සංගීතයෙන් දේශපාලනය කළ කේමදාස මාස්ටර්


 

අඳුරු කුටිය තුළ දොරගුලු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පාර හදන තැන පොළොව කොටන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ.


60 - 70 දශකයේ ගුවන් විදුලියෙන් සිතර ඇසුණු මේ විප්ලවකාරී ගීතයේ සංගීත සංකලනය කළේ ප්‍රේමසිරි කේමදාස නම් ජනතාවාදී සංගීතඥයාය. සමාජ පරිවර්තනය පිළිබඳ වදන් දස දහසකින් කියා නිමකළ නොහැකි පණිවුඩය විනාඩි දෙක තුනකින් ජන හදවතට දෙන්නට සමත් ගී සමුච්චයකට පණ පෙව්වේ කේමදාස මාස්ටර්ය.


කල එළියේ පක්‍ෂග්‍රාහී දේශපාලනය නොකළද වරදාන මුල්‍ය අනුග්‍රහය නම්බු නාම නොලැබුණද කේමදාස මාස්ටර් ජනතාව දිනාගෙන සිටියේය. ඔහු සතු කුසලතාවට ධනවාදීහුද පටු දේශපාලනඥයෝද බියවූහ. එතරම්ම ඔහු කෙළින්ම අදහස් ප්‍රකාශනයෙහි දක්‍ෂයකු බැවිනි.


50 - 60 - 70 දශකයන්හි රටේ පැවති සිංහල බෞද්ධ සංස්කෘතිය, සාහිත්‍යය, කෘෂිකර්මික ආර්ථිකය සරල ශාස්ත්‍රීය සංගිත රසාස්වාදය, සංවේදී හදවත් ඇසුර හා නොඉඳුල් පරිසරය නිසා කේමදාසයන්ගේ නිර්මාණ ජීවමය ගුණයෙන් පිරිපුන් විය.


ගොවි කම්කරු වැඩකරන ජනතාව උදෑසනම ප්‍රබෝධවත්ව රාජකාරි සඳහා ගියේද පාසල් දරුවන් පවා තම මනස සෞන්දර්යාත්මක හැඟීම්වලින් පුරවාගන්නේද ප්‍රේමසිරි කේමදාසයන්ගේ ස්වර සංකලනයේ මහිමයෙනි.


1977 දී ඇතිවූ ආණ්ඩු පෙරළිය හා විවෘත ආර්ථිකය නිසා රට තුළට ගලා ආ බටහිර ඔද්දල්වූ සංස්කෘතික රටාව නිසාත් කර්මාන්ත ආරථිකය නිසාත් කේමදාසලාගේ දේශීය සංගීත පරිසරයට කණකොකා හැඬලීය. 


1937 ජනවාරි 25 වැනිදා වාද්දුව - තල්පිටියේ උපත ලැබූ කේමදාසයෝ පානදුර ශාන්ත ජෝන් හා ශ්‍රී සුමංගල යන විදුහල්වල අධ්‍යාපනය ලැබූහ. දක්‍ෂ බට නළා වාදකයකු ලෙස පාසල් සමයේ පවා ප්‍රකටවූ ඔහු ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයේ වාඩි වූ දිනම රේඩියෝ සිලෝන් ආයතනයේ හඬ පරීක්‍ෂණයකට කැඳවා තිබිණ.


සියල්ලන්ටම කලින් ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලියා බාරදුන් කේමදාස සිසුවා කෙළින්ම  දිව ගියේ සම්මුඛ පරීක්‍ෂණයටය. ඔහු එයින් සමත් විය. සංගීතය කොතැනද කේමදාස එතැනය. දිගින් දිගටම නාට්‍ය හා සිනමාව සමග සහසම්බන්ධවූ කේමදාසට සිරිසේන විමලවීර සූරීහු රොඩීකෙල්ල චිත්‍රපටයේ සංගීතය පැවරුවෝය.


කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සූරීහු සැනසුම කොතැනද  චිත්‍රපටයේ සංගීතය පැවරූහ. එය තිරගතවූ දාම කේමදාසයන්ගේ මංගල දිනයද යෙදී තිබිණ. කේමදාසයන්ගේ පෙරළිකාර සංගීතය ගැන ඉව වැටුණු සිනමාවේදීහුද ඔහු තම සමාජවාදී නිර්මාණවලට  දායක කර ගත්හ. ඒ අනුව නිධානය (1972), ගොළු හදවත (1968) වැනි සම්මානනීය සිනමාවට අමතරව ධර්මසේන පතිරාජයන්ගේ පාර දිගේ, බඹරු ඇවිත් (1978) හා ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංස විලක්, තුන්වැනි යාමය වැනි සමාජ ගවේෂණ නිර්මාණවලට ද ඔහු පණ පෙවීය.
1977 දී සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයට අත එසවූ කලාකරුවන්ටද පාලන තන්ත්‍රයේ දෝෂ දර්ශනයට ලක්වීමට සිදුවිය. ඊට එරෙහිව කලාකරු එකමුතුවක් සිදුවූවත් ප්‍රතිඵලය වූයේ කලා නිර්මාණ තහනම් වීමය.


ප්‍රේමසිරි කේමදාස, පණ්ඩිත් අමරදේව, නන්දා මාලනි, විජය කුමාරතුංග වැනි කලාකරුවන්ගේ නිර්මාණ පවා ගුවන් විදුලියේ තහනම් කෙරිණ. 1971 දී ජවිපෙ කැරලි සමයේදී ඔහුගේ නිර්මාණ දේශපාලන හේතු මත තහනමට ලක්වූ නමුත් 1977 න් පසුව තනිකරම පළිගැනීමේ චේතනාවෙන් කේමදාස මාස්ටර් ඇතුළු වාමාංශික අදහස් දැරූවන් රැසකට ගුවන් විදුලියේ දොර වැසිණ. 


හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ජේ. ආර්. ජයවර්ධන යුගයේ අහෝසි කරනු ලැබිණ. ජාතිකත්වයට අත හිතදුන් බණ්ඩාරනායක යුගය නිසා හෙළ සංගීතයට වූ යහපත ගැන සංවේදී වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ මෙම තීරණයට එරෙහිව ලක්‍ෂයක පෙත්සමක් අත්සන් කළහ. එහි මුලින්ම අත්සන් කළේ ප්‍රේමසිරි කේමදාසය.
පණ්ඩිත් අමරදේවයන් ඇතුළු කෘතහස්ත කලාකරුවෝද අංකුර කලාකරුවෝද දිගට හරහට ඊට තම අත්සන් යෙදූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් සැමගේ නිර්මාණ හා නම් පවා ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් වීමය.


සිංහල බල මණ්ඩලයට මැර ප්‍රහාර එල්ලවූ අලුතම බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවති සකල කලාකරුවන්ගේ සමුළුවටද මැර ප්‍රහාර එල්ල විණ. ටී. බී. ඉලංගරත්න සුවිනීතා කෝන්ගහගේ, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ, වික්ටර් බණ්ඩාර, සේනාරත්න, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආදීහු එක්සත් ජාතික පක්‍ෂයේ පාතාලයන්ගේ බයිසිකල් චේන් හා පොලු පහරවලට ලක්වූහ. මමද එසේ බැට කෑවෙක්මි.


එදා අනූනවයෙන් බේරුණේ කේමදාසයන් විජයකුමාරතුංගයන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකු පමණි.  


“මාස්ටර් සර්, නිදි නැති රැයක්” වැනි සංගීත නිර්මාණ රැසක් කේමදාස මාස්ටර්  අතින් බිහිවුණේ මෙවැනි මැර ක්‍රියා දිගින් දිගටම සිදුවූ වකවානුවකය.


මර්දනයට මර්දනයෙන්ම පහරදීම සඳහා කේමදාස මාස්ටර් යොදාගත්තේ  සංගිතය නමැති අවියයි. විජය කුමාරතුංගයන්ට දස වධදී සිරගත කළ සමයේදී සහෝදර කලා ශිල්පියා වෙනුවෙන් කේමදාස මාස්ටර් බොහෝ දුක් වූයේය. ඔහු ගලවා ගනු  තියා තමන්ගේ ජීවිතය බේරාගැනීමටවත් නොලැබෙන බැවින් මීට විරෝධය පෑමට අවස්ථාවක් පතමින් සහෘදයෝ කල් මැරුහ.


1982 දී සිනමා සම්මාන උළෙල පැවැත්වූයේ රජයේ දේශපාලනඥයන්ගේ ප්‍රධානත්වයෙනි. දේව සභාව මෙන් රංග ශාලාව බැබළිණි. සංකේතානුසාරයෙන් මනරම්ව නිර්මාණය වූ වේදිකා පසුබිමකි. කැමරා විදුලි බුබුළු හා ආලෝකධාරා එල්ල වෙන සම්මාන ලාභීහුය. කොතරම් කෙනෙහිලිකම් ඇතත් කලා නිර්මාණ සඳහා ඇගැයුම ලබන්නට කලාකරුවෝ සෑදී පැහැදී සිටියහ. ඔවුන්ට එක් ගැටලුවක් තිබිණ.


එනම් දේශාපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීමය. “කලාකරුවන් ඇගයිය යුත්තේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අතින්මය” යන මේ සටන් පාඨය සමාජගත වී තිබූ අවදියකි.
“වසරේ විශිෂ්ටතම සිනමා නිර්මාණය ධර්මසේන පතිරාජයන්ගේ සොල්දාදු උන්නැහේ” යැයි නිවේදනය විය. ඒ සමගම මෙසේද කියැවිණ. “හොඳම සංගීත අධ්‍යක්‍ෂණය සොල්දාදු උන්නැහේ සංගීතවත් කළ ප්‍රේමසිරි කේමදාසයන්ට.”


අත්පොළසන් හා ජයඝෝෂා මැද ආලෝකධාරා කේමදාසයන් වෙත යොමු විය. ඔහු දේශපාලනඥයන් අතින් සම්මාන ගැනීමට වේදිකාවට යනු ඇතැයි ප්‍රේක්‍ෂකයෝ බලා සිටියහ.
“මං මේ සම්මානය ගන්නේ නෑ. ඒක ගන්න මට හිත එකඟ කරගන්න බැහැ. මේ රටේ සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ විජය කුමාරතුංග සිරබත් කද්දී අසාධාරණයට ලක්වූ එතුමා නිදහස් කරන තුරු මං රජයේ සම්මාන ප්‍රතික්‍ෂේප කරනවා.”


කේමදාස  මාස්ටර්ගේ දැඩි ස්ථාවරය ඇසූ ප්‍රේක්‍ෂකයෝ නිහැඬියාවෙන් ඊට ගරු කළහ. අනතුරුව මහත් අත්පොළසන් නාදයකින් එම ක්‍රියාව අනුමත කළහ. කේමදාස මාස්ටර් කාඞ්බෝඞ් වීරයකු නොවීය. කිසිදු ආණ්ඩුවකට කඬේ නොගියේය. ඔහුගේ දේශපාලනය පැවතියේ සංගීතය සමගය. ඔහුගේ ජනප්‍රිය භාණ්ඩය වූයේ චෙලෝවය. රාත්‍රී 2 ට 3ට පවා පියානෝව ළඟ වාඩිවී තනු දමයි.


“හැබැයි තාත්තා ගීත ෆැක්ටරියක් නම් නොවෙයි. සංගීතයේ විශාල විප්ලවයක් කළ කෙනෙක්. මිනිසුන් දකින අහන සමාජයට වඩා වෙනස් සමාජයක් පවතින බව තාත්තා සංගීතය තුළින් පෙන්වා දුන්නා. නවක පරපුරට මේ පණිවුඩය දෙන්නයි  තාත්තාගේ එකම අරමුණ වුණේ. මෙසේ අපට පැවසුවේ කේමදාස මාස්ටර්ගේ දියණිවරුන් වන අනුෂා සහ ගයත්‍රිය.


පියාගෙන් පසු මෙම අභියෝගය භාරගත් ඔවුහු දැනටමත් පෙරළිකාර සම්භාවනීය චිත්‍රපට රැසකට සංගීත අධ්‍යක්‍ෂණය භාරගෙන කටයුතු කරති. කේමදාසයන් සම්භාව්‍ය සංගීත අධ්‍යක්‍ෂකයකු ලෙස සම්මාන දිනුවද ඔහුගේ නිර්මාණ සාමාන්‍ය ජනතාවටද වැටහෙන බව පෙනේ. ඒවා හදවතට කතා කරන නිසාය.


ධර්මසේන පතිරාජයන්ගේ “ඇල්ල ළඟ වලව්ව” ටෙලි නාට්‍යයේ ගීත නිර්මාණය කළ අවදියේ එම සංගීතයේ වෙනස තරුණ පරපුරටද දැනී තිබිණි. කේමදාසයන් වරක් පාරේ ඇවිද යනවිට රටඉඳි විකුණන තරුණ පිරිසක් එකිනෙකාට මෙසේ කියනු අසන්නට ලැබුණි.


“දන්නවද අර යන්නෙ කවුද කියල. එයා තමයි කේමදාස මාස්ටර්. “ඇල්ල ළඟ වලව්වෙ” සංගීතෙ එයාගෙයි. එයා ගහන්නේ එකක්. ඇහෙන්නේ එකක්” යනුවෙනි. එය ඇසූ දින තම පියා ඉතා සතුටින් කාලය ගත කළ බව දියණියෝ කියති.


තම පියා යන මග යමින් විප්ලවීය සටන්කාමීනියක ගැන කියැවෙන පුලාන්දේවි ඔපෙරාව ටොරොන්ටෝහිදී නිෂ්පාදනය කළහ. සිංහලෙන් රචනා කළ ඔපෙරා රැසක් කේමදාස මාස්ටර් ලොවට දායාද කළේය. ඔහු වෙත රාජ්‍ය නිලතල නම්බු නාම පිරිනමන්නට තීරණය කළ නමුත් සියල්ලම ඔහු අළුයම ලූ කෙළ පිඩක් සේ ප්‍රතික්‍ෂේප කළේය. ඔහු උපැයුවේ ජනතා ප්‍රතිචාර පමණි


ඔහු මෙන්ම සම කාලිකයන් වූ ඩී. ඩී. ගුණසේන, අමරසිරි පීරිස් වැනි වාදකයෝ අද ගායන ක්‍ෂේත්‍රයට පිවිස ඇතත් කේමදාසයන් ජීවත් වූයේ සංවේදී හදවත් අතර සංගිතයෙන් සංවාදයෙහි යෙදෙමිණි. මානසවිල, දොරමඩලාව, සොඳුරු වර්ණ දෘෂ්‍ය අග්නි වැනි ඔපෙරො නිපද වූ කේමදාස මාස්ටර් අවසාන කාලයේදී රුදුරු රෝග සතුරා සමග සටන් වදිද්දි නිර්මාණය කළ පිරිනිවන් මංගල්‍යය අති විශිෂ්ට නිර්මාණයකි මුහුද, සිංහල අවුරුද්ද, වැසි සම්පත් ආදිය තුළ “කේමදාස මාස්ටර්” සලකුණ රැඳී තිබෙයි. “බඹරු ඇවිත්” චිත්‍රපටයට නිර්මාණය කළ “හඳුනාගත්තොත් ඔබ මා” ගීතය  මෙන්ම එතුමාගේ ප්‍රතිරූපයද හඳුනාගන්නට බොහෝ කල් ගතවනු ඇත.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි