“මිනිසා විසින් මිනිසා සූරාකෑමේ තිරශ්චීන ප්‍රතිපත්තිය මිහිමතින් තුරන් කළ යුතුය. එය සිදු කළ යුතු වන්නේ ගොවි සහ කම්කරු යන වැඩකරන පන්තියේ පීඩිතයන්ගේ සමගිය මගින් සිදුකරනු ලබන ආයුධ සන්නද්ධ අරගලයක් මගිනි. සකල ලෝක වාසී කම්කරුවනි එක්වව්. නුඹලාට නැතිවන්නට දෙයක් නැත. ඇත්නම් ඒ නුඹලා පෙළන පීඩනය හා දරිද්‍රතාව පමණි. එහෙත් දිනාගැනීමට ලෝකයක් ඇත”
1848 තරම් ඈත අතීතයකදී කාර්ල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් යන ප්‍රකට චින්තකයන් දෙදෙනා විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය නම් ඓතිහාසික ලේඛනය ප්‍රකාශයට පත්කරමින් කියා සිටින ලදී. සමාජවාදී සහ සමානාත්මතාවාදී සමාජයක් ඇති කිරීම පිළිබඳ මතිමතාන්තර එයට පෙරද සමහර දර්ශන වාදීන් අතර විවාදයට හා සාකච්ඡාවට බඳුන් වෙමින් පැවතිය ද විද්‍යාත්මක සමාජවාදය සහ විප්ලවය ගැන පැහැදිලි අර්ථනිරූපණයක් ඉදිරිපත් කළේ මාක්ස් සහ එංගල්ස් විසින්ය යන්න විද්වතුන්ගේ මතයයි. රුසියාවේ ව්ලැඞ්මීර් ඉලියනොව් ලෙනින්ගේ නායකත්වයෙන් සෝවියට් ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීමේදී න්‍යායාත්මකව උපයෝගී කර ගනු ලැබුවේ පෙර කී දේශපාලන න්‍යාය ධර්මයයි. එතෙක් ලියවිලිවලට පමණක් සීමාවී තිබුණු විප්ලවය නම් සංකල්පය ප්‍රායෝගික දෙයක් වශයෙන් මිනිස් සමාජය තුළ ස්ථාපිත වූවේය. නොයෙක් රටවල සිටි ජනතාවෝ එය ආදර්ශයට ගනිමින් එම මතධාරී දේශපාලන කණ්ඩායම් ඇති කර ගත්හ. එය ලෝකයේ ඉතිහාසය වෙනස් කළ දේශපාලන කුලකයක් බවට පත් වූයේ නිරායාසයෙනි. මෙම ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ එකමුතුව ලෙනින්ගේ යුගයේදී සහ ඉන් කලක් යනතුරුම හැඳින්වූයේ තුන්වැනි ජාත්‍යන්තරය යනුවෙනි.
දෙවැනි ලෝක මහා යුද්ධය නිසා ඇතිවුණු නව දේශපාලන ප්‍රවණතාව අනුව පෝලන්තය, හංගේරියාව, බල්ගේරියාව, රුමේනියාව, යුගෝස්ලෝවියාව, චෙකොස්ලෝව, ඇල්බේනියාව සහ නැගෙනහිර ජර්මනියත් කොමියුනිස්ට්වාදී පාලනයට නතු විය. එම රටවල්වල සමාජවාදය බිහිවූයේ ආයුධ සන්නද්ධවීමෙන් බව සැබෑවකි. එහෙත් කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් පැවසූ පරිදි කම්කරු ජනතාවගේ එක්සත්වීමෙන් සිදු කෙරුණු පන්ති අරගලයක් මගින් නොවේ හිට්ලර්ගේ නාසි හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු සෝවියට් රතු හමුදාවන්ගේ ආයුධ බලයෙනි. ඔවුන්ගේ අපරිමිත ධෛර්ය, කැපකිරීම සහ සටන් කිරීම මෙම රාජ්‍ය පද්ධතිය රතු ධජය සෙවණට පත්කිරීමට සමත් වූ මූල සාධකය විය.
අනතුරුව 1949 දී මාඕ ත්සේතුන් තුමාගේ නායකත්වය යටතේ මහා චීන දේශය කොමියුනිස්ට්වාදය වැලඳගැනීම නිසා සමස්ත පෘථිවි ගෝලයෙන් අතිවිශාල භූමි ප්‍රදේශයක් කොමියුනිස්ට්වාදී දේශපාලන න්‍යාය ඔස්සේ පාලනයවීමට පටන් ගත්තේය. චීනයේ විප්ලවයද මාක්ස්ගේ ඉගැන්වීම් අනුව කම්කරු පංතියේ නායකත්වයෙන් සිදුවූ අරගලයක් නොවන බව විද්වත් මතයයි. එම රටේ මෝරා ගිය විප්ලවවාදී කම්කරු පංතියක් පැවතියේ නැත. වැඩවසම් සමාජයක රදල අධිපති පාලනයට එරෙහිව නැගී සිටි ගම්බද ගැමි සහ ගොවි ජනතාවගේ ආයුධ සන්නද්ධ අරගලය චීන විප්ලවයේ මාදිලිය වූවේය. ලෝකයේ විශාල භූමි ප්‍රදේශයක් අරා වැතිරෙන චීන මහා භූමිය අත්වීම කොමියුනිස්ට්වාදයට අතිමහත් ශක්තියක් විය. ඒ ආභාසය හා සහයෝගය මත අග්නිදිග ආසියාවේ බොහෝ රටවල කොමියුනිස්ට්වාදී හා විප්ලවවාදී සංවිධාන ගොඩ නැගුණා පමණක් නොව එවකට එම රටවල් යටත්කොටගෙන සිටි අධිරාජ්‍යවාදී පාලනයන්ට දැඩි අභියෝග එල්ල කරමින් සටන් වැදුණු නායකයන්ද එම සංවිධානවලින් බිහි වූහ.
කොරියාවේ කිම් ඉල් සුං, වියට්නාමයේ හෝචිමිං, ලංඕසයේ සුපනොවාං, කාම්බෝජයේ කියු සම්පන් ආදීහු එබඳු නායකයෝ වූහ. ප්‍රංශ, ජපන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට මරු පහර එල්ල කරමින් ඔවුන් ලැජ්ජාවෙන් මුසපත් වන ආකාරයේ පරාජය අත්කර දීමට ද මොවුහු සමත් වූහ. උතුරු කොරියාව, උතුරු වියට්නාමය ආදී සමාජවාදී රාජ්‍යයන් බිහි වූයේ ඒ අනුවය. 1959 ජනවාරි 01 වැනිදා පිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් කියුබානු සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීම මෙම සටන්වල උපරිමය විය. ඇමරිකානු එක්සත් ජනපදයට කිලෝමීටර් ඉතා සුළු ප්‍රමාණයකට ආසන්නයේ කොමියුනිස්ට් රාජ්‍යයක් බිහිවීම ඇමරිකාවට දරාගත නොහැකි අවමානයක් විය. කියුබානු විප්ලවය කඩාකප්පල් කිරීම සඳහා දන්නා උප්පරවැට්ටි මෙන්ම ධනය සහ බලය යොදවමින් සිදු කළ සෑම ප්‍රයත්නයක්ම පැරදවීමට විප්ලවාදීහු සමත් වූහ. පිදෙල් කස්ත්‍රෝ, රාවුල් කස්ත්‍රෝ, අර්නස්ටෝ චේ ගුවේරා, ඩෝර්ටිකෝස් ආදීන් සහ තවත් ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ගෙන ගිය විප්ලව සටනද මාක්ස් කියූ මාදිලියේ විප්ලවයක් නොවූවේය. ඇමරිකා භූමියේ එළිපත්තේදී ලබාගත් මෙම ජයග්‍රහණය ලොව පුරා සමාජවාදය සහ විප්ලවය අගය කරන්නන් අතර අසීමිත ආශ්වාදයකට මෙන්ම ධෛර්ය ගැන්වීමට සමත් වූවේය. මේ 1970 වන විට පැවති ජාත්‍යන්තර පසුබිමයි.
1935 දී ලංකා සමසමාජ පක්ෂය බිහිවීම ශ්‍රී ලංකාවේ විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයේ ආරම්භය ලෙස සටහන්වී තිබේ. දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භවීමෙන් පසු ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් එම පක්ෂයේ කණ්ඩායමක් ඉවත් කරනු ලැබීමෙන් පසු 1943 ජූලි මාසයේදී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරන ලදි. මෙම පක්ෂ දෙකම මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී කණ්ඩායම් වුවත් ඔව්හු කිසි විටෙක ශ්‍රී ලාංකීය සමාජවාදී විප්ලවය සිදුකිරීම සඳහා ඉදිරිපත් වූයේ නැත. එවැනි පසුබිමක් මෙරට මෝරා තිබුණේද නැත. පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කර ආසන සීමිත සංඛ්‍යාවක් දිනා ගනිමින් තම නායකත්වයෙන් ඇති වෘත්තීය සමිති සටන මෙහෙයවා ඉල්ලීම් සමහරක් දිනා ගැනීමට ඔවුහු හුරුවී සිටියහ. මෙම තත්ත්වය තවත් පෙරළියකට යොමු කෙරෙමින් 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට සම්බන්ධවීමට වමේ පක්ෂ දෙක තීරණය කිරීම එම පක්ෂ දෙක තුළ සිටි විප්ලවවාදය අනුමත කළ සහ පාර්ලිමේන්තු දේශපාලනය අගය නොකළ පිරිස්වල දැඩි විරෝධයට හේතු විය.
මේ වකවානුවේ ජාත්‍යන්තර කරළියේ අමුතු පෙරළියක් සිදුවෙමින් පැවතුණි. සෝවියට් රුසියාව සහ මහජන චීනය අතර න්‍යායික අරගලයක් පැනනැගීම එම කාරණයයි. කියුබාවට එරෙහිව ඇමරිකාව ගෙන ගිය ආක්‍රමණ ස්වරූපයේ කඩාකප්පල් ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එරටට න්‍යෂ්ටික අවි සැපයීමට සෝවියට් රුසියාව තීරණය කළාය. එසේ අවි රැගෙන එන යුද නැව් අත්ලාන්තික් සාගරයට ඇතුළු වූ වහාම ගිල්වා දමන බවට ඇමරිකාව තර්ජනය කරන්නට විය. තුන්වැනි ලෝක මහා සංග්‍රාමය මෙමගින් ආරම්භ වේ යැයි ලෝකයේ සියලු ජාතීහු බියෙන් සලිත වූහ. නොයෙක් අතරමැදියන්ගේ මාර්ගයෙන් පැවැත්වු සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලය වශයෙන් කියුබාවේ අභ්‍යන්තර කටයුතුවලට අතනොපොවා සිටීමට ඇමරිකාව පොරොන්දු වූ අතර කියුබාවට ආරක්ෂාව සැලසෙන්නේ නම් න්‍යෂ්ටික අවි අවශ්‍ය නොවන නිසා එම අවි ආපසු ගෙන යාමට රුසියාව එකඟ වූවාය.
කොමියුනිස්ට් ලෝකයේ නියමුවා වීමට අදහසින් සිටි චීනය මෙම ක්‍රියාව විග්‍රහ කළේ අධිරාජ්‍යවාදයට පරාජය වීමක් ලෙසය. අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකැයිද එය වනසා දමා ඒ මත සමාජවාදී ලෝකය ගොඩනැගිය යුතුයැයිද චීනය කියා සිටියේය. එමෙන්ම තුවක්කු බටයෙන් හැර සාමකාමීව විප්ලවය සාර්ථක කර ගැනීම දුෂ්කර කාර්යක් බවද චීන නායක මා ඕ ත්සේතුං තුමාගේ මතය විය. න්‍යෂ්ටික අවි පරිහරණය කරන ලෝකයක යුද්ධයක් ඇති වුවහොත් සමාජවාදය තබා කිසිම ප්‍රාණියෙකු ඉතිරි නොවන බවත් එනිසා සාමකාමී සහජීවනයෙන් යුතුව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත් සෝවියට් දේශය කියා සිටියාය. මෙම න්‍යායික අර්බුදය දිග්ගැස්සීම නිසා මෙම මත දෙක පිළිගන්නා අය මුළු ලොව පුරා කොමියුනිස්ට් ලෝකය දෙකඩවී ගියේය. බොහෝ කොමියුනිස්ට් පක්ෂ දෙකඩ විය. ලංකා කොමියුනිස්ට් පක්ෂයද පිල් දෙකක් විය. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, ඇම්. ජී. මැන්දිස්, සරත් මුත්තෙට්ටුවගම, එච්. ජී. ඇස්. රත්නවීර ආදී නායකයෝ සෝවියට් දේශයට පක්ෂ වූහ. වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඇන්. ශන්මුගදාසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ප්‍රේමලාල් කුමාරසිරි ආදී පිරිසක් චීන පිල වශයෙන් වෙනම සංවිධානය වූහ. බහුතරය පීටර් කෙනමන් පාර්ශවයට සහාය දුන් නමුදු චීන පිළටද විශාල පිරිසක් සම්බන්ධ වූහ. විශේෂයෙන් වෘත්තීය සමිතිවල කොටස් හා ශිෂ්‍ය සංවිධානවල විප්ලවකාරී හැඟීමෙන් යුතු අය විප්ලවයේ මග ගත්හ.
පනහ හැට දශකවලදී රුසියාව, චීනය ඇතුළු සමාජවාදී රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ශිෂ්‍යත්ව ලබා ගැනීමට තානාපති කාර්යාලවලට සිසුන් නිර්දේශ කළේ ලංකා කොමියුනිස්ට් පක්ෂයයි. පසුව ලුමුම්බා මිත්‍ර විශ්වවිද්‍යාලය නමින් හැඳින්වුණු එකල රුසියානු මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට මේ ආකාරයෙන් සිසුන් පිරිසක් යැවීමට කොමියුනිස්ට් පක්ෂය ක්‍රියා කළේය. මේ වන විට පක්ෂය භේදවී නොතිබුණි. මෙම පිරිස අතර මාතර කෝට්ටගොඩ පදිංචි නන්දසිරි විජේවීර නමැති සිසුවෙක්ද වූවේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් 1947 මහා මැතිවරණයේදී හක්මණ ආසනයට තරග කර ජයගත් ප්‍රේමලාල් කුමාරසිරි මහතාගේ ප්‍රධාන ආධාරකරුවෙකු වූ අන්දිරිස් විජේවීර මහතාගේ වැඩිමහල් පුත්‍රයාය. එම මැතිවරණයේදී ප්‍රතිවාදීන්ගේ පහර දීමකින් අන්දිරිස් මහතා බරපතළ ලෙස රෝගාතුරව ආබාධිතයෙකු බවට පත්වූ බව කියනු ලැබේ. එයට ප්‍රති උපකාරයක් වශයෙන් කොමියුනිස්ට් නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් නන්දසිරි විජේවීර සිසුවා වෛද්‍ය උපාධිය හැදෑරීම පිණිස සෝවියට් දේශයේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට පිටත් කර හරින ලද්දේ 1960 සැප්තැම්බර් මාසයේය. පියාගේ ආභාසය ඔස්සේ කොමියුනිස්ට් වාදයට ඇදී ගිය තරුණයෙකු වූ විජේවීර මහතා සෝවියට් දේශයේදී එම දර්ශනය මනාව හැදෑරුවේය. මාක්ස් ලෙනින්වාදය පිළිබඳ ගැඹුරු දැනුමකින් යුක්ත වූ ඔහු පෙර කී න්‍යායික අරගලයේදී චීනය නිවැරදියයි වටහා ගත්තේය. එම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද තරුණ විජේවීර පසුබට වූවේ නැත. රුසියාවේ අධ්‍යාපනය ලබමින් සිටියදීම චීනයට පක්ෂව අදහස් පළකිරීම වාර්තාවීමත් සමග රුසියානු බලධාරීහු පමණක් නොව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් නායකයෝද කෝපයට පත්වූහ. මෙම දුරදිග ගිය විරෝධය ගැන නොදැන සිටි ඔහු 1964 දී වාර්ෂික නිවාඩුව සඳහා ලංකාවට පැමිණියේය. ආපසු සෝවියට් දේශය බලා යාමට වීසා ඉල්ලූ නමුදු කොළඹ සෝවියට් තානාපති කාර්යාලය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ වෛද්‍ය අධ්‍යාපනය එතෙකින් නිමාවට පත්විය. විජේවීර තරුණයා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට සම්බන්ධව ඇන්. ශන්මුගද්‍රාසන් සහ ප්‍රේමලාල් කුමාරසිරි මහත්වරුන් සමග දේශපාලන ක්‍රියාකාරීත්වයේ යෙදුණේය. දක්ෂ කථිකයෙකු, දක්ෂ සංවිධායකයෙකු මෙන්ම මාක්ස් ලෙනින්වාදය සහ ලෝකයේ නව දේශපාලන ප්‍රවණතා ගැනද මනා අවබෝධයකින් යුතු දැනුමැත්තෙකුද වූ විජේවීර මහතාගේ සමීපවීම චීන පිලට මහත් ප්‍රතිලාභයක් වූවේය.
පාක්ෂිකයන් අතර ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්විය. එම ජනප්‍රියත්වය ශන්මුගදාසන් මහතාගේ නොසතුටට හේතු වූවාක් මෙන්ම තමා බලාපොරොත්තු වන විප්ලවය චීන පිලෙන්ද නොකෙරෙන බව විජේවීරයන්ට අවබෝධ වෙමින් තිබුණි. මෙම දෙපාර්ශ්වය අතර නොරුස්නාකම කඩිනමින් වර්ධනය වූ අතර එතැනින්ද පිටමංවීමට ඔහුට සිදු විය.
ශ්‍රී ලාංකීය සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීමේ අවංක බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නම් වූ නව විප්ලවවාදී දේශපාලන සංවිධානයක් බිහිකර එය ජනතාවට දායාද කිරීමට විජේවීරයන් සමත් වූවේය. එහෙත් පැවති වාමාංශික සම්ප්‍රදායික පක්ෂ හාන්සිපුටු නායකයන් යැයිද නොකෙරෙන විප්ලවයක් ගැන මැතදොඩමින් ධනපති ශ්‍රී.ල.නි.ප. සමග දීගකමින් ජනතාව රවටන්නේයැයි ද කියමින් එම පක්ෂ නිර්දය විවේචනයට ලක් කළේය. ළඟදී පිහිටුවන ලද සමඟි පෙරමුණු ආණ්ඩුවේ ඇමති ධුර දරමින් සිටි වාමාංශික නායකයෝද ජනතා විමුක්ති පෙරමුණට පෙරළා පහර ගැසූහ. සී.අයි.ඒ. සංවිධානයේ බළල් අතක් ලෙස ජ.වි.පෙ. ක්‍රියා කරන බවට ඔවුහු චෝදනා කළහ. කෙසේ වුවත් කියුබානු ආදර්ශය අනුව කුඩා පිරිසකගෙන් සමන්විතව මොන්කාඩෝ බැරැක්කයට පහර දුන්නා වැනි ආයුධ ලබාගෙන රජයට පහර එල්ල කිරීම මගින් රාජ්‍ය අල්ලා ගැනීම මෙම පිරිසේ ඉලක්කය විය. විශේෂයෙන් ග්‍රාමීය තරුණ කොටසක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් න්‍යායාත්මකව දැනුම්වත්කොට ඔවුන් මගින් ප්‍රහාරය එල්ල කිරීම අරමුණ විය. තමන්ගේ මතවාදය දේශන පහකට ගොනු කර තරුණයන් අතර ඉතා ව්‍යක්ත ලෙස ප්‍රචාරය කිරීමට ජ.වි.පෙ පුරෝගාමීහු කටයුතු කළහ. උගත් තරුණ පිරිසට රැකියා නොලැබීම නිසා අසහනයට පත් උපාධිධාරීහු මෙන්ම තමන්ගේ අධ්‍යාපනයෙන් පසු පැහැදිලි අනාගතයක් නොපෙනෙන බැවින් අපේෂා භංගත්වයෙන් යුතු උපාධි අපේක්ෂකයෝද කුල මල ආදී සමාජ විෂමතා නිසා කලකිරීමට පත් දකුණු පළාතේ තරුණ පිරිස්ද ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව මෙම සංවිධානයට ඇදී ආහ.
පොලිසියෙන් පැහැර ගැනීමට සැලසුම් කළ ආයුධවලට අමතරව යම් පමණක ආයුධ තොගයක් තනා ගැනීමට ද විධිවිධාන යෙදූහ. සමස්ත ලංකාව තුළම පිහිටි පොලිස් ස්ථානවලට පහර දී එක් රැයකින් යටත්කර ගැනීම සැලසුමේ හරය විය. දිස්ත්‍රික්ක සියල්ලම මෙහෙයවීම සඳහා නායකයන් පත්කර තිබුණි. නොයෙකුත් හේතූන් නිසා මතභේද ඇතිවීම සිදුවුණා වුවත් ඉතිහාසයේ ඊට පෙර නොවූ විරූ ප්‍රහාරයකට හා ඔවුන්ගේ වචනවලින් විප්ලවයක් දියත් කිරීමට මෙම පිරිස සමත් වූහ. කියුබානු සමාජවාදී විප්ලවය පරමාදර්ශය කොටගෙන ඇරඹුණු නිසා මෙම ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූවන් සමහර පාර්ශ්ව විසින් හඳුන්වන ලද්දේ චේ ගුවේරා කල්ලිය යනුවෙනි. ඔවුහු ආඩම්බරයෙන් යුතුව එම නාමය වැලඳ ගත්හ. නන්දසිරි විජේවීර නායකයාගේ නාමය රෝහණ විජේවීර ලෙස වෙනස් කරගෙන තිබුණි. එය විප්ලවවාදී සහ ගරිල්ලා සටන්වල යෙදෙන බොහෝ දෙනෙකුගේ ආරක්ෂක උපක්‍රමයක් බව පසුව ලැබුණු අත්දැකීම් අනුව වටහාගත හැකි කරුණක් විය.
ජනතා විමුක්ති පෙරමුණ යනු හුදෙක්ම නායකයා වටා සංකේන්ද්‍රණය වූ ආයතන ව්‍යුහයක් සහිත දේශපාලන සංවිධානයක් විය. එහි න්‍යායාචාර්යවරයා මෙන්ම සැලසුම් කරුවාද රෝහණ විජේවීර මහතා විය. වෙනත් වචනවලින් කියතොත් ජවිපෙ හි මහ මොළය මෙන්ම හදවත වූවේද ඔහුය. මෙය සමහර පාක්ෂිකයන්ගේ නොසතුටට හේතු වූ බවද නොරහසකි. පසුකාලීනව සිදුවූ නොයෙක් සිදුවීම්වලට එම තත්ත්වය මහත් සේ බලපෑ ආකාරය දැක ගැනීමට හැකි විය.
1970 ආරම්භය වන විට ජ.විපෙ අතු පතර මෙන්ම දස දෙසට විහිදී ගිය මූලමණ්ඩලකින් ද යුතු මහා වනස්පති වෘක්ෂයක් බවට පත්ව තිබුණි. ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සඳහා සටන් වැදීමට සූදානම් වූ දහස් ගණන් තරුණයෝ ඉතා උනන්දුවකින් සටන් කාමිත්වයෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් යුතුව එහි සෙවණට ඇදී ආහ. පක්ෂය විසින් පවත්වන ලද චිරප්‍රසිද්ධ පන්ති පහට සහභාගි වූ බොහෝ තරුණයන් දේශපාලන දැනුමෙන්ද සන්නද්ධව සිටියහ. 1. ආර්ථික අර්බුදය 2. නිදහස 3. ඉන්දියානු ව්‍යාප්තවාදය (4) ලංකාවේ වාමාංශික ව්‍යාපාරය (5) ලංකාවේ විප්ලවය ගතයුතු මග යන මාතෘකා යටතේ පැවති එම පන්ති පහ බොහෝ විට පැවැත්වීමට සිදුවූවේ රහසිගතවය. රජයට එරෙහිව යම් කිසි දෙයක් සිදුවෙමින් පවතින බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබෙන්නට විය. ආයුධ තැනීම, රැස්කිරීම, පැහැර ගැනීමද සිදු විය. රාජ්‍යයේ උකුසු ඇස මේ කෙරෙහි යොමු විය. පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. එයට පෙර 1970 සැප්තැම්බර් 29 වැනි දින මහනුවර බෝගම්බර පිටියේත්, 1971 පෙබරවාරි 27 වැනිදා කොළඹ හයිඞ් පිටියේත් පවත්වන ලද දැවැන්ත මහා රැලි දෙක මෙරට සම්ප්‍රදායික දේශපාලනය උඩුයටිකුරු කරන්නක් විය. ඒවාට සහභාගී වූ දසදහස් සංඛ්‍යාත තරුණ තරුණියන් තාරුණ්‍යයේ ශක්තිය විවෘතවම ප්‍රදර්ශනය කළහ. “මව්බිම නැතිනම් මරණය යන උද්වේගකාරී සටන් පාඨයෙන් සිය පන්ති කැපවීම ප්‍රකාශ කළ මොවුහු අධිරාජ්‍යවාදයට ධනේශ්වරවාදයට සූරාකෑමට හා සම්ප්‍රදායක වමේ දේශපාලනයට ද එකවිට අභියෝග කළහ. එනපොට හොඳ නැති බවත් නොපමාව පියවරක් නොගතහොත් බලවත් අසීරුවකට මුහුණ දීමට සිදුවන බවත් රජය වටහා ගත්තේය. විප්ලවය සිදු කිරීමට ආයුධ තනා ගන්නා ලෙස උපදෙස් දීම නිසා රට පුරා බෝම්බ තැනීම ආරම්භ විය. මෙයින් කෑගල්ල ප්‍රදේශයේ ඇසළමුල්ල නම් ගමේදී බෝම්බ නිපදවමින් සිටියදී පිපිරීමක් ඇතිවීමෙන් තරුණයන් පස් දෙනෙකුට ජීවිතය අහිමි විය. මෙවැනි තවත් සිදුවීම් වාර්තා විය. රජය නොපමාව හදිසි නීතිය පනවා රාජ්‍ය විරෝධීන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේය.
මර්දනය ආරම්භ වූ බවත් එයට පෙර පහරදීම සිදු කළ යුතු බවත් ජවිපෙ තීරණය කළ අතර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විජේවීරයන් සිරභාරයේ සිටිමින්ම පක්ෂයට දැනුම් දුන්නේය. පහර දීම් සිදු විය යුත්තේ අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ බවටද තීරණය කර තිබුණි. මෙම තීන්දුව දැන්වීමේදී සිදු වූ යම් කිසි අතපසුවීමක් හෝ කුමන්ත්‍රණකාරී පියවරක් නිසා හතර වැනි දින රාත්‍රියේ එනම් පස්වැනි දින අලුයම වැල්ලවාය පොලිසියට පහර දී තිබුණි. එය රජයට ලැබුණු වාසියක් විය. ඉදිරියේදී තවත් පහරදීම් සිදුවිය හැකි බව වටහා ගත් රජය සීරුවෙන් සිටින ලෙස පොලිසියටත් ආරක්ෂක හමුදාවටත් නියෝග කළේය. අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ ජ.වි.පෙ නිල ප්‍රහාරය ඇරඹෙන විට සෑම පොලිසියක්ම සිටියේ ආයුධ සන්නද්ධව ප්‍රහාරකයන් එනතුරු මග බලාගෙනය.
එතැන් සිට ආරම්භ වූවේ සිවිල් යුද්ධයකි. මෙම යුගයේ රජයේ ආරක්ෂක අංශවලට පවා මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සෑහෙන පමණ ආයුධ බලයක් තිබුණේ නැත. අඩු පාඩු මැද ඔවුහු ක්‍රියාත්මක වූහ. විදේශ ආධාර ද ලබා ගත්හ. රාජ්‍ය මර්දනය ඇරඹුණි. සිරභාරයට ගැනීම් ප්‍රශ්න කිරීම් ඒ සඳහා කොතෙකුත් ඇති විය. ව්‍යාපාරය මෙසේ විනාශ කර දැමීමට පෙර සටන් වැදීම අත්‍යවශ්‍ය විය. එහෙත් ධනේශ්වර රාජ්‍යයට එරෙහිව සටන් වැදීමේදී තිබිය යුතු ආයුධ හා ආර්ථික ශක්තිය ඔවුන් වෙත නොතිබුණු බව පසුව අධිකරණයේදී හෙළි විය. ඒ සියල්ල පිළිබඳව අවධානය යොමුව පැවති නමුදු සාර්ථකව පැවතී නැත. පක්ෂයේ හිතවතෙකු වූ විරාජ් ප්‍රනාන්දු මහතා විදේශ ආධාර ලබා ගැනීම ගැන යම් කිසි කටයුතුවල යෙදී තිබුණි. එහෙත් යමක් ලැබී තිබුණේ නැත.
අප්‍රේල් 05 වැනිදා පහර දීම් ඇරඹුණි. පෙර දිනයේ වැල්ලවාය පොලිසියට පහර දෙනු ලැබීම නිසා පොලිසිය සිටියේ සූදානමින් මගබලාගෙනය. එනිසා සමස්තයක් වශයෙන් ප්‍රහාරය අසාර්ථක විය. එහෙත් පොලිසි කීපයකට දැඩි ලෙස පහර දීමට ලක්කර තිබුණි. මෙවැනි අඩුපාඩු සහ අවාසිකර තත්ත්වයන් යටතේ වුවද ඇල්පිටිය, කතරගම, කෑගල්ල, දෙණියාය ආදී සමහර ප්‍රදේශ අල්ලාගෙන දින කීපයක් පාලනය කිරීමටද ජවිපෙ සමහර පිරිස්වලට හැකියාව ලැබුණු බවද අමතක කළ යුතු නොවේ.
මෙම අරගලයේ කතාව මෙයට වඩා අති දීර්ඝය. එමෙන්ම අතිශය සංකීර්ණය. එහි ඓතිහාසිකමය වැදගත් කමද සුවිශේෂීය. විශාල තරුණ පිරිසක් මියපරලොව ගියහ. ශ්‍රී ලංකා ධරණීතලය රටට ආදරය කළ එහෙත් නිසි සැලසුමක් හා අවශ්‍ය පමණ ශක්තියක් නොමැතිව සටනට අවතීරණවීමේ දෛවයේ නියමය වැලඳගත් ඒ අවංක තරුණයින්ගේ කකියන රුධිරයෙන් තෙත්වී ගියේය. කෑගල්ලේ ඇසලමුල්ලේ බෝම්බ පිපිරීමට පසුව ශරීරය විනාශවී මස් වැදලි එල්ලෙද්දී තමනට අවනත නැති අත් ඉහළට ඔසවා එම තරුණයන් දෙදෙනෙකු මරුවැළඳගත්තේ විප්ලවයට ජයවේවා කියමිනි. ඔවුන්ගේ අවංක කැපවීම එබඳුය.
එක්දහස් අටසීය හතළිස් අටේදී පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, හඟුරන්කෙත ඩිංගිරාල ආදී අපමණ විරුවන්ගේ නායකත්වයෙන් දියත් වූ මෙරට දෙවැනි විමුක්ති අරගලයට පසුව ලංකාවේ සිදුවූ ආයුධ සන්නද්ධ ප්‍රථම සටන 1971 අප්‍රේල් 5 වැනි දින සිදුවූ මෙම ඓතිහාසික සංසිද්ධියයි. වසර 46ක් ගෙවී ගොස් ඇත. එදා භද්‍ර යෞවනයේ සිටිමින් වුවද වෙනස් දේශපාලන මත දැරීම නිසා මෙම සටනට දායකත්වය නොදැක්වූ මා වැන්නෙකුට මෙම සටන විවේචනය කිරීමට අයිතියක් නැත. කළ හැක්කේ දන්නා පමණින් සිද්ධිය සටහන් කිරීම පමණකි.
සෝමසිරි වික්‍රමසිංහ