‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යැයි විරුදාවලි ලැබූ ශ්‍රී ලංකා දිවයින සෑම අතින්ම මුහුදින් වටවී ඇත. එය එම රටේ වාසියට මෙන්ම අවාසියටද හේතු වූ සාධකයක් විය. එළාර වැනි සොළී ආක්‍රමණිකයෝ මෙරටට පැමිණ යුද කර මෙරට අල්ලා ගත්හ. සේන - ගුත්තික වැනි අශ්ව වෙළෙන්ඳෝ මෙරට පාලනය කළහ. චන්ද්‍රභානු වැනි ජාවකයන් මෙරටට පැමිණියේ සමුද්‍රය තරණය කරමිනි. ලෝරෙන්සෝද අල්මේදා නම් පෘතුගීසි යාත්‍රිකයා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණියේ මාලදිවයිනට යන නාවික පිරිසකගේ වස්තුව මංකොල්ල කෑමට හඹා යාමේදී කුණාටුවකට අසුවීමෙනි. මෙසේ මාලදිවයිනට ගියේ මුස්ලිම් නැව් කණ්ඩායමකි.
කුණාටුවලට අසුවීමෙන් හෝ නැව් අනතුරට භාජනයවීමෙන් පමණක් නොව සමුදුරු තරණය කර වෙළහෙළදාම්වල යෙදුණු දුර ඈත රටවල් කරා ගිය බොහෝ වෙළෙන්දෝ ද වූහ. මොවුන් අතරින් පුරෝගාමීහු අරාබින් වූහ. මොව්හු අරාබියේ සිට ස්පාක්‍ද්ක්‍දය දක්වා විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළහ. එපමණක් නොව උතුරු අප්‍රිකාවේ බොහෝ රටවල් ඔවුන් යටතේ විය. මේවා අතර පමණක් නොව චීනය දක්වාද අරාබි වෙළෙන්ඳෝ යාත්‍රා කරමින් වෙළෙඳාමේ නියුක්ත වූහ. යුරෝපය සහ ආසියාව අතර වෙළෙඳාමේ අතරමැදියන් වූවේ මෙම අරාබිහුය. මුහුදු ගමන්වලට බිය නොවූ එඩිතර මිනිස් කණ්ඩායමක් වූ මොවුහු ලංකාවටද පැමිණියහ. ලංකාවේ කුරුඳු, පුවක්, මැණික්, ඇත් දත් ආදී ලංකාවේ වෙළෙඳාමේ ඒකාධිකාරය දීර්ඝ කාලයක්ම දරන ලද්දේ ඉස්ලාම් ආගම ඇදහූ අරාබිවරුය. මෙරට රජ කළ සිංහල රජවරුන්ගේද මනාපය දිනාගනිමින් ඔවුන්ගේ අනුග්‍රහය ලබමින් අරාබිහු දීර්ඝ කාලයක සිට මෙරටට පැමිණියහ. ආපසු ගියහ. ඒ පිළිබඳ පුරාවෘත්ත බොහෝ සෙයින් අසන්නට ලැබුණි.
අරාබියෙන් පැමිණි වෙළෙද ව්‍යාපාරිකයන් අතරින් කීප දෙනෙකු හෝ මෙරට පදිංචිව ස්ථිර වාසස්ථාන පවත්වාගෙන ගිය බව සමහර ඉතිහාසඥයෝ පවසති. මේ හැර සමූහයක් ලෙස ලංකාවට පැමිණි ප්‍රථම කණ්ඩායම ලෙස දැක්වෙන්නේ අරාබියේ රජකළ අබ්දුල් අල් මලෙක් බින් මාවෙන් කාලිෆ්වරයාගේ කෲර පාලනයට විරුද්ධ වූ ජන කොටසක් එරටින් පිටව ලංකාවට පැමිණීමය. හෂීම් නමැති නායකයෙකු යටතේ පැමිණි මෙම පිරිස නැව් තොටුපළවල් ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි වී වෙළෙඳාම් කිරීම ආරම්භ කළ බවත් පසු කලෙක එම ස්ථාන නගර වශයෙන් දියුණු වූ බවත් කියනු ලැබේ. මෙසේ පැමිණි පිරිස ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම්, පුත්තලම, කොළඹ බේරුවල සහ ගාල්ල යන ස්ථානවල පදිංචි වූහ.
ස්පාක්‍ද්ක්‍ද නාවිකයෙකු වූ කොලොම්බස් බටහිරට යාත්‍රා කිරීම නිසා බටහිර ලෝකය සොයා ගන්නාලද බව කියවේ. අනතුරුව වස්කෝදගාමා පෙරදිග බලා යාත්‍රා කළේය. ඔහුගේ ගමනට අවශ්‍ය සැලසුම පිළියෙල කළේ අරාබි ජාතිකයන් බවත් ඒ ගැන ඉතිහාසයේ සඳහන් වී නොමැති බවටත් සමහරු මැසිවිලි නගති. කෙසේ වූවත් මෙම වකවානුවේ බොහෝ අරාබීහු සිය රට හැරදමා ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයේ සහ පෙරදිග වර්තමාන මැලේසියාව, ඉන්දුනීසියාව සරවක්, බෲනායි ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වූ නිසා මුස්ලිම් ජනගහනය මෙන්ම එම ලබ්ධිය සහ සංස්කෘතියද එම රටවලටද පැතිර ගියේය.
මෙසේ දකුණු ඉන්දීය ප්‍රදේශවල මුස්ලිම් ජනතාව වැඩි වර්ධනය වීමත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි එම බලපෑම අතිශයින්ම වැඩිවීම සිදුවූවේ නිරායාසයෙනි. 1505 දී ලොරෙන්සෝද අල්මේදා අහම්බෙන් ලංකාවට පැමිණි තැන් පටන් පෘතුගීසීහු විවිධ උපාය මාර්ග ඔස්සේ තම බලය ස්ථාපිත කර ගැනීමට මාන බැලූහ. කෝට්ටේ රජකළ රජවරු පවා ඔවුන්ගේ චාටු බස්වලට හා කූට උපක්‍රමවලට රැවටී නොයෙක් වරප්‍රසාද, වරදාන හා තාන්නමාන්න ලබා දුන්හ. ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආධිපත්‍යයට මුලින්ම අභියෝග කළේ සිංහලයන් නොව මුස්ලිම්වරුන් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. කොළඹට පැමිණි ලොරන්සෝද අල්මේදාගේ නියෝජිත කණ්ඩායම කෝට්ටේ රජවාසලට කැඳවාගෙන යාමේ වගකීම පැවරුණේ මුස්ලිම් ජාතික පිරිසකටය. ඔවුහු පෘතුගීසින්ට විරුද්ධව පැවති මතවාදය නිසා ඉතා ඈත මංමාවත් ඔස්සේ කෝට්ටේට කැඳවාගෙන ගියහ. අදටත් ජනවහරේ එන “පරංගියා කෝට්ටේ ගියා වැනි” යැයි කියමන බිහිවූයේද ඒ අනුසාරයෙනි. කෝට්ටේ රජකළ බුවනෙකබාහු ඉතසිතින්ම පෘතුගීසීන්ට පක්‍ෂ වූ නමුදු ඔහුගේ සොහොයුරු මායාදුන්නේ කුමරු එයට එකහෙළා විරුද්ධ විය. ඔහු සීතාවක නමින් වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යමින් දිගින් දිගටම පෘතුගීසි විරෝධියෙක් ලෙස කටයුතු කළේය. තම ප්‍රවේණිගත සතුරා ලංකාවෙන් පලවාහැරීම සඳහා මුස්ලිම්වරු මායාදුන්නේට සහ ඔහුගේ පුත් පළමුවැනි රාජසිංහයන්ට නොවක් සහාය ලබාදුන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මාස ගණනක් තිස්සේ පෘතුගීසින්ගේ කොළඹ කොටුව වටලාගෙන පවත්වාගෙන ගිය මහා සටන ඉතා සාර්ථකවීමට ප්‍රධාන හේතුවක් වූවේ ඉන්දියාවේ කැලිකට් ප්‍රදේශය පාලනය කළ මුස්ලිම් පාලකයන්ගෙන් ලද යුදමය ආධාර නිසා බවද ප්‍රකට කරුණකි. එම සම්බන්ධය ඇති කිරීමට මැදිහත් වූවේ මෙරට මුස්ලිම් ප්‍රජාව බවද කියනු ලැබේ. එම සටන ජයග්‍රහණයෙන් අවසන්වීමට ආසන්නව තිබියදී පෘතුගීසි මූලස්ථානය වූ ගෝවෙන් පැමිණි නැව් කණ්ඩායමකින් ලැබුණු ආහාර, අවි ආයුධ සහ සේනාව නිසා ජයග්‍රහණය වෙනතකට හැරුණි. එසේ නොවූවානම් ශ්‍රී ලංකාවේ ඉතිහාසය බොහෝදුරට වෙනස්වෙනවා නිසැකය.
සමකාලීන යුගයේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බහුලව පැතිර ගිය මුක්කරු නම් ජන වර්ගයක් වාසය කළහ. ද්‍රවිඩ මූලාශ්‍රයන් සහිතව පැවතගෙන ආ මෙම මුක්කරු සමුද්‍රය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට මහත් සේ දස්කම් පෑහ. ඔවුන්ගේ ජීවනෝපාය වූවේ ධීවර කර්මාන්තයයි. එහෙත් සම්ප්‍රදායික දෙමළ ජනතාව හින්දු ආගම අදහන්නන් වූ බැවින් ධීවර රැකියාවේ යෙදෙන මුක්කර වර්ගයාට ප්‍රිය නොකළහ. මසුන් මැරීම සහ කරවල සඳහා ඒවා වේළීම අශුද්ධ කටයුත්තක් ලෙස හින්දූහු සැලකූහ. යාපනයේ කීරමලේ නැගුලේශ්වර් කෝවිල් භූමිය අසල පදිංචිව සිටි මුක්කරුන් එම පූජා භූමිය තුළ මසුන් වේළීමට යොදා ගැනීම නිසා ඔවුන්ට උතුරෙන් ඉවත්ව යාමට නියම කරන ලද බව කියවේ. එනිසා යහපත් ජීවිතයක් ගත කිරීම අරමුණු කරගත් මුක්කර වර්ගයා උසුමාන් සහ සෙන්නන් යන තම ගෝත්‍ර ප්‍රධානීන්ගේ මගපෙන්වීම අනුව නැගෙනහිර පළාතට පැමිණ මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තුවේ පනාකායි, වලෙයි ඉරවූ නම් ප්‍රදේශවල පදිංචි වූහ. ඉන් පසුව තවත් මූක්කර කුල හතක පිරිසක් මඩකළපුව ආසන්නයේ ගම් කීපයක තම වාසස්ථාන පිහිටුවා ගත්හ. මෙම ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් වූ තිම්ලයෝ එයට විරෝධය පෑහ.
තවත් ටික කලකට පසු ඉන්දියාවේ මලබාර් වෙරළ ප්‍රදේශයේ සිට යාත්‍රා කරමින් සිටි මුස්ලිම් පිරිසක් නැව කැඩී බිඳීයාම නිසා අතරමංව මඩකළපුව අසල පූනච්චිමුනෙයි නමැති ස්ථානයට ගොඩබටහ. වෙරළේ සිට ගොඩබිම දෙස බැලූ ඔවුන්ට කට්ටන් නමැති වැදි නායකයාගේ වැදි ගම දක්නට ලැබුණි. මුහුදු වෙරළ ආසන්නයේම පිහිටා තිබුණු වැදි නායකයාගේ නිවසේ මුලුතැන්ගෙයින් නික්මෙන දුම් රොටුද ඈතදීම දර්ශනය විය. ඒ අනුව මඩකළපුවට සැතපුම් කීපයක් දකුණින් පිහිටි කාතන්කුඩි නමැති ගම්මානයේ මොව්හු පදිංචි වූ බව කියවේ. අද වන විට ශ්‍රී ලංකාවේ වැඩිම මුස්ලිම් ජනගහනය පවත්නා කාතන්කුඩි ප්‍රදේශය එය බව කියවේ.
මේ වන විට යෝනක ජනතාව බොහෝ සෙයින් දියුණු වී තිබුණු අතර යාපනයෙන් නෙරපන ලද මුක්කරුද එම ප්‍රදේශයවල මුල් පදිංචිකරුවන් වූ තිමිලයන් සමඟ මහත් අරගලයක යෙදී සිටියහ. යම්කිසි සාකච්ඡාවක් මත තිමිල ජනයා පරාජය කිරීමට මුස්ලිම් ජනයාගේ සහාය ලබාදීමට එකඟවූහ. ඒ අනුව තිමිලයන් හා මුක්කරුන් අතර මහා යුද ගැටුමක් සිදුවූ බව නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය ගැන කියවෙන පැරණි ලේඛනවල සඳහන් වේ. මෙම යුද ගැටුමේදී තිමිලයන්ගේ පාලකයා මරා දැමුණු නිසා එම පළාතේ වැඩි බලය මුක්කරුන් අතට පත් වූ බව කියනු ලැබේ. මේ සිද්ධියේ දී මුස්ලිම්වරුන්ගෙන් ලැබූ සහයෝගය අගය කළ මුක්කරු එයට කෘතවේදීත්වය පළ කිරීමක් වශයෙන් ඉස්ලාම් දහම වැලඳ ගත්හ. එමෙන්ම එරාවුර් ප්‍රදේශයේ පදිංචි වීමටද යෝනකයන්ට ඉඩ දෙන ලදී. ඉන් පසු දෙපාර්ශ්වය අතර විවාහ ඇතිවීමටද ඉඩ සලසන ලද බවද සඳහන් වේ. පසුකාලීනව සමස්තයක් වශයෙන් මෙම ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ආගමිකයන් බවට පත් වූ බවද කියවේ. එහෙත් මුක්කරු අදත් තම ජනවාර්ගික අනන්‍යතාව රැකගෙන ජීවත් වෙති.
නැගෙනහිර පළාතේ පමණක් නොව වයඹ පළාතේ පුත්තලම කේන්ද්‍රකරගත් මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වන බව නොරහසකි. සිංහල රජවරුන්ට ලුණු සැපයූ පුරවරය ලෙස නමක් දිනාගෙන තිබුණු මෙම ප්‍රදේශයේද මුල්ම යුගයේදී අරාබීහු පදිංචි වූහ. ඔවුන්ගෙන් පැවතෙන්නන් සහ පසුව එහි විසූ මුක්කර ජනතාවක්ද මුස්ලිම් සමාජයට එක් වූ බව මූලාශ්‍රවල සඳහන් වේ.
පෘතුගීසි හා ලන්දේසින්ගේ හිරිහැරවලට ලක්වෙමින් කොළඹ හා වෙරළ බද ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම්වරුන්ට වඩා පහසු ජීවිතයක් ගත කිරීමට උඩරට මුස්ලිම්වරුන්ට හැකි වූ බව කියනු ලැබේ. උඩරට පළාත් ආණ්ඩු කළ සිංහල රජවරු ඔවුන්ට අනුග්‍රහය දැක්වූහ. යම් යම් විශේෂ සිදුවීම් හා දක්‍ෂතා නිසා එසේ වූ බව කියනු ලැබේ. එයට නිදසුනක් යම් වෛද්‍යවරයකු විසින් රාජ දේවියගේ අසනීපයක් සඳහා සිදුකළ ප්‍රතිකාරවලින් සුවපත් වූ නිසා සතුටට පත් උඩරට රජකම් කළ සෙනරත් රජතුමා ඔහුට ගම්වරයක් තෑගි දුන් බවට කතාවක් ජනප්‍රවාදයේ එයි. එම සිදුවීම මෙසේය. අරාබියෙන් ලොවට ලැබුණු දායාදයක් වශයෙන් යූනානි වෛද්‍ය ක්‍රමය හඳුනාගත හැක. අනාදිමත් කාලයක සිට අරාබිවරු මෙම වෛද්‍ය ක්‍රමය තම ජනතාවගේ සුව සම්පත සැලැස්වීමට යොදා ගත් බවට සාක්‍ෂි තිබේ. හරුන් අල් රෂීඞ් කාලිප්වරයාගේ සමයේ මෙම වෙදකම පැවති බවත් එහි වටිනාකම ගැන රජ මාලිගාවේ බොහෝ දෙනා දැනසිටි බවත් සඳහන් වේ. අරාබියෙන් ඉන්දියාවට පැමිණ ගෝවේ අසල පදිංචිව සිටි වෙද පරපූරක සාමාජිකයෝ පිරිසක් ගෝවේ පෘතුගීසි බලය වර්ධනය වෙද්දී එම බලපෑම් නිසා ලංකාවට පැමිණ කෝට්ටේ පදිංචි වූ බව කියනු ලැබේ. කෝට්ටේ විසූ මෙම වෛද්‍යවරු එහි රජවාසලේ අය රෝගී වූ අවස්ථාවලදී ප්‍රතිකාර කර සුවපත් කිරීම නිසා මහත් ප්‍රසිද්ධියක් ලැබූහ. පසුව මෙම පවුල්වල සමහර සාමාජිකයෝ උඩරට රාජධානියේ සමහර ප්‍රදේශවල පදිංචි වූහ. කෝට්ටේ රාජධානියටද පෘතුගීසින් සංක්‍රමණය වීම එයට හේතුවන්නට ඇතැයි යනුවෙන්ද සැක කරනු ලැබේ. සෙනරත් රජතුමාගේ මෙහෙසිය වූ දෝන කතිරිනා දේවියට ඔජරය නම් වූ උදර රෝගයක් වැලඳුණි. නොයෙක් ප්‍රතිකාර කළ නමුදු එය සුව නොවූ නිසා රාජකීය දෛ්‍යවරු අසීරුවට පත් වූහ. මේ අතරතුර රජතුමාට දැන ගන්නට ලැබුණේ ඉතා දක්ෂ යුනානි වෛද්‍ය කණ්ඩායමක් තම රාජධානියේ වෙසෙන බවයි. රාජ දූත පිරිසක් වහාම එහි යැවුවේ වෛද්‍යවරයකු කැඳවාගෙන ඒමට පහසුකම්ද සහිතවය. රජවරුන් බොහෝ විට කරන්නාක් මෙන් සෙනරත් රජතුමාටද මෙම වෛද්‍යවරයාගේ දැනුම පිරික්සා බැලීමට අවශ්‍ය විය. එනිසා එතුමා පැවසුවේ රජ බිසවගේ අත ඇල්ලීමට වෛද්‍යවරුන්ට අවසර නැති නිසා වෙනත් විකල්පයක් මගින් නාඩි පරීක්‍ෂා කළ යුතු බවයි. රෝගියා වෙත නොගොස් ඇයගේ අත නොඅල්ලා නාඩි පරීක්‍ෂා කළ හැකි බව වෙදරාලලා ප්‍රකාශ කළහ. ඒ අනුව බිසවගේ අතෙහි නූලක් බැඳ එය වෛද්‍යවරයා අතට දෙනු ලැබීය. බිසව සිටියේ තිරයක් පිටුපස නිසා ඇය වෛද්‍යවරයාට පෙනුණේ නැත. නූල් පොට අල්ලාගෙන සිටි වෙද ඇදුරු තැන පැවසුවේ මෙය බැඳ ඇත්තේ මනුෂ්‍යයෙකුගේ අතෙහි නොව දිරා ගිය ලීයක බවයි. සත්‍යයකි. රජුගේ අණ පරිදි එම නූල් පොට ගැට ගසා තිබුණේ අබලන් වූ පැරණි ආසනයකය. ඉන් පසු එම නූල බළලෙකුගේ අතෙහි ගැටගසා කෙළවර වෛද්‍යාචාර්යවරයාට දෙන ලදී. එය ස්පර්ශ කළ ඔහු පැවසුවේ මෙය ගැට ගසා ඇත්තේ සතකුගේ ශරීරයේ බවයි. වෙදවරුන්ගේ දක්‍ෂකම ගැන පැහැදුණු රජතුමා බිසවගේ අතේ එම නූල ගැටගසා කාමරයෙන් පිටත සිටි වෛද්‍යවරයා අතට පත් කළේය. ඒ අනුව නාඩි ගැස්ම පරීක්‍ෂා කර බිසවට වැලඳී ඇති ඔජරය නමැති රෝගය හඳුනා ගැනීමට ඔහු සමත් විය. ඉන්පසු අරාබි යුනානි ප්‍රතිකාරය සිදු කරනු ලදුව නොපමාවම දෝන කතිරිනා දේවිය සුවපත් වූවාය. මෙයින් මහත් සතුටට පත් සෙනරත් රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලි යන පටබැඳි නාමය සහිතව බෙහෙත් ගෙයි මුහන්දිරම් පදවිය වෛද්‍යවරයාට පිරිනැමුවේය. එමෙන්ම නින්දගම් කීපයක්ද පිරිනැමූ බව කියවේ.
මෙම යුගයේ මුස්ලිම් ජනතාව සැමවිටම සිටියේ සිංහල රජවරුන්ට පක්‍ෂපාතීවය. එයින් සතුටට පත් රජවරු මුස්ලිම් ජාතිකයන්ට විශාල ලෙස උදව් කළහ. තම රාජධානියේ ජීවත්වීමට පහසුකම් සලසා දුන්හ. ඉබන් බතූතා වැනි අරාබි දේශ ගවේෂකයෝද ඒ ගැන තම විස්තර ලේඛනවල සඳහන් කළහ. ඒ අනුව සිංහල මුස්ලිම් සබඳතා සත්‍ය වශයෙන්ම සුහදශීලි විය. එය කොතෙක් සමීප හා විශ්වාසවන්තවීදැයි පැවසීමට මම එක් සරල උදාහරණයක් ඉදිරිපත් කරමි. කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශය අද ප්‍රකටව පවතින්නේ හෙද කටයුතු ගැන බව අපි දනිමු. ඒ පමණට සංහිදියාව දුර්වලව ඇත. එහෙත් මෙයට වසර එකසිය ගණනකට පෙර අධිරාජ්‍යවාදී යුගයේ මෙම ප්‍රදේශවල සිංහල මුස්ලිම් ජනතාව දිවි ගෙවුවේ එක කුස උපන් සහෝදරයන් මෙනි. අධ්‍යාපනයෙන්, තාක්‍ෂණයෙන් ආදී නොයෙකුත් අංශවලින් පිරිහී තිබුණු එම කාල වකවානුවේ මිනිසුන් සහයෝගයෙන් සහෝදරත්වයෙන් ජීවත් වූ බව ඇත්තකි.
එවකට මාවනැල්ලේ උතුවන්කන්ද නම් ගමේ විසූ සරලියෙල් නම් වූ ධෛර්යවන්ත තරුණයා කුඩා කල සිටම මැරකමට යොමුවූවේ සමාජයෙන් ඔහු ලැබූ පීඩනයන් හේතු කොටගෙනය. ඔහුගේ හොඳම මිතුරා වූවේ මුස්ලිම් ජාතික ගැටවරයෙකු වූ මම්මලේ මරික්කාර්ය. යොවුන් වියේදී මේ දෙදෙනා අතර ඇති වූ අසීමිත මිතුරු දම කිසිවිටෙකත් පලුදු නොවීය. සරදියෙල් මංකොල්ලකරුවෙකු නොව අධිරාජ්‍යවාදී සුදු පාලනයට එරෙහිව හුදකලාව සටන් වැදුණු දේශප්‍රේමියකු බවට විග්‍රහ කරන්නෝද බොහෝ වෙති. නිදහස් අරගලයට හෝ සරදියෙල් ගෙන ගිය අරගලයේදී ඔහුගේ හොඳම සටන් සගයාවූවේ මම්මලේ මරික්කාර්ය. අවසන් මොහොතේ දෙදෙනාම එක්ව පෝරකයට නගිද්දී පවා මම්මලේ මරික්කාර් සිය ප්‍රාණප්‍රිය මිත්‍රයාට වූ එරෙහිව වචනයක් හෝ නොදෙඩුවේය. 1864 මැයි මස 07 වැනි සෙනසුරාදා පෙ.ව. 9.00ට මහනුවර නගරයේ තිබූ පෝරකයට මේ දෙදෙනාම ගොඩවූයේ මරණය ලබා ගැනීම පිණිසය. ඒ මොහොතේදී පවා ඔවුන් දෙදෙනාගේ සමගිය සහෝදරත්වය නොබිඳී පැවතුනි. එහෙත් එයට පෙරම සරදියෙල්ගේ සිංහල සගයෙකු විසින්ම ඔහු පාවාදී තිබුණ බවද අමතක කළ යුතු නොවේ. එනිසා හුදු ජාති භේදය සාකල්‍යයෙන්ම පුස්සක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත.
ශ්‍රී ලාංකීය ඉස්ලාම් ප්‍රජාව ශක්තිමත් කිරීමට මහත් සේ දායක වූ තවත් ජන කොට්ඨාසයක් වනුයේ මෙරට මැලේ ජනතාවයි. ඔව්හු ලන්දේසි පාලකයන් සමඟ මෙරටට පැමිණි බව විශ්වාස කරනු ලැබේ. එම යුගයේ ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ මූලස්ථානය පිහිටුවා තිබුණේ වර්තමාන ඉන්දුනීසියාව නමින් හැඳින්වෙන සුවිශාල රාජ්‍යයේ අගනුවර වූ ජාකර්තාවයි. එකල බතාවියා නම් වූ මෙම නගරයේ සිට ලංකාවේ පාලනය මෙහෙය වූ බව කියනු ලැබේ. එසේ ලන්දේසි පාලකයන් සමග මෙරටට පැමිණි මැලේවරු බි්‍රතාන්‍යන් යටතේද මෙරට වාසය කරමින් නොයෙකුත් වෘත්තීන්හි යෙදුණු බව කියැවේ. විශේෂයෙන්ම හමුදා සේවය, පොලිස් සේවය, බන්ධනාගාර සේවය ආදියේ බොහෝ සෙයින්ම සිටියේ මැලේවරුන්ය. නවසිය ගණන්වල මුල් භාගයේදී පොලිස් හමුදාවෙන් 75%ක්ද බන්ධනාගාර සේවයෙන් 89%ක්ද කොළඹ ගිනි නිවන හමුදා සේවයෙන් 98%ක්ද මැලේ ජාතිකයන්ගෙන් සමන්විත වූ බව පැරණි වාර්තාවල දැක්වේ. සංඛ්‍යාත්මක ඉතා සුළු සාමාජික පිරිසකගෙන් යුතු වන නිසා මැලේ ජාතිකයෝ තම අනාගතය හා ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳව මහත් බියකින් පසු වෙති. සමස්ත මුස්ලිම් ජනතාවටම නායකත්වය දීමට හැකි තරමේ ජාතික නායකයෙකු වූ හිටපු ඇමතිවරයෙකු වූ ටී. බී. ජයා මහතාද මැලේ ජනවාර්ගිකයෙකි. ඒකීය ශ්‍රී ලංකාවක් සහ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව මෙරට රාජ්‍ය භාෂාව විය යුතු යැයි ආරම්භයේ සිටම පිළිගත් උදාර නායකයකු වූ තුවාන් බහුර්දීන් ජායා මහතා ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් කටයුතු කළ ප්‍රතාපවත් නායකයෙකි.
ටී. බී. ජයා, ඇම්. සී. ඇම්. කලීල්, සර් රාසික් ෆරීඞ්, බද්යුද්දීන් මහමුද්, සී. ඒ. ඇස්. මරික්කාර්, සර් මොහොමඞ් මාකන්මාකර් ආදී ජාතික තලයේ උසස් මුස්ලිම්වරු ජාතික සමගිය උදෙසා පටුබෙදීම් සහ අන්තවාදය ප්‍රතික්‍ෂේප කරමින් කටයුතු කළ ආකාරය සහ ඔවුන් දැක්වූ පරමාදර්ශයන් මත නව පරපුරද ක්‍රියාකරන්නේ නම් ලේ වැගිරීම්වලින් තොරව සංහිදියාවෙන් සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් යුතුව එක මවකගේ දරුවන් සේ එකම රටක ජීවත්වීමේ වාසනාව සෑම ජනකොටසකටම අයත් ශ්‍රී ලාංකිකයන්ට තවත් බොහෝ කාලයක් යනතුරු ලැබෙනවා ඇත.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි