ශ්‍රීලනිපයේ නොපළ කතා


පසුගිය සැප්තැම්බර් මස දෙවැනි දිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා හැටහය වසරක් සපිරුණි. ඒ වෙනුවෙන් නොයෙකුත් උත්සව වැඩසටහන් විවිධ මට්ටමින් පැවැත්වනු දක්නට ලැබුණි. එයින් ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙනු දක්නට ලැබුණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ප්‍රබලම දේශපාලන පක්ෂ යැයි මා මෙහි සටහන් කළහොත් නොයෙක් පාර්ශ්ව වෙතින් විවේචන එල්ල වනු නිසැකය. එයද සාධාරණය. එහෙත් ප්‍රායෝගික සත්‍යය වනුයේ රටේ ඉහළම පදවිය වන ජනාධිපති තනතුර හොබවනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන මෛත්‍රීපාල සිරිසේන මහතාය. එතුමා එම තනතුරට පත්වූවේද ජනතා වරමිනි. මේසා බලවත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට ශක්තිය දුන් පුරෝගාමී නායකයන් අතර සිටි වත්මන් සමාජයේ කිසිවිටෙක කතාබහට ලක් නොවන එහෙත් සුවිශේෂී මෙහෙයක් ඉටු කළ කීර්තිමත් ජන නායකයෙකු ගැන සිහිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි. මෙම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පළාත් සභා ඇමතිවරු එම මන්ත්‍රීවරු පළාත් පාලන නියෝජිතවරු දහස් ගණනක් මේ සමාජයේ සිටි බව අපි දනිමු. සමහර සභා විසුරුවා හැර ඇති නමුදු ඒවායේ තනතුරු දරමින් බොහෝ වරප්‍රසාද භුක්ති විඳි නුදුරු අනාගතයේ නැවතත් ඒවාට පත්වීමට ඇඟිලි ගනිමින් සිටින දහස් සංඛ්‍යාත තනතුරු ධාරීන්ගෙන් අතිබහුතරය තමනට මෙම සැප සම්පත් ලබාදීමට ශ්‍රමය කාලය කැප කළ අදට සාපේක්ෂව සුවිශාල ධනයක් වැය කළ මෙම නායකයා ගැන නොදනිති. සමහර විට ජීවිතයේ එකවරක්වත් නමවත් අසා නැතිවා වන්නට පුළුවන. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇති එම වටිනා මිනිසාගේ කතා පුවත පාඨකයා වෙත ඉදිරිපත් කරනුයේ සදාචාරවත් දේශපාලනයක යෙදෙමින් රට දැය සමය උදෙසා මහඟු මෙහෙවරක් කළ හිටපු සෙනෙට් මන්ත්‍රී ජේ. පී. ජයසේන මහතා පිළිබඳව සමාජයේ මතකය අවදි කිරීම පිණිසය.


උඩරට රාජධානිය සෙන්කඩගල පුරවරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ යුගයටත් පෙර සිටම පැවැති පාලන ක්‍රමය විද්වතුන් විසින් හඳුන්වනු ලැබූවේ වැඩවසම් සමාජය යනුවෙනි. කලක් තිස්සේ වර්ධනය වෙමින් පැමිණි එම සංකල්පයේ උපරිම මට්ටමට පැමිණ තිබුණේ සෙන්කඩගල රාජධානි සමයේ යැයි කියතොත් එය කිසිසේත්ම වරදක් නොවේ. රජුත් ඔහු කේන්ද්‍ර කොටගත් වංශාධිපති රදල පන්තියත් නිසැකවම සමාජයේ ප්‍රභූ තත්ත්වයක් ඉසිලූහ. අනෙකුත් සමාජ කොටස් සියල්ලම රජුටත් රාජ්‍යයටත් රාජ්‍ය සභාව හොබවන රදල පන්තියටත් සේවය කිරීමට බැඳී සිටියහ. එම සේවය සඳහා වැටුප් ගෙවීමක් සිදු නොවුණි. භූමියේ හිමිකරු රජු ලෙස පිළිගත් එම යුගයේ සිදු කරන සේවය වෙනුවෙන් භුක්තිය සඳහා ඉඩම් ලබාදීම සිදු කෙරුණි. මේවා නින්දගම්, විහාරගම් සහ දේවාලගම් ආදී වශයෙන් විවිධාකාර වුවේය. කෙටියෙන් දක්වතොත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රජුට රදල පන්තියට සහ විහාර දේවාලවලට තමන් කරන රාජකාරිය අනුව කුල ක්‍රමයක් නිර්මාණය වූවේය. පෙර කී අයුරින් මෙම සේවය කරන්නෝ පාරම්පරිකවම එම සේවය සඳහා කැපවී සිටියහ. ගොවිතැන් බත් කරන්නෝය. දෝලාව ඔසවාගෙන යන්නෝය. තූර්ය වාදන පවත්වන්නෝය. හකුරු නිපදවන්නෝය. යකඩ අවි ආයුධ නිපදවන්නෝය. කරණවෑමියෝය. ආරක්ෂක සේවාවන්හි යෙදෙන්නෝය. රන් රිදී මුතු මැණික් ආදී ආභරණ තනන්නෝය. වළන් තනන්නෝය. මේ ආදී වශයෙන් විවිධ කටයුතුවල යෙදුණු සමාජ කණ්ඩායම් විවිධ කුල වශයෙන් බෙදා වෙන් කර තිබුණි. ඔවුනටම ආවේණික සංස්කෘතියක් පැවැති බව කියන අතර මෙම ධුරාවලියේ ඉහළ ශ්‍රේණින් සහ පහළ ශ්‍රේණින් වශයෙන් බෙදා වෙන් කිරීමක් මෙන්ම එය නිවැරදි බව පිළිගෙන කටයුතු කිරීමක්ද එකල දක්නට ලැබුණු බව කියවේ.


මෙම පිළිගැනීම මත ඉහළ කුලවල අය වෙතින් පීඩාවට පත්වීමට අනෙකුත් සමාජ කණ්ඩායම්වලට සිදුවිය. විසිවැනි සියවස ආරම්භවෙද්දී ලංකාවේ මෙම කුල භේදය ඉතා දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබුණු බව කියනු ලැබේ. විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශවල මෙම භේදය වඩාත් දියුණු තියුණු විය. සසර දුක් නිමා කර සියලු සත්වයන් මොක් පුරට කැඳවාගෙන යාමේ වගකීම් දැරූ මහා සංඝ රත්නය අතර පවා මෙම කුලභේදය පැවැති අතර එයට සමගාමීව නිකාය භේදයක්ද පැවතුණි.


මිනීවළවල් හෑරීම ජුගුස්සාජනක ක්‍රියාවක් බව කියනු ලැබේ. එහෙත් ජේ. පී. ජයසේන, පී. ඇම්. ජයසේන වැනි සමාජ ශෝධකයන් ගැන කතා කිරීමේදී විසිවැනි සියවසේ මුල් දශකවල පැවැති සමාජ අසාධාරණයන් ගැන නොකියා සිටිය නොහැක්කේමය. මෙම සමාජ වෙනස්කම් අකාමකා දමමින් එම ඛේදවාදකයන් මිනීවළවල් තුළ තැන්පත් කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීමට නායකත්වය දුන්නේ මිෂනාරි අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ එවැනි නායකයෝය.

 

 

වැඩවසම් සමාජය නිමවෙමින් තිබුණි. එහි බිඳ වැටීම් සටහන් කරමින් නව ධනපති පන්තියක් ගොඩනැගෙමින් ආවේය. සමස්ත ක්‍රියාවලියම ධනය මත රඳා පවතින බවක් දක්නට ලැබුණි. මිෂනාරි අධ්‍යාපනය ලැබූ පීඩිත සමාජ කණ්ඩායම්වල දරුවෝ විවිධ වෘත්තීන්හි සාඩම්බරව නියැලුනහ. අ කේස් එගේන්ස්ට් කාස්ට් නම් ඉපැරණි ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කුලවත් නීතීඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුන අරා සිටි එසේ නොවන විනිසුරුවරයෙකුට මගේ ස්වාමිනී (ඵහ ඛදරා) යනුවෙන් ඇමතුවේය. මෙවැනි බොහෝ සිදුවීම් එම කෘතියේ දක්නට ලැබේ.

උත්සහයෙන් කැපවීමෙන් යුතුව මෙම සමාජ තහංචි බිඳගෙන ඉදිරියට ගිය බොහෝ තරුණයෝ නොයෙකුත් ව්‍යාපාර ආරම්භ කර ධනය උපයා ගෙන ධනවතුන් බවට පත්වූහ. ඔවුහු නිරායාසයෙන්ම එම සමාජ කණ්ඩායම්වල නායකයෝ වූහ. මෙසේ ස්වෝත්සාහයෙන් ව්‍යාපාර කටයුතුවල යෙදීම මගින් සාර්ථක ව්‍යාපාරිකයෙකු සහ ඉඩම් හිමි වැවිලිකරුවෙකු බවට පත්වූ ගම්පොළ පමුණුවේ පදිංචිව සිටි පී. ඇම්. ජෝන් මහතා උඩරට බොහෝ ප්‍රදේශවල ජනයාගේ ආදර ගෞරවය දිනාගත් ප්‍රබල සමාජ සේවකයෙක් විය.


ධනය උපයාගෙන එමගින් තමාගේ සුඛ විහරණය උදෙසා පමණක් යොදා නොගත් ජෝන් මහතා නැති බැරි අයට උදව් උපකාර කිරීමටත් විහාර පන්සල් පාසල් ආදිය තනා දීමටත් වෙනත් සමාජ කටයුතු සඳහාත් නොමසුරුව ධනය වැය කළේය. දුප්පත් දරුවන් රැසකට අධ්‍යාපනය දිගටම කරගෙන යාමට අත හිත දුන්නේය. එවැනි උපකාර ලබා ඉගෙනුම ලබා සමාජයේ ඉහළටම ගිය ප්‍රකට උගතුන් දෙදෙනෙකු ගැන තොරතුරු මා සතුය.


මෙවැනි සමාජ සේවා කටයුතු කරමින් සිටි ජෝන් මහතා තමත් ධනවත් පවුලක සාමාජිකාවක් වූ පී. ඇම්. ගුණතිලක මෙනෙවිය සමඟ අතිනත ගත්තේය. මේ දෙදෙනාගේ පුතුන් දෙදෙනාම පසුකාලීනව දේශපාලන ක්ෂේත්‍රයට අවතීරණ වූවේ පියාගේ සමාජ සේවය පිළිබඳ ආභාෂය ගුරුකොට ගනිමිනි. මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ අධ්‍යාපනයෙන් ලද විනයගරුක බව මෙන්ම සහජයෙන්ම පැවැති සමාජානුයෝජන කැමැත්ත සමාජයේ තැලෙන පෙළෙන ජනතාව විඳින දුක දැකීමෙන් ලද පීඩිත ජනයා වෙනුවෙන් සේවය කිරීමට ඇති ආශාව නිසාම ජයසේන මහතා දේශපාලන බිමට පිවිසියේය. ඒ 1947 මහා මැතිවරණයට ඉදිරිපත් වීමෙනි. එවකට ගලහ නම් වූ පාර්ලිමේන්තු ආසනයට පී. ඇම්. ජයසේන මහතා ඉදිරිපත් වූවේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. එවකට ජයසේන පවුල පදිංචි පමුණුව ගම්වරය අයත් වූවේ ගලහ ආසනයටය. නිදහස ලැබීමට ආසන්නයේ පැවැති එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල ප්‍රකට ජනනායකයෙකු වු ටී. බී. පානබොක්කේ මහතාය. එවකට ප්‍රසිද්ධ වාමාංශික නායකයෙකු මෙන්ම ජනප්‍රිය සිංහල කථිකයෙකුද වූ සී. ඒ. ඇස්. මරික්කාර් මහතාද මෙම තරගයට පිවිස සිටි අතර මෙම ඡන්ද බෙදීම හේතුවෙන් ජයසේන මහතාට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. ජයග්‍රාහකයා වූයේ ටී. බී. පානබොක්කේ මහතාය.

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ