විපක්‍ෂ නායක තේරීමේ සටන් පුරාණයෙන්


 
 
මගේ මිතුරෙක් නොබෝදා අපූරු කතාවක් කීවේය. අපූරු යැයි කීවේ මීට පෙර අසා නැති නිසාය. ඔහුට අනුව රෝගියකු නොවන සෑම ශ්‍රී ලාංකිකයකුගේම ප්‍රධාන ආහාරය බත්ය. මෙයට කලකට පෙර සහන මිලට සහල් සැපයීම සඳහා රජය මගින් සලාකයක් නියම කර තිබුණි. මෙයට අවුරුදු පනහකට පෙර එදා සිටි අගමැතිවරයා සහල් සලාකය නොමිලේ ලබාදීමට කටයුතු කළේය. එහෙත් අපේ රටේ බත් කන මිනිස්සු එයට විරුද්ධ වූහ. ඊළඟ මැතිවරණයේදී එම රජය අන්ත පරාජයකට ලක් කළහ. එම අගමැතිවරයා විපක්‍ෂ නායක ධුරයවත් භාර නොගෙන ටිකෙන් ටික කරළියෙන් ඉවත් වූවේය. අපේ රටේ බහුතරයක් දෙනාගේ විරුද්ධවීමේ කලාව එහෙමය.
 
අපේ රටේ පාර්ලිමේන්තුවේද විරුද්ධ පක්‍ෂයක් තිබේ. එහි නායකයා විපක්‍ෂ නායකවරයාය. එම තනතුර සඳහා ද විශාල අර්බුදයක් පැවතුණි. මහින්ද රාජපක්‍ෂ මහතා එම තනතුරට පත් කරනු ලැබුවේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි. ඒ නොබෝදාය. කලින් එම ධුරය දරමින් සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ ආණ්ඩුවට විරුද්ධව මන්ත්‍රීවරුන් සිටින පක්‍ෂවලින් වැඩිම මන්ත්‍රී පිරිසක් සිටින පක්‍ෂයේ නායකයාටය. ඒ අනුව සලකන විට දෙවන තැනට ආසන හිමිකරගෙන ඇති පක්‍ෂය සොයා ගැනීම දින කිහිපයක් පමණක් පාසැල් ගිය දරුවකුට වුවද වැටහෙන දෙයකි. එහෙත් බැරෑරුම් මූලධර්ම අනුව සහ සම්ප්‍රදායට අනුව විග්‍රහ කිරීමේදී එය සරල අංක ගණිතයට එහා ගිය ගැටලුවක් බවට පත් කර ගන්නා ආකාරයක් අපට දකින්නට ලැබුණි.
 
පසුගිය මැතිවරණයේදී පත් වූ පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව මෙම ගැටලුව තදින්ම මතුවිය. ඊට පෙර මෙවැනි අර්බුදයක් මතුවූයේ නැත. 2017 අගෝස්තුවේදී එක්සත් ජාතික පක්‍ෂයට ආසන 106ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 97ක් ද ද්‍රවිඩ සන්ධානයට ආසන 17ක් ද ලැබී තිබුණි. මෙම පසුබිම හමුවේ පැහැදිලි බහුතරයක් කිසිදු පක්‍ෂයකට ලැබී නොතිබියදීත් පෙර පැවති දින සියයේ ආණ්ඩුවේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය හිමිවිය. එම අවස්ථාව එලෙස හිමි වූවේ 2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් ඒ සඳහා ලැබුණු ජනවරමත් හේතුකොට ගෙනය. එකී ජනවරම තුළින් අරුත් ගැන්වෙන ජනතා අභිලාෂය වූවේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පරාජය කිරීමකි. එම තර්කය මත පදනම්ව දින සියයේ ආණ්ඩුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්‍ෂ නායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාත් කටයුතු කළ බව සැවොම දන්නා කරුණකි. තුනෙන් දෙකක අතිබහුතර බලයක් තිබියදීත් රත්නසිරි වික්‍රමනායක මහතා දැරූ අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වූවේ පෙර කී ජනවරම අනුව බව විචාරකයෝ පැවසූහ. ජනතා අභිලාෂය ඉතා පැහැදිලිව තේරුම් ගත හැකි වූ බැවිනි. පාර්ලිමේන්තුවේ බහුතරය කවුරුන් සතු වුවත් එදා ඒ ගැන කිසිවකු අභියෝග නොකළේ එබැවිනි.
 
ගැටලුව මතුවූයේ 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් පසුවය. රජයක් පිහිටුවීමට බහුතර බලයක් නොමැතිව යහපාලන රජය අසීරුවට පත්වෙද්දී ජනාධිපතිවරයා තමාගේ හැකියාව උපයෝගි කරගෙන තමන් සභාපති ධුරය දැරූ ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයට සම්බන්ධ කර ඔවුන්ට ඇමති පදවිද පිරිනමා ජාතික ආණ්ඩුවක් හෙවත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඇති කළ බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව එම ආණ්ඩුව එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල් ආණ්ඩුවක් බව නිල වශයෙන් කියැවුණි. එහෙත් මේ අභ්‍යන්තරයේ තවත් යමක් සිදුවෙමින් තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි පනහකට අධික මන්ත්‍රී පිරිසක් තමන් මෙම රජයට සහයෝගය නොදෙන බවටත් සම්බන්ධ නොවන බවටත් ප්‍රකාශ කර සිටියහ. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය නමින් හඳුන්වා ගනිමින් ප්‍රබල කණ්ඩායමක් ලෙස විපක්‍ෂයේ කටයුතු කරමින් සිටිනු දක්නා ලදී. වමේ දේශපාලනයේ පැවතිය යුතු සම්ප්‍රදායික දර්ශනය වූ යූ.ඇන්.පී. විරෝධී ස්ථාවරයේ තවදුරටත් රැඳී සිටිනු මිස යූ.ඇන්.පීය සමග හවුලේ ගෙන යන ආණ්ඩුවකට තමන් සහාය නොදක්වන බව ඔව්හු ඉතා ඍජුව ප්‍රකාශ කළහ. යහපාලන රජයට විරුද්ධව ජනතාව පෙළ ගස්වා ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවීම තම අපේක්‍ෂාව බවත් තමන් නිසැකවම රජයට විරුද්ධ බවත් ඔව්හු ප්‍රකාශ කළහ. රටපුරා මහජන රැස්වීම් සංවිධානය කරමින් ප්‍රබල ජනමතයක් ගොඩ නගමින් විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කිරීමටද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළහ. ඒ අතරවාරයේ විපක්‍ෂයේ වගකීම ඉටු කරනුයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම වන තමන් නිසා විපක්‍ෂයේ නායකත්වය තම කණ්ඩායමට ලබා දෙන ලෙස මෙම පිරිස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
එහිදී කතානායකවරයාගේත් එහා සබැඳි අනෙක් බුද්ධිමතුන්ගේත් අර්ථ නිරූපණය වූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන් සම්මුතියකට බැඳී එක්සත් ජාතික පක්‍ෂය සමඟ සම්මුතිවාදී රජයක් වශයෙන් ක්‍රියාත්මක වන නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමට විපක්‍ෂ නායක ධුරය ලබා දිය නොහැකි බවය. මෙම පදනම මත එකී පනහකට අධික මන්ත්‍රී පිරිස පසෙකට කර ආසන දාහතක් පමණක් හිමිව තිබුණු ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකත්වය හිමි විය. එම පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරයට පත් වුණේ ඒ ආකාරයෙනි. නොබෝදා ඇති වූ ආණ්ඩු මාරු අර්බුදයෙන් පසු නැවතත් මෙම ගැටලුව කරළියට පැමිණියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ආණ්ඩුව තුළ සිටි පාර්ශ්වය ජාතික රජයෙන් ඉවත් විය. ඒ සමගම සම්මුතිවාදී ආණ්ඩුව නිමාවට පත් විය. එකී සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු විපක්‍ෂයේ අසුන් ගත්හ. රජය වෙනස් විය. අර්බුද රාශියක් නිර්මාණය වී ඒවා නිරාකරණය වූවේය. අගමැති වශයෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතා තම කණ්ඩායම ද සමග විපක්‍ෂයට එක් වූවේය. එහිදී නව දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගත් එම කණ්ඩායම නැවතත් විපක්‍ෂ නායක තනතුර ඉල්ලා සිටියේය. ඒ වන විට එම කණ්ඩායමට සියයකට ආසන්න මන්ත්‍රී සංඛ්‍යාවක් සිටි බව කියනු ලැබේ. කෙසේ වුවද කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශයට පත් කළේ මහින්ද රාජපක්‍ෂ මහතාට එම තනතුර හිමි බව පිළිගන්නා බවයි.
 
 
 
 
එහෙත් මෙම තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වයක් විරෝධය දක්වා තිබේ. එක්සත් ජාතික පක්‍ෂයට අයත් කණ්ඩායමක් කියන්නේ විපක්‍ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවන බව පිළිගත්තද මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂයේ සාමාජිකයකු නොවන බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් නම් කොට අලුතෙන් පිහිටුවා ගත් පොහොට්ටුව ඡන්ද සලකුණ වශයෙන් භාවිතා කරන දේශපාලන පක්‍ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි කියවෙන නිසා පාර්ලිමේන්තුවේ පිළිගත් විරුද්ධ පක්‍ෂයේ වැඩි දෙනා නියෝජනය කරන පක්‍ෂ නායකයා ඔහු නොවන බවයි. හිටපු විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඒ අතර පවසන්නේ තමා තවමත් විපක්‍ෂ නායක ධුරයෙන් ඉවත්ව නැති නිසා නීත්‍යානුකූලව එම තනතුර තවමත් තමාට හිමි බවයි. මෙසේ පවසන සම්බන්ධන් මහතා එම තනතුරේ දිගටම රැඳී සිටියි. එපමණක් නොව විපක්‍ෂ නායක කාර්යාලයද තවමත් තමා භාරයේ තබාගෙන සිටී. මේ අතර තවත් තර්කයක් ඉදිරිපත් කරන තවත් පිරිසක් දක්වන්නේ රජයේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ පාර්ශ්වයක් නියෝජනය කරන නිසා ඒ මහතා නායකත්වය දරන පක්‍ෂයකට විපක්‍ෂ නායක ධුරය දැරීමට අයිතියක් නැති බවයි. 
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආකෘතියකි. එය අපේ අණපනත්වල ඉතා පැහැදිලිව දක්වා තිබේ. ඒ නිසා බි්‍රතාන්‍යයේ මේ පිළිබඳව අදාළ වන ආකාරය ගැනද විමසා බැලීම යෝග්‍යය. එරට පාර්ලිමේන්තුව වර්තමාන ආකාරය අනුව විධිමත් පක්‍ෂ ක්‍රමයට හැඩ ගැසෙන්නට පෙර සිටම පැවතියේ රජුගේ ආධිපත්‍යය යටතේ රැස්වන පාර්ලිමේන්තුවකි. එක් කාලයකදී රජ පෙළපත අවසන්ම සිහසුනට උරුමකරුවකු නොමැතිව විශාල අර්බුදයක් හටගත්තේය. එහිදී රාජකීය ලේ ඥාතීත්තවය මත සිහසුනේ අනුප්‍රාප්තිකයා සොයා ගත්තේ ජර්මනියෙනි. එයින් ඇරඹුණු රජ පරම්පරාව හැනෝටර් රාජ වංශය යයි නම් ලැබූ බව කියනු ලැබේ. මෙහි ආරම්භකයා වූ ජෝර්ජ් රජුට ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට දැනුම තිබුණේ නැත. ඒ නිසා සර් රොබට් වෝල්පෝල් නම් වූ උසස් නිලධාරියා රජුගේ අගමැතිවරයා වශයෙන් පත් කර ගත් බව කියනු ලැබේ. බි්‍රතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම අගමැතිවරයා වශයෙන් සලකනු ලබන්නේ පෙර සඳහන් කළ වෝල්පෝල් මහතාය. එකල එරට පාර්ලිමේන්තුව නියෝජනය කළ පූජක පක්‍ෂය, රාජකීයයෝ, නයිට්වරුන්, බැරන්වරුන්, අර්ල්වරුන් සහ වංශාධිපති රදලවරුන් ටෝරි පක්‍ෂය නමින් හැඳින්වුණි. ඔව්හු රජුට දකුණු පසින් අසුන් ගත්හ. ඒ නිසා ඔවුන් දක්‍ෂිණාංශිකයෝ බවට පත්වූහ. ලන්ඩන් ආදී නගරවල පුරවැසියන් වෙනුවෙන් පත් වූ සභිකයන්, ගොවි නියෝජිතයන් මෙන්ම අලුත පොහොසත් වූ වෙළඳ පන්තිය ආදී පාර්ශ්වය හැඳින්වූවේ විග් පක්‍ෂය නමිනි. ඔවුන් රාජ සභාවේදී අසුන් ගත්තේ රජුගේ වම් පැත්තෙනි. ඒ නිසා ඔව්හු වාමාංශිකයෝ වූහ. කාලයාගේ ඇවෑමෙන් ටෝරි පාක්‍ෂිකයන් ගතානුගතිකත්වය සහ සම්ප්‍රදාය අගය කරන කොන්සර්වේටිව් පක්‍ෂය බවට පත් වූ බව කියනු ලැබේ. විග් පාක්‍ෂිකයන් පොදුජන මතය හා වෙනස් වීම අගය කරමින් ලිබරල් පක්‍ෂය බවට පත් වූ බව කියති. නිරන්තරයෙන්ම පාලන බලය හොබවනු ලැබුවේ ටෝරි පාක්‍ෂිකයන් වූ නිසා විරුද්ධ පක්‍ෂය ලෙස වාමාංශය නියෝජනය කළෝ හුදෙක්ම විග් පාක්‍ෂිකයෝය. බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය 1947 දී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ සෝල්බරි කොමිසමේ නිර්දේශ අනුවය. අයිවෝර් ජෙනින්ස් නම් නීති විශාරදයා එම නීතිමාලාව කෙටුම්පත් කළ බවඳ සඳහන්ය.
 
එක් දහස් නවසිය හතළිස් හතේ ප්‍රථම මැතිවරණයේදී බහුතරය නොමැතිව වුවද වැඩි ආසන ගණන හිමිව තිබුණේ. අලුතෙන් පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්‍ෂයටය. එයට හිමි වූ ආසන ගණන 42ක් විය. දෙවැනි තැන ලැබුණේ ආසන 10ක් දිනාගෙන සිටි ලංකා සමසමාජ පක්‍ෂයටය. එම පක්‍ෂයෙන් බිඳී ගිය කණ්ඩායමක් විසින් පිහිටුවා ගෙන තිබුණු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා නායකත්වය දැරූ බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්‍ෂයට ආසන පහක්ද හිමිව තිබුණි. පසුව මෙම දෙපක්‍ෂය සමගි වූ නිසා සම සමාජ පාක්‍ෂිකයෝ පහළොස් දෙනෙක් මැතිසබයට පත්ව සිටියහ. ඒ නිසා අපහසුවකින් තොරව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විරුද්ධ පක්‍ෂයේ නායක ධුරයට පත්විය. එම ප්‍රථම පාර්ලිමේන්තුවේ නිල කාලය ගෙවෙන්නට ප්‍රථම ඩී. ඇස්. සේනානායක මහතා හදිසි අනතුරකින් පරලෝ සැපත් විය. අගමැති ධුරයට පත් වූවේ එතුමාගේ පුත් ඩඞ්ලි සේනානායක මහතාය. ඒ මහතා අගමැති පදවියට පත් වූවේ ජනතා වරමක් නොමැතිව බව අගමැති ධුරය අපේක්‍ෂා කළ කැබිනට් සගයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතා ප්‍රසිද්ධියේ චෝදනා කළ නිසා අගමැතිවරයා තමාටම ජනවරමක් ඉල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවූවේය.
 
පනස් දෙකේ මැයි මස 24, 26, 28 සහ 30 යන දින හතරේදී පැවැත්වුණි. මේ වන විට 1947 පැවති දේශපාලන තත්ත්වයේ සුවිශේෂී වෙනසක් දක්නට ලැබුණි. එනම් පෙර වාරයේ එක්සත් ජාතික පක්‍ෂයට සහ වාමාංශික පක්‍ෂවලට පමණක් බෙදී තිබුණු මෙරට ඡන්ද සංඛ්‍යාව දිනා ගැනීම සඳහා එම කඳවුරු දෙකෙන් බාහිර මැද මාවතේ තවත් පක්‍ෂයක් බිහි වී තිබීමය. කලින් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා සහ එම පක්‍ෂ රජයේ සභානායක, සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තවත් මන්ත්‍රීවරුන් කීප දෙනකු සමඟ රජයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමැති නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවාගෙන තිබුණි. එය පිහිටුවා වසරක්වත් ගතවීමට පෙර නැවත මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවීම නිසා එම පක්‍ෂ මුහුණ දුන්නේ බලවත් දුෂ්කරතාවකටය. එයට රටපුරා ශක්තිමත් සංවිධාන ජාලයක් සකස් කර ගැනීමට කාලය ලැබුණේ නැත. එමෙන්ම ආර්ථික ශක්තියක්ද නොවීය. කෙසේ වුවත් මැතිවරණයට තරග කළ නමුදු දිනා ගැනීමට හැකි වූයේ ආසන නවයක් පමණි. එම ඡන්දයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය මෙසේ වූවේය.
 
පක්‍ෂය දිනාගත් ආසන ගණන
 
  • එක්සත් ජාතික පක්‍ෂය 54
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 9
  • ලංකා සමසමාජ පක්‍ෂය 9
 
විප්ලවකාරී සමසමාජ කොමියුනිස්ට් 
 
  • පක්‍ෂය එක්සත් පෙරමුණ 4
  • ෆෙඩරල් පක්‍ෂය 2
  • කම්කරු පක්‍ෂය 1
  • ස්වාධීන 12
 
මෙම ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂයද ආසන 9 බැගින් සම මට්ටමක සිටි නිසා විපක්‍ෂ නායකත්වය කාට හිමිවිය යුතුද යන කාරණය අර්බුදයකට ලක්විය. හිටපු විපක්‍ෂ නායකවරයා වශයෙන් සමසමාජ නායක ඇන්. ඇම්. පෙරේරා මහතා මෙහිදී නොසලකා හැරිය නොහැකි ස්ථානයක පසු විය. එමෙන්ම හිටපු සභානායක හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද ප්‍රබල තැනක පසුවිය. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විපක්‍ෂ නායක ධුරය පිළිබඳ අර්බුදයක් මතු වූ එකම සිදුවීම මෙය විය. එහෙත් දැනට එම තනතුර සම්බන්ධයෙන් එතරම් සංකීර්ණ බවක් එම අර්බුදයේ දක්නට නොලැබුණි. ඇන්. ඇම්., බණ්ඩාරනායක දෙදෙනා අතර විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැවති ගැටුම ටික කලක් පැවතුනි. එහෙයින්ම ටික කලක් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වූවේ විපක්‍ෂ නායකවරයකු නොමැතිවය. කතානායක සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාද එයට තදබල ලෙස මැදිහත්වීමට උනන්දුවක් දැක්වූවේ නැත. එය මෙසේ දිගින් දිගටම ඇදී යද්දී පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පැවති විප්ලවකාරී සමසමාජ පක්‍ෂයේ සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයද අතර පැවති සන්ධානයේ මන්ත්‍රීවරු හතර දෙනා බණ්ඩාරනායක මහතාට සහාය පළ කළහ. වාමාංශික පක්‍ෂවලට සදාකාලීකව උරුමව ඇති න්‍යායික මතභේදයක් හේතුකොට ගෙන සම මතධාරී සටන් සගයාට සහාය නොදුන් බව කියැවේ. මෙම කරුණ ගැන මම වරෙක පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වූ සෑම් විජේසිංහ මහතාගෙන් විමසුවෙමි. එතුමා පැහැදිලි කළ අන්දමට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එරට අගමැතිවරයා සැලකෙන්නේ රජුගේ හෝ රැජිනගේ අගමැතිවරයා වශයෙනි. එසේම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා සඳහන් වනුයේ රැජිනගේ විපක්‍ෂ නායකවරයා වශයෙනි. එමෙන්ම එරට විපක්‍ෂ නායකයා අනාගත අගමැතිවරයා ලෙසද සැලකේ. බොහෝ විට තට්ටුමාරු ක්‍රමයට හුරුවී තිබෙන බි්‍රතාන්‍යයේ ඊළඟ අගමැතිවරයා වශයෙන් විපක්‍ෂ නායකවරයා පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. බි්‍රතාන්‍ය ක්‍රමය මුළුමනින්ම පිළිගත් ලංකාවේදී ද එම සම්ප්‍රදාය ඉහළින්ම ආරක්‍ෂා කිරීම බලාපොරොත්තු විය හැකිය. කෙසේ වුවත් ඇන්. ඇම්. පෙරේරා මහතාට වඩා ඊළඟ අගමැතිවරයාවීමේ වැඩි ඉඩකඩ තිබුණේ බණ්ඩාරනායක මහතාට බව පෙනී යාම නිසා එම තනතුර ඒ මහතාට ලබා දුන් බව සෑම් විජේසිංහ මහත්මා මට පැහැදිලි කර දුන්නේය. එවැනි දුර ගිය සම්ප්‍රදාය කරුණු ගැන එකල මට අවබෝධයක් නොතිබුණි. එහෙත් එවැනි දේ ගැන විශාරද දැනුමක් තිබුණු සෑම් විජේසිංහ මහතාගේ උපදෙස් මගේ ලේඛන කටයුතුවලටද මහෝපකාරී වූ බව මෙහිලා සඳහන් කරනුයේ ගෞරවයෙනි.
 
මෙම පැරණි සිදුවීම් සිහියට නැගුණේ අද පවතින විපක්‍ෂ නායක ආරවුල මාධ්‍ය මගින් දැකීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වූ විවිධ අදහස් දැරීමට ඇති අයිතිය සුරක්‍ෂිත කරමින් මෙවැනි මත ගැටුම් ඉදිරියේදීත් යම් විටෙක ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එවැනි දේ විඳ දරා ගැනීමට අපේ වැනි රටක පුරවැසියන්ට සිදුවීම අරුමයක් නොවන බව සටහන් කිරීමට මම කැමැත්තෙමි.
 
මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක ධුරයට පත්වීම කතානායකතුමා මේ වන විට නැවත අනුමත කර ඇති නිසා ගැටලුව නිමාවට පත්වීමද සතුටට කරුණකි.
 
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි