කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හා නගරාධිපති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය සහ උතුරුමැද පළාතේ ප්‍රථම ආණ්ඩුකාරවර දිවංගත ඩී. බී. වෙලගෙදර මැතිතුමාගේ 28 වැනි ගුණ සමරුව අප්‍රේල් මස 22 දිනට යෙදී ඇත. එතුමන් අභාවප්‍රාප්ත වී වසර ගණනාවක් ඉක්ම ගියද අදත් එතුමන් සිහිපත් කරන්නේ නිදහසින් පසු සත්කෝරලයෙන් බිහිවූ යුග පුරුෂයකු හෙයිනි.
වර්ෂ 1915 ඔක්තෝබර් මස 31 වැනිදා පොල්ගහවෙල පනලිය ග්‍රාමයේ උපත ලද වෙලගෙදර මැතිතුමා කොළඹ ආනන්ද, නාලන්ද යන විදුහල්හි ඉගෙනුම ලබා නීතිඥයකු වීම සඳහා නීති විදුහලේ ඉගෙනුම ලැබීය. එම අවධියේදී මුදලිවරුන් වෙනුවට ආදායම් පාලක නිලධාරී (ඩී.ආර්.ඕ.) සේවය සඳහා පැවැති විභාගයෙන් සාමාර්ථය ලැබූ ප්‍රථම ඩී.ආර්.ඕ. සේවයට 1939 අප්‍රේල් මාසයේදී ඇතුළත් විය. ගලගෙදර සේවය කිරීමෙන් අනතුරුව උඩුදුම්බර ප්‍රදේශයේ ආදායම් පාලක නිලධාරි ලෙස සේවය කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සමග සමීපව කටයුතු කිරීමට එතුමාට අවස්ථාව සැලසුණි. එනිසාම අග්‍රාමාත්‍යතුමන් සභාපතිත්වය දැරූ මහියංගණ චෛත්‍යවර්ධන සමිතියේ ලේකම් තනතුරට පත්කර ගත්තේ තරුණ ක්‍රියාශීලී වෙලගෙදර මැතිතුමාය. මහියංගන සෑ රදුන්ට කොත පලඳවන තෙක්ම අඛණ්ඩව එම තනතුර හෙබවීමට එතුමාට වරම් ලැබුණි.
මහියංගන සෑරදුන්ට කොත් පැළඳවීමේ නැකත සාදා දුන්නේ වෙලගෙදර මහතානන්ගේ බාප්පා වූ ගම්පොල පී. බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි විසිනි.
ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ හදිසි අභාවයෙන් පසු පැවැති 1952 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඩඞ්ලි සේනානායක මැතිතුමා විසින් කුරුණෑගල ආසනයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගනිද්දී එතුමන්ගේ සිත ඇදී ගියේ එකල කුරුණෑගල ඩී. ආර්. ඕ. ලෙසින් ඉමහත් ජනප්‍රසාදයක් ලබා සිටි වෙලගෙදර මැතිතුමා වෙතය. ඩඞ්ලි සේනානායක මැතිතුමාගේ සහ කුරුණෑගල ජනතාවගේ බලවත් ඉල්ලීම නිසාම එකල රාජ්‍ය සේවයේ වරප්‍රසාද සහිත බලසම්පන්න තනතුරක් වූ ඩී. ආර්. ඕ. තනතුරට සමුදුන් වෙලගෙදර මැතිතුමාට තරග කිරීමට සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භකයකු වූද බෞද්ධ නායකයකු වූද රාජනිීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමා සමගය. එම තරගය ඉතා තියුණු තරගයක් වූ අතර වෙලගෙදර මැතිතුමාගේ අකලංක සේවයත්, පෞරුෂයත්, තාරුණ්‍යයත්, ආකර්ෂනීය සිනහවත් නිසාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ වෙලගෙදර මැතිතුමා එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමා පරදවා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්විය.
එතුමන් ගම් නියම්ගම්හි සැරිසරමින් ගැමි ජනතාව සමග සමීපව ගම්දනව් නගාසිටුවීමට කටයුතු කළද 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජය හමුවේ එතුමාද නොසිතූ පරිදි පරාජයට පත්විය. ඉන් නොසැලී ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටි එතුමා පළාත් පාලන දේශපාලන පිටියට පිවිසී 1961 දී කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙසින් පත්වීම ඓතිහාසික ඇතුගල්පුරවරයට නවෝදයක් උදා කළේය. දිවයිනේ මහ නගර සභා අතර ආදර්ශමත් මහ නගර සභාව ලෙසින් වාර්තා තබමින් පුරා වසර 10ක් නගරාධිපතිවරයා ලෙස එතුමන් සිදු කරන ලද සේවය විවිධත්වයක් හා විචිත්‍රත්වයෙන් යුතුය.
1960 මාර්තු සහ 1960 ජූලි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා පොල්ගහවෙල ආසනයට තරග කළත් එතුමා පරාජයට පත්විය. පරාජය ආශිර්වාදයක් කරගත් එතුමා 1965 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල ආසනයට යළි ඉදිරිපත්ව ඉතා පහසු ජයක් අත්කර ගත්තේය. ජනසතු සේවා හා ක්‍රීඩා උපඇමැති ධුරයට පත්වූ වෙලගෙදර මැතිතුමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිසංවිධානය කරමින් අලුතින් ඩිපෝ පිහිටුවමින් සේවක සුබසාධනය ඇති කරමින් ලංගමයට නව ජීවයක් ලබා දුන්නේය.
1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමන් පරාජයට පත්වුවද 1977 වර්ෂයේදී කුරුණෑගල ආසනය යළි දිනාගනු ලැබුවේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. මැතිවරණයෙන් ජයගත් වෙලගෙදර මැතිතුමා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් පිදුම් ලැබීය. එම අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරමින් විදේශාධාර ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට එතුමාට හැකියාව ලැබුණි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම යාමෙන් පසු එම අමාත්‍යංශයේ අමාත්‍යධුරය එතුමාට හිමිවිය. පළාත් සභා ක්‍රමය සංස්ථාපනය කිරීමත් සමගම ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ආරාධනයෙන් 1988 අප්‍රේල් මස උතුරුමැද පළාතේ ප්‍රථම ආණ්ඩුකාර පදවිය එතුමාට හිමිවීමත් සමගම පුරා තිස්පස් වසරක ක්‍රියාකාරී දේශපාලනයෙන් එතුමන් සමු ගත්තේය.
වෙලගෙදර මැතිතුමන් ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය නිහඬව, සැලසුම් සහගතව, ජනතා සේවය සඳහා කැපවූ නායකයෙක් විය. එතුමන්ට තනතුරු කිසිවිටෙකත් ආභරණයක් නොවූ අතර එතුමන් තනතුරට සැබැවින්ම ආභරණයක් විය.
එතුමන් විසින් කුරුණෑගල ප්‍රදේශයට ඉටු කරන ලද පුළුල් මෙහෙවර සිහිපත් කිරීම එතුමන්ට කළ හැකි ඉහළම උපහාරයයි. එම සේවාවන් අතර ‘කුරුණෑගල ඩී.බී. වෙලෙගදර ආයුර්වේද මහ රෝහල කැපී පෙනේ. වෙලගෙදර මැතිතුමාගේ හදවත බඳු එම රෝහල සංවර්ධනය සඳහා එතුමන් ගත් වෙහෙස අපමණය. දානපතීන්ගේ සහ පොදු ජනතාවගේ සහායෙන් නව වාට්ටු ඉදිකරමින් ඔසු උයන් පිහිටුවමින් එතුමන් දියත් කළ මෙහෙවර ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් හඳුන්වන ලද්දේ වෙලගෙදර ක්‍රමය නමිනි.
කුරුණෑගල මහ රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සඳහා බාහිර රෝගී පරිපාලන ගොඩනැගිල්ල, නව වාට්ටු සංකීර්ණ, ළමා වාට්ටුවක්, නවීන මුලුතැන් ගෙයක්, දිස්ත්‍රික් බෙහෙත් ගබඩාවක්, ජල පහසුකම් එතුමා විසින් ආරම්භ කරන ලදී.
1965 වසර වනවිට කුරුණෑගල නගරයේ පැවති බස් නැවතුම්පළ අවිධිමත් මඩ ගොහොරුවක් විය. ඒ වෙනුවට දිවයිනේ සිවු දෙසටම බස් ධාවනය කළ හැකි පරිදි අංගසම්පූර්ණ බස් නැවතුම්පලක් ඉදිකළ අතර ලංගම උතුරු ඩිපෝවද පිහිටුවනු ලැබීය.
එතුමන් නගරාධිපතිවරයා වනවිට පැවති දිරාගිය මාර්කට් ගොඩනැගිල්ල වෙනුවට නව වෙළඳපළක් ඉදිකර ඩඞ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමන් ලවා විවෘත කරවා පාරිභෝගික ජනතාවට පහසුකම් සැලසීය. කලාකරුවන්ගේ නිර්මාණ කුසලතා ඔප් නැංවීම සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ‘එළිමහන් රංග පීඨය’ ආදර්ශයට ගෙන කුරුණෑගල නගරයේ එළිමහන් රංග පීඨයක් ඉදිකිරීමට එතුමාම උත්සුක විය.
1965 ජාතික රජයේ පළමුවැනි නිදහස් දින උත්සවය කුරුණෑගල පැවැත්වීමට නව රජය ගත් තීරණය අනුව දිවා රෑ නොබලා වෙහෙසව මාලිගාපිටියට ආසන්නව නව ක්‍රීඩාංගණයක් ඉදිකළ අතර එම ක්‍රීඩාංගණය වෙලගෙදර ක්‍රීඩාංගණය නමින් අදත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත්ව ඇත.
තැපැල් හා විදුලි සංදේශ සේවාව වැඩිදියුණු කිරීම සඳහා සූක්ෂ්ම තරංග දුරකථන සේවා මධ්‍යස්ථානයක් ඇතුගල මස්තකයෙහි පිහිටුවනු ලැබූ අතර ඇතුගල වෙත යාමට ප්‍රවේශ මාර්ගයක්ද ඉදිකිරීම තුළින් ‘ඇතුගල බුදුරුව’ නිර්මාණයට ඉඩ ප්‍රස්ථා සැලසුණි. තරුණ තරුණියන්ට තාක්ෂණ දැනුම ලබාදීම සඳහා දිස්ත්‍රික් ශිල්පීය දක්ෂතා මධ්‍යස්ථානයක් සාරගම පිහිටුවනලද අතර අද දවසේ එම මධ්‍යස්ථානය විපුල සේවයක් සලසයි.
එතුමන් විසින් ඉදිකරන ලද දඹුල්ල පාරේ වෙළෙඳ හා පරිපාලන සංකීර්ණය තුළ මහජන බැංකුවේ අධිශ්‍රේණි ශාඛාව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා වෙනත් රජයේ කාර්යාල පිහිටුවා තිබීම මහජනතාවට පහසුවකි. එමෙන්ම බස් නැවතුම්පළ ඉදිරිපිට ඉදිකළ පේෂකර්ම වෙළඳ සංකීර්ණය තුළ කඩ සාප්පු විශාල සංඛ්‍යාවක් සේවාලාභීන්ට සේවා පහසුකම් සපයයි.
උදාගම් වැඩපිළිවෙළ යටතේ වැව, කෙත, දාගැබ යන දැහැමි සංකල්පය මත ඉදිකළ 33 වැනි ආදර්ශ ගම්මානය සාරගම ආදර්ශ ගම්මානයයි. එහි විවෘත කිරීමේ උළෙලට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමන් එය හැඳින්වූයේ ගමක් නොව ග්‍රාම රාජ්‍යයක් ලෙසිනි. තුරුලියගම, තෝරවතුරගම, වරද්දනගම ආදර්ශ ගම්මානත්, අරලිය උයන, මහමේඝ උයන නිවාස සංකීර්ණයත් එතුමන්ගේ සේවයේ සිහිවටනයන්ය.
කුරුණෑගල ආසනයේ අධ්‍යාපනික සංවර්ධනය සඳහා එතුමා මහත්සේ උනන්දු විය. විදුහල් සඳහා දෙමහල්, තෙමහල්, සිවු මහල් ගොඩනැගිලි, විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, ගුරු නිවාස ඉදිකිරීම ඒ අතුරින් කැපී පෙනේ.
එතුමන් කුරුණෑගල ආසනය පුරා විදුලිබල යෝජනා ක්‍රම, සුළු වාරිමාර්ග යෝජනා ක්‍රම රාශියක් දියත් කරන ලදී. සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රජා සහභාගිත්වයෙන් ‘රුක්රෝපණ වැඩසටහන’ ගම් නියම්ගම්හි පාසල් ගෙවතු ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද අතර එහි මහඟු ප්‍රතිඵල අද දවසේ දක්නට ලැබේ.
වෙලගෙදර මැතිතුමන්ගේ පුළුල් ජනතා සේවය සිහිපත් කරනවිට එතුමා අනුදත් දැහැමි ක්‍රියා පිළිවෙත්ද සඳහන් කළ යුතුමය. එතුමන් කිසිවිටෙකත් පක්ෂ පාට වැනි දෑ හිසින් දරා කටයුතු නොකළ පටු භේදවලට කොටු නොවූ මිනිසත්කම ප්‍රදර්ශනය කළ ජනනායකයෙකි.
1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ප්‍රතිවාදියා වූ එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමා කෙරෙහි එතුමන් තුළ වූයේ ගෞරවයකි. එනිසාම එතුමන්ට උපහාර පිණිස ශ්‍රී නිශ්ශංක විදුහල උඩවල්පොල පාරේ නව ගොඩනැගිලි සහිතව යළි පිහිටුවා කෘතවේදීත්වය දැක්වීමට එතුමන් නිහතමානී විය.
මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන, ඇත්කඳ රාජමහා විහාරය, ඉබ්බාගල රාජමහා විහාරය, තරුණ බෞද්ධ සමිතියද, අනෙකුත් විහාරස්ථානයන්හිද, ක්‍රියාකාරී දායකයකු, අනුශාසකවරයකු ලෙස කටයුතු කළ එතුමන් මහා සංඝරත්නය සමග දැඩි සමීප සබඳතාවයක් ගොඩනගාගෙන තිබුණි.
උතුරුමැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑරදුන් නිති වැඳ පුදා ගනිමින් සීලයෙහි පිහිටමින් අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇසුරු කරමින් ආගමික වත් පිළිවෙත්හි යෙදෙමින් දැහැමි සිතුවිලි මත දිවි මග ගත කළේය.
සැබැවින්ම වෙලගෙදර මැතිතුමා යනු සත් කෝරලයෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු පමණක් නොව ඉමහත් කැපවීමෙන් හා වගකීමෙන් සිය යුතුකම් හා වගකීම් ඉටු කළ යුග පුරුෂයෙකි.
ලෝක ස්වභාවය පිළිබඳව එතුමා සතු වූ මනා වැටහීම එතුමාගේ අවසන් ඉල්ලීමේ මෙසේ සඳහන් විය.
“උත්පත්තිය මෙන්ම මරණයද සැමටම එකසේ උදාවේ. මටද එම ධර්මතාව ඇතිවීම සාධාරණය. වැළැක්විය නොහැකිය. එසේ වූ විට කම්පා නොවී සිටීමට වගබලා ගත යුතුය. මගේ නෙත් දෙක වැඩගත හැකි කෙනෙකුට භාරදීමට කටයුතු කරන්න. මගේ ශරීරයේ ඇට, මස්, මිදුළු අවයව ආරෝග්‍යශාලාවකට හෝ විද්‍යා පරීක්ෂණාගාරයක අන් අයගේ ප්‍රයෝජනය උදෙසා යොදවන්න. මා කළ වරද ඇතොත් එය සදහටම වළලා දැමීමට කටයුතු කරන්න.”
එතුමන්ගේ අවසන් ඉල්ලීමට ගරු කළ එතුමන්ගේ සමාජ දේශපාලන හා පෞද්ගලික ජීවිතයේ සෙවණැල්ල සේ ක්‍රියාකළ ශ්‍රීමතී චන්ද්‍රලතා වෙලගෙදර මැතිණිය හිටපු වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සරත් වෙලගෙදර පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් විසින් එතුමාගේ ඇස් අක්ෂිදාන සංගමයට ලබාදුන් අතර මෘත දේහය වෛද්‍ය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන ලදී.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොදුජන යහපත පිණිස සිය ජීවිත කාලය කැප කළ සාධු චරිතයකින් හෙබි ඩී. බී. වෙලගෙදර වැනි යුග පුරුෂයකු සිහිපත් කිරීම අනාගත පරපුරට යහපත් ආදර්ශයක් වනු ඇත.
උදේනි සරත්චන්ද්‍ර