වෙසක් දා ඇවිළී ගිය සිංහල-මුස්ලිම් ගැටුම


 

එක්දහස් පන්සිය පහේදී මෙරටට පෘතුගීසීන් සංක්‍රමණය වීම මෙරට ජන ජීවිතයේ සෑම අංගයක් වෙතම ඉතා අහිතකර අන්දමින් අතිමහත් බලපෑමක් ඇතිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. භාෂාව, සාහිත්‍යය, කලාව, ආගම, සංස්කෘතිය ආදී වශයෙන් එතෙක් පවත්වාගෙන ආ චිරාගත සමාජ අංගෝපාංග සියල්ල විනාශ කර වෙනත් නව මතවාදයන් හඳුන්වා දීමට ඔව්හු කටයුතු කළහ. පෙර රජ දවස ඔවුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය ලද බුද්ධාගමට හිමි කරදී තිබුණු තැන අහිමි වී ගියේය. රජුට උපදෙස් දීමට පවා මහා සංඝරත්නය වෙත පවරා තිබුණු බලය අහිමිව ගියේය. බුදුන් වහන්සේ තෙවරක් වැඩම කර සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පරිශුද්ධ වූ කැලණි රාජ මහා විහාරය බිඳහෙළා එහි තිබුණු වටිනා මුතු මැණික් රන් රිදී හා මිල මුදල් පැහැර ගැනීමට ඔව්හු කටයුතු කළහ. මෙම ඉරණමටම මුහුණ දුන් තවත් පුදබිම් රැසකි. රාජවරප්‍රසාද ලැබුණේ බුද්ධාගම අතහැර පෘතුගීසීන්ගේ ආගම වැළඳ ගත් අයට පමණකි. මෙනිසා බොහෝදෙනා ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් බුද්ධාගම අතහැර දැමූහ. ඔවුන් මෙරට හැරයාමෙන් පසු බලයට පත් ලන්දේසීන්ගේ පාලනය යටතේද විශාල වෙනසක් සිදු නොවීය. ඔවුන් රාජ්‍ය පාලන භාෂාව වශයෙන් භාවිත කළේද පෘතුගීසී භාෂාවයි. එයට හේතුව සමහර විට ඒ වනවිට මෙරට රාජකීයයන් සහ ප්‍රභූ ජනයා අතරේ පෘතුගීසි භාෂාව පැතිර තිබීම විය හැකි යැයි අනුමාන කරනු ලැබේ.


ලන්දේසීන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ පාලනය පත්වූවේ ඉංග්‍රීසීන් අතටය. පෙර කී බටහිර දෙවර්ගයේම ජාතීන්ට සමස්ත ලංකාවම යටත් කරගැනීමේ හැකියාව ලැබුණේ නැත. විශේෂයෙන්ම මුහුදුබඩ පළාත් සහ තවත් සුළු ප්‍රදේශ කීපයක් පමණක් ඔවුන්ට යටත්ව පැවතුනි. එහෙත් 1815 මාර්තු මස දෙවැනි දින මහනුවර මගුල්මඩුවේදී අත්සන් තබන ලද ගිවිසුම මගින් සමස්ත ශ්‍රී ලංකා දේශයම බි්‍රතාන්‍ය කිරීටයට හිමි කරදෙන ලද නිසා මෙරට සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ කොලනියක් බවට පත්විය. තම මහ රජාණන්ගේ අධිරාජ්‍යයට තවත් රටක් එකතු කරගත් බව වාර්තා කිරීමට එවකට බි්‍රතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් රජු හමුවට ගියේය. සියලු තතු වාර්තා කිරීමෙන් පසු තුන්වැනි ජෝර්ජ් රජු විමසා ඇත්තේ ඒ රටේ මිනිසුන් කොයි වගේද? කියාය. ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ ලංකාවේ වාසය කරන්නේ යුරෝපයේ මෙන් සුදු මිනිසුන්ද අප්‍රිකාවේ මෙන් කළු මිනිසුන්ද නොඑසේ නම් කහ වර්ණයෙන් යුතු අයද වැනි දළ තොරතුරක් බව කියවේ. එයට බ්‍රවුන්රිග්ගේ පිළිතුර වී ඇත්තේ රාජෝත්තමයාණනි. නොයෙක් වර්ණ ඇති නොයෙක් උස් මිටිකම් ඇති විවිධ ආකාරයේ මිනිසුන් ඒ රටේ සිටිනවා. එම නිසා ඒ මිනිසුන් ගැන කෙටියෙන් පිළිතුරක් දිය නොහැකි බවයි. ඒ ඇසූ අධිරාජයාගේ ක්ෂණික පිළිතුර ඒ ඇත්තේ “එසේ නම් ඒ රට අපට බොහෝ කාලයක් පාලනය කළ හැකියි” යනුවෙනි.


රජුගේ එම ප්‍රකාශය සත්‍යයක් කිරීමට මෙන් සර් රොබට් බ්‍රවුන්රිග් කටයුතු කළේද හැමදාම රජකරන්නට මෙනි. ඔහුගේ අනුප්‍රාප්තිකයෝද එසේම ක්‍රියා කළහ. ගතවූයේ එක් සියවසක් පමණි. බි්‍රතාන්‍යයෝ මේ වනවිටත් උඩරට ගිවිසුමේ වගන්ති කඩ කරමින් සිටියහ. එහි පස්වන වගන්තියේ මෙසේ සඳහන්ව තිබුණි. මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බෞද්ධ ශාසනයද දේව ආගමද කඩ කළ නොහැකිව පවත්වන්නට ඕනෑ සහ එම කටයුතුද සංඝයා ද විහාරස්ථානද, දේවාලයන්ද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑය. බි්‍රතාන්‍යයන් මෙම ගිවිසුම අනුව ටික කලක් කටයුතු කළ නමුදු 1847 ජුනි 22 වැනි දින වන විටත් එම ගිවිසුම කඩ කරන්නට පටන්ගෙන තිබුණු බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සඳහන් කර ඇත. විසිවන සියවසේ මුල් දසකය වනවිට මෙම අසහනය නිසා සිංහල ජනතාවත් ඔවුන්ගේ නායකයෝත් සිත් පීඩාවට පත්ව සිටියහ. මෙවැනි අසතුටුදායක තත්ත්වයක් පවතිද්දී 1915 මැයි මස 28 වැනි දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක දින සිංහල මුස්ලිම් දෙපක්ෂය අතර මහනුවරදී ඇතිවුණු ආරවුලක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ මංකොල්ලකාරයින් සහ කටකතා පතුරවන්නන් නිසාත් සුදු පාලකයන්ගේ කූට උපක්‍රම නිසාත් දුරදිග ගොස් මහා ජාතිවාදී ගිනි ජාලාවක් බවට පත්විය.


ජාතීන් කීපයක් ජීවත්වන ඕනෑම රටක් ඔවුන් භේදකර පාලනය ගෙනයාම පාලක පක්ෂයට ඉතා පහසු ක්‍රියාවකි. එම රට යටත් විජිතයක් වූ කල මෙම තත්ත්වය තවදුරටත් බැරෑරුම් වෙයි. බි්‍රතාන්‍ය පාලකයන් ශ්‍රී ලංකාව නමැති යටත්විජිතය සම්බන්ධයෙන් අනුගමනය කළේද මෙම සුපුරුදු ක්‍රියාමාර්ගයයි. ඔවුන් රටේ බහුතරය වූ සිංහලයාටත්, බෞද්ධයාටත් දැක්වූවේ දෙවැනි පන්තියේ සැලකිල්ලකි. මෙම සිදුවීමට කලකට පෙර ගම්පොළ, වල්ලහගොඩ දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වීමට අවහිර කිරීම සම්බන්ධයෙන් සිංහල - මුස්ලිම් දෙපාර්ශ්වය අතර පැවති මත භේදයක් මෙයට මූලික ලෙස බලපෑ බව කියනු ලැබේ.


කෙසේ හෝ මෙම අර්බුදය රට පුරා ව්‍යාප්තව ගියේ අදහා ගත නොහැකි පරිද්දෙනි. මේ වනවිට පළමු ලෝක සංග්‍රාමය ආරම්භව පැවති නිසා බි්‍රතාන්‍යය වෙනුවෙන් මෙරට පාලනය කළ ආණ්ඩුකාර සර් රොබට් චාමස් අදහස් කළේ මෙම අර්බුදය, රටට ඇතුළුවූ ජර්මන් ඔත්තුකරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ පාලනය අවුල් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් වශයෙනි. මේ වැරදි අවබෝධය සහ ඒ මත පදනම් වූ කෲර පළිගැනීමේ චේතනාව නිසා 1915 ජුනි මස 02 වැනි දින ආණ්ඩුකාර රොබට් චාමස් විසින් යුද්ධ නීතිය පනවා ඉන්දියාවෙන් පවා ආරක්ෂක හමුදා ගෙන්වීය. එවකට ලංකාවේ සිටි මහලේකම් ස්ටම්ස් සහ පොලිස්පති ඩව්බිගින්ගේ දැඩි ප්‍රතිපත්ති නිසා මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරන ලද අතර සිංහලයන් මර්දනය කිරීමත් ඔවුන්ගේ නායකයන් සිරභාරයට ගැනීමත් දිගින් දිගටම සිදුවිය. මෙම ජාතිවාදී ගැටුම් රජයට එරෙහිව සිදුවන ජර්මන් කුමන්ත්‍රණ ලෙස සලකා කටයුතු කිරීමට බි්‍රතාන්‍යයන් පෙලඹීම නිසා මෙම තත්ත්වය හා පළිගැනීමේ ක්‍රියා වැඩිවූ බව කියනු ලැබේ. ඇෆ්. ආර්. සේනානායක, ඩී. සී. සේනානායක, ඩී. ඇස්. සේනානායක යන සොහොයුරන්ද දොස්තර ඩබ්ලිව්. ඒ. සිල්වා දොස්තර සී. ඒ. හේවාවිතාරණ, ආතර් වී දියෙස්, ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, රිචඞ් සල්ගාදු, සී. වී. එච්. දියෙස්, නීතිඥ ජෝන් සිල්වා, හෙන්රි පේද්‍රිස් ආදී ජනනායකයෝ මුල් දින කීපය ඇතුළත සිරභාරයට පත්වූහ. තවත් බොහෝ ප්‍රාදේශීය නායකයෝ අත්අඩංගුවට ගත්හ. යුද්ධ නීතිය 1915 පුරා දෙමසකට අධික කාලයක් පැවති 1915 අගෝස්තු මස 30 වැනි දින ඉවත් කරන විට මේ රට තුළ මහත් විනාශයක් සිදුකර තිබුණි. ඒ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. ඉන්දියාවෙන් ගෙන්වන ලද පන්ජාබ් මරාති සහ ගුර්කාස් ආදී විවිධ ජාතීන්ට අයත් ඉන්දියානු භටයන්ට අණදී තිබුණේ ඕනෑම සිංහලයෙකුට දුටු තැන වෙඩිතබා මරා දැමීමටය. මෙම අපරාධවල ඉතා සංවේදී අවස්ථාවක් වනුයේ හෙන්රි පේද්‍රිස් වීරයා මරා දැමූ සිද්ධියයි. තම පුත්‍රයාගේ බර හා සමානව රජයට රත්රන් ලබාදෙන බවට ඔහුගේ පියා පොරොන්දු දෙද්දීත් ඒ කිසිදු කරුණක් නොසලකා මරා දැමීමේ කොළඹ ජීවත්වූ සුද්දන්ට වඩා උසස් මට්ටමකින් මෙම තරුණයා ජීවත්වූ නිසා ඇතිව තිබූ පෞද්ගලික ඊර්ෂ්‍යාව නිසා යයි කියනු ලැබේ. මෙම සිද්ධියේදී සිරභාරයට ගන්නා ලද සහ මරා දමන ලද අයගේ සංඛ්‍යාවන් පිළිබඳව වන රජයේ වාර්තා පරස්පර විරෝධී වන බැවින් සිය වසරකට පසු අදටත් ඒ ගැන නිවැරදි ගණන් හිලව් දැක්වීම දුෂ්කරය.


එකල ප්‍රකට ජනමාධ්‍යවේදියෙකු වූ ආමන්ඞ් සුසා මහතාගේ කෘතියක සඳහන් වන ආකාරයට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 8428 දෙනෙකු බවත් මෙයින් 8016 දෙනකුට විරුද්ධව නඩු පැවරූ බවත් 86 දෙනෙකු මරා දැමූ බවත් සඳහන් වේ. මේ සා විශාල නඩු සංඛ්‍යාවක් විභාග කිරීමට තරම් එකල විනිසුරුවරුන් නොසිටි බැවින් මෙම නඩු විභාග කිරීමට භාර කරනු ලැබ තිබුණේ නීතිය ගැන කිසිදු හසරක් නොදත් බි්‍රතාන්‍ය ජාතික වතු පාලකයන්ට බවද සඳහන් වේ. අසරණ මිනිසුන්ට මරණීය දණ්ඩනය ලබාදුන්නේ ඒ අයුරිනි. වතු සුද්දෝ තම හාම්පුතුන්ගේ අභිමතය ඉටු කළහ.


සිංහලයන්ට දුටු තැන වෙඩි තබන ලෙස සිදුකරන ලද පොලිස්පති ඩව්බිගින්ගේ නීතිවිරෝධී නියෝගයේ පිටපත තම සපත්තුව පතුලේ සඟවාගෙන රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එංගලන්තයට ගොස් බි්‍රතාන්‍ය මව් රජයට කරුණු ඉදිරිපත් කරන ලදී. මුළු ලෝකයම පළමු ලෝක යුද්ධයේ ගිනි ජාලාවෙන් වෙළී සිටියදී සැතපුම් දහස් ගණනක් දුර ගෙවා කොයි මොහොතේ මරණය ළඟා වේදොයි නොදාන ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් ඉටු කරන ලද එම උදාර ජාතික මෙහෙය වීර වික්‍රමාන්විතයක් ලෙස ඉතිහාසයේ සටහන්ව පවතී. මෙයට කලකට පෙර ආරම්භ කරන ලදුව එවකට මෝරා යමින් තිබුණු ලංකා අමද්‍යප ව්‍යාපාරය හැර මෙරට වෙනත් ජාතික ආගමික හෝ දේශපාලන සංවිධානයක් මේ වනවිට ගොඩනැගී තිබුණේ නැත. එනිසා යටත් විජිතවාදීන්ගේ මෙම අපරාධකාරී මර්දනයට විරුද්ධව හඬක් නැගීමට තරම් ප්‍රබල නායකත්වයක් මෙරට පැවතියේ නැත. එහෙත් එම දුෂ්කර අවස්ථාවේදී මෙරට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ උගත් ලාංකිකයන් වෙනුවෙන් තෝරා පත්කරගෙන සිටි නියෝජිතයා වූ සර් පොන්නම්බලම් රාමනාදන් මහතා මැති සබය තුළත් ඉන් පිටතත් ගෙන ගිය අරගලය සදා අනුස්මරණීය වේ. ඔහුගේ සොහොයුරු සර් පොන්නම්බලම් අරුණාචලම් මහතාද මෙම සිද්ධියේදී කිසිදු ජාති භේදයකින් තොරව සුදු පාලකයන්ගේ අවස්ථාවාදී හා මර්දනකාරී පාලනයට විරුද්ධව මහහඬ නැගූ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ.


බි්‍රතාන්‍යයන්ගේ දුෂ්ට ක්‍රියාමාර්ගයන් හෙළාදැකීම සඳහා 1915 අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ මහා සභා රැස්වීමක් පැවැත්වීමට මෙරට විසූ දේශප්‍රේමී නායකයෝ කටයුතු කළහ. සර් ජේම්ස් පීරිස් මහතාගේ නායකත්වයෙන් පැවති මෙම මහා සභාව පවත්වන ලද්දේ එවකට ප්‍රකට ශ්‍රවණාගාරයක් වූ පබ්ලික් හෝල් ශාලාවේදීය. 


සම සභාපති වූ එක් ප්‍රභූවරයෙකු වූ දොස්තර සොලමන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලාංකික ජන සමාජයට අත්විඳීමට සිදුව ඇති අනුවේදනීය ඉරණම ගැන වේගවත් දේශනයක් කරමින් සිටියදී හදිසියේම වේදිකාව මත ඇදවැටුණේය. සියලුදෙනාම කලබලවූ අතර ප්‍රනාන්දු මහතාට ප්‍රතිකාර ලබාදීමට සියල්ලෝම උනන්දු වූහ. එහෙත් ඒ වනවිටත් එතුමා මෙලොව හැර ගොස් තිබුණි. සිදුව තිබුණේ වේගවත්ව කතාව කරගෙන යමින් සිටියදී ජාතිකානුරාගයෙන් සහ යටත්විජිත පාලනයේ පීඩනය ගැන උපන් සංවේගය නිසා ළය පැළී එතුමා ජීවිතක්ෂයට පත්වීමය. බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබා විශිෂ්ට ගණයේ වෛද්‍යවරයකු ලෙස සමත්ව මෙරටට පැමිණ ජාතික ආගමික හා සමාජ සේවයෙහි නියුක්තව සිටි දොස්තර සොලමන් ප්‍රනාන්දු මහතා අපේ රටේ වීර නාමාවලියට ඇතුළත් විය යුතු අග්‍රගණ්‍ය වීරයෙකි. ඉතිහාසයේ අමතක වෙමින් පවතින මෙම වීරයාගේ නාමය ලක්වැසියන්ගේ සිත් සතන් තුළට යළි සිහිපත් කිරීමට මේ සුදුසුම අවස්ථාවකි.


සෑම කළු වළාවකම රිදී රේඛාවක් වෙතැයි කියනු ලැබේ. එය සැබෑවක් බවට පත් කරමින් 1915 වෙසක් දින ගම්පොළ වල්ලහගොඩදී ආරම්භවී රට පුරා පැතිරී ගිය මෙම ජාතිවාදී අරගලය මහා ව්‍යසනයක් බවට පත්වූවා වුවද එම අවාසනාවන්ත සිදුවීම හරහා මෙරට ජන නායකයෝ තම රටේ නිදහස ගැන නැවත සිතා බැලීමට පෙලඹුණහ. යටත් විජිතවාදී විය ගහට ගෙල දී බර අදින තාක්කල් පීඩනයම, විනාශයම විනා අන් යමක් නොලැබෙන බව ඔව්හු වටහාගත්හ. එනිසා නොපමාවම නැගීසිටිය යුතු බවත් දැනට යෙදී සිටින මර නින්දෙන් අවදිව ජාතික නිදහස සඳහා සටන් කළ යුතු බවත් මෙරට ජාතික නායකත්වය වටහා ගත්තේ මෙම අභාග්‍ය සම්පන්න ජාතිවාදී අරගලය නිසාය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔව්හු 1918 වර්ෂයේදී ලංකා ජාතික සංගමය නම්වූ දේශපාලන සංවිධානය ආරම්භ කළහ. එහි ආරම්භක සභාපතිවරයා වූවේ සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා බව මේ අවස්ථාවේදී සඳහන් කිරීම උචිතය. 1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීම, ව්‍යවස්ථාදායකය පුළුල් වීම, 1947 දී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හිමිවීම සහ 1948 පෙබරවාරි 04 වැනි දින ඩොමීනියන් තත්ත්වයේ නිදහස හිමිවීම ආදී ජයග්‍රහණයන් දක්වා වර්ධනය වූ දේශපාලන සංසිද්ධීන්ට හේතුවූවේ 1915 රුදුරු ජාතිවාදී අරගලයේ අත්දැකීම් තුළින් ලද ජාතික උත්තේජනයයි. 1915 සිද්ධීන් අමතක කර මහා ප්‍රවාහයට එක්වූ මුස්ලිම් නායකයෝද තුවාල තමන්ම පාරවා ගනිමින් එම වේදනාවෙන් අනෙක් පාර්ශ්වවලට දොස් පරොස් කියමින් සිටීමට කටයුතු නොකළහ. ටී. බී. ජයා, ඇම්. ඩී. ඇම්. කලීල්, මොහමඞ් මාකන් මාකර්, සර් රාසික් ෆරීඞ් බද්යුද්දීන් මහමුද් ආදී නායකයෝ ජාතික සමගිය පිළිගෙන දෙමළ සහ සිංහල නායකයන් සමග එක්ව ජාතික ඒකාග්‍රතාවෙන් යුතුව කළ සටන් නිසා යටත් විජිතවාදයෙන් මිදී උතුම් ජාතික විමුක්තිය ලබාගැනීමට ශ්‍රී ලංකා මාතාවට වාසනාව අත්විය. නොබෝදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීම් අපේ මතකයට නැගේ. එය ජාතික දේහයේ හදවතටම එල්ලවූ ප්‍රහාරයක් බව නොරහසකි. බොහෝ කාලයක් සමගියෙන් සහෝදරත්වයෙන් දුක සැප බෙදාගෙන ජීවත්වූ ජන කොටස් දෙකක් විරසක කිරීමට දුර්දාන්ත කඩාකප්පල්කාරීන් පිරිසක් සමත්ව ඇත. එහෙත් එය නිසි පරිදි හඳුනා ගැනීමට සහ අර්බුදය කළමනාකරණය කර ගැනීමට අදාළ සියලු පාර්ශ්ව සමත් විය යුතුය. අප අසා කියවා ඇති ආකාරයට සෑම ආගමකින්ම සෑම ශාස්තෘවරයෙකුම පවසා ඇත්තේ ආදරය, කරුණාව, සාමය, ප්‍රේමය දයාව සහ මෛත්‍රිය ගැනය. එනිසා කිසිම පුද්ගලයෙකුට එම ඉගැන්වීම්වලින් පරිබාහිරව කටයුතු කිරීමට අයිතියක් නැත. ලෝකය වඩාත් සුන්දර කිරීමට අපට උරුමව ඇති ආගම් මිනිස් ජීවිත නැසීමට ලේ වැගිරීම්වලට යොදා ගැනීම කිසිසේත්ම සාධාරණ නොවේ.


එක්දහස් නවසිය පහළොවේ සිදුවීම් අමතක කර එය ජාතික විමුක්ති සටනේ ජයග්‍රහණයට යොදා ගත්තාක් මෙන්ම වර්තමාන අර්බුදයද සුහද අයුරින් විසඳාගෙන ජාතික ඒකාත්මික බවෙන් යුතුව පොදු ගැටලු සඳහා අවධානය යොමු කිරීමට ජාතියක් වශයෙන් අප සමත් වෙතොත් සෑම කළු වළාවකම රිදී රේඛාවක් ඇතැයි යන්න යළි යළිත් සනාථ වෙනු ඇත. මෙම වෙසක් සතිය එම අධිෂ්ඨානය ඇතිකර ගැනීමට ඉතාම යෝග්‍ය අවස්ථාවයි. අපි සුහදත්වයේ හා මෛත්‍රියේ දෑත් සියල්ලන් වෙත ආදරයෙන් දිගු කරමු. බිඳුණු හදවත් සුවපත් කළ හැක්කේ එමඟින් පමණි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි