‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’යි විරුදාවලි ලත් ශ්‍රී ලංකා දිවයින සත් සමුදුරෙන් වටව හුදකලා දිවයිනක් වශයෙන් ස්වකීය කටයුතු බලා කියා ගනිමින් අනාදිමක් කාලයක් සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසින් පැවතියාය. එයින් දෙදහස් හයසිය වසරකටත් වැඩි කාලයක් ගැන වූ ලිඛිත ඉතිහාසයක් අප සතුය. ඒ නිසා ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද, වැටීම් මෙන්ම නැගිටීම්ද යම් පමණකට එම ඉතිහාසයේ ගැබ්ව තිබේ.
කලකදී මතින් බුලතින් සරුසාරව කෘෂිකර්මයෙන් යැපෙන ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් කාටත් අත නොපා දිවි සරිකොටගෙන දිවි ගෙවූ මේ රටවාසී ජනතාවට නිදහසේ ජීවත් වීමට වරින්වර පැමිණි විවිධ ආක්‍රමණිකයෝ ඉඩ නොදුන්හ. අවි බලයෙන් මෙරට යටත් කරගත් මෙවැනි ආක්‍රමණිකයෝ මෙරට වාසීන් විසින් සිය පණ දෙවැනි කොට ආරක්ෂා කළ සිය ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය, සාහිත්‍යය, කලාව පමණක් නොව ජාතික සිරිත් විරිත් හා සාරධර්මද විනාශ කරමින් ජාතික නිදහස ද අපට අහිමි කළෝය.
මෙහි මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ දැක්වෙන්නේ සූරතිස්ස රජු දවස සොළී රට සිට මෙහි පැමිණි සේනය, ගුත්තිකය යන අශ්ව වෙළදුන් දෙදෙනා මෙරට අල්ලා ගැනීමය. එයින් වසර විසි දෙකකට මෙරට ජනතාවට නිදහස අහිමි වූ බව කියනු ලැබේ. අනතුරුව බලයට පත් අසේල රජු එම පාලකයන් නෙරපා හැර නැවත ලංකා රාජ්‍යයේ දේශීය පාලනයක් පිහටුවූවේය. ඔහු දස වසරක් රාජ්‍ය පාලනයෙහි යෙදෙමින් සිටින අතර නැවතත් සොළී ආක්‍රමණයක් මෙරටට එල්ල විය. එළාර නම් වූ ද්‍රවිඩ සෙනෙවියෙක් සොළී රටින් මෙරටට පැමිණ අසේල රජු පරාජය කොට හතළිස් හතර අවුරුද්දක් රාජ්‍යය කළ බව වංශ කථාවේ දැක්වේ. රුහුණේ ඉපිද එහිම හැදී වැඩුණු දුටුගැමුණු නම් කුමාරයෙක් සිය සොහොයුරු තිස්ස සහ මෑණියන් වන විහාර මහා දේවියද සිව්රඟ සේනාවද සමග අගනුවර වූ අනුරාධපුරයට ගොස් මහ සටන් කොට ජයගෙන ශ්‍රී ලංකා රාජ්‍යය පර සතුරු ග්‍රහණයෙන් මුදාගෙන රට දැය සමය නංවා විශාල මෙහෙයක් සිදු කළ බව කියැවේ. මෙම සටන්වලදී රට ජාතිය ආගම සහ උතුම් වූ ජාතික නිදහස දිනා ගැනීම සඳහා ජීවිතය පූජා කළ මිනිසුන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ වී නැත. එහෙත් ඒ සියල්ලෝම ජාතික වීරයන් ලෙස සලකා ගෞරව ලැබීමට සුදුස්සෝය. නැවතත් අනුරාධපුර යුගයේදීම වළගම්බා රජු දවස සොළී ආක්‍රමණයක් මෙරටට එල්ල වූ බව කියනු ලැබේ. එහිදී රජු පැන ගිය අතර රාජධානිය කෙටි කලකට සතුරන් අතට පත් වූ බව වංශ කථාවේ දැක්වේ. එම පැන යාමේදී රජුට සහනය සැලසීම සඳහා රියෙන් බැස සතුරා අතට පත්වීමට තරම් එඩිතර වූ සෝමා දේවිය මෙන්ම රට බේරා ගැනීමට දිවි පුද කළ ලංකාවේ අනේක ප්‍රදේශවලින් ඉදිරිපත්ව සටන් කළ සෑම තරුණයෙක්ම මෙරට නිදහස් අරගලයට දායකත්වය දැක්වූවෝය.
කාලිංග මාඝ ආක්‍රමණයේදී නැවතත් රාජ්‍යය පර සතුරන් අතට පත් වූ බව අපි අසා ඇත්තෙමු. ඉන් පසු ජනතාව සංවිධානය කළ රුහුණේ කීර්ති නම් වූ කුමාරයෙක් සතුරු උවදුරු මැඩපවත්වා ශ්‍රී ලංකාව නැවතත් එක්සේසත් කර රජ වූ බව ඉතිහාසයේ කියවේ. ඒ පළමු වැනි විජයබාහු නරපති තුමාය. මේ වන විට රාජ්‍යයේ ආරක්ෂාව පතා අනුරාධපුර අග්‍ර රාජධානිය අතහැර පොළොන්නරුවට සංක්‍රමණය වී රට දියුණු කළ බව සඳහන් වේ.
චන්ද්‍රභානු ආදීහු මෙරට ආක්‍රමණය කළ නමුදු ඒ සියල්ල මෙහි සටහන් කිරීම දුෂ්කර කාර්යයකි. මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ 1505 දී පෘතුගීසි නාවික, ලොරෙන්සෝද අල්මේදා යාත්‍රා කරමින් සිටි රුවල් නැව් කණ්ඩායමක් කුණාටුවකට අසු වී මෙරටට ගසාගෙන පැමිණීමේ සිදුවීමයි. එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජකම් කළ ධර්ම පරාක්‍රමබාහු නිරිඳුන් මුණගැසුණු පෘතුගීසිහු “ගෙරි සමක පමණට” ඉඩකඩක් ඉල්ලා සිටියහ. රජු එම සුළු බිම් කොටස දීමට එකඟ වූයෙන් පෘතුගීසීහු උපායෙන් මෙරට මුල් බැස ගැනීමට කටයුතු කළහ. කෝට්ටේ රාජ්‍යයේ පැවති අසමගිය හේතු කොටගෙන ඔවුන්ට තම බලය තහවුරු කර ගැනීමට හොඳටම අවස්ථාව ලැබුණි. කුරුඳු, පුවක්, ඇත් දළ සහ මැණික් වෙළඳාමේ ආධිපත්‍යය අයත් කර ගැනීමේ එකම අභිලාසය මත කටයුතු කළ පෘතුගීසීහු එකී වෙළඳාමෙන් නොනැවතී තම යටත් විජිතයක් ලෙස ලංකාව අල්ලා ගැනීමටද උත්සාහ කළහ. එහෙත් දේශප්‍රේමී සිංහල ජනතාවෝ එයට ඉඩ නොදුන්හ. මායාදුන්නේ රජු සහ ඔහු පුත් පළමුවන රාජසිංහ රජු දීර්ඝ කාලයක් කොළම කොටුව වට කොටගෙන පරංගීන්ට පහර දුන්හ. එම සටනේදී පනස් දහසක පමණ සේනාවක් 1579 සහ 1581 අතර දෙවසරක් මුළුල්ලේ වටලාගෙන යුද්ධ කළහ. එම සටනේ මූලික කාර්යභාරය ඉටු කළ වික්‍රමසිංහ සෙනවි සහ සෙනෙවිරත්න මුදලි යන දේශප්‍රේමීහුද එම යුද්ධයට දායක වූ සියල්ලෝද ජාතියේ උතුම් නිදහස පිණිස සටන් වැදුණු වීරයන් ලෙස ඉතිහාසයට එක්වෙති. එපමණක් නොව පරංගි සංහතියම පෙති පෙති කපා දමමින් විජයග්‍රහණයෙන් අවසන් වූ මුල්ලේරියා වෙලේ සිදු වූ මහා යුද්ධයද අමතක කළ නොහැක. පෘතුගීසීන් විදේශයකදී ලද විශාලම පරාජය ලෙස හඳුන්වන ලද මෙම යුද්ධයේදී සුදලිය සහ මරු වල්ලිය පරම්පරාවල අංගම්පොර සූරයෝද සටන් වැදුනහ. එවැනි දේශීය සටන්ක්‍රම ගැන පෘතුගීසීහු නොදැන සිටි නිසා මෙවැනි පරාජයක් අත් වූ බව විදේශික ලේඛකයෝ සටහන් කර ඇත. එමෙන්ම උඩරටදී සිදු වූ කොන්ස්තන්තීනු ද සා නමැති සෙත්පතියෙකු යටතේ පෘතුගීසි හමුදාවත් දෙවැනි රාජසිංහ රජුගේ සිංහල සේනාවත් අතර සටනින්ද සිංහලයෝ ජයගත්හ.
මෙසේ පවතිද්දී කොනප්පු බණ්ඩාර යැයි නම සඳහන් වූ සිංහල තරුණයෙකු පෘතුගීසීන් පරාජය කොට පළමුවැනි විමලධර්ම සූරිය නමින් කන්ද උඩරට රාජ්‍යය නැවත පිහිටුවා සිහසුනට පත්වීම නිසා ශ්‍රී ලංකා රාජ්‍යය නැවත ස්ථාපිත වූවේය.
මේ වන විට තවත් යුරෝපීය ජාතියක් වන ලන්දේසීහු 1602 දී මෙරටට පැමිණියහ. ඔවුහුද කන්ද උඩරට රජතුමා සමග යම් කිසි එකඟතාවක් ඇති කර ගැනීමට සමත් වූහ. එනම් පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමටත් ලන්දේසින් උඩරට රජුට යුදමය ආධාර සැපයීමත් එයට සමගාමීව දේශීය නිශ්පාදනයන් වන කුරුඳු, පුවක්, ඇත් දළ සහ කුළුබඩු ආදිය නිදහසේ වෙළ හෙළඳාම් කිරීමට ලන්දේසින්ට ඉඩ ලැබීමත්ය. කලක් මෙම ප්‍රතිපත්තියට අනුව කටයුතු සිදු වූවද පෘතුගීසීන් පලවා හැරීමෙන් පසු ලන්දේසින්ගේ ප්‍රතිපත්තිය වෙනස් වූ බව පෙනුණි. ඔවුනට වෙනම න්‍යාය පත්‍රයක් හෙවත් බලාපොරොත්තුවක් ඇති බවත් පෙරදිග ලන්දේසි වෙළඳ සමාගම යටතේ ලංකාව යටත්විජිතයක් වශයෙන් පවත්වා ගැනීමට කටයුතු කරන බවත් දෙවැනි රාජසිංහ රජුට කොතරම් දුරට වැටහී ගියාදයත් ඉඟුරු දී මිරිස් ගත්තා වගේ ක්‍රියාවක් තමා කර ගත්තේ යැයි සුප්‍රකට ප්‍රකාශයෙන් පෙනී ගියේය. ලන්දේසි රෙපරමාදු නිකායට ලාංකේය බෞද්ධයක් බඳවා ගනිමින් එම ආගම වැලඳ නොගන්නා අයට කිසිම රාජ්‍ය වරප්‍රසාදයක් ලබා නොදෙමින් ඔව්හු තමනට අයත්ව පැවති මුහුදුබඩ පළාත් ආණ්ඩු කළහ. මෙයට විරුද්ධව නොයෙක් සටන් ඇති වූ අතර මෙම යුද්ධවලදීද දේශප්‍රේමීහු බොහෝ දෙනෙක් දිවි පිදූහ. කෙසේ වුවත් 1658 සිට 1796 දක්වා ලන්දේසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළහ. එය අවුරුදු 138 පමණ කාලයකි.
ඊළඟට සංක්‍රමණය වූවේ බි්‍රතාන්‍යයන්ය. ඔවුහු කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණය කර ජය ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරභාරයට ගෙන රාජ්‍යයෙන් පිටුවහල් කරන ලදී. ඉතා දීර්ඝ කාලයක් ශ්‍රී ලාංකික ජනතාව භුක්ති විඳි ජාතික නිදහස 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ උඩරට ගිවිසුම යැයි ප්‍රකට ලේඛනය මගින් සම්පූර්ණයෙන්ම අහෝසි විය. බි්‍රතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් සහ මෙරට ජන ප්‍රධානින් අත්සන් කළ එම ගිවිසුම මගින් ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය කිරීමේ බලය බි්‍රතාන්‍ය මහරජුට පැවරුණි.
මෙම ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර එක් බි්‍රතාන්‍ය සොල්දාදුවෙක් එතෙක් ළෙල දුන් සිංහ ධජය බිමට ඇද දමා බි්‍රතාන්‍ය ජාතික කොඩිය මගුල් මඩුව අබියස කොඩි ගස මුදුනේ එස වූ බව කියනු ලැබේ. රට භාර දෙන මෙම අවාසනාවන්ත මොහොතේ වුවද ජාතික හැඟීමෙන් පෙරට ආ වීරෝදාර සිංහලයෙකු වූ වාරියපොල සුමංගල අනුනායක හිමියෝ “තවමත් ගිවිසුම අත්සන් කර නැත. ඒ නිසා තවමත් තොපට මේ රට අයත් නැත. එසේ තිබියදී තොපේ කොඩිය මෙසේ එසවීමට තොපට අයිතියක් නැත” යැයි ගර්ජනා කොට බි්‍රතාන්‍ය කොඩිය පහතට ඇද දමා පයින් පාගා සිංහ ධජය එස වූ බව කියනු ලැබේ. දේශය පරසතු වී අන්ත අසරණ භාවයට පත්ව තිබෙන මොහොතේ වුවද ජාතිය නිසා ලද ධෛර්යෙන් යුතුව දිවි පරදුවට තබා කරන ලද එම උදාර ක්‍රියාව නිසා වාරියපොල ශ්‍රී සුමංගල අනුනා හිමියෝ මෙරට ජාතික වීර නාමාවලිය නමැති මුතු හරේ අග මිණක් බවට පත්ව සිටිති.
බි්‍රතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාවාසී ජනතාවට විඳින්නට සිදුව ඇති දහසකුත් එකක් මදි පුංචිකම් හා අසාධාරණකම් ගැන කෝපයට පත්ව සිටි ඌව - වෙල්ලස්ස ජනතාවෝ ප්‍රබල බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව යුද වැදුනහ. බූටෑවේ රටේ රාල, කොහුකුඹුරේ රටේ රාල ආදී දෑ හිතකාමී වීරවරයන්ගේ නායකත්වයෙන් 1818 ආරම්භ වූ මෙම විමුක්ති සටනට කැප්පෙටිපොල සෙනෙවිතුමා සහ මඩුගල්ලේ නිලමේද එක්වීම නිසා ඉතා සාර්ථකව ඉදිරියට ගියහ. ශ්‍රී ලංකාවේ ජාතික විමුක්තිය උදෙසා කරන ලද ප්‍රථම අරගලය එසේ පරාජයට පත්ව එහි නායකයන්ගේ හිස් ගසා මරා දමන ලදී. කැප්පෙටිපොල සෙනෙවිතුමාගේ හිස ගසා දමන මොහොතේ පවා දැක්වූ අභිමානය සහ නිර්භීතකම ගැන විදේශිකයෝ පවා මවිත වූහ.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ස්වාධීන නිදහස් රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා වන අරගලයේ දෙවැනි අදියර ආරම්භ වූයේ වර්ෂ 1848 දීය. ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු ආදී නායකයන් විසින් මෙහෙයවන ලද මෙම විමුක්ති සටනේදී මහා සංඝයා වහන්සේලාද මුල් තැනක් ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. දඹුල්ල රාජමහා විහාරවාසී ගිරානේගම චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේද බොහෝ සංඝයා වහන්සේලාද මෙම සටනට උදව් උපකාර කරන ලද අතර බි්‍රතාන්‍ය ආණ්ඩුකාර වෛකවුන්ට් ටොරින්ටන් සාමිවරයා විසින් වරක් හිමිවරු විශාල පිරිසක් සිවුරු පිටින්ම වෙඩි තබා මරා දැමූ බව සඳහන් වේ. අපේ ජාතික වීරයෝ තමන්ගේ රට සහ ජාතිය වෙනුවෙන් අන්තිම මොහොත දක්වාම දිවි පුදා සටහන් කළහ.
ඉංග්‍රීසීන් යටත්විජිත පාලනයේදී උපයෝගී කරගත් සුවිශේෂී උපක්‍රමයක් වූවේ දේශීය ජාතීන් බෙදා පාලනය කිරීමයි. ඔවුන් එකිනෙකා හප්පවා භේද කිරීමේ ප්‍රතිඵලය වූවේ ඔවුන්ගේ පාලනය පහසු වීමයි. 1915 දී සිදු වූ ජාතිවාදී අරගලයේදීද ඉංග්‍රීසීහු එසේ කටයුතු කළහ. සිංහලයාගේ නායකයන් වශයෙන් සිටි සර් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇෆ්. ආර් සේනානායක, එඞ්මන්ඞ් හේවාවිතාරණ, හෙන්රි පේද්‍රිස් ආදී බොහෝ දෙනා සිර භාරයට ගෙන දැඩි හිරිහැරවලට ලක් කළහ. හෙන්රි පේද්‍රිස් වීරයා වෙඩි තබා මරා දමන ලදී. එඞ්මන්ඞ් හේවාවිතාරණ මහතා සිර භාරයේදී අසනීප වී සිටියදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා මරණයට පත් විය. ලංකාව පුරා නොයෙක් පළාත්වල සිය ගණන් ජනයා මරා දමන ලදහ.
මෙසේ අසරණ බවට පත්ව සිටි සිංහල ජනතාව තුළ ජාතික හැඟීම් උද්දීපනය කරන දේශාභිමානය ගොඩනැංවීම සඳහා අනගාරික ධර්මපාලතුමා කළ මෙහෙයද අපරිමිත බව සඳහන් කළ යුතුමය. ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම සඳහා එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ නිසාද බි්‍රතාන්‍යයෝ අනගාරික ධර්මපාලතුමා සමග කෝපයෙන් පසු වූහ. එතුමා වරක් ඉන්දියාවේදී බන්ධනාගාර ගත කරනු ලැබුවේ එබැවිනි. ධර්මපාලතුමාගේ අනුගාමිකයෙකු ලෙස සමාජ සේවයට පිවිසි වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාද අනුරාධපුරයේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා මහත් සේ කැප වී ක්‍රියා කළේය.
පෙර සඳහන් කළ සිංහල - මුස්ලිම් ජාතිවාදී කෝලහාල අවධියේදී සිංහලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දෙමළ නායකයන් වශයෙන් පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුණාචලම් යන දෙසොහොයුරෝ ඉතිහාසයට එක්ව සිටිති. ලංකාවට නිදහස හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීම සඳහා පිහිටුවා ගන්නා ලද ලංකා ජාතික සංගමය ආරම්භක පුරෝගාමියා සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා විය. ජාතිවාදයෙන් තොරව ශ්‍රී ලාංකේය ජාතියේ සහ දේශයේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වූ එම නායකයෝද නිසැකවම අපේ ජාතික වීරයෝය.
මෙරටට දේශපාලන නිදහස ලබා ගැනීමට මහත් මෙහෙයක් ඉටු කළ සර් ඩී. බී ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි දේශපාලන නායකයෝද උපහාරයට සුදුස්සෝ වෙති.
යටත්විජිත යුගයේ දැය අවදි කළ නායකයන් වූ ප්‍රකට ලේඛක හා පුවත්පත් කර්තෘ පියදාස සිරිසේන මහතා මිෂනාරි බලයට එරෙහිව පානදුරාවාදය සිදුකළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිය සුභාවිත කාව්‍ය හැකියාවෙන් දැයක් අවදි කළ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි ලංකා මාතාවගේ උන්නතිය උදෙසා කැපවූ සමාජ සුධාරකයෝද මෙම ජාතික වීර දිනයේදී ගෞරවයට පාත්‍රවීමට සුදුස්සෝ වෙති.
නිදහසින් පසුව මෙරට මුහුණ දුන් බරපතළම දේශපාලන ව්‍යයසනය වූවේ තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකාව මහත් විනාශයකට ඇද දැමූ කෘර යුද්ධයයි. වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් කරගෙන ගිය එම බෙදුම්වාදී යුද්ධය නිසාද දස දහස් ගණනකගේ ජීවිත විනාශ විය. විශේෂයෙන්ම රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා ජීවිත පූජා කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ක්ලැන්සි ප්‍රනාන්දු වැනි සිය ගණනක් වූ නායක රණවිරුවෝද අනෙකුත් නිලයන් සහ සෙබළ සමූහයාද සිහි කටයුත්තෝ වෙති. එදා එළාර සමයේ සිට මෙම බෙදුම්වාදී යුද්ධය දක්වා මෙසේ මෙහි විස්තර කෙරුණු සෑම විරුවෙක්ම නොඅනුමානවම ජාතික වීරයෝ වෙති. මේ සියල්ලෝම ලක්වැසි ජනතාවගේ ගෞරව බහුමානයට නිසැකවම පාත්‍ර විය යුත්තෝය.
සෝමසිරි වික්‍රමසිංහ