සටන් බිම ගිනියම් කළ ත්‍රීමාගේ හැඩකළ අකුරු


 

හැමවිටම අපිට පොතපත පාඩම් කරන්නට උපදෙස් දෙයි. මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි. මට බොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නේ ඔහුයි. නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි. මට අයියෙක් සිටියද ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන ඇඟිලි ගැසුවේ නැත. 


පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය. රෑ නිදිමරාගෙන පාඩම් කළ අයුරු අපිට කියන්නේ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි. මම කලින් ලිපියක කිව්වා ත්‍රිමා පෝස්ටර් ඇඳපු බවක්, එය ඔබට මතක ඇතැයි සිතමි. පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා එය තීන්ත බාල්දියේ පොඟවා අඳින අකුරු කියන්නට බැරි තරම් හැඩය. පොඞ්ඩක් හෝ එහා මෙහා වෙන්නේ නැත. හැඩය වෙනස් වන්නේද නැත.


එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි. අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය. ලස්සන අකුරුවලින් ඔහු පෝස්ටර් සිය ගණනක් අඳින්නට ඇත. අපේ දුම්ගෙයට සාමාන්‍යයෙන් ගින්දර දමන්නේ දවාලටයි. රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි. එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි. ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි. එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු තාත්තා කියූ දෙයින් අපි පුදුමයට පත් වීමු.


ඔයගොල්ලො දන්නෑ ලොකු දුවේ මම ඒ කාලේ හිටියෙ පුදුම බයකින්. ත්‍රිමා ගෙදර ඉද්දී හමුදාවෙන් ආවොත් මම මොනවා කරන්නද. මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ. ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ. මම හැම රෑකම දුම්ගෙයට ගින්දර දැම්මෙ ඇයි කියල ඔය ගොල්ලො දන්නෙ නෑ. හදිසියෙ හමුදාවෙන් ආවොත් ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙයට දාන්නයි මම එහමෙ කළේ කියලා තාත්තා කිව්වා.
ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වූ මගේ පියා නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්. ඔහු සිතා ඇති දුර ගැන සිතන විට දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ බහින්බස් වූ ආකාරය සිහිවී මටම ලජ්ජා සිතුනි. තිබුණෙ එකම එක සුදු අත්කොට කමිසයක් පමණි. සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේළන්නට දමයි. උදේට එය සිතනතරම් වේළී නැති නිසාදෝ හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා රත් කර දීමට මට සිදුවිය. එහෙත් මා එම කාර්යය කළේ ඇත්තටම හිතේ ඇති වූ කැමැත්තෙනි.


එහෙත් මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට නොවේ. මා ගරු කළේ ආදරය කළේද එයට නොවේ. ඔහුගේ ඇති මහත්මා ගතිගුණවලටයි. ඇත්තටම ඔහු තුළ සැඟවී ගත් උදාර මනුෂ්‍ය ගුණය අතිමහත්ය.


එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක අපේ ගෙදරට පිරිමියෙකු වද්දාගන්නට මා නොපෙලඹෙනු ඇත. ඔහු අප නිවසට පැමිණි දෙවැනි දිනය මගේ මතකයෙන් කිසිදා අමතක නොවේ. අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාම ඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි. එතැන් සිට ඔහු පාගමනින්ම අපේ ගෙදරට එන්නට ආපසු පිටත් වී ඇත. කළුවරේ තනියම පයින් එන අයෙකු දැක අපේ මාමා කෙනෙකු කොහේ යනවා දැයි විමසා ඇත.


අපේ ගෙදරට බව පැවසූ පසු ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත. ඇත්තටම එවැනි අවස්ථාවක ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්..... 


ඉස්සර පාසල් ශිෂ්‍යයෝ නිතරම පන්ති වර්ජනය කළෝය. අපිත් එසේ පන්ති වර්ජනය කිරීමට එකතු වුණෙමු. ටොකු ගහ යට සිට පන්ති වර්ජනයේ යෙදෙන අතර සුපුරුදු මුහුණක් දැක මම ඔහු හඳුනා ගතිමි. ඒ ත්‍රිමාය. අසල කඩයක ඉදිරිපසට වී අප දෙස බලා සිටියේ ඔහුය. එහෙත් ඔහු අප දන්නා බවක් හෝ නොපෙන්වීය.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්