විජය දේශපාලන ගමන අරඹයි


 

ෆීලික්ස් පෙරේරා මහතා පමණක් නොව විජය කුමාරතුංග මහතා ද නිදහස් කර ඇති අතර පසුව නිදහස ලැබූ සියලු දෙනා දිවා ආහාරය සඳහා පැමිණ ඇත්තේ ෆීලික්ස්ගේ ජා-ඇල ගෙදරටය.


විජය කුමාරතුංග මහතා නිදහස් වූ සැණින් ගොස් ඇත්තේ තමාගේ ආදරණීය මව දැක බලා ගැනීමටය. විජය සිය මවට තම පණටත් වඩා ආදරය කළ ආදරණීය පුතෙක් විය.


නැක්සලයිට්කාරයෙක් කියා බොරු චෝදනාකර හිරේ දමාගෙන සිටි විජය නිදහස ලබා පැමිණ දවස් කිහිපයක් ගතවෙන්නටත් මත්තෙන් සීදුව දී රැස්වීමක් පවත්වා ඇත්තේ අපව හිරේ විලංගුවේ දාලා මර්දනය කරන්න බැහැ. අපි බයත් නැතැයි ප්‍රසිද්ධියේම අභියෝග කරමිනි.


ඒ රැස්වීමට දැවැන්ත ජනකායක් පැමිණ සිටියහ.


වසර 35කට එහා ගිය අතීතය මෙනෙහි කරමින් සංවාදයේ යෙදුණු ෆීලික්ස් පෙරේරා මහතා විජය හා මිත්‍රත්වය ගොඩනැගුණ ආකාරය ගැන තොරතුරු හෙළිකළේ මේ අන්දමිනි.


“විජය හා මා අතර සම්බන්ධකම ගොඩනැගුණේ කුඩා කාලයේ පටන්. විජය දක්ෂ ක්‍රීඩකයෙක්. මමත් පාපන්දු ක්‍රීඩකයෙක්. විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ නායකයා මමයි. ඒ නිසා අප අතර කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඔහු කඩවසම් රූපකායකට හිමිකම් කී තරුණයෙක්. ඔහුගේ මුහුණටම ඔබින ලස්සන කෙස් කලඹක් තිබූ නිසා ඔහුගේ ආකර්ෂණීය බව එයින් තවත් වැඩි වී තිබුණ බව කියන්නට පුළුවනි. ඔහු ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් හා ඩි මැසිනඞ් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. ඒ කාලයේ ඉඳලම විජයට තිබුණේ උතුම් ගුණාංග. ඔහු මානව දයාවෙන් පිරි අයෙක් බව පාසල් කාලයේදීම මම දුටු ගුණාංගයක්.


පාසල් කාලයෙන් පසු අප දෙදෙනාම නිතර හමුවුණා. ඔහුට පොලිසියට බැඳීමට තද බල ආශාවක් තිබුණා. කිහිපවරකම ඔහු මට මේ බව කියා තිබුණා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඔහු ඕනෑවටත් වඩා සපුරා තිබුණා. උපපොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් පොලිසියට බැඳීමට ගියත් ඒ වැඬේ හරිගියේ නැහැ. ඒ සඳහා ඔහුට තහංචි වැටී තිබුණා. 


විජය සහ මම දේශපාලනය පටන්ගත්තේ සම සමාජ පක්ෂයෙන්. යමක් කමක් තේරුම් ගිය කාලයේ පටන් අපි කාල්මාක්ස්ගේ හා ලෙනින්ගේ පොත් කියවනවා. සමාජවාදය ගැන ලියවුණු සෑම පොතක්ම පාහේ ලොකු ඇල්මකින් කියෙව්වා. රතු ෂර්ට් ඇඳගෙන ක්‍රියාකාරි දේශපාලනයේ යෙදීමට අප දෙදෙනා දැඩි ඇල්මක් දැක්වුවා. සමාජවාදි පොත්පත් කියවා ලබාගත් දැනුමත් සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙසත් අප තුළ විප්ලවීය අදහස් නොඅඩුව තිබුණා. හැබැයි ඒ ලේ හලාගෙන කරන විප්ලවවලට නම් නොවන බව පැහැදිලිවම කියන්න ඕනෑ. 


විජයගේ පොලිසියට බැඳීමේ ආශාව හරිගියේ නැති නිසා පසුව ඔහු දේශපාලනයට පිවිසියාට පස්සේ 1977 වසරේ කටාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා බවට පත්වුණා. ඉන්පස්සේ ඔහු ක්‍රමයෙන් සිංහල සිනමාවේ මෙන්ම දේශපාලන කරළියේදි ජනප්‍රියත්වයට පත්වීමට පටන් ගත්තා. ඉහළම ජනප්‍රසාදයක් ඔහුට ලැබෙන්නට පටන්ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහු නැතිවම බැරි කථිකයෙක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔහුටම ආවේණික වූ සහජ කථිකත්වයක් තිබුණා. ඒ හඬ ජනතාවට වඩාත් ආකර්ෂණීය වුණා. ඔහු තුළ තිබූ මානවවාදි ගුණයත් නිර්මාණශීලීත්වයත් නිසා සුවහසක් ජනතාවගේ හදවත්වලට සමීපවීමට බලපෑ ප්‍රධාන සාධක වශයෙන් කියන්නට පුළුවනි.


කටාන ආසනයේ මැතිවරණයෙන් විජය පරාජය වූයේ ඡන්ද 3,000කින්. මෙය මා අදටත් විජයගේ පරාජයක් ලෙස සලකන්නේ නැහැ. ඉතාම භීෂණකාරී වටපිටාවක් තුළ තමා එදා කටාන ආසනයේ මැතිවරණය පවත්වනු ලැබුවේ. ප්‍රතිවාදී භීෂණය එදා නොඅඩුව කටාන ආසනය පුරා වෙළාගෙන තිබුණා. ඉතාමත්ම අභියෝගකාරි තත්ත්වයකට එදා කටාන මැතිවරණයේදී විජය මුහුණ දුන්නා. මැතිවරණයට විජය ඉදිරිපත් වෙනවා කියන බව දැන ගත්ත මොහොතේ ඉඳලා ඔහු පරාජය කරන්න එජාපය දන්නා උප්පරවැට්ටි සේරම දැම්මා. විජය පාර්ලිමේන්තුවට ඒම වළක්වාලීමට.


කටාන ආසනයේ මැතිවරණයෙන් පරාජයට පත්වුවත් එයින් කිසිවිටකත් අධෛර්යමත් නොවූ විජය කුමාරතුංග මහතා දිගටම ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වූයේ ඉදිරියේදී එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට අධිෂ්ඨානයෙනි. 


ෆීලික්ස් පෙරේරා මහතා ඔහුගේ මතකය යළි අවදිකරමින් කී කතාව දැන් අසා දැන ගනිමු.


“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළාට පස්සේ එයට එරෙහිව අභිතව විජය නැගී සිටියා. විජය රටපුරා යමින් මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්තුවා. ඒවාට පැමිණීමට ජනතාව බිය වුණා. ඒ වෙන කිසිවක් නිසා නොවේ රජය භීෂණය උපරිම ලෙස මුදාහැර තිබුණ නිසයි. කොතරම් මර්දනකාරි ක්‍රියාමාර්ග අරගෙන තිබුණත් විජය ඒ කිසිම දෙයකට බිය වුණේ නැහැ. පුදුම නිර්භීතකමක් ඔහුට තිබුණේ.”


එවකට පැවති එජාප ආණ්ඩුවට විජය හරිම හිසරදයක් වෙලා තිබුණා. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් විජය ජනතාව දැනුම්වත් කිරීම නිසා ජනතාව තුළින් මේකට එරෙහිව ලොකු හඬක් මතුවෙමින් තිබුණා. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව අපි ජා-ඇල නගරයේ දැවැන්ත රැලියක් සංවිධානයකර තිබුණා. ඒ අවස්ථාවේ නොසිතූ දෙයක් වුණා. ඒ අවස්ථාවේ සරත් බණ්ඩාර සහ බණ්ඩාර සේනාරත්න ඇතුළු පිරිසක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. අත් අඩංගුවට ගත්ත මේ කට්ටියට ඇප දෙන්න ඉදිරිපත් වුණේ මමයි. මට අයත් දේපොල ඇපයට තබා අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබාදීමට මම එදා කටයුතු කළා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපමණ කැපකිරීම කළ අයෙක් වූ මා නැක්සලයිට්කාරයෙක් කියා බොරු චෝදනා නගා පොලිසියෙන් අල්ලාගෙන ගිහින් බන්ධනාගාරයේ තපින්න සිද්ධවුණෙත් ශ්‍රීලනිපයට වැඩ කරන්න ගිය නිසා එහෙම අතීතයක් තමා මට තියෙන්නේ”.


එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වීමෙන් පස්සේ ජනමත විචාරණයක් තිබ්බා. ලාම්පු කළගෙඩි සෙල්ලම කිව්වාම අදටත් නොදන්නා කෙනෙක් නැහැ. ඡන්දය කල්දාන්න තමා මේ උප්පරවැට්ටිය ජේ. ආර්. එදා යෙදුවේ. මේ මැතිවරණය බාධාවකින් තොරව කරගෙන ගොස් ඔවුන්ට අවැසි පරිදි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකස්කරගන්න අවශ්‍ය වුණා. එයට විජය ඇතුළු අපේ කණ්ඩායම ලොකුම බාධාවක් වී තිබුණා. අපේ පක්ෂයේ ක්‍රියාකාරින් බොහෝ දෙනෙක් පොලිසිය අත් අඩංගුවට ගත්තා. ඉතින් අප ආ දේශපාලන ගමන් මග හරිම කටුකයි. දුක් කඳුළැලි මත ආ ගමනක් 


ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාවේ අපේ පක්ෂයට අශ්වයෙක් ඉන්නවා. කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අශ්වයෙක් කියා වේදිකාවේදි කියා තිබුණා. ඊට පස්සේ මැතිනිය හා විජය කුමාරතුංග මහත්තයා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා හමුවීමට ගොස් ඔහුව ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් පැවැත්තුවා. කොබ්බෑකඩුව මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත ප්‍රකාශ කළා.


රාගම නගරයේදී අපේ පක්ෂයේ ජන රැලියක් පැවැත්වුවා. මේ ජන රැලියට මැතිනියද ආවා. එදා ජේ. ආර්. කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අපේ අශ්වයා කියා ඒ රැස්වීමේදි ජනතාව හමුවේ පැවසුවා. එහෙම කිව්ව මැතිනිය ඒ කවුද කියන එක මුල්වරට ප්‍රසිද්ධියට පත්කළා. ඒ වෙන කවුරුත් නොවේ හෙක්ටර් කොබ්බෑකඩුව කියා පැවසුවා. රැස්ව සිටි මහජනකාය ඒ මැතිනියගේ කතාව අසා නොනවත්වා ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. ඒ ඔල්වරසන් හඬ සෑහෙන වේලාවක් යනකම් පැවති බව මට අද වගේ මතකයි.
විජය කුමාරතුංග මහත්තයා කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් දිවා රෑ නොබලා ඉටුකළා. කොබ්බෑකඩුව මහත්තයා වෙනුවෙන් රට පුරා පැවති රැස්වීම්වලට ගියා. විජය උතුරේ පවා රැස්වීම් පැවැත්වුවා. අපි බලයට ආවොත් රටින් අල ලූණු අමු මිරිස් ගෙන්වීම නතරකරන බව සෑම රැස්වීමකදීම ජනතාව ඉදිරියේ කියා සිටියා. විජය ගේ මේ කතාවට ඉහළ ප්‍රතිචාර ජනතාවගෙන් ලැබුණා. නමුත් අවසානයේ ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුව මහත්තයා පරාජයට පත්වුණා.


එජාපය බලයට පත් වූ පසු විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්කම උතුරේ ජනතාවගේ ආර්ථිකය එහෙම පිටින්ම කඩා වැටුණා. ජනවාර්ගික ප්‍රශ්නයක් අපේ රටේ ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය උතුරේ ජනතාවගේ මේ ආර්ථික කඩාවැටීම බව මම අදටත් විශ්වාස කරනවා යැයි ෆීලික්ස් පෙරේරා හිටපු ඇමතිවරයා අවධාරණය කරයි.


විජය කියන උතුම් මනුස්සයා, මානව හිතවාදියා මේ විදියට කුරිරු විදියට මරා දැම්මේ කොහොමද? මොන හිතකින් ඔහුව වෙඩිතබා මරා දැමුවාද යන්න තේරුම් ගැනීම හරිම අමාරු යැයිද හිටපු ඇමතිවරයා කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය