විප්ලවවාදීන්ගේ කැපකිරීම්


 

 

පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි ගෙන ගිය මෙරට මුළුමහත් ජනතාවම දරිද්‍රතාවයෙන් මුදවාලීමට මෙන්ම සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනතාව එක් ලාංකික ජනතාවක් කිරීමට ඇප කැප වූ කාර්යභාරයෙහිලා වනිතාවන් හැටියට කුසුමා ගුණවර්ධන, විවියන් ගුණවර්ධන මෙන්ම සෙලීනා පීරිස් ද එක්ව සිටියහ. අනුග්‍රාහකයෝ දිවි හිමියෙන් මෙම ජාතික පුනර්ජීවය උදෙසා ඇප කැප වූවෝ වූහ. 


ලෙස්ලි බර්නාඞ් මෙන්ම හෙක්ටර් අබේවර්ධන ද ක්‍රියාශීලීව මෙම කාර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයින් නොවූවද ඔවුන් මුළුමහත් දේශයම අධිරාජ්‍ය ගැති පාලන රටාවෙන් මුදාලීම අරමුණු කොටගෙන සම සමාජයේ බුද්ධි මෙහෙවර අකුරටම ඉටු කළ පුද්ගලයන් අතරින් කැපී පෙනෙන්නවුන් බවට පත්ව තිබිණි. 


සම සමාජයේ පුරාවෘත්තය ඉදිරිපත් කිරීමේදී ලෙස්ලි විවියන් ගෙන ගිය සටන්කාමී වැඩපිළිවෙළ අපි තවදුරටත් විමසා බලමු. 


කුළුඳුල් දරුවා තම දෙඇසට නොදැක හය මාසයක් මුළුල්ලේ ලෙස්ලි ගත කළේ දැඩි මානසික පීඩාවකිනි. එහෙත් තම දරුවාට වඩා ඔහුගේ සිත කය යෙදවුණේ අසරණ දුක් විඳින පීඩිත ප්‍රජාව වෙනුවෙනි. 


තම මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගන්නට සමත් නිර්භීත ගැහැනියක තම බිරිය වීම ඔහු ලැබූ ආශිර්වාදයක් විය. එකී ධෛර්යය ශක්තිය විසින් තමනට පැවරුණු කාර්යභාරය ඔහු ඉටු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. බිරිය, කුළුදුල් දරුවා නොදැක හය මසක් මුළුල්ලේ වෙස් වළාගෙන සිටි ලෙස්ලි ගුණවර්ධන මේ වන විට සැඟව සිටියේ නැදිමාලේ නිවෙසකය. ඔහු එතැන සිටින බව දැන සිටියේ තම අතිශය හිතවන්ත හතර පස් දෙනෙකු පමණි. 


මේ වන විට රහස් පොලිසියේ ප්‍රධානියාව සිටි එල්. පී. ගුණරත්න තමන් සැඟවී සිටින නිවස ඉදිරිපිට සෝදිසියෙන් සිටින අයුරු ලෙස්ලි දැක ගත්තේය. අසලට පැමිණියේ ඉදිරිපිට පදිංචි ගෙවල් හිමිකරුවාය. 


“අපි මේ මහත්තයා එනකම් බලාගෙන හිටියෙ. ඇයි මේ හදිසියේ? මම ඊයේ පණිවිඩයක් එව්වා. ඒක තමුන්ට ලැබුණද? මම රහස් පොලිස් ලොක්කා. ඉතින් මහත්තයො මොකක්ද මගෙන් කෙරෙන්න තියෙන්නේ? 


ඉඩම කොච්චරද? 


අලුත් ගේත් එක්ක මගේ අන්තිම ගණන රුපියල් එක් දහස් පන්සියයි. අක්කර කාලක් විතර එහෙම තියෙනවා. 


මම මේ තමුන්නැහෙට හෙට්ටු කරන්න ආවා නොවෙයි. රුපියල් දාහකට දෙනවාද? 


දෙයියෝ බුදුන් කීවත් මම එහෙම කරන්නේ නෑ. මහත්තයෝ මම දකුණෙන් ආපු මිනිහෙක්. අක්කර හතක් රුපියල් හයසියයකට විකුණලා ඇවිත් මේ ගෙදර දොර අර ගත්තේ. 
මම පොලිස්පති කෙනෙක්. 


කමක් නැහැ මහත්තයො මම එක වචනයක් තියෙන මිනිහෙක්. මේ ගේ ඉඩම විකුණන්නේ නෑ ඔබතුමාට. 


ලෙස්ලිගේ පපු සිදුරට ආශ්වාස කළ වා රැල්ල පිටත් වූයේ ඒ කතා බහින් අනතුරුවය. රහස් පොලිස් ලොක්කා පිටත්ව ගියේය. මේ වන විට වතුකරයේ හැම තැනකම වාගේ වැඩ වර්ජන රැල්ල ඉස්මතු වන්නට විය. සම සමාජ නායකයන්ට මෙය මහත් අපල කාලයකි. ලෝක යුද්ධයක් ඇරඹී තිබුණු හෙයින් තත්ත්වය වඩාත් බියකරු විය. විලී ජයතිලක ජැක් කොතලාවල සහ රොබට් ගුණවර්ධන යන ඉතිරි අයවලුන් ද වැලිකඩ බන්ධනාගාර ගත කොට තිබිණ. 


පිලිප්, ඇන්. ඇම්., කොල්වින් සහ එඞ්මන්ඞ් මහනුවර බෝගම්බර සිරගෙදර රඳවා සිටියහ. යුද්ධය පිළිබඳ රටට තොරතුරු අනාවරණය කරන්නටත් පත්‍රිකා බෙදා හරින්නටත් රහස් සංවිධාන පසුබට වූයේ නැත. 


ජර්මනිය රුසියාවට පහරදීමත් සමගම යුද්ධය මහජන යුද්ධයක් යැයි සම සමාජයේම සිටි එස්. ඒ. වික්‍රමසිංහ, ඩබ්ලිව්. ආරියරත්න, ඇම්. ජී. මෙන්ඩිස් ඇතුළු පිරිස කියා සිටියහ. එහෙත් මෙය අධිරාජ්‍ය යුද්ධයකැයි සම සමාජ පාක්ෂිකයෝ කීහ. 


යුද්ධය පිළිබඳ ස්ථාවරය ඔවුන් වෙනස් කළේ නැත. 


මේ භේදය නිසා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දොස්තර වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් අලුත් පක්ෂය බිහි විය. මෙය මුලින් ආරම්භ වූයේ කලම්බු වර්ක්ස් ක්ලබ් යනුවෙනි. සම සමාජ පත්‍රය විකිණීමට ගොස් පොලිසියට අසු වී සත් අවුරුද්දකට හිරගෙට ගිය ජී. ඒ. පෙරේරා සිරගෙය තුළම මිය ගියේය. ඔහු මාලඹේ ජීවත් වූ පක්ෂයට ජීවය දුන් අවංක විප්ලවවාදියෙකි. රොබට් ගුණවර්ධනගේ සමීපතම සගයා වූයේ ද ඔහුය. ඔහු මිය ගියේ විප්ලවයට ජය වේයා”යි රොබට්ට ඒක කියන්න යැයි අවසන් වචන තෙපලමිනි. 
මේ කාලයේ සම සමාජ පක්ෂය සිය ප්‍රචාරක කටයුතු කළේ ඉතා පරිස්සමෙනි. එහෙත් දැඩි දුෂ්කර තත්ත්වයකිනි. වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ලෝරන්ස් පෙරේරා ද මෙසේ නීති විරෝධී පක්ෂයේ පත්‍රිකා බෙදීමට ඉදිරිපත් වූ එක් අයෙකි. ඔහු හැඳ සිටියේ කිලිටි කඩමාලු කලිසමක් හා බැනියමකි. රහසිගතව ප්‍රතිකා මිටියක් රැගෙන තැනින් තැන ගිය ඔහුව එක් දිනක් කැම්බල් පිටියේ ගසක් යට සිටියදී පත්‍රිකා මිටියක් ඇතැතිව නින්ද ගියේ දැඩි තෙහෙට්ටුව නිසාමය. තද නින්දෙන් ඔහු අවදි කළේ පොලිස් නිලධාරීන්ය. 


“යමන් පොලිසියට” එක් නිලධාරියෙක් මහ හඬින් ඔහුට සැර කළේය. 


පොලිසියේදී පළමුව ඔහු හොඳින් පරීක්ෂා කෙරිණ. දැලි කුණු බැඳුණු ඇඳුම් කට්ටලයක් හැඳ සිටියත් ඔහු බුද්ධිමත් කෙනෙකු විය යුතු යැයි එක් පොලිස් නිලධාරියෙක් තීරණය කළේය. ඔහුගේ සාක්කුවේ පාන් පෙති දෙකක් සහ ඇඹුල් කෙසෙල් ගෙඩි කිහිපයක් ද විය. ඒවා දෙස පොලිස් නිලධාරීන් පිළිකුලෙන් බලද්දි ලෝරන්ස් පෙරේරා වහා පැන එය නැවතත් සාක්කුවේ දමා ගත්තේය. 


විප්ලවය කියන එක උඹ දන්නවාද? එක් පොලිස් නිලධාරියෙක් ඇසුවේය. 
“ඔව්.” 


“එහෙනම් කියාපිය.” 


“විප්ලවය කියන්නේ ප්‍රංශයෙ ඇති වෙච්චි ලොකු පිබිදීමක්. ඒකට තමා කියන්නේ ප්‍රංශ විප්ලවය.” 


“මූ අමු පිස්සෙක් අල්ල දාමු තවත් නිලධාරියෙක් කීවේය. උඹට පත්තර කොයින්ද?” 


“මම හිඟමනේ ගිහින් පාක් එකේ නිදා ගත්තා. නැගිටලා බලන කොට මගේ ළඟ පත්තර මිටියක් තිබුණා. මේවා මගේ නොවෙයි.” 


“මේ කාලකණ්ණියා පන්නලා දාමු. අපේ වැඩත් පරක්කු වෙනවා.” ඔවුහු ලෝරන්ස් පෙරේරා පන්නා දැමූහ.

 

 


නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි