබර බිරිඳ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බලයට පත්වෙලා විධායක ජනාධිපති ධුරයේ වැඩ බාර ගත්තට පස්සේ අපි එතුමියගෙන් දිගින් දිගටම ඉල්ලීමක් කළා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කොමිසමක් පත්කරන්න කියලා. මොකද අපිට තොරතුරු ලැබුණ විදිහට මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. එම සංවිධානයෙන් ලැබුණ නියෝගයකට අනුව විජය ඝාතනය කළ බවට තොරතුරු හෙළිවුණා. 1994 ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම ඝාතනය සෙවීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ 1995 වසරේ පෙබරවාරි 16 වැනිදායි එම කොමිසම පත්කළේ. එහෙම තිබියදී ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධ වෙලා ආණ්ඩුව පිහිටුවන්න පියවර ගත්තා. නමුත් මහජන පක්ෂය හැටියට අපි කිහිප අවස්ථාවකම ඊට එරෙහි වුණා. අපි ඒ ගැන ජනාධිපතිනිය සමග සාකච්ඡා කළා. අපේ පක්ෂයේ කිසිවෙකුත් එයට එකඟ නොවන බවට. මොකද විජය කුමාරතුංගයන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සමග සන්ධාන ගතවීම නොගැළපෙන බව අප චන්ද්‍රිකා මැතිනියට දැනුම් දුන්නා.


නමුත් අපේ හඬට සවන් දුන්නේ නැහැ කියන එකයි මගේ අදහස.


කොහොම වුණත් එතුමිය පත්කළ කොමිසම මාස 8 ක් සාක්ෂි විමසීමක් කළා. පුද්ගලයන් 72 ක් සාක්ෂි දුන්නා. එම සාක්ෂි පිටපත වෙළුම් 15 කින් සහ පිටු 3441 කින් සමන්විතයි. සාක්ෂි විභාගය ආරම්භ කර අවසන් වුවත් ඝාතකයන්ට නිසි දඬුවම් ලබා දුන්නේ නැහැ. අපි දිගින් දිගටම බලපෑම් කළා. අපි ඉතින් වසරක් පාසා විජයගේ ගුණ සමරන එක තමයි දැන් සිදුකරන්නේ. ඊට එහා ගිය වෙන යමක් කෙරෙන්නේ නැහැ. තවත් වසර ගණනාවක් ගියාම ඒ සමරු දිනයත් අනාගතයේ අයට අමතක වේවි.


කොහොම වුණත් සොඳුරු මිනිසෙකු, මානව හිතවාදියකු අපෙන් සමුගත්තා. මම හිතන්නේ විජය වගේ කෙනෙක් අපිට ආයේ හමුවෙන එකක් නැහැ. මොකද හරිම නිහතමානී ජීවිතයක් ගත කළේ. හිත හොඳ මනුෂ්‍යයෙක්. අද වගේ කාලයක විජය වගේ මනුෂ්‍යයකු සිටිය යුතුයි කියලයි මම නම් නිතරම සිතන්නේ. දේශපාලනය පිළිබඳ ගැඹුරු අත්දැකීමක් නොමැති වුවත් ඔහු පරිණත බුද්ධියෙන් පරිණත දේශපාලනඥයන් සමග ගැටුණු අයෙක්. ඔහු පොදු ජනතාවගේ හදවත හොඳින් හඳුනන කෙනෙක්. කොහොම උනත් සොඳුරු මිනිසෙකු අපට නැතිවුණා.


කොහොම වුණත් විජය නැමති සොඳුරු මානව හිතවාදී මිනිසාගේ අව්‍යාජ සිනහව හදවතේ රැඳෙන අයකු කෙසේ ඔහුට වෙඩි තබන්නට ඇද්ද? ඝාතකයාගේ සිත ඒ තරම් දරුණුද? සොඳුරු මිනිසානෙණි ! ඔබ නැති අඩුව තවමත් පිරවීමට කිසිවෙකුත් පහළ වී නැත.

 


විජය ඔබ යළිත් අප අතර ඉපදේවා !

 

 


නිශාන්ත කුමාර බණ්ඩාර