විදුදයෙන් ජ’පුරට ගිය සටන් උරුමය


 

ඕනෑම රටකට හෝ ජාතියකට හෝ අයත්වන වටිනාම සම්පත තාරුණ්‍යය බව අවිවාදිත සත්‍යයකි. එයිනුත් උගත්, බුද්ධිමත් වැඩිහිටි ශිෂ්‍ය ප්‍රජාව වඩාත් වැදගත් වේ. මෙම කණ්ඩායමට බොහෝ විට අයත් වන්නේ සරසවි ශිෂ්‍ය සංහතියයි. මේ රටේ අනාගත පාලකයන් පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙන්ම රටේ සංවර්ධන උපාය මාර්ග සඳහා සැලසුම් කරන්නන් හා මග පෙන්වන්නන් මෙන්ම රාජ්‍ය පාලනයේ සිව්වැනි බල කුලුන ලෙස සැලකෙන මාධ්‍යය මෙහෙයවන්නන් ආදි කොට ඇති සියලු ක්ෂේත්‍රවල අනාගත මෙහෙයවන්නන් අද සිටින්නේ සරසවි ශිෂ්‍යයන් වශයෙනි.


පසුගිය සතියේ දිනෙක කාර්යාලීය කටයුතු නිමවා නිවෙස බලා යන විට ලිප්ටන් වට රවුමේ ශිෂ්‍ය විරෝධතාවයකි. කොටුව දුම්රිය පොළේ ඔවුන්ගේ රැලියකි. දෙතැනේම විශාල පිරිසකි. මෙම විරෝධතාවල යෙදෙන්නේ සියලුම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගේ නියෝජිතයන් බව මට හැඟුණි. එනිසා මෙහි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් සිටින්නට ඇතුවා නිසැකය. මෙම ලිපිය සම්පාදනය වන්නේ අද ජ’පුර සරසවිය යැයි කෙටි නමින් හැඳින්වෙන මහා ශාස්ත්‍ර නිකේතනයේ අතීත කතාව වත්මන් පරපුරට සිහිපත් කිරීමටය. එහෙත් මෙම වෘත්තාන්තය කීමට නම් අපේ අවධානය වෙනත් අංශයකට යොමු කිරීමට සිදු වේ. ඒ මෙරට පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහිය. අපි එතැනින් පටන් ගනිමු.


මහින්දාගමනයේ සිට බහුතර ජනතාව බෞද්ධයන් වූ රටක් වශයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට මෙරට ජනතාව අතුරෙන් ලැබුණේ නොමද ගෞරවයකි. භක්තියකි, ප්‍රණාමයකි. එනිසා උන්වහන්සේලාගේ උපභෝග පරිභෝග වස්තුන් කෙරෙහි ද දැක්වූවේ මහත් උනන්දුවකි. චීවර පිණ්ඩපාත සේනාසන, ගිලාන පුන්‍ය යැයි කියන සිව් පසයෙන් අනුග්‍රහය දැක්වීමට දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයේ සිටම සිංහල නරපතියෝ නිති සූදානමින් සිටියහ. උගත් බුද්ධිමත් සඟ පරපුරක් සිටීම බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහෝපකාරී වන බව ද ජනතාවගේ ශාන්තිය උදෙසා හේතු සාධක වන බව ද ඔව්හු දැන සිටියහ. එනිසා භික්‍ෂූ අධ්‍යාපනය සඳහා මහා විහාර පිරිවෙන ආදී ආයතන පිහිටු වූ බව වංශ කථාවේ දැක්වේ.


මෙසේ රටේ නොයෙකුත් පළාත්වල පිරිවෙන් බිහිවූ අතර ඒවායේ ශාස්ත්‍ර දානයේ නියුක්ත වූ මහ තෙරපාණන් වහන්සේලාගේ පාද මූලයෙහි සිය ගණන් සාමණේර භික්‍ෂූන් වහන්සේලා ශබ්ද ශාස්ත්‍ර හා ධර්මය හදාළහ. රාජ්‍යයේ අධ්‍යාපන ක්ෂේත්‍රය මුළුමනින්ම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට පැවරී තිබුණි. අනාගතයේ කිරුළ දැරීමට නියමිත ඔටුන්න හිමි කුමරාට පවා ඉගෙනුම ලබා දුන්නේ මෙම බහුශ්‍රැත මහ තෙරුන් වහන්සේලා විසිනි. සිංහල රාජාවලියේ සමහර රජවරු මෙම ක්‍රියාවලිය සඳහා වැඩි වැඩියෙන් රාජානුග්‍රහය ලබා දුන්හ. තම නැණ පමණින් ඒවාට උදව් උපකාර කළහ. ඒ අඩු වැඩි වශයෙනි. එසේ අනුග්‍රහ දැක්වීමට නොව නොයෙකුත් විනාශයන් සිදු කළ අතළොස්සක් රජවරුන් ද නොසිටියාම නොවේ.

 


දීර්ඝ කාලයක් පැවති මෙම චිරාගත සම්ප්‍රදාය 1505 දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයන් සමග බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ඔවුහු වෙනත් ආගමක් වැලඳගෙන සිටි නිසා බුද්ධාගම හෝ භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසය, සුඛ විහරණය හෝ අධ්‍යාපනය ගැන උනන්දුවක් නොදැක්වූහ. ඔවුන්ගේ අනුග්‍රහය ලබා රජකම් කළ දොන් ජුවන් ධර්මපාල ආදී රජවරු ද ඒ ගැන සොයා නොබැලූහ.


මෙවැනි දූර්දාන්ත සහ අනතුරුදායක පාලන සමයක දී වුවද රට පුරා භික්‍ෂූ අධ්‍යාපනය ලබා දුන් පිරිවෙන් ආයතන කීපයක් නොකඩවා පවත්වාගෙන ගිය බව පැරණි මූලාශ්‍රවල සඳහන්ව තිබේ. මෙවැනි ආයතන කීපයක නම් මෙසේ දක්වා ලිය හැක.


(01) ත්‍රිපිටකයේ අටුවා සහ ටීකා සහිතව ඉගැන්වීම සිදු කළ තොටගමුවේ විජය බා පිරිවෙන.
(02) ත්‍රිපිටක ග්‍රන්ථ විශාල වශයෙන් ලියා පළකිරීමට විශාල ප්‍රයන්තයක් දැරූ පැපිලියානේ සුනේත්‍රා දේවී මහ පිරිවෙන.
(03) විනය පිටකය මූලිකව ඉගැන්වූ වනවාසි සංඝ පරම්පරාවට අධ්‍යාපනය ලබා දීමට මූලිකත්වය ගත් කෑරගල පද්මාවතී පිරිවෙන.
(04) වනවාසී සඟ පරපුරේ පිළිවෙත් ගැන මුල් තැන දී භික්‍ෂූ අධ්‍යාපනය සිදු කළ පලාබද්දල වනවාස පිරිවෙන.
(05) විපස්සනාව මුල්කොටගෙන විනායනය ප්‍රගුණ කළ මහා නේත්‍ර ප්‍රසා ද මූල පිරිවෙන සහ රාජග්‍රාම ශ්‍රී ඝනානන් ද පිරිවෙන.
(07) ගලතුරුමුල සඟ පරපුරට අයත්ව පැවති, වනවාසී සහ ග්‍රාමවාසී යන උභය සංඝ පාර්ශ්වයන්ට අධ්‍යාපනය ලැබීමට පිහිටුවා තිබුණු දෙවිනුවර ඉරුගල්තිලක පිරිවෙන.
(06) වනවාසී නිකායට අයත් වීදාගම සංඝ පරම්පරාව විසින් පවත්වාගෙන යනු ලැබූ කෝට්ටේ එරබන්තොට ධර්මරාජ පිරිවෙන.
(07) කන්ද උඩරට ශාසනික ප්‍රබෝධයට හේතු කාරණා සිදු කළ නියම්ගම්පාය ජයමාලේ පිටුපාය පිරිවෙන. 
(08) විල්ගම්මුල්ල මූලායතනයට අයත්ව පැවති කැලණියේ ගතාර (ග්‍රන්ථ සාර) පිරිවෙන.
(09) අටවැනි මූලායතනය යැයි සඳහන් වන පක්‍දචමූල පිරිවෙන.
(10) කැලණියේ සප්ත රතන ප්‍රතිරාජ පිරිවෙන.
(11) වනවාසී නිකායික ලංකා තිලක ලංකා සෙනෙවිරත් මහ පිරිවෙන.


ආදී ඉතා සීමාසහිත අධ්‍යාපන ආයතන ගණනාවක් මෙරට පැවති  බව කියවේ. එහෙත් ඒවායේ විධිමත් අධ්‍යාපන නිර්දේශ මාලාවකට අනුගතව සිදු නොවූ බවද සඳහන් කළ යුතුය. රටේ පවතින ආර්ථික සමාජයීය සහ දේශපාලන සන්දර්භයට අනුව මෙම ආයතන පවත්වාගෙන යාමට එකල සිටි සංඝයා වහන්සේලා සමත් වූහ. පරන්ගින් හා ලන්දේසින් සමඟ සිංහල සේවා යුද වදිද්දී පිරිවෙන් අධ්‍යාපනය අතහැර දැමූ ගුරු ගෝල හිමිවරු දේශයේ නිදහස පතා සටන් වැදුනහ. මෙසේ නැගෙමින් වැටෙමින් අටලෝ දහමට අනුව මෙම පිරිවෙන් ආයතන පවත්වාගෙන යාමට එම සංඝ පීතෘන් වහන්සේලාට සිදුවිය.


පෘතුගීසි සහ ලන්දේසි පාලනය මුහුදු බඩ පළාත්වලට පමණක් සීමා වී පැවතිය ද 1815 උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකා දේශය මුළුමනින්ම බි්‍රතාන්‍යයන් සතු වූ බව අපි දනිමු. මෙම අන්ධකාර සමයේ දී අපේ ජනතාවගේ පිනෙන් පහළ වූ දේශප්‍රේමී මහ තෙරවරුන් වහන්සේලා කීප දෙනෙක් මෙරට වැඩ විසූහ. රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ මා හිමියෝ ඉන් ප්‍රමුඛ වූහ. උන්වහන්සේ 1758 තරම් ඈත යුගයක දී රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන පිහිටුවා වදාළහ. මෙරට බෞද්ධ උපසම්පදාව ගෙන ආ පිණ්ඩපාතික, වැලිවිට සරණංකර අසරණ සරණ සංඝරාජ මාහිමියන්ගේ පරම්පරාවෙන් පැවතෙන පණ්ඩිත ශිරෝමණී අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් සහ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක යන දෙදෙනා වහන්සේ පෙර කි රත්මලානේ පරම ධම්ම චේතිය පිරුවනින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරා දැනුමෙන් ද පෝෂණය වූහ. මහත් පුදුමයකට මෙන් මේ දෙදෙනා වහන්සේම සම අදහස් ඇතිව රටේත් ජනතාවගේත් විශේෂයෙන්ම භික්‍ෂූ අධ්‍යාපනයේ හා සම්බුද්ධ ශාසනයේත් යහපත පිණිස මහ පිරිවෙන් දෙකක් පිහිටුවා වදාළහ. 1873 දී මාලිගාකන්දේ විදf්‍යා්දය පිරිවෙන ආරම්භ වූයේ ඒ අනුවය. බෝධිසත්ව ගුණෝපේත, පරම පූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කළ විද්‍යෝදය මහ පිරිවෙන අධ්‍යාපන ආයතනයක් පමණක් නොව ජාතික නිදහස සඳහා කටයුතු කරන මධ්‍යස්ථානයක් මෙන්ම ධර්ම ශාස්ත්‍ර ගවේෂණය කරන්නන්ගේ සහ ලේඛන කටයුතුවල නියැළෙන පඬිවරුන්ගේ කේන්ද්‍රස්ථානයක් ද වූ බව කියනු ලැබේ. ආරම්භයේ දී පැවිදි ශිෂ්‍යයන් හත් දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම ශාස්ත්‍ර නිකේතනය කුඩා බීජයකින් හටගත් පැළයක් මහා වනස්පති වෘක්ෂයක් සේ වැඩෙනා පරිද්දෙන් අතු ඉති මෝරා සම්බුදු සසුනත් ශ්‍රී ලංකා දේශයත් සිල් සුවඳින් මෙන්ම ගුණ නැණ දෙකින්ද සුවඳවත් කරමින් වැඩෙන්නට විය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ (1873 - 1911) පසුව මහගොඩ ඥානීස්වර නාහිමි (1911 - 1922) කහවේ ශ්‍රී රතනසාර නාහිමි (1923 - 1936) බද්දේගම සිරි පියරතන නාහිමි (1936 - 1958) යන යුග හතරක් ගෙවී ගියේය. මේ කාලවකවානුව ගෙවී යද්දී මෙම පිරිවෙන නොයෙක් අතින් භෞතික සම්පත් වැඩී ගියේය. ගොඩනැගිලි, උගත් වියත් ගුරු පඬිවරු ආදී වශයෙන් බොහෝ සම්පත් ඒකරාශී කරමින් පිරිවෙන මහත් දියුණුවකට පත් කිරීමට පරිවේනාධිපති හිමිවරු මෙන්ම පිරිවෙනේ කටයුතු සංවිධානය කළ විද්‍යාධාර සභාවේ සාමාජිකයෝ ද සමත් වූහ. බද්දේගම ශ්‍රී පියරතනාභිධාන නායක හාමුදුරුවන් වහන්සේගේ අපවත් වීමෙන් පසු විද්‍යා්දය පිරිවෙනේ නායක ධූරයට පත්වූවේ ශ්‍රී ලංකා ද්වීපයේ පමණක් නොව සමස්ත ලෝකයටම දිදුලන පහන් තරුවක් බදු මහා පඬිරුවනක් වූ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝය.

 


සෝරත නායක හිමියන් විද්‍යෝදය පිරිවෙනේ අධිපතිත්වය භාර ගන්නා කාල වකවානුව වන විට මෙරට සමාජයීය හා දේශපාලන තත්ත්වය බොහෝ වෙනසකට ලක්ව තිබුණි. 1956 වසරට යෙදුණු ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිසා රටපුරා අතිවිශාල බෞද්ධ ප්‍රබෝධයක් සහ උත්සවශ්‍රීයක් ගොඩනැගී තිබුණි. එමෙන්ම එම වසරේ පැවති මහා මැතිවරණයෙන් ජයගත් මහජන එක්සත් පෙරමුණු නව රජය බුද්ධාගම සහ සිංහල භාෂාවට සුවිශේෂි ඉහළ ස්ථානයක් ලබාදෙන බවට ආකර්ශණීය පොරොන්දු රැසක් ලබා දී තිබුණි. එය බෞද්ධ මහජනතාවට මෙන්ම සංඝයා වහන්සේලාට ද මහත් සේ ප්‍රසාදයට හේතු විය. පොරොන්දු වූ පරිදිම නොව මදක් ප්‍රමාදව වූවත් එහි නීතිමය කටයුතු ආරම්භ විය. නොයෙකුත් වාද විවාද සහ මත ගැටුම් මැද වුව ද පියවරෙන් පියවර භාෂා වෙනස උදෙසා කටයුතු සිදු කෙරෙමින් තිබුණි. ඉංග්‍රීසි යටත් විජිත පාලනය මගින් සිංහල භාෂාවට කිසිදු තැනක් නොදී සමස්ත පාලන තන්ත්‍රයම ඉංගිරිසියෙන් මෙහෙය වන ලද අතර එම භාෂාව නොදත් දේශීයයෝ මහත් අපහසුතාවට පත් වූහ. වසර ගණනාවකට පෙර රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරින් එංගලන්තයෙන් ආනයනය කළ බව නොරහසකි. පසුව මිෂනාරි අධ්‍යාපනය යටතේ ඉංග්‍රීසි උගත් පන්තියක් මෙරටින් බිහිකර ගැනීමට සුද්දෝ සමත් වූහ. එය රටේ ලිපිකරු ශ්‍රේණිය සඳහා ප්‍රමාණවත් විය. කොළඹ ලංකා විශ්වවිද්‍යාල කොලීජිය ආරම්භ කිරීමෙන් පසු ඉංග්‍රීසි උගත් නිලධාරි පිරිසක් ද සකස් කර ගැනීමට හැකි විය. විශ්වවිද්‍යාල කොලීජිය කොළඹින් ගෙන ගොස් පේරාදෙණියේ ස්ථාපිත කර එහි අධිපතිත්වය භාර දුන්නේ සර් අයිවෝර් ජෙනින්ස් නමැති සුදු අධ්‍යාපනඥයාටය. බි්‍රතානයේ ඔක්ස්ෆර්ඞ් සහ කේම්බි්‍රජ් වැනි විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පටිපාටියට අනුව ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහාම වෙන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජෙනින්ස් පවත්වාගෙන ගියේය.

 


බණ්ඩාරනායක රජය මගින් සිංහලය රාජ්‍ය භාෂාව වශයෙන් 1961 ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වීමට අණ පනත් සකස් කළ නමුදු පාලන තන්ත්‍රය සඳහා සිංහල උගත් නිලධාරි සංහතියක් තනා ගැනීමේ අවශ්‍යතාව උග්‍ර ලෙස පැන නැංගේය. මෙම ජාතික අවශ්‍යතාව ගැන සලකා බැලූ විද්වතුන්ට පෙනී ගිය සුවිශේෂී කරුණක් වූවේ ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන රටේ ප්‍රකටම උසස් අධ්‍යාපන ආයතන දෙකක් වශයෙන් පැවති විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් දෙකට විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනමා රටට අවශ්‍ය උගතුන් එමගින් සකස් කර ගැනීමය. මේ ගැන කරන ලද සොයා බැලීම් සාර්ථක වූ අතර මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය එදා රජය ද ප්‍රතිපත්තියක් වශයෙන් එකඟව සිටි නිසා මෙම කටයුත්ත පහසුවිය. එමෙන්ම සම්ප්‍රදායික ථේරවාද බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා මෙම විද්‍යායතනයට විදේශීය ශිෂ්‍යයෝ ද බහුල වශයෙන් පැමිණ නේවාසිකව අධ්‍යාපනය ලැබූහ. එමගින් විද්‍යෝදය මහ පිරිවෙන ජාත්‍යන්තර කීර්තියට ද පත්ව තිබුණි. සතිශ්චන්ද්‍ර විද්‍යා භූෂණ, පණ්ඩිත කෝසම්බිය ධම්මානන්ද, වෛචරදාස් ව්‍යාකරණ න්‍යාය තීර්ථ, හර්ගෝන් ශාස්ත්‍රී, තේජන් ගුණරත්න සූබාහු, ඌ සාගර, පණ්ඩිත ගෝෂ්වාමි, ශ්‍රමණ පූර්ණ නන්ද වැනි පඬිවරු  විද්‍යොදය ගුරු කුලයෙන් බිහි වූ විදේශීය පඬිවරු වූහ. බෙංගාලි, ගුජරාටි චිතගොන් ජපන්, ටිබෙට්, බුරුම, සියම් කාම්බෝජ ආදී රටවලින් පැමිණි ශිෂ්‍යයෝ විද්‍යොදය ශාස්ත්‍ර නිකේතනයෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරා පඬිවරුන් බවට පත්වූහ. එනිසාම පෙර පැවති මහා සම්ප්‍රදායේ විදේශීය විශ්ව විද්‍යාලයන් වූ දඹදිව නාලන්දා විශ්ව විද්‍යාලය, වික්‍රමශිලා විශ්ව විද්‍යාලය, සෝමපුර විශ්ව විද්‍යාලය, ඕදන්තපුරි විශ්ව විද්‍යාලය, ජගත්දලා විශ්ව විද්‍යාලය, තක්‍ෂිලා විශ්ව විද්‍යාලය ආදි ශාස්ත්‍ර නිධානවලට සමාන තැනක් විද්‍යෝදය, විද්‍යාලංකාර දෙපිරිවෙන්වලට හිමිව පැවතුනි. පෙර සඳහන් කළ භාරතීය විශ්ව විද්‍යාලයන්හි කටයුතු කළ බවට සඳහන් වන වසුබන්ධු, නාගර්ජුන, ආර්යශූර, ආර්යදේව, ධර්මකීර්ති ආදී අග්‍රගණය පඬිවරුනට දෙවැනි නොවූ පැලෑනේ ශ්‍රී වජිරඥාන, යගිරල ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද, කොත්මලේ ශ්‍රී ධම්මානන්ද, කරඳන ශ්‍රී ජිනරතන පලන්නොරුවේ විමලධම්ම, කළුකොදයාවේ පක්‍දක්‍දාසේකර, බද්දේගම ශ්‍රී පියරතන, වැලිවිටියේ සෝරත ආදී බහුශුැත්‍ර මහනාහිමිවරු විද්‍යෝදය ගුරු කුලයේ ශාස්ත්‍ර දානයේ යෙදුනහ. එනිසාම නිල පිළිගැනීම ලබන්නට පෙර සිටම නිල නොවන විශ්ව විද්‍යාලයක මට්ටමට එය මෝරා තිබුණි.


විද්‍යොදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වෙන බවට සාකච්ඡාවෙද්දී පරිවේනාධිපති ගෞරවාචාර්ය වැලිවිටියේ සෝරත නාහිමියන්ගෙන් ප්‍රධානත්වයෙන් යුතු මණ්ඩලයක් විසින් අනාගත සරසවියට පැවතිය යුතු ප්‍රතිපත්ති හා අරමුණු ඇතුළත් ප්‍රඥප්තියක් සකස් කරන ලදී.

 


මතු සම්බන්ධයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි