ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්
05 වැනි කොටස
අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.
පන්ති පහ තරුණයන්ට පමණක් නොව මැදිවියේ දේශපාලන උනන්දුවක් ඇති සෑම දෙනාටම හොඳින් තේරුම් යන පරිදි සකස් කර තිබුණි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය යන මුල් පන්ති දෙක තරුණයන්ට තදින්ම කාවැදුණි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් උඩරට කැලෑ විනාශකර ඇති කළ වැවිලි ආර්ථිකය නිසා මෙන්ම නූතන ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී ඇති ආර්ථීක අර්බුදය නිසා රට විනාශ වී ඇති අයුරු විස්තර කළ පළමු පන්තියෙන් රටේ ආර්ථීකය වෙනස් කළ යුතු බවත් එය කළ හැක්කේ අපට පමණක් බවත් පෙන්වා දුන්නෙමු.
දකුණු ඉන්දියාව හරහා ඉන්දියාව මෙහෙයවන ඉන්දියානු ව්‍යාප්තවාදයට අප රට ගොදුරු වන හැටි මෙන්ම වතු කම්කරුවන් ඉන්දියාවට පක්ෂව අපට විරුද්ධ වනු ඇති බව දෙවන පන්තියෙන් සිත් කා වදින ලෙස විග්‍රහ කළෙමු. අප රටේ වාමාංශික ව්‍යාපාරය හා අප රටේ නිදහස යන 3 වැනි හා 4 වැනි පන්ති දෙක සමහර දිස්ත්‍රික්කවලදී පිළිවෙළ මාරුකර පැවැත්වූ බවද දැන ගන්නට තිබුණි. පවත්නා වාමාංශික ව්‍යාපාරය, සංශෝධනවාදී බවත් එය විප්ලවවාදී නොවන බවත් වාමාංශික නායකයන් 1953 හර්තාලය පාවාදුන් බවත් මොවුන් ඇමැතිකම් හා වරප්‍රසාදවලට යටවී කම්කරු පන්තිය හා විප්ලවය පාවාදෙන බැවින් නව ව්‍යාපාරයක අවශ්‍යතාව එම පන්තියෙන් පෙන්වා දෙන ලදී. සමසමාජ, කොමියුනිස්ට් හා මහජන එක්සත් පෙරමුණ යන පක්‍ෂ පමණක් නොව ට්‍රොට්ස්කිවාදීන් මෙන්ම ශන්මුගදාසන් නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලද මෙහිදී දැඩි විවේචනයට ලක් කළෙමු. නිදහස් අරගලය යන හතරවන පන්තියෙන් ලංකාව තවමත් නිදහස් රටක් නොවන බවත් රටේ නායකයා එංගලන්තයේ මහ රැජින බවත් අපට ඇත්තේ නාමික නිදහසක් පමණක් බවත් පෙන්වා දුන්නෙමු.
වැදගත්ම පන්තිය වූයේ පස්වැන්නයි. මෙරට විප්ලවය ගතයුතු මඟ කුමක්ද කියා එහිදී පැහැදිලි කරන ලදී. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සංශෝධනවාදී නිසා රුසියාවේදී ලෙනින් කළ පරිදි කම්කරු පන්ති නැගිටීමක් හරහා සෝවියට් දේශය බිහිකළ ඔක්තෝබර් විප්ලවය වැනි දෙයක් ලංකාවට ගැළපෙන්නේ නැති බව එම පන්තියෙන් පෙන්වා දුන්නේ ය. ගොවීන් මත පදනම් වූ චීන විප්ලවය වැනි දිග් ගැස්සුණු යුද්ධයන් කිරීමට හා දීර්ඝ පසුබැසීමක් සඳහා අප රට කුඩා වැඩි බැවින් ඔාම් සේතුංගේ චීන විප්ලවය වැනි දෙයක් අපට කළ නොහැකි බවද පැහැදිලි කළෙමු. කියුබාවේ මොන්කාඩෝ බළකොටුවට පහර දුන් පරිදි එක් දින රට පුරාම කරන ක්ෂණික පහරදීමක් අපට සුදුසු බව අපේ පන්තිවලදී පෙන්වා දුන්නෙමු. ලුමුම්බා විශ්වවිද්‍යාලයේ විජේවීර සහෝදරයා සමඟ ඉගෙනගත් තරුණ නායකයකු සැන්සිබාරයේ එක රැයකින් බලය අල්ලාගත් ආකාරය අපේ පන්තිවලදී සාකච්ඡා කළෙමු. බලය ලබාගැනීම සඳහා අවි රැස්කිරීම, පුහුණුව යනාදීය ගැනත් මෙම පන්තියේදී සාකච්ඡා විය.
මෙම පන්ති අපි කුඩා කණ්ඩායම්වලට දේශන ලෙස පැවැත්වූයෙමු. වඩාත් උනන්දු පිරිස් සඳහා කඳවුරු වශයෙන් සංවිධානය කර මෙම පංති විස්තරාත්මකව සකස් කළ දේශන වශයෙන් පවත්වන ලදී. මුලදී මෙම පන්ති පැවැත්වූයේ විජේවීර සහෝදරයාම ය. දේශපාලන කඳවුරුවලට සහභාගිවූ සමහර සහෝදරවරු පූර්ණකාලීනව සේවය කිරීමට එක්වූහ. ඒ සියලු දෙනාම පන්තිවලට සවන් දෙමින් දීර්ඝ සටහන් ලියාගෙන තිබුණි. ඒ ඒ ප්‍රදේශවලට යෙදවූ මොවුහු එම සටහන් අනුසාරයෙන් ඒ ඒ ප්‍රදේශවල පන්ති පැවැත්වීමට පටන් ගත්තෝය.
මුල් කාලයේ කොළඹ ප්‍රදේශයෙන් සම්බන්ධ වූ සහෝදරවරුන් විසිපහක් තිහක් සමඟ සාකච්ඡාවක් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී පැවැත්වීමට හැකිවිය. මේ සඳහා එම නිවස ලැබුණේ අපට සම්බන්ධ වූ සහෝදරයකුට, එම නිවස බලාගැනීමට දී නිවැසියන් පිටරට ගොස් තිබුණ නිසාය. මෙම සාකච්ඡාවෙන් පසු කොළඹ, කෝට්ටේ හා කඩවත සහෝදරවරු කිහිපදෙනෙකුම පූර්ණකාලීනව සේවය කිරීමට ඉදිරිපත් වූහ.
මේ වනවිට සිරිල් දහනායක (දිනෝරිස්) සහෝදරයා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉ.සං.දෙ. කම්කරු සමිතියේ උප සභාපති ධුරය දරමින් එහි ප්‍රමුඛම බලධාරියා වී සිටි අතර සභාපති ලෙස දනෝරිස් නම් සහෝදරයකු ද, ලේකම් ලෙස සමන්සේන වැනි නමක් තිබූ සහෝදරයකුද, භාණ්ඩාගාරික ලෙස ජේ. පී. පී. ධනපාල සහෝදරයාද පත්වී සිටියහ. මෙම සමිතිය ලංකා සමසමාජ පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනයකට සම්බන්ධව තිබුණි.
ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබිම් (යුනිට්) විශාල ගණනක් ඇති බවත් මෙම වැඩබිම්වල සේවය කරන සහෝද්රවරුන් ඒ ඒ වැඩබිම්වල සාදා ඇති කඳවුරු (වාඩි) වල ජීවත්වන බවත්, මෙම කඳවුරුවල අප ව්‍යාපාරයේ වැඩ කිරීමට පිළිවෙළක් සකස් කර ගැනීමට හැකිනම් හොඳ බව සිරිල් දහනායක/ දිනෝරිස් සහෝදරයා අප සමඟ පැවසීය.
සමිතියේ සාමාජිකයන් දේශපාලන වශයෙන් දැනුවත් කිරීම සඳහා, මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙනවිත්, එය සම්මත කරවා ගන්නා ලෙස අපි ඔහුට අදහස් දුන්නෙමු. අපේ අදහස් වූයේ එවැනි යෝජනාවක් සම්මත කර ගත හැකි නම් පළමුව මධ්‍යම කාරක සාමාජිකයින් දැනුම්වත් කිරීම සඳහා කටයුතු කර පසුව ඉ.සං.දෙ. වැඩබිම්වලට ගොස් කම්කරු සහෝදරයින් දැනුවත් කිරීම සඳහා දේශන පැවැත්වීමට කටයුතු කිරීම ය.
දිනෝරිස් සහෝදරයා කම්කරු සම්තියේ ඊළඟ මධ්‍යම කාරක සභාවේදීම එම යෝජනාව සම්මත කර ගත්තේ ය. මෙම දේශන පැවැත්වීම සඳහා කටයුතු කිරීම ද ඔහුම භාරගත්තේ ය. මේ කාලයේම ඉ.සං.දෙ. වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික වූ ධනපාල සහෝදරයා අපට සහායදීමට එක්වීම විශාල ශක්තියක් බවට පත්විය. මෙම දේශන පැවැත්වීම අපි විජේවීර සහෝදරයාට භාර කළෙමු. ප්‍රථමයෙන් මධ්‍යම කාරක සභාවට දේශන දෙක තුනක් කළෙමු. ඔවුහු අපේ අදහස්වලට පැහැදී අප සමඟ එක්ව වැඩ කිරීමට කැමතිවූවෝ ය. ඉන් පසුව ඉ.සං.දෙ. සියලු වැඩබිම්වලට ගොස් විජේවීර සහෝදරයා දේශන පැවැත්වීය. මෙම වැඩබිම් බොහොමයක් තිබුණේ ඉතා දුෂ්කර හා ගමන් පහසුව නොතිබූ ප්‍රදේශවල ය. බසයෙන් හෝ දුම්රියෙන් ගොස් එතැන් සිට පාපැදියකින් හෝ පයින්ම මෙම වැඩබිම්වලට යාමට සිදුවිය. එකිනෙකට කිට්ටුව වැඩබිම් දෙකක් තුනක් තිබූ අවස්ථාවලදී දිනකට දේශන දෙක තුනක් කිරීමටද හැකිවිය. මෙම දේශන අවසානයේ ඔවුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදීමට විජේවීර සහෝදරයා කටයුතු කළේය. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාගේ පැමිණි සහෝදරවරු මෙම වැඩබිම්වල සිටියෝ ය. ඉන් යම් යම් සහෝදරවරු තමන්ගේ ගම්වලට ගිය විට එම ගම්වල හතර පස්දෙනා කැඳවා සාකච්ඡා සංවිධානය කිරීමට කටයුතු කළහ. මේ වනවිට ඉ.සං.දෙ. කම්කරු සමිතියේ ලිපිකරු ලෙස සේවය කිරීමට පියතිලක සහෝදරයා පත්කර ගැනීමට සිරිල් දහනායක සහෝදරයා කටයුතු කර තිබුණි. ඒ ඒ ගම් ප්‍රදේශවල සාකච්ඡා සූදානම් කර සමිති මූලස්ථානයට දැන්වූ විට පියතිලක සහෝදරයා ඒ ඒ ප්‍රදේශවල වැඩකරන පූර්ණකාලීන සහෝදරයින්ට එම සාකච්ඡා පවත්වන ලෙස දැන්වීය.
මෙමගින් අප ව්‍යාපාරයේ කටයුතුවල විශාල වර්ධනයක් ඇතිවිය. ඉ.සං.දෙ. වෘත්තීය සමිතියේ පුවත්පත වූ “සංවර්ධන හඬ” ව්‍යාපාරයේ මතය ප්‍රචාරය කිරීමට යොදාගැනීමටත් අපට ඉඩ ලැබුණි. අපි ව්‍යාපාරයේ පූර්ණකාලීනයන් හරහා එම පත්තරය බෙදාහැරීමට කටයුතු කළෙමු.
මෙසේ වැඩබිම්වල දේශනවලට සහභාගීවන සහෝදරවරුන් නිවාඩු පිට ගමට පැමිණි විට සංවිධානය කරන ලද සාකච්ඡාවකට මටද සහභාගීවීමට අවස්ථාවක් ලැබිණි. මා නිවාඩුවකට ගමේ පැමිණ සිටි අවස්ථාවක සනත් සහෝදරයා මටද මේ සාකච්ඡාවට සහභාගී වන ලෙස දැන්වීය. මෙය සංවිධානය කර තිබුණේ අක්මීමන සහෝදරයෙකි. නියමිත දින මම එම සහෝදරයාගේ ගෙදරට ගියෙමි. රාත්‍රී ආහාර ගෙන රාත්‍රී 8.00ට පමණ සාකච්ඡාව පටන් ගත් අතර මේ සඳහා පස් දෙනෙක් සහභාගී වූහ. දේශනය අවසානයේ ප්‍රශ්න ඇසීමට ඉඩ ලබාදුනි. එහි සිටි විශ්‍රාමික ගම්මුලාදෑනි මහතෙකු “සමාජවාදය ගොඩනගන්න නම් අරගලයක් කිරීමට සිදුවෙනවා. නමුත් ඒ සඳහා අපට ආයුධ කොයින්ද කියා” මගෙන් ඇසුවේ ය. මා ඔහුට කීවේ අප තවම කරන්නේ මෙම අරගලය සඳහා අවශ්‍ය වන ප්‍රධාන ආයුධය වන නිර්ධන පන්තිය දේශපාලනික වශයෙන් දැනුවත්කිරීම බවයි. ජනතාව අරගලය සඳහා සූදානම්වනවා නම් ආයුධ ලබාදීමේ වැඩපිළිවෙළක් ද අනිවාර්යයෙන්ම ඇතිවන බවත්, එමෙන්ම අපගේ හමුදාවල හා පොලීසිවල සේවය කරන බොහෝ දෙනා ගම්වල නිර්ධන පන්තියේ තරුණයන් බවත්, ඔවුන්ද මෙම අරගලය සඳහා සූදානම් කළ හැකි බවත් මම ඔහුට කීවෙමි. එමෙන්ම ගම්වල ධනපතියන්, ඉඩම් හිමියන් සහ ප්‍රභූන් සතු තුවක්කු අප විප්ලවය වෙනුවෙන් තාවකාලිකව ඔවුන් භාරයේ ඇති බව කියා ඒවා අවශ්‍ය විට අප සතු කර ගත යුතු බව ද කියා සිටියෙමි.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.