විජයගේ ඡන්ද පෙත්සමට අත්වූ ඉරණම


1977 මහ මැතිවරණයෙන් බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් සහිතව ඡන්ද 3,450,811 ක් ලබා මන්ත්‍රීධූර 168 න් 140 ක් ජයග්‍රහණය කළේය. පාර්ලිමේන්තුව තුළ ලැබූ මේ ශක්තිය දිගටම පවත්වාගෙන යෑමේ අරමුණින් 1982 දෙසැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තු නිල කාලය වසර 06 ක් දික් කළ යුතු ද නැද්ද යන්න විමසමින් ජනමත විචාරණයක් පවත්වන ලදී.


ඒ අනුව 1982 දෙසැම්බර් 22 වැනි දින ජනමත විචාරණයක් පවත්වන ලද්දේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරටය. ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලන පක්ෂය වූ ශ්‍රීලනිප ලේකම් රත්නසිරි වික්‍රමනායක, විජය කුමාරතුංග වැනි ප්‍රධානීන් රජය පෙරළීමේ නැක්සලයිට් කුමන්ත්‍රණයක් මවා රිමාන්ඞ් බන්ධනාගාර ගතකර පැවැත්වූ එම ජනමත විචාරණයේ දී පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 06 ක් දීර්ඝ කළ යුතු බවට ඡන්ද 3,141,223 ක් හා ඊට විපක්ෂව ඡන්ද 2,605,983 ක් ලැබීමෙන් රජයේ අරමුණ ඉටුවිය. ඡන්ද කොට්ඨාස පදනමින් පැවැත් වූ මෙම ජනමත විචාරණයේ දී කොට්ඨාස 168 න් 120 ක්ම ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු නිල කාලය දීර්ඝ කිරීමට පක්ෂවය. පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 48 ක ජනතාව දෙමළ කථා කරන ප්‍රදේශවල ආසන 19 සමඟ පාර්ලිමේන්තු නිල කාලය දීර්ඝ කිරීමට එරෙහිව ඡන්ද ප්‍රකාශ කර තිබිණි. 1977 මහ මැතිවරණයේ දී ජයග්‍රහණය කර තිබූ නමුත් ජනමත විචාරණයේ දී රජයේ මතය පරාජය වූ එ.ජා.ප. මන්ත්‍රීන් නියෝජනය කළ මැතිවරණ කොට්ඨාස 18 සඳහා අතුරු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශයට පත්කරන ලද්දේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි සියලු මන්ත්‍රීන්ගෙන් ලබාගැනීමෙන් පසුවය. ඒ අනුව පහත මන්ත්‍රීවරු 18 දෙනා වෙනුවෙන් අතුරු මැතිවරණ පවත්වන ලදී.


1. බෙලිඅත්ත - රංජිත් අතපත්තු මහතා
2. මහර - ටියුඩර් ගුණසේකර මහතා
3. තිස්සමහාරාම - පී. එම්. බී. සිරිල් මහතා
4. අක්මීමන - සුමනදාස අබේවික්‍රම මහතා
5. කැස්බෑව - ධර්මසේන ආටිගල මහතා
6. ඇහැලියගොඩ - මර්වින් කුලරත්න මහතා
7. මහරගම - ප්‍රේමරත්න ගුණසේකර මහතා
8. රත්ගම - එඞ්වින් තිලකරත්න මහතා
9. හක්මන - හර්ෂනාත් වණිගසේකර මහතා
10. කළුතර - පී. ඇල්. විජේමාන්න මහතා
11. හබරාදුව - ජී. සුමතිරත්න මහතා
12. අම්බලන්ගොඩ - රයිටර් තිලකසේකර මහතා
13. මුල්කිරිගල - ටී. ඩී. ප්‍රැන්සිස්කු මහතා
14. තංගල්ල - ජිනදාස වීරසිංහ මහතා
15. බද්දේගම - සේපාල අකුරුගොඩ මහතා
16. කඹුරුපිටිය - ඇල්බට් සිල්වා මහතා
17. පානදුර - පද්මින් ෆොන්සේකා මහතා
18. දෙවිනුවර - රොනීද මැල් මහතා


මෙහිදී දෙවිනුවර රොනී ද මැල් මහතා බුලත්සිංහල මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දී මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් අතර පානදුර ආසනය ජනමත විචාරණයෙන් පැරදුණ ද අතුරු මැතිවරණයක් නොපැවැත්වීය. එම ආසනයට මර්වින් ජේ. කුරේ මහතා පත් කළේය. මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ සිතැඟි අනුව කටයුතු කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කර තිබුණි. අතුරු මැතිවරණ පැවැත්වූ ඡන්ද කොට්ඨාස 18 න් 14 ක් නැවත එජා පක්ෂය ජය ලබාගත් අතර මතුගම, අක්මීමන, බද්දේගම ශ්‍රීලනි පක්ෂයද මහරගම මහජන එක්සත් පෙරමුණද ජයග්‍රහණය කළේය.


1977 මහ මැතිවරණයෙන් පසුව 1983 දී නැවත මහ මැතිවරණයකට යාමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමි කරගත් ජනතාවට ජනාධිපතිට අවශ්‍ය අවස්ථාවල අතුරු මැතිවරණවලට ඉඩ ප්‍රස්ථා ලබාදීම ගැන දේශපාලන විචාරකයින් අතර විවිධ මත ඇතිවිය. 1983 මැයි 18 පැවැති මහර අතුරු මැතිවරණයේ දී ඇතිවූ ප්‍රතිඵලය හා පසුව ඡන්ද පෙත්සම තුළින් මේ ප්‍රශ්නය වඩාත් විවාදයට භාජන විය.


මහර අතුරු මැතිවරණය සඳහා විපක්ෂයේ ශ්‍රීලනිපක්ෂය  වෙනුවෙන් ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතා ඉදිරිපත්වූ අතර මැතිවරණයට පෙර ඔහු රජය පෙරළීමේ නැක්සලයිට් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටියේය. මෙම අතුරු මැතිවරණය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව ඇස් දල්වාගෙන සිටි මැතිවරණයක් විය. බහුතරයක අපේක්ෂාව වූයේ ජනප්‍රිය නළු විජයකුමාරතුංග මෙම අතුරු මැතිවරණය ජයගන්නා බවය.


නමුත් අතුරු මැතිවරණ ප්‍රතිඵල අනුව විජයකුමාරතුංග මහතා වැඩි ඡන්ද 45 කින් පරාජයට පත්ව සිටියේය.


මෙම අතුරු මැතිවරණයේදී විජයගේ ආධාරකරුවන්ට එරෙහිව මැර කණ්ඩායම්වල බලපෑම් ප්‍රබලව පැවතිණ. වීරගුල ප්‍රදේශයේදී විජය සිය ආධාරකරුවන් පිරිසක්ද සමඟ ගෙයින් ගෙට යමින් සිටි අවස්ථාවක විරුද්ධ කණ්ඩායමක් කළ වෙඩි තැබීමකදී විජයගේ දිව ගැලවුණේ පෙර පිනකිනි. එහෙත් එම වෙඩි උණ්ඩය විජය අසලම සිටි ආධාරකරුවකුගේ දිවි උදුරාගෙන තිබිණ.


කමල් ජයකොඩි - එ.ජා පක්ෂය 24,944
විජය කුමාරතුංග - ශ්‍රීලනි පක්ෂය 24,899
එස්. කේ. කේ. සූරියආරච්චි - ස්වාධීන 1837
ආර්. පී. ජී. රාජපක්ෂ - ස්වාධීන 76
එල්. පී. ප්‍රේමදාස - ස්වාධීන 47
වැඩි ඡන්ද - 45


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට අනුකූලව මැතිවරණයේදී තේරී පත්වන අපේක්ෂකයින්ට එම පත්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබේ. ඒ අනුව ඡන්ද පෙත්සමක වගඋත්තරකරුවකු කරනු ලැබූ අයකු අධිකරණයට කැඳවා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අපේක්ෂකයාගේ තේරීපත්වීමේ වලංගුභාවය තීරණය කළ යුතුය. එවැනි නඩු තීන්දුවකින් යම් පුද්ගලයකු මැතිවරණ දූෂණයක යෙදී ඇති බවට තීරණය වුවහොත් ඔහු පිළිබඳව අධිකරණය විසින් ජනාධිපතිවරයාට වාර්තා කළ යුතුය. ඒ අනුව එවක මුල්කිරිගල අතුරු මැතිවරණයේදී තේරීපත්වූ අපේක්ෂකයා නොව ඔහුගේ නියෝජිතයකු වශයෙන් සිටි අයකු කරන ලද මැතිවරණ දූෂණයක් උසාවිය විසින් පිළිගත් නිසා එවක තේරීපත්වූ අපේක්ෂකයාට මන්ත්‍රී ධූරය අහිමි විය.


විජය කුමාරතුංග මහතා ඡන්ද 45 කින් පරාජය වූ මෙම මැතිවරණයේදී ජනාධිපතිවරයා මැතිවරණ රැස්වීම්වලදී ද්වේෂ සහගතව හා අසත්‍ය චෝදනාවක් කරමින් ඔහු කුමන්ත්‍රණයක් කර ආණ්ඩුව පෙරළීමට ලේ ගංඟාවක පීනීමට උත්සාහ කළ බවට බලයට පත්ව පාර්ලිමේන්තුව ද ලේ විලක් කරන බවට ප්‍රසිද්ධියේ රැස්වීම්වලදී ප්‍රකාශ කරන ලදැයි ඡන්ද පෙත්සම මගින් චෝදනා කළ අතර ඒ මගින්

ජේ. ආර්. ජයවර්ධන මහතා ඡන්ද දූෂණයක් කරන ලද බවටත් ඒ හේතුවෙන් විජයකුමාරතුංග මහතාට ලැබිය යුතු ඡන්ද නොලැබී ගිය බවත් ප්‍රකාශ කර සිටින ලදී. 


මෙම ඡන්ද පෙත්සමේ දී ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරන ලද්දේ විජයකුමාරතුංග මහතාගේ චරිතයට හානිකර අසත්‍ය ප්‍රකාශයක් කරනු ලැබූ බවට චෝදනා කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකල 35 (1) වගන්තිය අනුව මෙසේ කියයි.


“ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවරකු හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා කරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය සභාවක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුතුය.”


මහර අතුරු මැතිවරණ අවස්ථාවේ ජනාධිපතිවරයා විජය කුමාරතුංග සම්බන්ධයෙන් ඡන්ද දායකයන් නොමග යවන සුලු අසත්‍ය ප්‍රකාශයක් කරමින් ඡන්ද දායකයන්ට බලපෑම් කළේයැයි ඡන්ද පෙත්සමින් කරන ලද චෝදනාව විභාග කිරීම සඳහා ජනාධිපතිවරයා අධිකරණයට කැඳවීමට ඉහත විධිවිධාන යටතේ නොහැකි බව අධිකරණයේ බහුතරයේ තීන්දුව විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් ක්‍රියාකරමින් අධිකරණයට තීන්දු දිය නොහැකි නිසා ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභා කරනු ලැබූවත් ඉහත සඳහන් විධිවිධාන ප්‍රජාතන්ත්‍ර විරෝධී බව අධිකරණය ප්‍රකාශ කළේය.


මේ අනුව මහර අතුරු මැතිවරණ ප්‍රතිඵලවලට විරුද්ධ වූ ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභා වුවත් ඊට අදාළ වූ චෝදනා විභාග වීමක් හෝ මැතිවරණයේදී ජනාධිපතිවරයා සිදුකළ තනි බලපෑම පිළිබඳ සංවාදයන් හෝ ඇති නොවීය.

 

 

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ