විජය ඝාතනයේ සැක සංකා


  • හිටපු ඇමති ෆීලික්ස් පෙරේරාගේ මතකය
  • විජය ළය දැදුරු කළ  වෙඩි උණ්ඩයේ  කතාව

විජය කුමාරතුංගයන් ගෙනගිය දේශපාලන ප්‍රචාරක කටයුතු අවසන්වුණේ අකාලයේ ඔහුව ඝාතනය කිරීමත් සමඟයි. එහෙත් විජය සමඟ සිටි පිරිස් ඔහුගේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයාමට අපොහොසත් වූහ. කෙසේ වෙතත් විජය පැතූ ඒ දේශපාලන ජීවිතය අතරමඟ නතර වුනත් ඒ මානව හිතවාදියාගේ අඩුව පිරවීමට මෙතෙක් කිසිවෙකුත් සමත්ව නැත. විජය ඝාතනය පිළිබඳව විජයගේ සමීප හිතවතෙක් වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා සිය මතකය අවදි කළේ මෙසේය.


විජය ඝාතනය කළ බව මම දැනගත් මොහොතේම මම විජයගේ නිවසට ගියා. හිටපු අමාත්‍යවරයෙකුවූ ෆෙස්ටස් පෙරේරා මහතාගේ ලේකම්වරයෙකුත් අපේ ගෙදර ඇවිල්ලා සිටියා. අපි දෙන්නා තමයි එතනට ගියේ. අපි ඉස්සෙල්ලාම ගියේ චන්ද්‍රිකා මැතිනියගේ ගෙදරට. මගේ මතකය හැටියට චන්ද්‍රිකාලා ඒ කාලයේ සිටියේ රොස්මිඞ් වලව්වේ. මට හරියටම මතකයක් නැහැ. කොහොම වුණත් මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා මැතිනිය හිටියේ නැහැ විජයට වෙඩි තබන වෙලාවේ. කොහොම වුණත් විජයගේ මෘතදේහය පොල්හේන්ගොඩ නිවසින් මෝචරියට රැගෙන ගොස් තිබුණේ. අපි රොස්මිඞ් පෙදෙසේ නිවසට ගියාම චන්ද්‍රිකා මැතිනිය බිම වැටී හඬා වැලපෙමින් හිටියා. මම ඒ වෙලේ දුටුවේ ගමේ ගොඬේ කාන්තාවකගේ ස්වරූපයක්. මොකද චන්ද්‍රිකා වගේ කාන්තාවක් එහෙම බිමවැටී හඬා වැලපෙන සිද්ධිය දැක්කම ඒක ඉතාම සංවේදියි. අපිටත් වාවන්න බැරි වුණා. මොකද පොළවේ ඉඳගෙන පොළවට අතගසා අඬා වැලපෙමින් තමයි සිටියේ.


ඊට පස්සේ තමයි අපි චන්ද්‍රිකා මැතිනියවත් රැගෙන මෝචරියට ගියේ. මෝචරිය ළඟ සිටියා අපිට යාපනයේදී උදව්කළ හමුදා නිලධාරියෙක්. ඔහු තමයි විජය විමලරත්න මහතා. විශාල ජනකායක් රැස්ව සිටියා. පසුව ඔහු ඒ ජනතාව ඉවත් කරලා අපට විජයගේ දේහය අසලට යන්න සැලැස්වුවා. ඒ වේලාවේ මම දැකපු දෙයක් තමයි චන්ද්‍රිකාට ඒ දුක දරාගන්න බොහෝම අපහසු වුණා. මොකද තම දයාබර සැමියාව ඝාතනය කරලා අනික දරු දෙදෙනාත් කුඩා දෙදෙනෙක්නේ. දරු දෙදෙනාත් කුඩා නිසා බොහෝ චිත්ත වේදනාවක් තිබුණා ඒ වෙලාවේ. ඒක අපි එතන සිටිය නිසා හොඳට අවබෝධ වුණා. විමුක්ති පුතයි යසෝධරා දියණියයි නිසා ඇය දරුණු කම්පාවකට පත්වෙලා තමයි සිටියේ. ඒකාග්‍රතාවය නැතිවෙලා නිකන් චංචලවෙලා වගේ තමයි හිටියේ. ඒ වෙලේ ඝාතකයන් විජයගේ ඒ සොඳුරු මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙන්න තමයි වෙඩි තියලා තිබුණේ. මට අදටත් අදහගන්න බැහැ ඒ වගේ සොඳුරු මිනිසෙකුගේ මුහුණ බලාගෙන කොහොමද වෙඩිතිබ්බෙ කියලා.


අපිට දැනගන්න ලැබුණ විදිහට මේ වෙඩි තැබීම සිදුකරලා තිබෙන්නේ “ටාසන්” කියලා පුද්ගලයෙක්. අපි පස්සේ මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවා. මේ ගැන අපි විමසීම් කළා. එතනදී පැහැදිලි වුණේ ටාසන් කියන කෙනා තමයි වෙඩි තියලා තිබෙන්නේ කියලා. ඔහුත් සමග තවත් අයෙක් ඉඳලා තිබෙනවා. ඔවුන් හිස්වැසුම් පැලඳගෙන ඉඳලා නැහැ. ඔවුන් පොල්හේන්ගොඩ නිවසට පැමිණිලා විජයට වෙඩි තියලා පලාගොස් තිබෙනවා. පස්සේ ඔහුව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් කිහිප දෙනෙක් මියගියා. ඒකෙන් තේරෙන්නේ මගේ දැනීම හැටියට මේ ගිනිඅවිය කාගෙද කියන එක ගැටලුවක්.


නමුත් මේ පිළිබඳ එක් වාර්තාවක තිබුණේ ටී - 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබුවා කියලා. තවත් වාර්තාවක සඳහන් වුණේ පිස්තෝලයකින් වෙඩි තැබුවා කියලා. මේකෙන් කෝකද පිළිගන්න පුළුවන් කියන එක ගැටලුවක්.


මම කියන්නේ ටී - 56 වර්ගයේ ගිනිඅවියකින් තමයි මේ වෙඩි තබන්න ඇත්තේ. පිස්තෝලයකින් නොවෙයි. වාර්තාවේ හැටියට තිබුණේ පිස්තෝලයකින් වෙඩි තැබුවා කියලා. නමුත් ඔය වාර්තා සියල්ල වෙනස් කරලා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ටී 56 ගිනි අවියකින් තමයි වෙඩි තබලා තිබෙන්නේ. එතැනදී පිස්තෝලයක් හමුවුණේ කොහොමද කියන එක සැකයක්. මම දකින විදිහට කවුරුන් හෝ පිස්තෝලයක් ඒ අසල දමා ගොස් තිබෙනවා. පරීක්ෂණ නොමඟ යවන්න. පිස්තෝලයකුත් ගෙන එන්න ඇති. ඇත්තටම මේ ඝාතන සිද්ධිය හොඳට නිරීක්ෂණය කරන කොට පෙනීයන දෙයක් තමයි මේක කුමන්ත්‍රණයක් කියන එක. මේකට ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ ඇති. නමුත් ඝාතනයට අණදුන්නේ කවුද කියන එකයි මෙතන ගැටලුව තිබෙන්නේ. ඒ අණදුන්න කෙනා කවුද කියලා මගේ සිතේ තිබෙනවා. නමුත් මාධ්‍යයට මම හෙළිකරන්න අකමැතියි. මම මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් කථාකළා. 


විජය කුමාරතුංගයන්ගේ ඝාතනයෙන් පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බලයට පත්වුණානේ. ඊට පස්සේ ඒ සම්බන්ධව සොයාබැලීමට කොමිසමක් පත් කළා. ඒ පිළිබඳ විනිශ්චය කළේ හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන්. ද සිල්වා මහතායි. මමයි පළමු වරට සාක්ෂි දෙන්න පැමිණියේ. නමුත් මට වාවගන්න නොහැකිව මට ඇඬුණා. එතැනදී අධිකරණය විනාඩි 10කට නතර කළා. ඊට පස්සේ නැවත වරක් සාක්ෂි විමසුවා. මම එතනදී පැහැදිලිවම ප්‍රකාශ කළා මේක සැලසුම් සහගත ක්‍රියාවක්. ඊට මූලික සිද්ධාන්තය තමයි විජය නොකරපු කථාවක් කොහොමද ජනමාධ්‍යවලින් ප්‍රචාරය වුණේ කියන එක. චන්ද්‍රිකා මැතිනිය 1994 ජනාධිපති ධුරයට පත්වූ අතර ඉන් පසුව විජයගේ මරණය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත්කළා. කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ කළේ 1995 අප්‍රේල් 14 වැනිදායි. 1995 දෙසැම්බර් 15 දක්වා මාස 8ක් සාක්ෂි විභාග කළා. කොමිසම ඉදිරියේ පුද්ගලයන් 72ක් සාක්ෂි දුන්නා. එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3441කින් සමන්විතයි.


නමුත් ඒ කොමිසම ඉදිරියට ගෙන නොගියේ ඇයි, වරදකරුවන් කවුද? ඇයි ඒ පිළිබඳ ඉදිරියට ගෙනගියේ නැත්තේ කියන කාරණා රැසක් තිබෙනවා. මමත් එතුමියගේ රජයේ අමාත්‍යවරයෙක්. මගේ රාජකාරිය මම සාක්ෂි විභාගයේදී සඳහන් කළා. මගේ රාජකාරිය මම නිසිලෙස කළා. ඒ වෙනුවෙන් කැපවුණා. මොකද විජය මගේ හොඳ මිත්‍රයෙක් හැටියට. එහි ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගතවුණා. නමුත් ඉන් එහාට විය යුත්තේ කුමක්ද කියන එක ඔවුන් තීරණය කරන්න ඕනෑ. මට අදටත් ඒ වේදනාව තිබෙනවා. එදත් තිබුණා. ඇයි මේ ගැන අවසානයට නොපැමිණියේ කියලා. නමුත් චන්ද්‍රිකා මැතිනියටත් වගකීමක් තිබුණා තමන්ගේ සැමියා යසෝධරා හා විමුක්ති යන දරුවන්ගේ දයාබර පියා ඉතින් ඒ ගැන සොයාබලන්න ඇයටත් වගකීමක් තිබුණා.


මම මේ ගැන පාර්ලිමේන්තුව තුළ හඬක් නැගුවා. නමුත් ප්‍රයෝජනයක් වුණේ නැහැ කියලා තමයි මම විස්වාස කළේ.


කෙසේ වෙතත් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවලදී හොන්ඩා සී. සී. 200 වර්ගයේ 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචි ඝාතනය සඳහා යොදාගත් බව කියන යතුරුපැදියක් කළුබෝවිල රෝහල අසලින් හමුවූබව වාර්තාවිය. මෙම පරීක්ෂණවලදී හෙළිවූයේ ලයනල් රණසිංහ වෙඩි තැබූබවත් යතුරුපැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවත් පසුව හෙළිවී තිබිණ. 

 


මතු සම්බන්ධයි.


නිශාන්ත කුමාර බණ්ඩාර