විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තිවලට අභියෝග කිරීමේ පාපයෙන් දරුණු විපාක විඳි හිමි නමක් ලෙස ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය දැරු අපවත් වී වදාළ දර්ශන විශාරද ආචාර්ය ලබුදුවේ සිරිධම්ම නාහිමියන් හැඳින්විය හැකිය.
80 දශකයේ පැවති ඒකාධිපති පාලනයට මෙන්ම කොටි ත්‍රස්තවාදයටත් එරෙහිව නිදහස් අදහස් ප්‍රකාශ කරමින් ඊට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීම උන්වහන්සේට එල්ල වූ චෝදනාවයි.
රට ඉදිරියට ගෙන යාමට නම් පාලකයා දැහැමි විය යුතුයි. ඒ වගේම රටේ ඉතිහාසය ගැන දැනුම ඇත්තෙක් විය යුතුයි. අතීතය ගැන කිසිම දෙයක් නොදැන අනාගතයක් ගොඩ නගන්න පාලකයාට බැහැ.
උන් වහන්සේ නිතර පැවසූහ. හයෙන් පහක බලයක් ලබා පාලන බලය හිමි කරගෙන සිටි රජය දිගින් දිගටම සඟරුවන හා ගැටුම් ඇති කර ගත්තේය. එම බලය අතට ගත් ගෝල බාලයන් ගෙන් ද තර්ජන හා ගර්ජන එල්ල වන්නට විය.
ඇතැම් සංඝයා වහන්සේ රජයේ මතයට හිස නමා තම පරාජය භාර ගත් නමුත් ලබු දුවේ නාහිමියන් වැනි එඩිතර හිමිවරු වාද විවාද කරමින් පාලකයන් හා නිලධරයන් සමග ගැටුම් ඇති කර ගත්හ.
මෙහෙම කටයුතු කළොත් වත්මන් ජනපති ජේ.ආර්.ගේ නාමය අනාගතයේදී දේශද්‍රෝහියකු ලෙස ලියැfවේ. උන් වහන්සේ ප්‍රසිද්ධියේම පැවසූහ.
අනතුරුව සිදු වුයේ ගැටඹේ පන්සලට කඩා වැදුණ මැර පිරිස් උන් වහන්සේට තර්ජන එල්ල කිරීමය. දෙවනුව පන්සලට දාන මාන ආදිය පිරිනමන දායකකාරකාදීන් මර්දනය කිරීමට පියවර ගැනීමය.
මේ කිසිවකින් නොසැලුනු ලබුදුවේ නාහිමි බලධාරීන් සමග කිසිඳු එකඟතාවකට නොගියහ.
අපට පක්ෂ භේදයක් නෑ. කවුරු කළත් වරද වරදමයි. දේශපාලන න්‍යාය පත්‍ර වලට අපි එකඟ නෑ. ගැටඹේ නාහිමියෝ එක හෙළාම කියා සිටියහ. මෙම සිද්ධිදාමය 80 දශකයේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක් විය. ඊට හේතුව එය රජයේ බල සම්පන්න යුගය වීමයි.
අවසානයේ දී ගැටඹේ රාජෝපවනාරාමය දෙකඩ වෙන සේ බෙදා විහාරස්ථානය මැදින් කටුකම්බි ගසා යුද හමුදාව යටතට එහි පාලනය බාර දෙන ලදි.
“පන්සලට අත තැබු කිසිවකුට කවදාවත් දිගුකල් පැවැත්මක් නැහැ. ඒකට ඉතිහාසෙට සාක්ෂි දරනවා. ඉතිහාසය දන්නේ නැති නායකයන්ට ඒවායේ ප්‍රතිඵල ලබා දීම බලා ගන්න පුළුවන් වේවි.”
ලබුදුවේ නාහිමියෝ දෙස් විදෙස් මාධ්‍ය දැනුම්වත් කරමින් හඬ නැගූහ.
1926 සැප්තැම්බර් මස 27 වැනිදා දක්ෂිණ ලංකාවේ ලබුදුවේ උපත ලැබ 1939 දී පැවිදි බිමට සැපත් වූ උන්වහන්සේ නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලැබූහ. 1967 දී පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද 1968 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ද ලදහ.
ථෙරවාදී බුදු සමයේ කර්ම සංකල්පය නමැති පර්යේෂණ නිබන්ධනයට එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් ආචාර්ය අපාධියක් ලබා ගත් ප්‍රථම බෞද්ධ භික්ෂුව ලබුදුවේ හිමිපාණෝය.
ජාතිවාදය මෙන්ම ධනවාදය ද තරයේ ප්‍රතික්ෂේප කරමින් ලෝක සාමය හා සංහිඳියාව සඳහා ඇප කැප වූ උන්වහන්සේ ආසියානු හා බටහිර භාෂා ප්‍රගුණ කළ විද්වතෙක් වූහ.
1969 දී කයිරෝ නුවර දී ජනපති අබ්දුල් නසාර්ගේ මූලිකත්වයෙන් මැද පෙරදිග අර්බුදය විසඳීම සඳහා පැවැති සමුළුවේ නිරීක්ෂකයකු ලෙස ලබුදුවේ නාහිමියෝ දැක් වු ප්‍රතිභාව නිසාම ඔක්ස්ෆර්ඞ් සරසවියේ මිකන් ගෝල්ඞ් බෞද්ධ මූලස්ථානයේ අනුශාසක ධුරය හිමි වූ බව රාජකීය පණ්ඩිත අකුරැස්සේ සිරි ධම්මි විමල හිමියෝ පෙන්වා දෙති.
මෙරට බෞද්ධයනට හා බෞද්ධ විහාරවලට සිදු වන හානිය සහ පුරාවස්තු කොල්ලය පිළිබඳ තොරතුරු සොයා ජන ගත කිරීම උන් වහන්සේ ඉටු කළ යුග කාර්යයම යුරෝපයේ බුදු දහම ව්‍යාප්ත කිරීමේ ධර්මදූත සේවාවෙ ප්‍රමුඛයෙකු වූ උන් වහන්සේ ඉනුත් නො නැවතී තම වාග් චාතුර්යය තුළින් බටහිර ජනතාවට දැනුම්වත් කළහ.
වියට්නාම් අර්බුදය විසඳා ලීමට දෙවන පාවුළු පාප් වහන්සේ සමග සාකච්ඡා කළහ.
1957 දී රාජෝපවනාරාමාධිපති ධුරය දැරූ යටමලවත්තේ අමරවංශ නාහිමියන්ගෙන් පසු එම ධුරයට පත්ව අංගසම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර ජාත්‍යන්තර වශයෙන් ද කීර්තිමත් විහාරස්ථානයක් බවට දියුණු කළ අතර දිනෙන් දින දියුණුවේ මුදුන් පෙත්තට පත් වුවද ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමේ භික්ෂු වගකීම අමතක නොකිරීම සුවිශේෂීය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මරාගෙන මැරෙන කොටි බෝම්බය හා ගිනි අවි ප්‍රහාරය නිසා මුළු බෞද්ධ ලෝකයම කම්පනයට පත් වු අතර මෙම විනාශය පිළිබඳ උන් වහන්සේ සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂ නායිකාව සමග බොහෝ කම්පනයෙන් යුතුව සංවාදයේ යෙදුණු අයුරු සමාකාලීන හිමිවරුන්ට මතකය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ් නිකායේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ අවධියේ විසිරි ගිය කොටස් එක්සත් කිරීම සඳහා ද මැදිහත් වූයේ ලබුදුවේ හාමුදුරුවෝය.
ජනතාව පත් කර ගත්ත ආණ්ඩුව අයාලේ යනවා නම් ඒක යහමඟට ගන්න මහා සංඝරත්නය පෙරට එන්න ඕනෑ. එහෙම නැතිව වරදාන නිලතලවලට යටත් වෙලා තමන්ගේ යුතුකම අමතක කරනවා නම් අපි සුද්දගේ කාලෙටත් වඩා පස්සට යාවි. සුද්දන්ටත් ඕනෑ කළේ සංඝරත්නය භේද භින්න වෙලා යනවා බලන්නයි. එතකොට තමයි උමතු වෙලා ඉන්න පාලකයන්ට රට නටවන්න පුළුවන්.
එදා ඇත්ත, ජන දින වැනි විපක්ෂ පුවත්පත් මගින් මෙන් ජාතික පුවත් පත් වලින් ද ගැටඹේ රාජොපවනාරාම විහාරය හරහා කටුකම්බි වැට ගසා කළ ශාසනික නිගරුව පිළිබඳ පුවතට මහත් ප්‍රචාරයක් දී තිබිණි. රජයේ ක්‍රියා කලාපයට එරෙහිව මත ප්‍රකාශ කළ සංඝයා වහන්සේලා නොයෙකුත් ගැටලු වලට මුහුණ පෑමට සිදු විය.
නීතියෙන් පවා වැරදි කරු ලෙස ලබුදුවේ නාහිමියන් නම් කිරීමට බලධාරීහු උත්සාහ ගෙන තිබිණි. එම පූජ්‍ය භූමියේ අයිතිය පිළිබඳ අර්බුදයක් මවා පෑමට උත්සාහ ගෙන තිබු නමුත් කිසිවකින් සැලුණේ නාහිමියන් නොවේ. නාහිමියන්ගේ ගෝල පරපුරට පවා ප්‍රශ්න රැසකට මැදිවීමවට සිදු වු බව පෙනේ.
1985 මැයි මස 27 වැනිදා හදිසියේ රෝගී තත්ත්වය අසාධ්‍ය බවට පත් වූ ලබුදුවේ සිරිධම්ම හිම්පාණෝ 59 වියේ දී අපවත් වී වදාළ සේක. උන්වහන්සේ අපවත් වීම පිළිබඳව ද විවිධ මති මතාන්තර ජනතාව අතර පැතිරි ගියේ මෙම වාතාවරණය මතය. එම හදිසි මරණය විෂ ශරීර ගත වීමකින් සිදු වුවක් බවට සැක සංකාවක් ද පැතිරි ගියේය. උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා මෙන්ම උන්වහන්සේට මහත් ශක්තියක් හා බලවේගයක් වූයේ වර්තමාන විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියෝය.
2016 මාර්තු 27 වැනිදා පුවත් පතකට උන් වහන්සේ දැක් වූ අදහස් මෙසේය.
“එදා වගේම තමයි අදත් ජාතික ආණ්ඩුවක් කීවාට මෙයාලත් ක්‍රියා කරන්නේ ඒකාධිපති ස්වරූපයෙන්. රටේ ආර්ථිකය කඩා වැටිලා ජනතාව දුක් විඳිද්දි මන්ත්‍රීවරු සන්තෝෂ කරලා බලය රැක ගන්න උත්සාහ කරනවා. බලය රැක ගන්න දේශපාලන න්‍යාය පත්‍රයට විරුද්ධව අපේ නායක හාමුදුරුවෝ එදා සටන් කළා. බලය තිබුණු ඇත්තෝ මොනවද කළේ. අපේ පන්සල කටුකම්බි ගහලා විනාශ කරන්න හැදුවා. රටට නොගැළපෙන ජනතාවට නොගැළපෙන දේවල් කරන කොට අපි ඉවසගෙන ඉන්නෙ නෑ. අපේ ලබුදුවේ සිරිධම්ම ලොකු හාමුදුරුවෝ පෙන්වපු මාර්ගේ ඉදිරියට යන්න බය වෙන්නේ නෑ. අතීතයේ වාරියපොළ සුමංගල වගේ හාමුදුරුවරුන් රටේ නායකයන් යහ මඟට ගන්න සටන් කළා. අපි යන්නෙත් ඒ පාරෙමයි.”
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි