විදුලකරෙන් බිහිවූ ජන සටනේ යතිවර ලකුණු


ඒ 1947 වසරේ මහ මැතිවරණ සමයයි. බලසම්පන්න එජාප ආණ්ඩුවට එරෙහිව සමාජවාදී අදහස් දරන ගිහි පැවිදි බලවේගවල රැලි රටපුරා පැවැත්විණ. එවකට කැලණිය අසුනට අයත්ව තිබූ වතුරුගම රැලියේ මුලසුන ඉසිලුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්හි කීර්තිමත් පැවිදි චරිතයක් වූ කොටහේනේ පඤ්ඤාකිත්ති හිමිපාණෝය.

 

කථිකයන් අතර සමාජවාදී නායකයකු වූ ‘බොරලුගොඩ සිංහයා’ යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධනයෝද රොබට් ගුණවර්ධන හා එඞ්මන් සමරක්කොඩි යනාදීහු ද වූහ. පිලිප් සිංහ ලීලාවෙන් කතාව ඇරඹුවා පමණි. මහා ඝෝෂාවක් නැගිණ.


කුලප්පු වූ අලියකු එක පිම්මේ සභාව වෙත එනු දක්නට ලැබිණ. එකල ධනවත් ප්‍රභූවරුන්ගේ විනෝදාංශයක් වූයේ කැලෑ අලි මෙල්ලකර තමන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ගැනීමය. පෙරහර සඳහාද බර එසවීමටද විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමටද උන් යොදා ගැනිණ. විරුද්ධවාදීහු අලියා එවන ලද්දේද රැස්වීම කඩාකප්පල් කිරීමේ පරමාර්ථයෙනි.


අලියා එනු දුටු ජනතාව බියවී සීසීකඩ දිවගියෝ ය. සමහරු රතිඤ්ඤා දල්වා පෙරමගට විසිකළහ. එයින් තවත් කලබල වූ අලියා හොඬවැල ඔසවාගෙන දිව ආවේය. වේදිකාවේ සිටි උදවිය රැකවරණය පතා පැන ගියහ.


කලබල නිමාවන තෙක් හිටිපියවර නොසැලී සිටියේ තිදෙනෙකු පමණි. ඒ පිලිප්, රොබට් සහ පඤ්ඤාකිත්ති හිමියන් පමණි.


ඒ විද්‍යාලංකාර භික්ෂුවගේ නොසැලෙනසුලු ගතිය ගැන උදාහරණයක් පමණි. ධර්ම ඥානයෙන්, සංඝශෝභන ගුණයෙන් සාහිත්‍ය ඥානයෙන් මෙන්ම තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීම පිළිබඳ ආදර්ශ රටටම දීමට විද්‍යාලංකාර භික්ෂූහු තරම් පිරිසක් නොවූහ.


පාලක එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරු දැරුවන් හා පළාතේ ධනවත් ප්‍රභූවරු විද්‍යාලංකාර පිරිවෙනේ දායක සභාවේ බලය දැරූහ. එහෙත් හැම දේකටම එහෙයි කියමින් නොසිට පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට ඔවුහු නොපැළ කටයුතු කළහ.


දායක සභාවේ මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකත්වය දැරූ ඩී.එස්. සේනානායක මහතා 1946 මාර්තු 23 දා විද්‍යාලංකාර පිරිවෙනට පැමිණ සඟරුවනෙන් ඉල්ලීමක් කළේය.


භික්ෂූන් දේශපාලනයට සුදුසු යැයි කියන්නේ සමසමාජ හා කොමියුනිස්ට්කාරයෝයි. මේ ව්‍යාපාරෙ පටන් අරන් තියෙන්නෙ අපේ චරිතෙ නැතිකරන්නයි. මං කොහොම හරි ඒක රැකගන්නවා. මට කනගාටු බුද්ධසාසනෙත් පිරිවෙනත් නැතිවෙන එකටයි.


දැඩි නිහඬතාවක් ශාලාවේ පැතිර ගියේය. නිහැඬියාව බිඳිමින් නැගී සිටියේ එවකට පිරිවෙන් අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියෝය. උන්වහන්සේ ශාලාවේ බිමකට ගොස් කට පිරී තිබූ බුලත් කෙළ එළියට ගසා පැමිණ සන්සුන්ව අසුන් ගත්හ.


‘ඈ මැතිතුමා ඔය කිව්වෙ වරිගෙ ඔබතුමා රැකගන්නව නොවැ. මහානායක හාමුදුරුවරු බුද්ධසාසනෙත් පිරිවෙනත් රැකගනීවි. එතකොට ඔය ව්‍යාපාරෙන් කාටවත් වරදක් වෙන්නෙ නෑනෙ’


උන්වහන්සේ නිර්භීතවම පැවසූහ.


මෙම ප්‍රකාශයත් සමගම දණ්ඩෙන් පහර ලත් නාගයන් සේ කිපුණු ධනවත් දායකයෝ පිරිවෙන් භික්ෂූන් සමග වෛර බැඳගත්හ. සහනාධාර කපා හැරිණ. දානය පිරිනැමීම තහනම් විය. සඟරුවන ලියූ පත පොතද ගිනිලෑහ. අන්තිමට ඉතිරි වූයේ මධ්‍යස්ථ බෞද්ධ නායකයකු හා පිරිවෙනේ දායක සභාවේ සභාපති වූ දොස්තර නිකුලස් ආටිගල ප්‍රමුඛ පිරිසක් සහ දුප්පත් දායකයන් පමණි.


විද්‍යාලංකාර පිරිවෙනත් සමග මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ 1946.02.13 දින පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන විසින් සම්මත කොට ප්‍රකාශයට පත්කරන ලද ඓතිහාසික ප්‍රකාශනයයි.
මහාචාර්ය වල්පොල රාහුල, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, නාත්තන්ඩියේ පඤ්ඤාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, කලල්ඇල්ලේ ආනන්ද සාගර, කුඩිරිප්පුවේ පඤ්ඤාශේඛර, කොස්ගොඩ ධම්මවංශ, බඹරැන්දේ සිරිසීවලී විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රගතිශීලී භික්ෂු නායකවරු සියල්ලෝම මීට දායක වූහ.


“භික්ෂු ජීවිතයට කැළැල් නොවන සේ ජනතාවගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂුවට සුදුසුමය.”


එම ප්‍රකාශනයෙන් කියැවිණ.


බාහිර පරිසරය සමග සියලු සබඳතා බිඳහෙළීමට සමාජවාදී විරෝධී පිරිස කටයුතු කළ අතර  ඇතැම් අය දැන්වීම් පවා පළකර විද්‍යාලංකාර පිරිවෙනට කිසිදු අනුග්‍රහයක් නොදක්වන ලෙස ජනතාව දැනුම්වත් කළහ.


වැඩිමහල් භික්ෂූන් කුසගින්න දරාගෙන සිටියත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නේවාසිකාගාරවල හිඳ කුසගින්නේ හඬන හැටි ඇසූ දුටු මහනාහිමිවරුන්ගේ හදවත් කම්පා විය. පිරිවෙනට ආදායම උපදවන පරිදි ස්වයං ව්‍යාපාරයක් ඇරඹීමට යක්කඩුවේ නාහිමියෝ තීරණය කළහ.


උන්වහන්සේ ලියූ වනකතා වැනි හාස්‍යමය, යථාර්ථය දනවන පොත්පෙළ දායකයන් අතරේ උණු කැවුම් මෙන් අලෙවි විය. මෙම දුර්භික්ෂ සමයේ වනකතා වියළි පොළොවට වැටුණු වැසි පොදක් මෙන් විය. එය දැනගත් රජය පොත් තහනම් කළේය.


අපි මේ දේශපාලන භික්ෂූන් නුවර පාරට ඇද දමා වෙනත් හාමුදුරුවරු ගෙනත් පිරිවෙන කරනව.


සමාජවාදීන්ට එරෙහි ප්‍රභූවරු පාරම්බෑහ. 1946.03.31 දින සමාජවාදී භික්ෂු ව්‍යාපාරයට එරෙහිව කැලණි රජමහා විහාරයේදී ශාසනශෝධන නමින් විකල්ප ව්‍යාපාරයක් ඇරඹිණ. ඊට පිළිතුරු දීමටත් නැගී එන සමාජවාදී සමාජය දිරිමත් කිරීමටත් විද්‍යාලංකාර පිරිවනේ භික්ෂූහු ලංකා එක්සත් භික්ෂු මණ්ඩලය බිහිකළහ.


කොටහේන පඤ්ඤාකිත්ති හිමියන්ගේ සංස්කරණයෙන් ‘කාලය’ පෙරළිකාර පුවත්පත කළඑළියට ආවේ මේ කාලයේය. විද්‍යාලංකාර පිරිවෙනට මෙන්ම සමාජවාදී භික්ෂු ව්‍යාපාරයට එල්ලවූ ගල්මුගුරුවලට නිසි පිළිතුරු ලබාදුන්නේ කාලය තුළිනි.


1947 පාර්ලිමේන්තු මන්ත්‍රී සටනේදී යූ.එන්.පී. අපේක්ෂකයන් පරදවා වාම අපේක්ෂකයන් දිනවනු පිණිස ලංකා එක්සත් භික්ෂු මණ්ඩලය රටපුරා කඳවුරු බැඳගත්හ. 


බෝමිරියේ රැස්වීමක වේගවත් කතාවක් පවත්වමින් සිටි කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් පන්සලට වැඩම කළ විට මරණීය තර්ජන එල්ල විය.


‘ඔය කණ්ණාඩි පොළඟා මෙහාට ඇදල ගනිව්’


මෙසේ වහසිබස් දොඩවමින් වාහන තුනකින් විද්‍යාලංකාර භික්ෂූන් ගිය රිය හඹා පැමිණි මැරවරයන්ගෙන් ඔවුන් බේරුණේ රියැදුරු පුංචි බණ්ඩාගේ හපන්කමත් නිට්ටඹුව පොලිසිය ළඟින් පිහිටා තිබූ නිසාත්ය.


එහෙත් රැස්වීමට වැඩම කරමින් සිටි වල්පොල රාහුල හිමියන් සහ කළුපහන රේවත හිමියන් වාහනයෙන් ඇද බිම දමා පහර දෙන ලදී. 


නැගී එන මහජන විරෝධය හා විද්‍යාලංකාර සිසුන්ගේ ජාති හිතෛෂී වැඩපිළිවෙළෙහි සත්‍යතාව දුටු ඩී.එස්. සේනානායකයන් තම දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කළේය.


මේ කාලයේ සිංගප්පූරුවට යවා සිටි ලාංකික හමුදා භටයෝ රාජකාරීමය ප්‍රශ්නයක් මුල් කරගෙන ඒ රටේදී කැරලි ගැසූහ. සිංගප්පූරුව සමග පැවැති බෞද්ධ සබඳකම නිසා භික්ෂූන් වහන්සේ නමක් එහි යැවීමේ අවශ්‍යතාව රජයට පෙනිණ. ඒ අනුව බම්බලපිටිය වජිරාරාමවාසී කාශ්‍යප හිමියෝ එහි වැඩම කර ප්‍රශ්නය විසඳාලූහ.


භික්ෂූන්ටද යම් දේශපාලන බලයක් ඇති බව රජයට හැඟීම නිසා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය එකඟ විය.


මේ අනුව ගොවි කම්කරු ජනතාවට යළි ආගමික මෙන්ම අධ්‍යාපනික නවෝදයක් සඳහා දොරගුලු විවර කෙරිණ.

 

 

 

සකස් කළේ : 
-පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි