විමල්ගේ යදමින් බැඳි අක්ෂර


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ කෘතියෙනි.
 
ඊයේ මම කලින්ම නින්දට ගියෙමි. ඒ රාත්‍රී 10.40ට පමණ විය යුතුය. වේලාව බලාගැනීමට ඇත්තේ එක්කෝ රූපවාහිනී තිරයෙනි. නැතිනම් යකඩයකට ගහන හඬෙනි.  කීයට නිදා ගත්තත් පාන්දර 4ට පෙර මට ඇහැරේ. ‘මනෝරෙස්ට්’ පෙත්තට පවා එය වෙනස් කිරීමට නොහැකි වී ඇත. 
 
බේස්ලයින් පාරේ යන වාහනවල හඬ ඇහැරුණු වේලේ සිට ඒකාකාරිව, නිරතුරුවම, ඇසේ. හයේ කණිසම දැන්වීමෙන් පසු ඇසෙන්නේ ‘ඒයි පෝලිං.... පෝලිං...’ යන හඬය. අපගේ වාට්ටුවේ ප්‍රධාන දොරටුව ද බන්ධනාගාර නිලධාරීන් විසින් දැන් විවෘත කර ඇත. යතුරු කැරැල්ලෙන් කාමර පාටිගේ කූඩුව විවෘත කළ පසු ඉතිරි කූඩු විවෘත කරන්නේ ඔහුය. 
 
කුණු ලොරිය වේදනාවට වඩා දුගඳ ගෙනදේ. ඇතැම් විට ඊයේ ඉරිදා නිසා එය නගර සභාව වෙතින් රැගෙන නොයන්නට ඇත. කාක්කන් කෑගසන්නේ කුණු ලොරිය මත වාඩිලා ගෙනය. 
 
හිමිදිරිය විසින් අප වෙත ගෙනැවිත් ඇත්තේ එකම එක සුබාරංචියක් පමණි. ඒ තවත් එක් දවසක් ගෙවී ගොස් ඒ වෙනුවට වෙනත් දවසක් උදාවී ඇති බවය. ගෙවී ගිය දවස හා උදාවී ඇති දවස අතර ලොකු වෙනස්කම් නොවේ. මා තව සුළු වේලාවකින් කාර්යබහුල බව ඉකුත් වූ පසු වැසිකිළි යනු ඇත. අනතුරුව අදාළ ඇඳුමින් සැරසී ව්‍යායාම කරනු ඇත. පසුව ටික වේලාවක් විවේකීව සිට උදේ ආහාරය ලබාගනු ඇත. ඊළඟට  කවුරුන් හෝ අමුත්තන් පැමිණියේ නම් ඔවුන් හමුවීමට යනෙනු ඇත. නැවතත් දිවා ආහාරය ලබා ගනු ඇත. ඉඩක් ලදහොත් හවස් වරුවේ කියවන්නට හා ලියන්නට වේලාව යොදවනු නිසැකය. 
 
නැවතත්, රාත්‍රී ආහාරය සවස 5.00ට පමණ ගෙන මෙම කෘතිය සම්පාදනය කිරීමට කටයුතු කරනු ඇත. පසුව කීයට හෝ නින්දට යනු ඇත. දවස ඒකාකාරීව ඇදෙන්නේ ඔය අන්දමටය. 
 
කොහොමටත් මාහට ඕනෑම තත්ත්වයකට හැඩ ගැසීමේ හැකියාව තිබේ. 1989 අගභාගයේදී මා සමහර රාත්‍රීන් ගත කළේ කුරුඳු වතුවලය. නැතිනම් ගල් තලාවන්හිය. ඒ මාතර දිස්ත්‍රික්කයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන සමයේදීය. මම කිසිවකට ඇලෙන්නෙක් නොවෙමි. මගේ නමින් දේපළ හෝ මුදල් රැස්කර ගැනීමේ ආශාවක් මා තුළ නැත. මෙහිදී  ඇතැමකු පැවසීමට ඉඩ ඇත්තේ ඔබේ බිරිඳගේ හෝ ඔබේ දරුවන්ගේ  නමින් ඇති යම් දේපළක් වේ නම් එහි වගකීම ද ඔබට අයත් වනවා නේද? යනුවෙනි. නීතිය අනුව  නම් එය එසේ බව සැබෑය.  එහෙත් මගේ බිරිඳ හෝ ඇගේ ඥාතීන් උපයාගත් දේපළ හෝ ධනය වෙතොත් ඒවාට හිමිකම් කීමට මට හැක්කේ සීමාසහිත දුරකටය. අනෙක් අතින් මා ඒ කිසිවකට දායකවී නැති බව හොඳටම දන්නේ මා සහ මාගේ බිරිඳය. හෙට දවසේ යළි කැලෑබද ගල්තලාවක රැය පහන් කිරීමට සිදු වුවහොත් එයද සතුටින් බාර ගැනීමට මට හැකියාව තිබේ. ඒ  කිසිදු ඉරණමක් අභාග්‍යයක් ලෙස හඳුනාගැනීමට මම නොපෙළඹෙන්නෙමි. 
 
 
රෝහණ විජේවීර සහෝදරයා මරා දැමුණු බවට වන පුවත මාගේ කන වැකුණේ මාතර මුලටියන ප්‍රදේශයේ තවත් සහෝදරයකු  සමග පයින් ගමන් කරමින් සිටින විටය. ඒ ළඟපාත වූ නිවසක ගුවන් විදුලි යන්ත්‍රයකිනි. මා හෝ  මා සමග සිටි සහෝදරයා එම පුවත විශ්වාස කරන්නට පෙළඹුණේ නැත. එකල මාතර දිස්ත්‍රික්කයේ එක් කොනක සිට තවත් කොනකට අප ගමන් කළේ නියමිත මාර්ග ඔස්සේ නොවේ. නියමිත මාර්ග යනු ප්‍රධාන පාරවල්ම නොවේ. ඇතුළට දිවෙන අතුරු මාර්ගද එයින් අදහස් වේ. මේ මාර්ග ඔස්සේ ගමන් කිරීම අනතුරුදායක විය. එම නිසා අප පා ගමනින් ගමන් කළේ අඩි පාරවල් ඔස්සේය. විජේවීර සහෝදරයා ඝාතනය කරන ලද පුවත ඇසුණේ එලෙස ගමන් කරන විටය. 
 
2019 වනවිට 1989 ධවල භීෂණයට වසර 30ක් සම්පූර්ණ  වේ. දැන් අප සිටින්නේ 2017ය. 1971 අප්‍රේල් මර්දනයෙන් අනතුරුව වසර 18ක් ගත වූ තැන නැවතත් මගේ මව් පොළොව දේශප්‍රේමීන්ගේ රුධිරයෙන් තෙත් කෙරිණි. වත්මන් පාලනය යටතේ 89 අයුරින්ම නොවුණත් වෙනත් අයුරින් රට  ගමන් කරවමින් ඇත්තේ ධවල භීෂණ යුගයකට බව මට සිතේ. පළාත් පාලන ඡන්දය  කල් දමමින් ද පළාත් සභා මැතිවරණ ද පනත් සංශෝධනය කිරීම මගින් කල් දැමීමට සූදානම් වීම මගින් ද රට ඇද ගෙන යමින් ඇත්තේ අඳුරු ඒකාධිපති  වියරුවක් දෙසටය. 
 
මව්බිම, මේ පාලන ක්‍රමය තුළින් දැන් හෙම්බත්ව සිටි. මහින්ද රාජපක්ෂ පාලනය. බටහිර රූකඩ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරදවා රටට හා ජාතියට මහත් සැනසුමක් උරුම කර දිනි. ඒ පිළිබඳ ගෞරවය රාජපක්ෂ ජනාධිපතිවරයාට සදාකල් උරුම විය යුතුය. ඒ සමගම ආර්ථිකය තුළද ජනතා හිතවාදී වර්ධනයක් ඇති කිරීමට එම පාලනය සමත්විණි. එහෙත් කොපමණ වැදගත් සමත්කම් පෙන්වුවද ද එය පෙන්වන ලද දුබලතා ද බෙහෙවින් පැවතිණි. එහි පැවති අඩුපාඩු එහි වටිනාකම්වල කොටසක් ලෙස මහජනයා වටහා ගත්තේ නැත. 
 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, සැහැල්ලුවෙන් ජීවත්වීමට කැමති පුද්ගලයෙකි. ඔහු වගකීම් තව කෙනෙකුට පවරා නායකත්වය සැපයීමේ කලාව ප්‍රගුණ කර තිබුණෙකි. බොහෝ දුරට බරපතළ වගකීම් පැවරුණේ බැසිල්ට හෝ ගෝඨාටය. මේ දෙදෙනාම සමහර පැතිවලින් දක්ෂයෝ වන්නාක් සේම කැපවීම් සහගතව වැඩ කරන්නෝද වෙති. එහෙත් බලය සුරක්ෂිතය. යන අධිවිශ්වාසය විසින් ඔවුන්ගේ සමහර ඉන්ද්‍රියන් අවසන් කාලයේදී අකර්මණ්‍ය කොට තිබුණි. 
 
මහින්ද කොටි පැදරවූයේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ශ්‍රී ලංකාවට අදාළ මෙහෙයුමේ ප්‍රධාන අංශයක් කුඩුපට්ටම් කරමින්ය. එයට බටහිරින් ලැබෙන රිටර්න් එක ගැනද මහින්ද ජනාධිපතිතුමන් අවබෝධ කර ගෙන සිටියා විය යුතුය. එහෙත් ඒ නියමිත ප්‍රමාණයට ද යන්න මට නම් සැක සහිතය. අනෙක් අතට ඉන්දියාව කොටි පැරදවීමේ යුද්ධයට බාධාකාරී සාධකයක් නොවන අයුරින් කළමනාකරණය කරගත හැකිවීම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ මහින්ද පාලනය ලද ඉහළ  ජයග්‍රහණයකි. එහෙත් සීපා ගිවිසුම වැනි ඉන්දීය අවශ්‍යතාවන්ට අවනත නොවීම  මගින් ඉන්දියාවෙන් එල්ල විය හැකි ප්‍රතිවිරෝධතාව පිළිබඳව ද හොඳ තක්සේරුවක් නොතිබුණු බව මගේ විශ්වාසයය. කොහොමටත් ඉන්දියාවට ලංකාව ඕනෑවට වඩා ස්ථාවර වනු දැකීම ආර්ථික වශයෙන් ශක්තිමත් වනු දැකීමට අවශ්‍යතාවක් නැත. ඒ අනුව 2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව බටහිර ඉන්දීය ඔත්තුසේවා ජාලය තමන් වට කර ගනු ලබමින් සිටින බව මහින්ද ජනාධිපතිතුමන්ට වැටහුණේ නැත. 
 
මිලින්ද මොරගොඩ ජනාධිපතිවරයා ළඟට මෙන්ම, ඊටත් වඩා ගෝඨාභය රාජපක්ෂ වෙතට සමීප විය. දවසක් මා සහ ගෝඨාභය ලේකම්තුමා අතර අපූරු දුරකථන සංවාදයක් ඇතිවිණි. මහජන යහපත පිණිස එය මෙහි සටහන් කරන්නේ සද්භාවයෙන් යුතුවය. 
 
ඒ 2014 වසරේ මුල විය යුතුය. මම ආරක්ෂක ලේකම්තුමන්ට දුරකථනයෙන් කථා කළේ බොදු බල සේනා ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙන දේශපාලන හානිය ගැන පෙන්වා දීමටය. මගේ ඒ පිළිබඳ කරුණු දැක්වීම හේතුකොට ගෙන ගෝඨාභය ලේකම්වරයාට කේන්ති ගිය බව හැඟුණේය. ඔහුගේ හඬ බොහෝ උස් හඬක් වූ නිසාය. 
 
‘මට කියන්නෙ මොකටද විමල්? බොදු බල සේනා මගේද?’
 
ඒ දිනවල බොදුබල සේනාවට ආණ්ඩුවෙන් සහාය දෙන්නේ ගෝඨාභය බවට දේශපාලන සතුරන් විසින් මතයක් ගොඩනගා තිබිණි. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ද එය විශ්වාස කර තිබිණි. ඇතැම් විට ඒ පීඩනය  හේතුකොට ගෙන ආරක්ෂක ලේකම්වරයා සිතන්නට ඇත්තේ මා ද ඒ නිගමනය මත සිටිමින් අදාළ කරුණ පිළිබඳව ඔහු හා කථා කරන බවය. ඔහුගේ උස් හඬින් කරන ලද පිළිතුරු දැක්වීම නිමා වූ පසු මම මෙසේ පැවසුවෙමි.
 
‘ඔබතුමා වැලිගම තිබුණ බොදු බල සේනා කාර්යාලය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා හැටියට ගිය නිසානෙ මිනිස්සු එහෙම හිතන්නේ’ 
 
‘ඉතිං මට ඒකට යන්න කියලා උනන්දු කළේ මිලින්ද මොරගොඩනෙ’ 
 
‘මිලින්ද මොරගොඩ කියන්නේ කවුද කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද?’
 
ඒ වනවිටත් ඔහුගේ හඬෙහි වූ සැර අඩුවී තිබිණි. මා ඉවසිලිවන්තව පෙන්වා දුන්නේ බොදුබල සේනා ව්‍යාපෘතිය විසින් අන්තවාදී නොවන මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව පවා අපගෙන් ඈත් කරවන බවය. එමෙන්ම එය බටහිර විසින් දියත් කරනු ලැබ තිබෙන රෙජිම් චේන්ජ් හෙවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමේ කොටසක් බවය. මා මෙම සත්‍යය හෙළිදරව් කළේ එම සංවිධානය බිහි වූ මුල් කාලයේදීමය. පසු කලෙක, ජාතික හෙළ උරුමයේ උපදේශකයකු යැයි කියන අශෝක අභයගුණවර්ධන නමැත්තකු විසින් ලියා පළ කරන ලද යුග පෙරළිය නම් වූ කෘතියේ බොදුබල සේනාව ජාතික  හෙළ උරුමයේ අවශ්‍යතාවට අනුව යොදා ගැනීමට දරන ලද ක්‍රමෝපාය ගැන මෙසේ සඳහන්ව තිබේ. 
 
“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩ ආරම්භ කළ විට ජාතික හෙළ උරුමයේ  වේගවත් පිරිස බොදු බල සේනාවට ආකර්ෂණය විය. එහිදී චම්පික රණවකයෝද  උපක්‍රමශීලිව ඊට අනුබල දුන්හ. ජාතික හෙළ උරුමයේ  සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් උපක්‍රමශීලී ලෙස ජාතික හෙළ උරුමයෙන් නිල වශයෙන් ඉවත්ව බොදු බල සේනාවට සම්බන්ධ වූහ. බොදුබල සේනාව දෙපැත්ත කැපෙන ආයුධයකි. තමන්ගෙන් ගිලිහෙන ජාතිකවාදී ධජය රැක ගැනීම සඳහා වක්‍රාකාරයෙන් චම්පික රණවක ඇතුළු පිරිස ඊට අනුග්‍රහ දැක්වූ අතර......”
 
මෙම කෘතිය පළ කෙරුණේ 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කෙරුමෙන් පසුවය. එමගින් සනාථ වන්නේ මා අදාළ සේවාව රඟ දක්වන භූමිකාව පිළිබඳව දක්වන ලද මතයේ නිවැරදි බවය. මේ මතය පළ කිරීම මත ඒ වනවිට දෙමළ ජාතිකවාදී මතය දරන්නවුන්ගේ ද අධිරාජ්‍ය ගැති එජාපයේ රතු කමිසධාරී ජ.වි.පෙ. ද ඇතිතරම් ප්‍රහාරයට හා වෛරයට පාත්‍රවී සිටි මා හට සිංහල බෞද්ධ ප්‍රහාරයකට ද මුහුණ පෑමට සිදුවිණි. සත්‍ය ප්‍රකාශ කිරීමේ වරදට එල්ල වන ප්‍රහාරය ගැන මම කිසිවිටක බියට පත් නොවූයෙමි. 
 
සැබැවින්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජන සමාජය අන්තවාදී ග්‍රහණයට නතුකර ගැනීමේ මෙහෙයුමක් අරාබි හා වෙනත් රටවල අනුග්‍රහය යටතේ කලක් තිස්සේ දියත් කෙරෙමින් තිබේ. දෙමළ ජාතිවාදී බෙදුම්වාදය  දිනවීමට නම් මුස්ලිම් ජන සමාජය තුළද අන්තවාදී කල්ලි බිහිකර ඊට එරෙහිව සිංහල අන්තවාදී ව්‍යාපාරයක් බිහි කිරිම එකී විදේශ බලවේගවල උවමනාව වූ බව  පැහැදිලිය. එවිට සිංහල මුස්ලිම් ගෝරිය ඇවිළෙනු ඇත. ඒ අතරතුර දෙමළ බෙදුම්වාදය නැගෙනහිර මුස්ලිම් ජනයාගේ ද පක්ෂපාතීත්වය හිමිකර ගනිමින් ජය ලබනු ඇත. මුස්ලිම් අන්තවාදය මෙන්ම ඊට ප්‍රතිවිරෝධීව ගොඩනංවන ලද සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන පිටුපස දියත් වූ දේශපාලන න්‍යාය පත්‍රය වූයේ එය ය. 
 
මා මෙම අනතුර පිළිබඳව මාගේ පාලනය යටතේ “ලංකා” පුවත්පත පැවති කාලයේ “වංශනාථ” යන අන්වර්ථ නාමයකින් ලියන ලද දේශපාලන  ලිපියක මෙසේ අනතුරු අඟවා තිබිණි. ඒ 2004 ජනවාරි 04 වැනිදා නිකුත් වූ ලංකා පුවත්පතෙහිය. එහි 10 වන පිටුවේ පළ කෙරුණු අදාළ  ලිපියේ මාතෘකාව වී තිබුණේ උකුල් ඇටේ ලෙඬේට බුකුල් ඇනීමය. රෝගයක් වැලඳුණු විට රෝගියා කළ යුත්තේ එම රෝගය සම්බන්ධ විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරයකු මගින් සුදුසුම ප්‍රතිකාරය ලබා ගැනුමය. ඕනෑම බෙහෙතක් කළ පමණටම ලෙඩ සුව වන්නේ නැත. ලෙඩ සුවවීමට නම් ලෙඬේට සුදුසු බෙහෙතම ලැබිය යුතුය. එක එක ලෙඬේට එක එක බෙහෙත් තිබෙන්නේ ඒ නිසාය. 
 
උකුල් ඇටේ ලෙඬේට බුකුල් ඇන්නාම සුවවේද යනුවෙන් අපේ පැරැන්නන් විමසුවේ මේ නිසාය. බුකුල් ඇන්නාම යන්නෙන් කියැවන්නේ ගුස්ති ඇල්ලීම පිළිබඳවය. ගුස්ති ඇල්ලීමෙන් සිදු වන්නේ උකුල් ඇටේ  ලෙඬේ තව තවත් උග්‍ර වීමය. අපේ පැරැන්නන් මේ පිරුළ බිහි කළේම රෝගයකට සුදුසු පිළියම කරනු වෙනුවට එය අසාධ්‍ය කිරීමට ඉවහල් වන දේ නොකර සිටීම සඳහා සමාජය පෙලඹවීමටය. 
 
ඒ අතරම අපේ පැරැන්නන් තවත් වටිනා පිරුළු ගණනාවක් ඉතිරි කරදි තිබේ. ඒ අතර වන තවත් එකක් නම් උණකාරයා වතුර ඉල්ලන්නා වගේ යන්නය. උණ රෝගය වැලඳුණු මිනිසාගේ පිපාසයේ සීමාවක් නැත. ඔහු නිතරම ඉල්ලන්නේ වතුරය. අප සමාජය ද අද එක අතකට උණකාරයකුගේ තත්ත්වයට ඇද වැටී ඇති සමාජයකි. අප සමාජයට ඇති පිපාසාවන්ගේ කෙළවරක් නැත. පිපාසය  සන්සිඳුවාගත නොහැකි තරමට බලවත් වූ මිනිස්සු උඩ බලාගෙන කෙළ ගහන්න එපා යැයි අපේ පැරැන්නෝ අපට කීවේ කෙළ ගැසීම වුවත් කළ යුත්තේ සුදුසු  ක්‍රමයට මිස නුදුසුසු ක්‍රමයට නොවන බව අවධාරණය කරමින්ය. 
 
බිජ වැපිරීමක් කිරීමට බිම මඩ කිරීමට ඇවැසි බව සැබෑය. එහෙත්  ඌරා බිම මඩ කළ ද බිජ වැපිරිමක් සිදු නොකරයි. ඌරාගේ මඩ කිරීමෙන් ලොවට කිසි වැඩක් නැති බව එයින් වැටහේ. පුරාණ උපදේශ කාව්‍යයක මේ තත්ත්වය පෙන්වාදී ඇත්තේ මෙසේය. 
 
‘ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැතී 
බළලා කපු කටී ඌ වියන රෙදි නැති
මීයා ලී කපයි ඌ සදන බඩු නැතී
නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙති’
 
සිංහල සමාජයට හා බුද්ධාගමට පහරදීම ඉවැන්ජලිකවාදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රබල අවශ්‍යතාවකි. එනිසාම ලාංකික සමාජය තුළින් පැනනැගෙන තමන්ට සතුරු ප්‍රවණතා ඇඟේ හයියෙන් නොව මොළයේ හයියෙන් බේරා ගැනීමට සිංහල ජන සමාජය ප්‍රඥාවන්ත විය යුතුය. බොදුබලසේනා පිළිබඳ මගේ මතය ගොඩනැඟුණේත් උක්ත ලිපියට පාදක වූ ඉවැන්ජලික මූලධර්මවාදී කල්ලිවලට එරෙහි සිංහල බෞද්ධ ප්‍රතික්‍රියාව පිළිබඳව මගේ මතය ගොඩනැඟුණේ එම පදනමින් මිස වෙනත් හේතු මත නොවේ. 
 
කෙසේ වෙතත් බොදුබල සේනාවේ වැලිගම කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන මෙන් ගෝඨාභය රාජපක්ෂ පොළඹවන ලද මිලින්ද මොරගොඩම හලාල් ප්‍රශ්නයේ අනෙක් පාර්ශ්වය වූ ජමීයතුල්  උලමා නමැති ලාංකික මුස්ලිම් ජන සමාජය තුළ ක්‍රියාත්මක  සංවිධානය ගෝඨාභය හමුවට ගෙන එනු ලැබීමද එකවර සිදු කළේය. මොරගොඩලා ගෝඨාභය සමිපයට පැමිණි අයුරින්ම සියලු තීරණාත්මක චරිත ඉටු කළ රාජපක්ෂලා වටා විවිධ චරිත කැරකෙන්නට වූහ. එය සිදුවූයේ 2010 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවදා සිටම බව මම විශ්වාස කරමි. 
 
2010 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් සතියකට දෙකකට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එක් දවසක උදේ 06.30ට පමණ මට දුරකථනයෙන් කථා කළේය. 
 
‘විමල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්න ඕන කියලා මතයක් තියෙනවා. ඒ ගැන මොකක්ද ඔයාගෙ මතය?’
 
 
එකවරම අසන ලද මේ පැනයට පිළිතුරු දීමට මට කාලය උවමනා නොවිණි.
 
 
 
 
 
මතු සම්බන්ධයි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්