සදා කල්හි පුවත් මවන ආණ්ඩුකාර පුරාණය


 

පසුගිය සතියේ අසන්නට ලැබුණු ප්‍රධානම ප්‍රවෘත්තියක් වූවේ දකුණු පළාත් සභාවේ හැර අන් සියලුම පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම් සහ නව ආණ්ඩුකාරයන් පිරිසක් දිවුරුම් දීමය. එය අහම්බෙන් සිදුවූවක් නොව යම් කිසි බරපතළ දේශපාලන පසුබිමක් සහිතව කරළියට පැමිණි සිද්ධියක් බව පැහැදිලිය. ඒ ගැන නොයෙක් මත සමාජගතව ඇතත් ඒවා මෙම ලිපියට අදාළ කර ගන්නේ නැත. එහෙත් අතීතය විමසමින්, පළාත් සභාවට ආණ්ඩුකාරවරුන් පත් කිරීමෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේදී කටයුතු යෙදුණු ආකාරය පිළිබඳව මතභේදාත්මක අවස්ථා කීපයක් පාඨක අවධානයට යොමුකිරීම මෙම ලිපිය සම්පාදනය කිරීමේ අපේක්‍ෂාවයි.


පළාත් සභා යනු වර්තමානයේදී එතරම් මහජන අවධානය දිනාගන්නා ආයතන පෙළක් නොවන බව ඇත්තකි. එහෙත් එය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ අර්බුදකාරී තත්ත්වය මතක ඇති කෙනෙකුට මෙසේ පළාත් සභා නොසලකා හැර සිටිය නොහැකිය. අපේ රට බි්‍රතාන්‍යට යටත්වූයේ 1815 මාර්තු දෙවැනිදා බව ඉතිහාසයේ සඳහන් වේ. නැවත 1948 පෙබරවාරි 04 වැනිදා අප නිදහස් ජාතියක් බවට පත්වීමු. ජාතික නිදහස උදෙසා ආයුධ සන්නද්ධ සටන් රැල්ලක් ඇති වූ බවද අපි දැන සිටිමු. 
1818 උඩරට කැරැල්ල 1848 ජාතික විමුක්ති සටන එයින් අවස්ථා දෙකකි. මෙම 133 වසරක කාලය තුළ වැගිරුණු ලෙසට වඩා කීප ගුණයකින් වැඩි මිනිස් රුධිර ගංගාවක් පළාත් සභා ස්ථාපන කිරීමේ අරගලයේදී ශ්‍රී ලංකා ධරණි තලය තෙත් කරලමින් ගලාගිය බව කිසිවෙකුට අමතක කළ හැක්කක් නොවේ. කීප පාර්ශ්වයක් අතින් සිදුවූ එම ඝාතනවලින් අහිමිවූ ජීවිත සංඛ්‍යාව හෝ විනාශ වූ සම්පත්වල වටිනාකම කිසිදු දිනක නිවැරැදිව හෙළි නොවෙනු ඇත. මෙම පළාත් සභා බිහිවීම මූලික කර ගනිමින් මෙරට ඇති වූ සිවිල් යුද්ධය රට අරාජික කිරීමට සමත්විය. එයින් හටගත් ජාත්‍යන්තර අපකීර්තිය කෙබඳුදැයි කියතොත් “ශ්‍රී ලංකාව යනු මිනී කන්නන්ගේ දේශයක්” යැයි එකල විදේශීය පුවත්පත්වල පළවූ ආකාරය එකල විදේශගතව සිටි මම දුටුවෙමි. ඒනිසා විශාල පරිත්‍යාගයෙන් යුතුව ලබාගත් පළාත් සභා එකක්වත් අද ක්‍රියාත්මක නොවේ. මේවා ඇතිකිරීම ගැනත් එයට විරුද්ධවත් උනන්දුවෙන් ගහ මරා ගත් සෑම පාර්ශ්වයක්ම අද නිහඬය. 


මේ වන විට පළාත් සභා මැතිවරණයක් අවශ්‍යයැයි යමෙක් හඬ නගන්නේද තම බලය තහවුරු කරගැනීම වෙනුවෙන් පමණකි. මෙයද අති ශෝචනීය තත්ත්වයක් ලෙස අප දකිනුයේ, “කන්ට ඕනෑ වූ විට කබරයාත් තලගොයා කර ගන්නවා.” යන පැරණි කියමනට අනුගතව බලද්දීය.


දීර්ඝ කාලයක්ම ශ්‍රී ලංකාව පැවතියේ ඒකීය රාජ්‍යයක් වශයෙනි. ඒ පිළිබඳ ඓතිහාසික සාධක අපමණය. සිංහල හා දමිළ ජාතිකයෝ තම වාස භූමිවල ඉතා සමගියෙන් සහෝදරත්වයෙන් යුතුව එක බත් පත අසල්වාසීන් සමග බෙදාගෙන කා ජීවත්වූහ. එහෙත් කල්යාමේදී දෙපාර්ශ්වයේම අන්තවාදී බලවේගයන්ගේ මෙහෙයවීම මත විරසක වූ බව දක්නට ලැබුණි. සර් පොන්නම්බලම් රාමනාදන් වැනි නායකයෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරමින් සිංහල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය සමගද ගැටුණහ. එහෙත් පසු කාලීනව බිහි වූ දෙමළ නායකයෝ තමන්ගේ බලය ගොඩනගාගැනීම උදෙසා ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයැයි හඬනැගූහ. ඒ වෙනුවෙන් නොයෙකුත් විරෝධතා දියත් කළහ. මෙයට පෙර එක්දහස් නවසිය තිස් ගණන්වල සිට ජී. ජී. පොන්නම්බලම් මහතාගේ ද්‍රවිඩ සංගමය ගෙනගිය පනහට පනහේ ප්‍රතිපත්තියත් 1931 දී මෙරටට සර්වජන ඡන්ද බලය ලැබීමේදී යාපනයේ තරුණ සංගමය ගෙන ගිය ඡන්ද වර්ජනය කිරීමේ ව්‍යාපාරයත් මෙයට පූර්වාදර්ශ සපයා තිබුණි. එම තත්තත්වය තවදුරටත් මෝරායාමේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට පැවති ද්‍රවිඩ පක්‍ෂ සියල්ල එකතු වී ද්‍රවිඩ එක්සත් පෙරමුණ නමින් පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවාගත් අතර එහි සම්මේලන වාරයක් 1976 මැයි 24 වැනි දින පැවැත්වුණි. එහිදී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙසේ සඳහන් කර තිබුණි. “සිංහල ජනයා තමන් සතු දේශපාලන බලය සහ අනෙකුත් සියලු බලවේගයන් දෙමළ ජනතාවට හානිකර  ලෙස යොදාගෙන ඇත. දෙමළ රාජධානියේ (දෙමළ නිජ බිමේ) ප්‍රදේශවල රාජ්‍ය මැදිහත්වීම තුළින් ගොවි ජනපද පිහිටුවා සැලසුම්සහගත ලෙස සිංහල ජනතාව පදිංචිකරවීම මගින් ආක්‍රමණයක් කරමින් සිටී. මේ මගින් (සිංහල රජය) බලාපොරොත්තු වන්නේ දෙමළ ජනයා තමන්ගේ නිජබිම තුළ සුළුතරයක් බවට පත්කිරීම වේ. සිංහලයන් කරන ලද මෙම ඉඩම් කොල්ලය සිංහල රජය නීත්‍යානුකූල කිරීම කරනු ලබයි. ඉතිහාසයේ මුල් අවධියේ සිටම ශත වර්ෂ ගණනාවක් සිංහල හා දෙමළ ජාතිකයන් විසින් පැහැදිලිව වෙනස් වූ ප්‍රදේශවල වාසය කරමින් එහි අයිතිය දරා ඇත. එනම් වලවේ ගඟේ සිට හලාවත දක්වා දකුණු මුහුදු තීරයේ සිට සිංහල ජනතාවගේ අයිතිය පැවති අතර වලවේ ගඟේ සිට නැගෙනහිර උතුරු මුහුදු සීමාව දිගේ බටහිරින් හලාවත දක්වා වූ මුහුදුබඩ කලාපය දෙමළ ජනයා විසින් භුක්ති විඳිමින් අයිතිය දරා ඇත. එසේ මේ දෙපිරිස ලංකා භූමියේ අයිතිය දීර්ඝ කාලයක බෙදාගෙන සිට ඇති බැවින් දෙමළ ඊළාම් රාජ්‍යය උතුරු නැගෙනහිර පළාත්වලින් යුක්ත විය යුත්තේය.” මෙම ප්‍රතිපත්තිය වඞ්ඩුකොඩෙයි ප්‍රකාශනය ලෙස ඉතිහාසයට එක්ව ඇත. දෙමළ දේශපාලනයේ එතෙක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කටයුතු කළ පක්‍ෂ සහ නායකයෝ ලේ වැගිරීම්, ඒකීය රාජ්‍යයෙන් බිඳීයෑම්, ඊළාම් නමැති වෙනම රාජ්‍යයක් පිහිටුවීමට තර්ජනය කිරීම් සිදු කළහ. 1977 මහා මැතිවරණය පැවතියේ මෙවැනි වතාවරණයක් තුළය. එම මැතිවරණයේදී දකුණේ ජනතාව අතර සාකච්ඡාවට බඳුන් වූවේ ඇට රාත්තල් අට, ධර්මිෂ්ඨ සමාජයක්, හැත්තෑ එකේ කැරැල්ල මර්දනය කිරීමේ අඩුපාඩු, ඉඩම් ප්‍රතිසංස්කරණයේ ගුණාගුණ ආදී ජාතික ගැටලු ගැන වූවත් උතුරේ කථා කළේ පෙර කී ජාතිවාදයෙන් ලේ උණුසුම් කරන මාතෘකා පමණි. උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා බහුතරයක් සිටින සෑම ආසනයක්ම පාහේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ජයගත් නිසා එය දෙමළ ඊළාමයකට ලැබුණු ජනවරමක් ලෙස අර්ථ දැක්වීමට පවා දෙමළ නායකයෝ ඉදිරිපත් වූහ. ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් මෙන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධූරය ද්‍රවිඩ නායක ඒ. අමිර්තලිංගම් මහතාට හිමිවීම නිසා ඊළාම් සංකල්පයට ජාත්‍යන්තරයේ නිල පිළිගැනීමක්ද ලැබුණි.


රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් සහිතව විදේශවල සංචාරය කරමින් මෙම මතවාදය දේශනා කිරීමට අමිර්තලිංගම් මහතා කටයුතු කළ අතර තමිල්නාඩුවේ කරුණානිධි, ඇම්. ජී. ආර්., ජය ලලිතා, නැදුමාරන්, වයිකෝ ආදීහු තම සහාය නිරන්තයෙන් ඔවුනට ලබා දුන්හ. ලංකාවේ සිදුවන දේශපාලන ක්‍රියාකාරකම් තම රටේ ජාතික ඕනෑ එපාකම්වලට බලපෑම් ඇතිවන බව වටහා ගත් ඉන්දියානු අගමැති ඉන්දිරාගාන්ධි තම අනුකම්පාව සහ අනුග්‍රහය මෙම ඊළාම් මතවාදයට පිරිනැමුවාය. උතුරු - නැගෙනහිර ක්‍රියාත්මක වන දෙමළ දේශපාලන නායකත්වයේ අනුමැතියත් තමිල්නාඩුවේ සහායත් ඉන්දියානු රාජ්‍ය නායකත්වයේ ආශිර්වාදයත් ලැබීමෙන් ධෛර්යමත් වූ උතුරේ තරුණයෝ කරළියට පිවිසියහ. ප්‍රභාකරන්, උමා මහේෂ්වරන්, සභාරත්නම්, පද්මනාභ ආදීහු තමන්ගේම වූ සටන්කාමී සංවිධාන ගොඩනගා ගනිමින්, ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව ඊළාමයක් සඳහා සටන දියත් කළහ. 1983 ජූලි 21 දින යාපනයේ තිරුනෙල්වෙලියේදී සිදුවූ හමුදා සෙබළුන් 13 දෙනා ඝාතනය කිරීම එම ක්‍රියාදාමයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූවේය. මෙයින් ඇවිළුණු ජාතිවාදී ගැටුම උපයෝගී කර ගනිමින් දස දහස් ගණන් උතුරේ වැසියෝ ඉන්දියාවට පැනගොස් සරණාගතයන් වශයෙන් ආරක්ෂාව පැතූහ. මේ ආකාරයෙන් ඉන්දියාවට මහත් බරක් පැටවුණු අතර ඉන්දියානු මහා රාජ්‍යයද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයේ පාර්ශ්වකරුවෙකු බවට පත් විය.


එකල උග්‍රව නැගී එමින් තිබුණු පන්ජාබයේ ෂික් බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්ව ඉන්දියා අගමැති ඉන්දිරාගාන්ධි මහත්මිය මෙලොවින් සමු ගත්තාය. දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වමින් විදේශගතව ගුවන් නියමුවෙකු ලෙස සේවය කරමින් සිටි ඉන්දිරාගාන්ධිගේ පුත් රාජිව් ගාන්ධිට ඉන්දියාවේ නායකත්වය භාර ගැනීමට සිදු විය. නේරු ඉන්දිරා පරපුරේ අයෙකු එරට නායකත්වය දැරීම, එරට බලය හා ඡන්ද පදනම ආරක්‍ෂා කරගැනීමට හේතුවේ යයි ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ නායකත්වය අදහස් කිරීම එයට හේතු විය. තමාගේ ඉරණමද මෙමගින් විසඳෙන බවට අනුමානයෙන්වත් නොදැන සිටි රජීව් ගාන්ධි ශ්‍රී ලංකාව් ජනවාර්ගික අරගලයේ බර මව් උරුමයෙන් මෙන් තම උර මතට පටවා ගත්තේය. අගමැති වශයෙන් ඔහු මෙම අර්බුදයට මැදිහත් වීම ඉන්දියාවේ පැත්තෙන් බලන විට අනිවාර්ය අවශ්‍යතාවක් විය. දේශපාලන රැකවරණ පතමින් එරට රැඳී සිටින ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ සරණාගතයෝ ඉන්දියාවට ජාතික ප්‍රශ්නයක් නිර්මාණය කළහ. මේසා විශාල ජනතාවක් නඩත්තු කිරීම, ඔවුන්ගේ සුබසාධනය, ඔවුන්ගේ ආරක්‍ෂාව, පදිංචි වීමට නිවාස, ළමුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, රැකී රක්‍ෂා සැපයීම ආදිය එම රටට මහත් බරක් විය. මොවුන්ට ලැබෙන පහසුකම් එරට වැසියෝ අනුමත නොකළහ. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණාක් වැනි තත්ත්වයකට ඉන්දියාවට මුහුණදීමට සිදුවිය. ඉන්දියාව තුළ දෙමළ ඩයස්පෝරාවක් නිර්මාණය කිරීමෙන් ප්‍රභාකරන් අපේක්‍ෂා කළේද එම තත්ත්වයයි. නැගෙනහිර පාකිස්ථානය බෙදීයාමේදී බංග්ලාදේශ නායක ෂික් මුජිබර් රහමන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයද මෙයට සමාන විය. නැගෙනහිර පකිස්ථානයෙන් පැන ආ මිලියන ගණනක් වූ අනාථයන් නොසලකා හැර සිටීමට ඉන්දියාවට නොහැකි වූ නිසා යුද මැදිහත් වීමකට මුහුණ දීමට ඉන්දියාවට සිදුවිය. මෙම ජාතික ගැටලුවට ඉන්දියාව මැදිහත් කර ගැනීම ප්‍රභාකරන්ගේ අපේක්‍ෂාව වූ බව කියනු ලැබේ. එහෙත් රෑ වැටුණු වළේ දවල් වැටීමට ඉන්දියාව සූදානම් නොවූවේය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට යුදමය මැදිහත් වීමක් සිදු කිරීමට එම රජය කිසිසේත්ම කැමති වූවේ නැත. ඔවුන් යෝජනා කළේ දේශපාලන විසඳුමකි. එහෙත් තර්ජනාත්මක සිදුවීම් දෙකක් සිදුවිය. ඉන්දියානු නාවික යාත්‍රා කණ්ඩායමක් ශ්‍රී ලංකා මුහුදු සීමාව පසු කර යාත්‍රා කළ බව වර්තා විය. එමෙන්ම ගුවන් යානා කීපයක් මෙරට ගුවන් සීමාව ඉක්මවා උතුරේ ජනතාවට “මානුෂීය ආධාර” යැයි කියමින් පරිප්පු ගෝනි රාශියක් බිමට හෙළා තිබුණි. එය ගුවන් ආක්‍රමණයක අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත් ශ්‍රී ලංකා රජය ඉතා ඉවසිල්ලෙන් සහ ප්‍රඥාගෝචරව එම ප්‍රශ්නයට මුහුණ දුන්නේය. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ යුදමය ක්‍රියාමාර්ගයේදී ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් වඩමාරච්චි යුද බිමේ කොටු වී සිටියදී ඔවුන්ගේ ඉරණම විසඳීමට හමුදාව කටයුතු කරද්දී එය වළැක්වාලීමට ඉන්දියාව මැදිහත් වූ බව නොරහසකි. මෙවැනි අතපෙවීම් හරහා රජීව් ගාන්ධි අගමැතිවරයා ලංකාවට විශාල බලකිරීමකට මාවත විවිර කර තිබුණි.


මෙයට පිළියමක් වශයෙන් ඉන්දියාව හදිසියේම මෙරටට යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලදී. එය හඳුන්වා තිබුණේ ඉන්දු - ලංකා ගිවිසුම වශයෙනි. එහි පූර්විකාවේ මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම වර්ධනය කිරීම ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සලකා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනවාර්ගික කොට්ඨාසයන්ගේ ආරක්‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුණෙමු.” මෙම ගිවිසුමෙන් දෙමළ බෙදුම්වාදය අවසන් කිරීමටත් ඒ සඳහා බෙදුම්වාදීන් සතුව ඇති අවි ආයුධ රජයට භාරදීමටත්, රටේ පළාත් නවයේ පළාත් සභා අටක් පිහිටුවීමටත් ඒවාට බලය බෙදා දීමටත් ගිවිස ගන්නා ලදී. උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කර එක් පළාත් සභාවක් පිහිටුවන ලද අතර පසුව නැගෙනහිර පළාතේ ජනතාවගෙන් ජනමත විචාරණයක් පවත්වා අවශ්‍යනම් එම දෙපළාත වෙන් කිරීමටද තීරණය කර තිබුණි. මෙම බලතල බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහතුන්වැනි සංශෝධනය ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලදී. මෙසේ බිහිවූ පළාත් සභා මෙරටට නවතම දේශපාලන අත්දැකීමක් වූවේය. එහි නායකත්වය මහජන ඡන්දයෙන් පත්වන මහ ඇමතිවරයෙකුට භාර කළ යුතුවිය. රජය නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් පත් කිරීමටද නියමිත විය. ව්‍යවස්ථාවේ 154 ආ 1 ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් පිහිටුවන සෑම විටකම එම පළාත සඳහා ආණ්ඩුකාරවරයෙකු පත් කළ යුතුය. 


154 ආ (2) ජනාධිපතිවරයා සිය අත්සන යටතේ වූ අධිකාරි පත්‍රයක් මගින් ආණ්ඩුකාරවරයා පත් කරනු ලැබිය යුතු අතර ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇති තාක්කල් 4 (ආ) වන ව්‍යවස්ථාවට අනුකූලව ඔහු විසින් ධූරය දැරිය යුත්තේය.


මෙසේ පත්වන ආණ්ඩුකාරවරයා දේශපාලන ක්‍රියාමාර්ගවලට හෝ පක්‍ෂවල න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා නොකෙරේ. බලය බෙදා හැරීමෙන් අපේක්‍ෂා කරන සංකල්පය ඉටු නොවන බැවිනි. 


එහෙත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු විසින් එකම කාරණයක් උදෙසා ලබා දී ඇති පූර්වාදර්ශයන් ගැන මෙරට පළාත් සභා ඉතිහාසයේ සඳහන් වේ. මේ එම සිද්ධියයි. 1993 මැයි මස 17 වැනිදා පැවැති පළාත් සභා මැතිවරණයේදී එතෙක් පැවති එක්සත් ජාතික පක්‍ෂයේ අපරාජිත බලවේගයට අභියෝග කරමින් දකුණ, බස්නාහිර සහ වයඹ පළාත් සභා තුන යූ.ඇන්.පී. විරෝධී පක්‍ෂවලට වැඩි ආසන ගණනක් දිනා ගැනීමට හැකි වීම විශේෂත්වයක් විය. විශේෂයෙන්ම දෝෂාභියෝගයක් සමග එ.ජා.පයෙන් එළියට පැමිණි ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන මහත්වරුන්ගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සහායද මේ සඳහා මහෝපකාරී වූවේය.

 

 


මතු සම්බන්ධයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි