විජයට එරෙහිව පෝස්ටර්


 

විජය කුමාරතුංගයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන සිටින අපේ හමුදා සාමාජිකයන් තිදෙනා මුදවා ගැනීමයි. ඔහු දිවි පරදුවට තබා යාපනයේ සංචාරය කළේද ඒ නිසයි. මෙම සංචාරයේදී ඔහුට නොයෙකුත් දෝෂ දර්ශනවලට මුහුණ දීමට සිදුවිය. ඇතැම් පිරිස් විජය දේශද්‍රෝහියකු ලෙස නම් කළහ. එහෙත් විජය එයට සැලුණේ නැත. ඔහු ඝාතනය වන තුරුම බෙදුම්වාදයට විසඳුමක් සෙවීමට උත්සාහ කළ අතර ඇතැම් අයට විජයගේ ජනප්‍රියතාව ඉවසා දරා සිටීමට නොහැකි විය. ඒ නිසා අකාලයේ ඝාතනයට ලක් වීමට ද ඔහුට සිදුවිය.


විජයගේ යාපනය ගමනේදී ලද අත්දැකීම් විස්තර කළ එම සංචාරයට සහභාගිවූ හිටපු අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ අපේ හමුදා සාමාජිකයන් තුන් දෙනා මුදවා ගැනීමට ඔහු අපමණ වෙහෙසක් ගත් බවයි.


අපේ යාපනය ගමන ඉතා සාර්ථක වුණා. නමුත් අපි එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග ඔවුන් තුන්දෙනා මුදවා ගන්න සාකච්ඡෘ කළත් එය සාර්ථක වුණේ නැහැ. විජය ඒ ගැන දැඩි කලකිරීමෙන් සිටියේ. අනික විජය දේශද්‍රෝහියෙක් කියලා චෝදනා කළාම බොහෝම කනගාටු වුණා. එහෙත් විජය ඊට සැලුණේ නැහැ.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය වුණේ ඔවුන්ගේ අභිමානය අපිට පෙන්නන්න. අපිටත් ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මොකද අපිට ඔවුන් ඒ සඳහා සෑම අවස්ථාවක්ම ලබාදුන්නා. ඔවුන්ගේ බංකරවල යුද පුහුණු කඳවුරුවලට පවා එක්කගෙන ගියා. එහිදී ඔවුන් අපිටත් වෙඩි තියන්න කියලා ආයුධ දුන්නා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ අපි කිසිම විටක හමුදා සාමාජිකයන්ට වෙඩි තියන්න තරම් මානසික අපහසුතාවක් නැහැ. අපි ගියේ ඔවුන් බේරා ගන්න.


ඔවුන්ගේ ප්‍රධාන යුද පුහුණු කඳවුර පවත්වාගෙන ගියේ යාපනය දිසාපති කාර්යාලයේ. එවකට සිටි රජය ඒ බව කිසිවක් දැන නොසිටීම කනගාටුවක්. අපි තමයි කොළඹට පැමිණි පසු ඒ බව ආණ්ඩුවට දැනුම් දුන්නේ. එතකොට තමයි ආණ්ඩුවත් දැන ගත්තේ.

 

කොහොම වුණත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය වුණේ යුද්ධය දිගින් දිගටම ගෙනයන්න. ඒ බව ඔවුන්ගේ අදහස්වලින් කියවුණා. මොකද අපේ හමුදාවට සාමාජිකයන් බඳවා ගන්නේ අවුරුදු 18න් පස්සේ. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ සංවිධානයට බඳවා ගන්නේ අවුරුදු 8 - 10 අතර දරුවන්. මොකද ඒකෙන් පැහැදිලි වෙනවා ඔවුන්ට අවශ්‍ය වුණේ කුඩා කාලයේ ඉඳලා යුද පුහුණුව දී ඔවුන්ගේ සටන දිගින් දිගට ගෙන යන්න.


යාපනය දිසාපති කාර්යාලයේ පවත්වාගෙන ගිය එල්.ටී.ටී.ඊ යුද පුහුණු කඳවුරේදී ඔවුන්ගේ ආයුධ අතට ගත් නිසා අපට ලොකු විරෝධයක් ආවා කොළඹ ආවට පස්සේ. ඔවුන් අපිව රැගෙන ගියා ඔවුන්ගේ අවි නිෂ්පාදනය කරන කම්හලකට. ඔවුන් ඒවා නිෂ්පාදනය කරනවා. ඒකෙන්ම පේනවා ඔවුන් කොතරම් දියුණු තත්ත්වයක සිටියද කියලා. අපි අවි ආයුධ පිටරටින් ගෙන එන විට ඔවුන් ආයුධ නිෂ්පාදනය කරනවා. ඒකෙනුත් පෙනෙනවා ඔවුන් මේ යුද්ධයට කොතරම් කාලයක සිට සැලසුම් කළාද කියලා. ඔවුන් උත්සාහ කළේ අපිට ඔවුන්ගේ හැකියාව කොතරම් දියුණු ද කියලා පෙන්වන්න.


ඒක දැක්කම මෙහි සිටින අන්තවාදී පිරිස් අපිට චෝදනා කළා. මේ තුන්දෙනා ඒ කියන්නේ විජයයි මායි ඔසියි කොටින්ට හුරතල් වෙනවා කියලා. ඔවුන් එක්ක කරන රංගනයක් කියලා. ඇත්තටම රංගනයක් නොවෙයි අපි කළේ භයානක වගකීමක්. හදිසියේවත් අපිව ඝාතනය කළහොත් ඒ වගකීම අපිම තමයි භාරගන්න වෙන්නේ. එතකොට ආණ්ඩුව කියයි අපි එපා කියද්දි ගියේ අපිට වගකීම භාර ගන්න බැහැ කියලා. අපි ජීවිතයට ගත්ත අවදානමක්. ඒක ඇතැම් අන්තවාදී දේශපාලනඥයන් රංගනයක් ලෙස හුවා දක්වන්න උත්සාහ ගත්තා. අනික දේශපාලනඥයන්ට වචන එහාට මෙහාට හරවලා ඇත්ත නැති කරන්නත් බොරුව ඇත්ත කරන්නත් පුළුවන්නේ. හොඳ නරක කරන්නත් නරක හොඳ කරන්නත් පුළුවන්. ඔවුන් සෑම දේම කරන්නේ ඔවුන්ගේ වාසිය පතාගෙනයි. නමුත් එයින් දීර්ඝ කාලීනව සෙතක් වෙන්නේ නැහැ.


ඊට පස්සේ තමයි විජයට ලොකු විරෝධතාවක් හට ගත්තේ. 86 අපි යාපනය සංචාරය කිරීමෙන් පස්සේ විශේෂ සිද්ධියක් වුණා. රාගම ප්‍රදේශයේ චිත්‍රපට නළුවකුගේ විවාහ මංගල උත්සවයක් පැවැත්වුණා. විජයත් මමත් එයට සහභාගි වුණා. අපි දෙදෙනා සුබ පැතුවා මනාල යුවළට. එතැනදී විශාල කුතුහලයක් එතනට පැමිණි සිටි පිරිස අතර ඇතිවුණා කොටි කොළඹට පැමිණිලා කියලා. ඔවුන් සිතුවේ අපි කොටි සංවිධානයේ සාමාජිකයන් කියලා. විජයට දේශද්‍රෝහියා කියලා සෑම තැනකම පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන ගියා. ඒ සෑම දෙයක්ම කළේ වාමාංශික අන්තවාදී පක්ෂවල පිරිස්. ඇතැම් අය විජයව වීරයෙක් විදිහට සැලකුවා හමුදා සාමාජිකයන් බේරා ගන්න කටයුතු කිරීම පිළිබඳව. එහෙත් සමහර අය වාසිය අවාසියට හැරවීමට උත්සහ කළා. ඕක තමයි එදා ඇතිවූ තත්ත්වය.


කොහොම වුණත් විජය සෑම දෙනාටම කියන්න පුළුවන් සෑම කෙනෙකුටම ප්‍රකාශ කළා අපේ හමුදා සාමාජිකයන් තුන් දෙනා බේරා ගන්න කියලා. නමුත් එවකට සිටි එක්සත් ජාතික පක්ෂයේ බලධාරින් ඒවා ගණන් ගත්තේ නැහැ.

 

විජයගේ මූලික අරමුණ වුණේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීමටයි. ඒ සඳහා ඔහු සෑම පක්ෂයක් එක්කම කතා බහ කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අනික තමයි විජයට ඕනෑ වුණේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජන බලයක් ගොඩනගන්න. ඒ සඳහා ඔහු එක්සත් ජාතික පක්ෂයට එරෙහි සියලු පක්ෂ ඒකරාශි කරගෙන සන්ධානයක් හදන්න උත්සාහ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේ. එහෙම වුණා නම් විශාල ජන බලයක් ගොඩනැගෙනවා. නමුත් ඒක කරන්න විජයට අවස්ථාව අහිමි වුණා. ඊට කලින් ඔහුව ඝාතනය කළා. ඒ 1988 පෙබරවාරි 16 වැනිදා. එතකොට විජයගේ වයස අවුරුදු 42ක්.


විජයගේ ඝාතනයත් ඉතාම සැලසුම් කළ එකක්. ඒ සඳහා විවිධ පාර්ශ්ව වෙත චෝදනා කළා. නමුත් විජය ඝාතනය කළේ කවුරුන්ද යන්න පිළිබඳ පසුව හෙළි වුණා.

 

විජය විවාහ වුණේ 1978 පෙබරවාරි 20 වැනිදායි. ඒ හිටපු අගමැතිවරයකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කනිටු දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමඟයි. පසුව ඔවුන් දෙදෙනාට යසෝධරා කුමාරතුංග හා විමුක්ති කුමාරතුංග යන දියණියක හා පුතෙකු ලැබුවා.

 

 

විජය කුමාරතුංගයන් ඝාතනය වනවිට පදිංචිව සිටියේ කොළඹ 05, පොල්හේන්ගොඩ පාරේ අංක 4/4 දරන නිවසේයි.


විජය කුමාරණතුංගයන් ඝාතනයට පෙර තම නිවසට පැමිණ සාකච්ඡා කළ බවද හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව අදහස් දැක්වූ ෆීලික්ස් පෙරේරා මහතා :


විජය අපේ ජාඇල නිවසට පැමිණියා ඝාතනයට ලක්වූ දවසේ. ඒ හලාවත රැස්වීමක් සංවිධානය කරන්න. මම කලින් සඳහන් කළා වගේ සන්ධානය ගොඩනගන්න සාකච්ඡා කරන්න. කොහොම වුණත් සන්ධානය පිහිටුවන්න ඔහුට නොහැකි වුණා. ඊට පෙර ඔහුව ඝාතනය කළා.

 

 


මතු සම්බන්ධයි.

 

නිශාන්ත කුමාර බණ්ඩාර