වීදිය බණ්ඩාර අඩවියේ ඡන්ද සටන


බටහිර මුහුදු තීරයේ සිට සැතපුම් පහක් පමණ දුරින් මායිම් වී ඇති පස් යොදුන් කෝරලය, දකුණින් බෙන්තර ගඟේ සිසිල් දිය දහරින්ද පෝෂිත වූ විශාල සාරවත් එකකි. ඇස් ඇරපු බළල් පැටවුන් බෙන්තර ගඟ හරහා ගෙන ඒමේදී සැලකිලිමත් විය යුතු බවට ජන වහරෙන් කියැවෙන්නේ ප්‍රදේශයේ ජනතාව පිළිබඳව විශේෂත්වයකින් බවට විය හැක. 


මෙම පස් යොදුන් කෝරලය පෘතුගීසි සමයේ සිංහල වීරවරයෙකු වූ සෙන්පති වීදිය බණ්ඩාරගේ අගනුවර වූ ‘පැලැන්ද’ ද අයත් වූවකි.


දහනවවැනි සියවසේ මුලදි පමණ යුරෝපීයයන් ගේ සාර්ථක වැවිල්ලක් වන රබර් වගාව සඳහා මෙම ප්‍රදේශය තෝරා ගෙන ඇති අතර අද ලාංකික ධනවතුන්ට අයත් රබර් වතු එදා යුරෝපීයයන් විසින් ව්‍යාප්ත කරන ලද ඒවාය.


1914 වකවානුවේදී පැවැති පළමුවැනි ලෝක සංග්‍රාමයේදී එක්තරා ජර්මන් කොම්පැනියක් සතුව පැවැති පස්යොදුන් රට රබර් වත්තක් යුද්ධය ආරම්භ වීමට ටික දිනකට පෙර, ලාංකික ප්‍රභූවරයෙකු විසින් රත්තරන් පවුම්වලට හුවමාරු කර ගත් බවට ද ඉතිහාසයේ සඳහන් වේ.


කෘෂිකාර්මික හා වෙළඳ වැවිලි සඳහා අතිශයින් සාරවත් භූමියක් මෙම කෝරලයේ පැවැතුණද ඒ සියල්ලම වාගේ විදේශිකයන් හා ගමෙන් පිට ස්වදේශිකයන් අතළොස්සක් අතර බෙදී යාම නිසා බලවත් ඉඩම් හීනතාවයකින් පෙළුණ ගම්වැසියෝ ජීවත්වීමේ අරගලයකට මුහුණ පෑහ. පරම්පරා ගතව තමන් සතු වූ ඉඩම් සොච්චමක ගොවිතැන් කිරීමටත් පරදේශක්කාර මෙන්ම ස්වදේශික ධනවතුන්ගේ වතුවල කුලී වැඩ කිරීම නිසා යාම්තමින් හෝ ජීවත්වීමට ඔවුහු වෙර දැරූහ. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පැවැති කාලය තුළදී හෝ ඉංග්‍රීසි පාලනය යටතේ යටත් වැසියන් වූ පිටිසර පළාත්බද බහුතර ජනතාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ පහසුකම් නැතිවුණත් අතළොස්සක් වූ ඉහළ පැලැන්තියට අවශ්‍ය පහසුකම් තිබිණි.


මෙහි මුලින් සඳහන් කළ පරිදි වීදිය බණ්ඩාරගේ ‘පැලැන්ද’ කාලයාගේ ඇවෑමෙන් ‘මතුගම’ වශයෙන් පරිවර්තනය වීමෙන් පසු පැවැති 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට කොළඹ ආනන්ද විද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතනයකින් ශාස්තොද්ග්‍රහණය කළ ප්‍රදේශයේ ප්‍රභූ පවුලක අධිනීතිඥයෙකු වූ ඩී. ඩී. ඇතුළත් මුදලි ඉදිරිපත් වූ අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එස්. ඒ. වික්‍රමසිංහ, ඒ. රත්නායක වැනි තරුණ නායකයින්ගේ පූර්ණ සහයෝගය ඔහුට නොඅඩුව ලැබිණ.


ප්‍රදේශයේම තවත් ප්‍රභූ පවුලක ආර්.එම්. විජේමාන්න, ඇතුළත් මුදලිගේ ප්‍රතිමල්ලවයා විය. එහෙත් පැවැති එම ඡන්දයෙන් විජේමාන්න පරදවා වැඩිඡන්ද 3000 කට ආසන්න ප්‍රමාණයකින් ජය ගැනීමට ඇතුළත්මුදලිට හැකිවිය.


1936 පැවැති මැතිවරණයේදී මතුගම ආසනයට තරග කිරීමට කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර 1931 ගාල්ල ආසනය නියෝජනය කළ පසුව අධ්‍යාපන ඇමැති වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරද ඒ අතර වීම නිසා එහි ප්‍රබල සටනක් ඇති වීමේ වාතාවරණයක් උද්ගත විය. තමා ගාල්ල ආසනයට තරග කළත් නිජබිම පස් යොදුන් කෝරලයේ ඉත්තෑපාන බව කියා පෑ කන්නන්ගර, මතුගම ඡන්ද කොට්ඨාසයට නාම යෝජනා දීමට ඉදිරිපත් විය. එසේම කලක් පැවිදිව සිට එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිමින් පසුව සිවුරු හැර උපැවිදි වූ සූරියගොඩ සුමංගල හිමි එස්. සූරියගොඩ නමැති ගිහි නමින් තරග කිරීමට සූදානම් විය.


මෙම තත්ත්වය මත තමාට අත් වන අවාසිය ගැන සිතූ ඇතුළත් මුදලි පිටතින් එන ඕනෑම පුද්ගලයෙකු සමග තරග කිරීමට තමාට ඇති හැකියාව පිළිබඳව සලකා බලා ගමේ සෙසු අපේක්‍ෂකයන්ට තරග බිමෙන් ඉවත් වන ලෙසට  ආයාචනය කළ නමුත් එය ඉටු නොවීම නිසා පුවත්පත් නිවේදනයක් නිකුත් කළ ඔහු තමාගේ ඉල්ලීමට ඇහුම්කම් දුන්නේ නම් කන්නන්ගර සමග නොව සර්. ඩී. බී. ජයතිලක සමග වුවත් තරගකොට ඔහුට පරාජය කළ හැකි බවද මතුගම ආසනය තුළ පමණක් නොව රටටම ඇසෙන සේ ප්‍රකාශ කළේය.


නාම යෝජනා පත්‍රය භාර දීමේදී වතු කරයේ ජනතාව දෙමළ ජනතාව කැමති පාට වන කහපාට අපේක්ෂක පස් දෙනාම ඉල්ලා සිටි හෙයින් සහකාර මැතිවරණ කොමසාරිස් කහපාට කිසිවෙකුට නොදී සිටි අවස්ථාවේ සිවුරු හැරි සූරියගොඩ ඔහුගෙන් විමසා සිටියේ කහපාට තමන්ට දෙන ලෙසය. නමුත් ඊට  ප්‍රතිචාර දැක්වූ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ පිළිතුර වූයේ අනිකුත් හතර දෙනාගේත් ඉල්ලීම් සලකා බලා කහපාට තරග බිමෙන් තාවකාලිකව ඉවත් කළ බවය.


ඒ අනුව පැවැති 1936 මැතිවරණ ප්‍රතිපල මෙසේ විය.


සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර ඡන්ද - 13,318
එස්. සූරියගොඩ ඡන්ද - 8859
හිතටන් සෙනෙවි රත්න - 3405
ආර්. එම්. විජේමාන්න ඡන්ද - 1862
ඩබ්ලිව්. එස්. බී. පෙරේරා - 1051
වැඩි ඡන්ද - 4459


මේ අනුව, ගාල්ලෙන් මතුගමට පැන්න කන්නන්ගර මතුගම මන්ත්‍රීවරයා විය.


1947 පළමුවැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අධ්‍යාපන ඇමැති වශයෙන් ‘නිදහස් අධ්‍යාපනයේ පියා’ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින් වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සමග සටනට අවතීර්ණ වූයේ හොරණ ප්‍රසිද්ධ වැවිලිකරුවකු වන අධ්‍යාපනඥයෙකු හා හොරණ ශ්‍රීපාලි විදුහලේ නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරාය.


අනිකුත් ආසනවලදී එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ලංකා ඉන්දියානු සංගමය කටයුතු කළත් මතුගමදී කන්නන්ගරට පක්ෂ වුවද වැඩි ඡන්ද 1300 කින් පමණ කන්නන්ගර පරදවා විල්මට් ඒ. පෙරේරා ජය ගත්තේය. පරාජයෙන් පසු කන්නන්ගර ඉන්දුනීසියානු තානාපති පදවියෙන් පිදුම් ලැබීය.


1952 දී ද විල්මට් ඒ. පෙරේරා තම ආසනය රැකගත් අතර 1956, 1960 මාර්තු හා ජූලි මහ මැතිවරණයන්හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ දයා ටී. පැස්කවල් මතුගම ආසනයේ මන්ත්‍රීවරයා විය. ඔහු පසුව සිරිමා බණ්ඩාරනායක රජයේ උප ඇමැති පදවියක්ද ලැබුවේය.

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර