සටන්කරුවන්ට ඉන්දියාවේ සහාය


සමාජද්‍රෝහී කිසිදු කටයුත්තක නොයෙදුණ සම සමාජ පක්‍ෂ නායකයින් සිරගත කිරීමට එරෙහිව මහජන රැස්වීමක් ගාලු මුවදොර පිට්ටනියේ පැවැත්වීම සඳහා පක්‍ෂ ක්‍රියාකාරීහු තීරණය කළහ. මේ සඳහා පොලීසියේ අවසරයක් නොලැබුණි. එහෙත් ඔවුහු තම තීරණය වෙනස් නොකළහ. පැමිණි මහ සෙනඟ පලවාහරින්නට පොලිසිය දැඩි උත්සාහයක යෙදුනි. ගාලු මුවදොරින් රැස්ව සිටි මහ සෙනඟ පලවා හැරියද ඔවුහු හයිඞ්පාක් පිට්ටනියට ගොස් රැස්වීමක් පැවැත්වූහ. කිසිදු සාධාරණ හේතුවක් නැතිව ආණ්ඩුව කරගෙන යන මේ විෂම ක්‍රියාවලියට විරෝධය දැක්වූහ.


මෙහිදී රෙජි පෙරේරා, චම්ලි ගුණවර්ධන, ජැක් කොතලාවල, සෙලීනා පීරිස් යන පිරිස පොලිස් ප්‍රහාරවලට ලක් වූහ. එතැනින් නතර නොවූ පොලිසිය නීති විරෝධී මහජන ඒකරාශී කිරීමක් පිළිබඳ චෝදනාව යටතේ අධිකරණයට මොවුන් යොමු කළේය. නඩුව විභාග කළ ඒලියන් පෙරේරා විනිශ්චයකාරවරයා සෙලීනා පීරිස්, ටෙරන්ස් එන්. ද සිල්වා සහ රෙජී පෙරේරා යන අයට රුපියල් 205 බැගින්ද, හර්මන් අප්පු ජයතිලක, ස්ටීවන් හා ධර්මවර්ධනට රුපියල් 105 බැගින්ද දඩ නියම කළේය.


මෙම නඩුවේ පළමු විත්තිකාරිය වූයේ. ඇන්. ඇම්. ගේ බිරිඳ සෙලීනා පීරිස් ය. ඇය විත්ති කූඩුවේ සිට මෙසේ ප්‍රකාශ කළාය.


“ලංකා සම සමාජ පක්‍ෂය අධිරාජ්‍ය ක්‍රමයටත් වෙස් මාරු කළ ජර්මන් පැසිස්ට් ක්‍රමයටත් එක සේ විරුද්ධය. හිට්ලර්ට ජයවේවායි නොකියන සම සමාජ පක්‍ෂය හඬනඟන්නේ විප්ලවයට ජයවේවා අධිරාජ්‍යවාදය භංග වේවා යනුවෙනි.”


ඇන්. ඇම්. පිලිප් කොල්වින් යන සම සමාජ නායකයන් සිරගෙදර සිටිය ද මෙතෙක් ක්‍රියාශීලී වූ පක්‍ෂයේ ක්‍රියාකාරිත්වය මඳකින් හෝ අඩුවක් නොවීය. වරාය දුම්රිය හා වතු කම්කරු අංශවල නායකයින් පාක්ෂිකයින් ඇතුළත් විශේෂ රැස්වීමක් 1941 දී පැවැත්වීමට පක්ෂය තීරණය කළාය. නීති විරෝධී කරන ලද පක්‍ෂයක සම්මේලනයක් පැවැත්වීම වූ කලී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කරන ප්‍රබලතම අභියෝගයකි. පැමිණෙන පිරිසට ඉඳුම් හිටුම් සැපයීම මෙන්ම සම්මේලනය පැවැත්වීමට සුදුසු තැනක් සොයාගැනීමද අතිශය දුෂ්කර කාර්යයක් විය. කෙසේ වුවද ගලගෙදර අඹතැන්න පාරේ පිහිටි බොක්කාවෙල වත්තේ බංගලාවක් මේ සඳහා යොදාගත හැකි විය.


පක්ෂයේ නව ව්‍යාවස්ථාව සහ ක්‍රියාමාර්ග ගැන මෙහිදී දිගින් දිගට සාකච්ඡා පැවැත්විණි. මෙතෙක් කලක් සැඟවී සිටි ලෙස්ලි ගුණවර්ධන හදිසියේ මේ රැස්වීම අමතා කතා කරන්නට පැමිණීමෙන් රැස්ව සිටියෝ මවිතයට පත් වූහ. ඉන්දියාවද ලංකාව මෙන්ම ස්වයං පාලන දේශයක උරුමය සොයා යන හෙයින් ඉන්දියානු නිදහස් අරගලයේ යෙදී සිටින විප්ලවවාදීන් සමඟ සමීප සබඳතාවකින් කටයුතු කළ යුතු බවට ගත් තීරණය අනුව නියෝජිත පිරිසක් ඉන්දියාවට යවනු ලැබීය. ඉන්දියාවෙන් පැමිණි නියෝජිත පිරිසක් බෝගම්බර සිරගෙදරට ගොස් ඇන්. ඇම්. ඇතුළු සිරගෙදර සිටි සම සමාජ නායකයන් සමග සාකච්ඡා කෙරුණි.


මහනුවර ආසන්නයේ පිහිටි කොකෝවා වත්තක පැවති මෙම සාකච්ඡාවට කමලේශ් බැනර්ජි, ඩන්කනාත් ශාස්ත්‍රී ඉන්ද්‍රා ඬේන් යන ඉන්දියානු නියෝජිතයන් තිදෙනාත් මධ්‍යම කාරක සභිකයන් වන ලෙස්ලි ගුණවර්ධනත් එක්ව සිටියහ. රාත්‍රී 10.30 පමණ වන විට බෝගම්බර සිරගෙදර සිටි සම සමාජ නායකයෝ ද එහි පැමිණ උදේ 4.00 වනතුරු එහි සිට ආපසු සිරගෙදරට ගමන් ගත්හ. මේ අතරතුර අගනුවර තදාසන්න ප්‍රදේශවල කම්කරු සමිති සංවිධාන වඩ වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කෙරිණි.


ලෝරන්ස් පෙරේරා, ඩොරික් ද සූසා, ස්ටැන්ලි මෙන්ඩිස්, වී. කරාලසිංහම්, ලයනල් කුරේ, ඇන්තනි පිල්ලෙයි සහ හොස්පිටල් පෙරේරා යන අයගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු වැඩවර්ජන කිහිපයක් සාර්ථක ප්‍රතිඵල ගෙන දුනි. මේ අතරතුර සිරමැදිරියේ සිටි පිලිප් ගුණවර්ධන සහ ඇන්. ඇම්. ගේ නමින් නිවේදනයක් නිකුත් විය.


“අපරාධකාරී ගම්මුලාදෑනි ක්‍රමය භංග කිරීම, පාසල් සිසුන්ට දිවා ආහාරය නොමිලේ ලබාදීම, අවසර පත්‍ර නොමැතිව මී රා මැදීමට නිදහස, සිංහලයෙන් නඩු ඇසීම, ගම්වැසියන්ගේ ගවයන් වෙඩි පහරින් බේරා ගැනීම, ආහාර ද්‍රව්‍යවලින් එකතු කරන තීරු ගාස්තු නැති කිරීම හා පොහොසතුන්ගෙන් අය කරන බදු වැඩිකිරීම, අධිරාජ්‍ය යුද්ධය සඳහා මහජන මුදල් යෙදීම වැළැක්වීම, දියබදු නැති කිරීම, ගොවියන්ට නොමිලයේ බිත්තර වී සැපයීම පාඨශාලා ආරෝග්‍යශාලා, ඩිස්පැන්සරි වැඩිදියුණු කිරීම යනාදී සහනයන් ලබාදීමට අප  නොනැවතී ක්‍රියා කොට තිබේ.


අප දෙදෙනාගෙන් කෙනෙකුට වැලඳුණු අසනීපයක් නිසා දින දෙකක් හා ඉන්දියානු ගමන නිසා දින තුනක් හැර තමුන්නාන්සේලා වෙනුවෙන් එක් දිනක්වත් නොවරදවා අප මන්ත්‍රණ සභාවේ කටයුතු කොට තිබේ. ඒ සමගම තමුන්නාන්සේලාගේ දුක් දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණ හැම මොහොතක්ම යොදා තිබුණු බව ද තමුන්නාන්සේලා දන්නවා ඇත. නමුත් රජ ගෙදර භෝජන සංග්‍රහවලට හා ආණ්ඩුකාරයා සමග තේ පානය කිරීමට අප කිසිවිටෙක නොගිය බව ඇත්තකි.


අප විසින් වර්ෂ 4ක් තුළ කළ සටන්වල දී අප ඡන්දදායකයන්ට එක් කරුණක් පැහැදිලි වුණි. එනම් මුළු ධනපති පන්තිය සාමාන්‍ය වැඩ කරන මහජනයාට විරුද්ධව සිටින බවයි. ජාති හිතෛෂී නායකයන් හැටියට මේ තාක් කල් මහජනයා ඉදිරිපිට වෙස්මුහුණු බැඳගෙන පෙනී සිටි බාරොන් ජයතිලක, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි ධනපති පන්ති නියෝජිතයින් මහජනයාගේ සුබසිද්ධිය සඳහා කරන්නට යෙදුණු ඉහත කී ඉල්ලීම්වලට අකුල් හෙළුෑ අන්දම කාහටත් මතක ඇත.
ලක් ඉතිහාසයේ ප්‍රථම වරට ආණ්ඩුකාරයා විසින් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් දෙපොළක් නඩු නැතිව සිර කිරීම ගැන ඉහත කී මිනිසුන් ප්‍රධාන මන්ත්‍රණ සභාවේදී කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළේ මන්දැයි තමුන්නාන්සේලාට තේරෙනවා ඇත.


ආණ්ඩුකාරයාගේ පැත්ත ගෙන දුප්පත් පන්ති ජනයාට විරුද්ධව ධනපති පන්තිය ක්‍රියාකරන ආකාරය එයින් යස රඟට පැහැදිලි වේ. මොවුන්ගේ තක්කඩිකම් හෙළිදරව් කිරීමට අපට දැන් ඉඩක් නොමැති  බැවින් සාමාන්‍ය ජනයාට විරුද්ධව හා ධනපති පන්තියට පක්ෂව මොවුන්ගේ වැඩපිළිවෙළ ගෙන යාමට අප සිර භාරයේ තැබීම මහඟු අවස්ථාවක් බව මෙම නායකයන්ට අවබෝධ වී තිබේ.


නමුත් අප සිර කිරීමෙන් මහජනයාගේ හඬ නිශ්ශබ්ද කළ නොහැක. අප විසින් ගෙන යන සටන් ව්‍යාපාරයට අමතරව මහජනයා වෙනුවෙන් සටන් කිරීමට හා මහජන හඬ ප්‍රකාශ කිරීමට ප්‍රබල පක්ෂයක් ගොඩනඟා තිබේ.”


මෙම ලියැවිල්ලට අත්සන් තබා ඇත්තේ මෙසේය.


“වැලිකඩ සිරගෙදර ලැගුම් ගන්නා අවිස්සාවේල්ලේ හා රුවන්වැල්ලේ රාජ්‍ය මන්ත්‍රීවරු.”

 

 


නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි