ශ්‍රමදානයෙන් මහජන සේවයට


 

කනතොළුව ගමේ සිදුවෙමින් පවතින මහා වෙනස පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය. කොළඹ නාලන්දයේ ශිෂ්‍යයන් සිය ගණනක් තවත් විශාල පිරිසක් කැඳවාගෙන ගොස් සැඩොල් ගමක ඔවුන් සමඟ වාසය කරමින් එකට කමින් බොමින් කොන් කිරීමට ලක්ව සිටි එම ජනයාගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කරගෙන යන සමාජ සත්කාරය ගැන එකල තිබුණු ප්‍රධාන ජනසන්නිවේදන මාධ්‍යයන් වූ ගුවන් විදුලියෙන් සහ පුවත්පත් මගින්ද ලැබුණේ විශාල ප්‍රචාරයකි. මේ කියන යුගයේ ‘ශ්‍රමදානය’ යැයි වර්තමානයේ කියවෙන වචනයවත් සමාජගත වී තිබුණේ නැත. එනිසා මෙම වැඩපිළිවෙළම අලුත් අත්දැකීමක් වූවා නිසැකය.


මෙම ආරංචිය පියවරෙන් පියවර ඉහළට ගොස් අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ අවධානයට ද යොමු වූයේය. ඒ ගැන සොයා බැලූ අගමැතිවරයාට දැනගන්නට ලැබුණේ තම රජය මගින් ක්‍රියාත්මක කර ඇති පරිවර්තන යුගයට ගැළපෙන ක්‍රියාදාමයක් කනතොළුවේදී නාලන්ද ශිෂ්‍යයන් ප්‍රමුඛව සිදුවෙන බවයි. දිනක් උදෑසනක, මෙම වැඩ කඳවුර ක්‍රියාත්මක වෙමින් තිබියදී අගමැති බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය එම ස්ථානයට පැමිණියාය. ඒවන විට ඇය දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණව නොසිටියාය. ඇය පැමිණියේ අගමැතිවරයා නියෝජනය කරමිනි. එහිදී සර්වෝදය ව්‍යාපාරයේ නායක නාලන්දාවේ ආචාර්යවරයෙකු වූ ඒ. ටී. ආරියරත්න මහතා මුණ ගැසුණු අගමැති බිරිඳ අගමැතිවරයාගේ සුබපැතුම් පණිවුඩයක් ද භාර දුන්නාය. එහි මෙසේ සඳහන් විය.


‘ලංකා අගමැති කාර්යාලය’ 


නාලන්දා විද්‍යාලීය සමාජ සේවා සංගමය මගින් පීඩිත ජන කොට්ඨාසයක් නගා සිටුවීම සඳහා අරඹා ඇති වැඩපිළිවෙළ ගැන අසා මහත් සන්තෝෂයට පැමිණියෙමි.


පොදු මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පුළුල් හැඟීම්වලින් ලෝකයම පිබිදී ඇති මෙවන් යුගයක ආර්ථික පක්‍ෂයෙන් මෙන්ම අධ්‍යාපනික සහ සමාජ තත්ත්වයෙන්ද නොසලකා හරින ලද ජන කොට්ඨාස තිබෙන්නට හැරීම කිසිම රටකට හෝ ජනතාවකට තරම් නොවන අසාධාරණයකි. සෙසු ජනතාවන් විසින් නොසලකා හැර ඇති අවාසනාවට කැපවී ඇති ජනයා වෙසෙන ගමක් තෝරා එම ගම්වැසියන්ගේ උන්නතිය ඇති කිරීමට නාලන්දා සමාජ සේවා අංශය ගෙන ඇති පියවර ඉතා විශිෂ්ට ජනසේවක ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්වෙනු ඇත. එපමණක් ද නොවේ. ඒ වනාහී සෙසු විද්‍යායතනයන්ද සමාජ සේවා සංස්ථා සහ ආයතනයන්ද හමුවේ තබන ලද උසස් ආදර්ශයක් වශයෙන් සැලකෙනු නොඅනුමානය.


සහෝදර දිළිඳු ජනයා නංවා තැබීමට ගත් මෙම පියවර සර්ව සාර්ථක වේවා යයිද, එයම දීප ව්‍යාප්ත සමාජ සේවා ව්‍යාපාරයක ආරම්භය වේවා යයිද ප්‍රාර්ථනය කරමි.


ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක -1958-12-15


මෙම ලිපිය භාර දී අගමැතිතුමාගේ සුබපැතුම් පිළිගැන්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිටත්ව ගියාය. ඒ කඳවුරු බිමේ නිරීක්ෂණ චාරිකාවකින්ද පසුවය. මෙම සිද්ධියට ජනමාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. එය නාලන්දා විද්‍යාලයටත් ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාර්තෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාටත් එයට දායක වූ ශිෂ්‍ය ප්‍රජාවටත් මහත් වූ ධෛර්්‍යයක් වූවේය. ඊට දිනකට පසු එවකට පොලිස්පතිව සිටි ඔස්මන්ඞ් ද සිල්වා මහතාද පැමිණීම තවත් ධෛර්්‍ය ගන්වන සුලු සිදුවීමක් විය. එම හේතුව නිසා කනතොළුව ප්‍රදේශයෙන්ම මතුව තිබුණු සුළු සුළු බාධකයන් ද මඟහැරී ගියේය.

 

 

සමාජයේ විවිධාකාර මත දරන මිනිස්සු වෙසෙති. සිදුවන බොහෝ හොඳ දේ සමහරු වැරදි ලෙස තේරුම් ගනිති. තමාට අයහපතක් සිදු නොවුනද වාසියක් නොලැබුණා වුවද සමහර හොඳ දේවල් පවා විනාශ කර දැමීමට පෙලඹෙති. එය ඊර්ෂියාව ලෙස විග්‍රහ කරන්නට පුළුවන. පොදු සමාජයේ සහ බොහෝ දෙනාගේ සුබ සිද්ධිය උදෙසා නාලන්දාවෙන් ආරම්භ වූ ශ්‍රමදාන ව්‍යාපාරයට ලැබුණු කීර්තිය දරා ගැනීමට නොහැකි කණ්ඩායමක් අවට පරිසරයේ සිටියහ. හොඳින් බැරිනම් නරකින් එය සිදුකිරීමට මෙම කුහක ඇත්තෝ තීරණය කළහ. එකල මරදාන ප්‍රදේශය හොල්ලාගෙන සිටි දාමරිකයෙකු ලෙස චොප්පෙ අයියා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කුලියට මිනීමරණ, මිනිසුන්ගේ අත පය කඩන, මැරයෙකු ලෙස බොහෝ දෙනා හැදින්වූවත් ඔහු යුක්තිගරුක මිනිසෙකු විය. බොහෝ යුක්තිය වෙනුවෙන් සටන් වැදුණු ඔහු කිසි විටෙකවත් මුදල් සඳහාවත් වැරදි වැඩ නොකළේය.
මේ අතරවාරයේ නාලන්ද ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආරියරත්න මහතා මරා දමන ලෙස කිසියම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබුණි. මෙය ආරංචි වූ විගස ආරියරත්න මහතා තම හිතවත් පිරිසක් ද සමඟ චොප්පෙ නැවතී සිටි කාමරයටම ගොස් විමසුවේ මරණයේ අවදානම දෝතින් දරාගෙනය. 


සිදුවෙමින් පැවති දෙය වටහාගත් චොප්පෙ අයියා දිවි හිමියෙන් තම ගෞරවය ආරියරත්න මහතා ඇතුළු නාලන්දාවේ ශ්‍රමදාන මූලිකත්වය ගත් පිරිසට පුද කළේය. ඕනෑම ප්‍රශ්නයකදී තමාගේ සහාය ඔවුනට හිමිවන බවටද සපථ කළේය. එය එසේම සිදු විය. නාලන්දයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ එක හඬින් ආරියරත්න මහතා වටා පෙළගැසුනහ. ශ්‍රමදාන ව්‍යාපාරය දීප ව්‍යාප්තව සිදු කිරීමට ඔවුහු තීරණය කළහ.


කුලියාපිටියට ආසන්නව පිහිටි මානාව දෙවැනි කඳවුර සඳහා තෝරා ගත් ප්‍රදේශය විය. එයද දරිද්‍රතාවෙන් සහ සමාජ පීඩනයෙන් යුතු වූ ජන කොට්ඨාසයකගේ වාස භූමියක් වූවේය. කනතොළුව ගමේදී මෙන්ම ළිං කැපීම, වැසිකිළි තැනීම, මංමාවත් කැපීම, තිබෙන පාරවල් පිළිසකර කිරීම ආදියෙහි යෙදුණු නාලන්දා සිසු මානවකයෝ


ඉන් පසු රට පුරා විවිධ දිස්ත්‍රික්කවල මෙම සමාජ සේවා කටයුතු කරගෙන යාමට තීරණය කළහ. ඒ අනුව රත්නපුර පළාතේ අකරැල්ල දකුණේ දෙනියායේ වතුරාව පමණක් නොව මඩකළපුවේ පච්චන්කර්නි නමැති දෙමළ ගම්මානයේ ද ඉටු කළහ.


සමාජ සේවයේදී සිංහල, දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් හෝ වෙනත් කුලමල භේදවලින් තොරව කාටත් සාධාරණ අයුරින් ඉටු කිරීම ප්‍රගුණ කිරීමට තමාට මෙම ශ්‍රමදාන ව්‍යාපාරය හරහා අත්දකින්නට ලැබුණු බව ඇමති ජයවික්‍රම පෙරේරා මහතා ආවර්ජනය කරනුයේ ඉතා සතුටිනි.


එමෙන්ම කැබිනට් ඇමතිධුරයක් සහ එක්සත් ජාතික පක්ෂය වැනි ජාතික තලයේ දැවැන්ත පක්ෂයක සභාපති ධුරය දක්වා පැමිණි දීර්ඝ ගමනට ශ්‍රමදානයෙන් ලද ආභාසය පමණක් නොව නාලන්දාවේ ක්‍රිකට් නායකයා හා පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ලද විනය ගරුකබව, ඉවසීම, ජය පරාජය දරා ගැනීම මෙන්ම නායකත්වයට ගරු කිරීම, පැවරෙන ඕනෑම වගකීමක් භාරගෙන ඒ වෙනුවෙන් කැපවීම ආදී යහපත් ගුණාංගයන්ද වර්ධනය කර ගැනීමට හැකි වූ බව එතුමාගේ අදහසයි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ