අසත්පුරුෂ ප්‍රා සංවිධානයේ නායකයා විදිහට මට පහුගිය සතියේ කියැවුණේ පොඩි සුනිල් කියලා තැනැත්තෙක්. නමුත් ඔහු පොඩි සුනිල් නෙමෙයි, පොඩි සිල්වා.
පොඩි සිල්වලාගේ ප්‍රා සංවිධානය පැහැරගත් තරුණයන් කණ්ඩායමක් ත්‍රිකුණාමලයට ගෙනා බවත් එයින් එක් ගණිත ගුරුවර තරුණයකු අපේ නිවසට එන්න යන්න පටන්ගෙන තිබූ බවත් සඳහන් කළා මතකයි.
පාසල් ගමන ඇනහිටලා ගෙදරට වෙලා හිටපු අපේ දූලා දෙන්නාට ඒ තරුණයා ගණිතයත් සංගීතයත් මනාව ඉගැන්නුවා. එහෙම ඉන්නකොට තමයි ඒ තරුණයා යළිත් ප්‍රා සංවිධානය පැහැරගෙන යන්නෙ. ඒ වෙන මොකකටවත් නෙමෙයි. ඝාතනය කරලා දාන්න. නමුත් ඒ තරුණයා බේරෙනවා. ඒ බේරෙන්නෙ පැහැරගත් කට්ටියට ඒත්තු ගැන්වෙනවා ඒ තරුණයා පෙර දවස්වල ක්ලබ්වල සිංදු කිය කියා ළමයින්ටත් ටියුෂන් දිදී හිටපු අහිංසකයෙක්ය කියලා.
නමුත් ඔහු අපට කියා තිබෙනවා තම කණ්ඩායමේ හිටපු තරුණ හාදයන් හැමෝම වාගේ ජනතා විමුක්ති පෙරමුණේ යම් යම් කඩාකප්පල්කාරී දේවලට සම්බන්ධ වෙලා හිටපු බව. ඒ කියන්නේ පාසලේ ඒ ලෙවල් කරත්දී ළමයින් පොලඹවාගෙන ඒ ළමයින් උද්ඝෝෂණවලට උසි ගන්නවන්න, රැස් කරලා පන්ති වර්ජනය කරන්න. බේරිලා ආපු අර තරුණයා යොමු කෙරුණේ අධිකරණයට.
අධිකරණයෙන් ඔහුව ප්‍රශ්න කරනවා.” ඇයි ජවිපෙ එකෙන් ඉවත් වුණේ?
තරුණයා කියනවා, මා අස්වුණේ ඒ පක්ෂය ඇතුළේ මතභේද ඇතිවෙන්න පටන්ගත් නිසා කියලා. ඒ කාලෙම තමයි උපතිස්ස ගමනායකලා පවා පක්ෂයෙන් ඉවත්වන්නෙ. මට පක්ෂ දේශපාලනයක් තිබුණේ නැතත් මාත් ඒ තිබුණු සම්බන්ධකම් අත්හැරියා. තමන්ගේ අක්කගේ දරුවන්ගේ පවුල් බලන්නත් වෙලා තියෙනවා කියලා අර තරුණයාත් දේශපාලන සම්බන්ධකම් අත්හැර දැමුවා.
අර තරුණ පිරිස ත්‍රිකුණාමලේ අපේ දිහාවට ගෙනැත් දැම්මෙ ඔවුන්ගෙන් වැඩගන්න කියලනෙ. ඒ විතරක් නෙමෙයි පොලිසියත් දැනුම්වත්ව. ඒ නිසා පොලිසිය හොයන්න පටන්ගත්තා මේ හාදයන්ට මොකද වුණේ කියලා. මේ නිසා ප්‍රා කට්ටිය තරුණයන් සෙව්වේ පොලිසියට බාරදෙන්නය කියලා. නමුත් එහෙම එහෙකට නෙමෙයි, මොවුන් මරලා දාන්න.
හොඳ වෙලාවට මම මේ හාදයන් ගැන දැනුම්වත්ව සිටි නිසා ඒගොල්ලන්ගේ ජීවිත බේරාදෙන්න. එහෙම තමයි අර තරුණ ගුරුවර ළමයාත් බේරාගත්තෙ. තරුණයාගේ පියාට ආරංචි වෙලා තිබුණා ඔහුගේ පුතා අපේ ළඟ සිටිනවා කියලා. පියා ඇවිත් හිටියා පුතා බලන්න. ඉතිං මං ඔහුට කීවා මෙහෙම.
“පුතා මෙහේ තියන්න එපා. කොයි වෙලාවෙද දන්නෙ නෑ. ජීවිතය අනතුරේ වැටෙන්නෙ.”
ඔහු මගේ කීම ඇහුවා. පුතා ත්‍රිකුණාමලේ සිට කොළඹ කැඳවාගෙන ගියා. ඒ ගියේ තමන්ගෙ ගෙදර නෙමෙයි වෙන තැනක නවත්වන්නම් කියලා.
ඒ තාත්තා කුරේ වගේ මට මතක. ඔහු වැඩ කර කර හිටියේ සර්වෝදයේ. එයා ඒ කාලේ අපි මොරටුවෙ පදිංචිවෙලා හිටපු කාලේ එකවතාවක් අපේ ගෙදරටත් ඇවිත් ගිහිං තිබුණා. ඉතිං ඊට පස්සෙ එයාව හම්බවුණේ නෑ. දිගු කාලයක් ගතවෙනවා. හම්බ වෙන්නෙ ඒ දිග කාලෙකට පස්සේ තමන්ගෙ පුතා හොයන්න ත්‍රිකුණාමලයට ආපු වෙලාවෙ.
එදායින් පස්සෙ තම දරුවා රැගෙන ගියානෙ. ආයෙත් කාලය ඉතා වේගයෙන් ගෙවිලා ගියා. ඒ පියා ඊට පස්සෙ මට හමුවන්නෙ අනපේක්ෂිත විදිහට. ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. ඔහු හිතා ඉඳලා තියෙන්නෙත් මාත් දැන් ජීවතුන් අතර නැතුව ඇති කියලයි. නමුත් ඔහුට මා ජීවත්ව සිටි බව දැනගන්න ලැබෙන්නෙ මේ ලියූ ජෝ මතක ලිපි මාලාවෙන්.
දිනෙක අපට ඇමතුමක් ලැබේ. ඇමතුම ලැබුණේ පාදුක්ක පැත්තේ විහාරයක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකගෙනි.
“මහත්තයො මට ජෝ මහත්තයා මේ විදිහට මුණගැස්සීම ගැන දියතට ස්තුති කරන්න ඕනෑ. ඔය මහත්තයාත් මට කරන්නේ ලොකු උදව්වක්. පුළුවන් නම් ඉඩ ඇති වෙලාවක අපේ පන්සලට එන්න. ඊට කලින් ජෝ මහත්තයාගේ දුරකථන අංකය මට දෙන්න.”
“මම එහෙම කීවෙමි. මගේ දුරකථන අංකය උන්වහන්සේට දුන්නෙමි. ඉන් පසුව සිදුවූයේ ළෙන්ගතුකම උතුරා ගිය හමුවකි. භික්ෂූන් වහන්සේ ජෝ මහතා මුණගැසෙයි.
ඒ භික්ෂූන් වහන්සේ අර ජීවිතය මරණයෙන් බේරුණු තරුණයාගේ පියාය. ගිහිකල ජීවත්වූ කුරේ අද කුසලධම්ම භික්ෂූන් වහන්සේය. ගිහි අවධියෙහි ඔහු හැදූ වැඩූ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දියණියයි. ඇය දැන් කැනඩාවේ වෛද්‍යවරියකි. අර බේරලා ඇරපු තරුණ පුත්‍රයාද විදේශගතව රැකියාවක් කරමින් ජීවත්වෙයි. ඔවුන්ටද දැන් දරු මල්ලෝ සිටිති. මට ඔවුන් කෙරෙහි ඇත්තේ අප්‍රමාණ සතුටකි.
ජගත් රණතුංග