රාජාවලිය පුරාම විදෙස් හමුදා සමග අප කළ සටන් කුමන්ත්‍රණ මෙන්ම පැහැර ගැනීම් ගැන ද සඳහන් වේ. ගජබා රජු සොළී දේශය ආක්‍රමණය කර පැහැරගෙන ගොස් වහල්කමේ යොදවා සිටි අපේ සෙබළුන් දොළොස් දහසක් මුදවාගෙන මෙරටට ගෙන ආවේය. ඊට හිලව් වන්නට සොළී සෙබළුන් දොළොස් දහසක් ද මෙරටට වහලුන් ලෙස ගෙන එනු ලැබිණ.
දකුණු ඉන්දියානු අන්තවාදිතයන් මෙන්ම පරංගි ලන්දේසි හා ඉංග්‍රීසි හමුදා විසින් මෙරට වැසියන්ගේ ධනය පමණක් නොව දේපළ හා ඉඩම් ද කොල්ලකන ලදී.
පසු කාලෙක ආයුධවලින් නොව උපක්‍රමශීලීව ජාතික ධනය හා පුරාවස්තු ඩැහැ ගැනීමට ආක්‍රමණිකයෝ කුමන්ත්‍රණය කළහ. තවමත් බටහිර රටවල කෞතුකාගාරවල මෙරටේ වටිනා පුරාවිද්‍යාත්මක අගයක් ඇති වස්තුන් රඳවාගෙන සිටී.
1956 බිහිවූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් එතෙක් පැවැති බටහිර ගැති පාලන ක්‍රමය වෙනුවට සමාජවාදී දර්ශනය පෙරදැරි කරගත් නව අර්ථක්‍රමයක් හා විදේශ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නිසා ත්‍රිමලේ යුද කඳවුරු ඉවත් කිරීම පසුකාලයේ දී ගත් තෙල් ජනසතුව වැනි තීරණ නිසා විදේශීය ඒකාධිකාරයට බලවත් බලපෑමක් එල්ල විය.
1960 ඉන්දියානු පුරවැසි ප්‍රශ්නය විසඳීමේලා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ගත් පියවර ප්‍රශංසනීයය. බි්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට තේ වතුවල සේවයට යෙදවීමට ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය කම්කරුවන්ට තාවකාලික පුරවැසිකම් ලබා දී මෙරටට ගෙන්වන ලදී. පසු කාලයේ දී එම ප්‍රජාව වර්ධනය වීමත් සමගම රට තුළ ගැටලු රාශියක් පැනනැගුණු අතර ඔවුන්ගේ නඩත්තුව දැරීමට ද රජය අපොහොසත් විය.
1968 - 69 දී මෙම ගැටලුව විසඳීමට එක්සත් ජාතික පක්ෂ රජය ඉන්දියාව සමග රාජ්‍ය මට්ටමේ සාකච්ඡා රැසක් පැවැත්වූ නමුත් එම තීරණ ක්‍රියාත්මක නොවිණ.
1970 බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්දියානු පුරවැසි ප්‍රශ්නය විසඳාලීමට උත්සුක වූ අතර රාජ්‍ය දූතයන් මාර්ගයෙන් සාකච්ඡා වට පවත්වන ලදී. උඩරට සිංහල ජනතාවට අසාධාරණයක් නොවන පරිදි මෙම ගැටලුව නිරාකරණය විය යුතු බව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ජාතික රාජ්‍ය සභාවේ දී අවධාරණය කළාය.
1973 දී මෙහි පැමිණි ඉන්දීය නායිකා ඉන්දිරා ගාන්ධි සමග කළ සාකච්ඡා ඵලදායක විය. ඉන්දීය අගමැති ධුරය දැරූ ලාල් බහදූර් ශාස්ත්‍රි සමග සිරිමාවෝ අගමැතිනිය අත්සන් කළ ගිවිසුම පරිදි ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන් යළි ඉන්දියාවට යැවීමටත් ලංකා පුරවැසිකම් දීමටත් කතිකා කරගෙන තිබුණි. එහෙත් එජාප පාලනය යටතේ එම තත්ත්වය අවුල් විය.
1973දී ඉන්දිරා ගාන්ධි සමග යළි ගිවිසුම් ගතවූ අගමැතිනි සිරිමාවෝ වාර්ෂිකව 10% වැනි පිරිසක් එතෙර යැවීමට එකඟ වූවාය. ඒ අනුව 5,25,000ක් සඳහා 1981 වනවිට යැවීමටත් ඉතිරි 75000 දෙනා 1983 වනවිට යැවීමටත් එකඟ වූහ.
කච්චතිව් දූපත පිළිබඳ දෙරට අතර පැවති ගැටලුව ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාලීමට අගමැති සිරිමාවෝ සහ අගමැතිනි ඉන්දිරා සමත් වූහ. මේ සඳහා ශ්‍රී ලංකාව උපක්‍රමශීලී ලෙස කටයුතු කළ බව සඳහන් වේ.
කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව සෘජුව කතා කිරීමට පෙර පෝක් සමුද්‍ර සන්ධියේ ආදම්ගේ පාලම තෙක් මුහුදු මායිම් ලකුණු කෙරිණි. ඒ තුළින් අපේ රටට ඛනිජ සම්පත් සොයා ගැනීමටත් ඒ තුළින් රටේ සංවර්ධනයට වාසි සලසා ගැනීමටත් හැකිවුණි.
ලංකා ධීවරයන් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළේ යැයි ඉන්දීය ධීවරයන් ද අත්අඩංගුවට ගෙන තිබිණි.
නව ගිවිසුම යටතේ නිවැරදිව මුහුදු සීමා නම් කිරීම නිසා දෙරටේ ධීවරයන්ට නිදහස ලබා ගැනීමට හැකිවිය. එලෙසම වන්දනාකරුවන්ට ද විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට ඉඩ හසර ලැබිණි.
1974 ජූනි 24 වැනිදා සිරිමා - ඉන්දිරා නව ගිවිසුම අත්සන් කරන ලදී.
එජාප පාලන සමයේ වතුකම්කරු ප්‍රශ්නය නිවැරදිව විසඳා තිබුණි නම් අද කඳුකරයේ පවතින දේශපාලන අධිකාරියේ බලපෑම් මධ්‍යම ආණ්ඩුවට බල නොපාන්නට ඉඩ තිබූ බව විචාරකයන්ගේ මතයයි.
1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය වතු කම්කරුවන් ආපසු නොයවා ඔවුනට පුරවැසිකම් ලබා දුන්නේ ඡන්දය ඉලක්ක කරගෙන බව නොරහසකි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අද බලපෑම් කරන්නේ ඉන්දු ලංකා ගිවිසුම නිසා යැයි පවතින මතය සාවද්‍ය බවත් ඊට පෙර ඉන්දු ලංකා ගිවිසුමක් මෙරටේ තිබූ බව ද ඔවුහු සිහිපත් කරති. මේ වනවිට අඹගමුව ප්‍රාදේශීය සභාව ඉන්දු ලංකා ගිවිසුමට මුවාවී කොටස් තුනකට බෙදා ඇති අතර නෝර්වුඞ් හා මස්කෙළිය දෙමළ බලප්‍රදේශවී ඇත.
1980 - 89 වකවානුව තුළ මෙරට ත්‍රස්තවාදය රජකළ අතර පුද්ගලයන් පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ නිදර්ශන ඕනෑ තරම් දක්නට තිබිණි. මෙම පුද්ගලයෝ නිරුපද්‍රිතව යළි හමුවූ අවස්ථා ඇතත් සදහටම අතුරුදන් වූවන් සහ මළ සිරුරු හමුවූ අවස්ථා වැඩිය.
මේ පැහැර ගැනීම් සම්ප්‍රදාය ‘සුදුවෑන්’ සංස්කෘතිය ලෙස හැඳින්වූ අවස්ථා ද වේ. මේ යුගයේ අතුරුදන් වූ සමහරු පසුකාලීනව වෙනත් රටවලින් හමුවූයේ තමන් ආරක්ෂාව සඳහා විදේශගත වූ බව කියමිනි.
30 වසරක යුද සමය තුළ ද ආරක්ෂාව පතා රටින් පැනගිය ඇතැම් පුද්ගලයන් බටහිර රටවල සිට මෙරට පාලනයට එරෙහිව කුමන්ත්‍රණවල යෙදුන බව නොරහසකි. මෙරට තානාපති කාර්යාල හරහා ඔවුහු විවිධ බලපෑම් රජයට සිදු කරති.
මේ අතර බලසම්පන්නම බලවේගය ලෙස දෙමළ ඩයස්පෝරාව කැපී පෙනෙන්නට තැත් කරන බව පෙනේ. ඔවුන් අද වනවිට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම් කරන්නේ මෙරට රජයටත් ආරක්ෂක අංශයටත් එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.
යුද සමයේ දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවත් ස්ත්‍රී දූෂණ කොල්ලකෑම්, මානව හිමිකම් කඩ කිරීම් නීතියට පටහැනිව නඩු විමසීම් දඬුවම් දීම්, පැහැරගෙන යාම් මරා දැමීම හා යටත් වූවන් සුදු කොඩි ඔසවද්දී වෙඩි තබා ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම්, අපරාධ කළ හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම් වැනි අභූත චෝදනා රැසක් මේ වනවිට රජයට එල්ලවී ඇත.
යුද සමයේ දී සාම නියෝජිතයන් වශයෙන් කටයුතු කළ නෝර්වේ රජයේ භූමිකාව පිළිබඳ රට තුළ පවතිනුයේ සැකයක් සහ අප්‍රසාදයකි. අලුත්ම ජවනිකාව වී ඇත්තේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධියයි.
එම කාර්යාලයේ සේවය කරන බව කියන ලාංකික සේවිකාවක සුදු මෝටර් රියකින් පැහැරගෙන ගොස් බියකර ප්‍රශ්න කළ බවටත් එම බිය නිසා ඇය සැඟවී සිටි අතර පොලිසියට එකිනෙකට පරස්පර ප්‍රකාශ කරන බවටත් දැන් ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ සිද්ධිය පසුපස පසුගිය රජය සමයේ අපරාධ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රමුඛ පොලිස් නිලධාරියකු වන නිශාන්ත ද සිල්වා නමැත්තාගේ අතුරුදන්වීම ද පවතී. නව රජය බලයට පත්වීමත් සමගම මෙම පොලිස් නිලධාරියා කටුනායක ගුවන් තොටුපොළින් හොර රහසේ විදේශ ගත කළ බවට රාවයක් ගියේය.
ඒ සමග ඔහු ස්විට්සර්ලන්තයේ රැකවරණ ලබන බවට ද ආරංචි විය. මොහුට රටින් පිටට යාමට වීසා ලබාදීම පිළිබඳව ස්විට්සර්ලන්තයට ඇඟිලි දිගු විය.
නව රජයට එරෙහිව කරුණු ගොනු කරමින් සිටින විදේශගත වූ බලවේගවලට උපකාර කිරීම් පිණිස නිශාන්ත ද සිල්වා රටින් පැන යාමට සැලසුම් කළ බවට චෝදනාවකි.
මෙම චෝදනාවත් සමග තානාපති කාර්යාලයීය සේවිකාව පැහැරගෙන යාම නමැති නාටකය නිර්මාණය කළ බවට කරුණු හෙළිවෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති. දිනෙන් දින හෙළිවන කරුණුවලින් පෙනී යන්නේ මෙසේ ශ්‍රී ලංකාවට විදෙස් බලපෑම් එල්ලවීම අහඹුවක් නොවන බවයි.
මෙම කුමන්ත්‍රණය පිටුපස පරාජිත දේශපාලන බලවතුන් කිහිප දෙනකුම සිටින බවට තොරතුරු ලැබෙමින් පවතී.
1988 දී මෙරට සම්භවයක් ඇති නිව්යෝර්ක්හි දෙස් විදෙස් පතල විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රැල්ෆ් බුල්ට්ජෙන්ස් පිළිබඳ සිද්ධිය පිටුපස ද දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බව හෙළිවිය.
සමරු දේශනයක් පැවැත්වීම සඳහා මෙරට වාමාංශික දේශපාලනඥයන්ගේ ඇරයුම පරිදි මෙම මහාචාර්යවරයා මෙරටට පැමිණියේය.
1988 දී එතුමාගේ දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ 07 නිදහස් මාධ්‍ය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එහෙත් දේශනය පැවැත්වීමට පැයකට පෙර එතුමා අතුරුදන් විය. යම්කිසි පිරිසක් වෑන් රියකින් පැමිණ මහාචාර්යවරයා පැහැරගෙන ගිය බවට තොරතුරු ලැබිණ. ලොවම කලබල විය.
පැහැරගෙන යාමට අනුබල දුන් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට 1977 - 88 යුගයේ ඉඩම් ඇමැති ධුරය දැරූ ගාමිණි දිසානායක මහතාගේ නම ද ඈඳී තිබිණි. කෙසේ වෙනත් පුද්ගලයන් තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙහිදී හෙලිවූ කරුණක් වූයේ මෙම කුමන්ත්‍රණයට හේතු වන්නට ඇත්තේ බලවත් දේශපාලනඥයකු විවේචනය කරනු ඇතැයි ඇතිවූ සැකයක් මත මෙම පැහැර ගැනීම සිදු වන්නට ඇති බවයි. කෙසේ වෙතත් පැහැර ගැනීමෙන් පැය කිහිපයකට පසු ඔහු නිදහස් කර තිබිණි. මෙම සිද්ධිය දෙස් විදෙස්හි මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
පසුගිය පාලන සමයේ දී විභාග වූ ආන්දෝලනාත්මක පැහැර ගැනීම් රැසක් පිළිබඳව මාධ්‍යවල පළවිය. මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ තවම නිමවී නැත. මෙය ජාත්‍යන්තරයට ගෙනයාම පසුපස ද රාජ්‍ය විරෝධී බලවේග ඇතැයි දේශපාලන විචාරකයෝ කරුණු දක්වා තිබිණි.
තවමත් කිසිදු තොරතුරක් නොමැති වූ යුද සමයේ පැහැර ගැනීම්වලට ලක්වූ බව කියන සිංහල හා ද්‍රවිඩ තරුණ තරුණියන්ගේ ඥාතීහු හඬා වැළපෙති. සුනාමිය, ගංවතුර, නායයෑම්, මැරවරකම්, යුද්ධය යන සාධක මත මියයෑම් හෝ අතුරුදන්වීම සිදුවිය හැකි වුවත් පැහැදිලි සාධකයක් හෝ වරදක් නොමැතිව සිවිල් ජනයා අකාලයේ අතුරුදන්වීම සමාව දිය නොහැකි වරදකි.
දේශපාලන අවශ්‍යතා මත මෙම සිද්ධි පිළිබඳ විදෙස් බලවේග ක්‍රියා කිරීම ඊටත් වඩා වරදකි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි