සම සමාජ නායකයන්ගේ අලුත් නවාතැන


 

 

ආණ්ඩුකාරවරයා විසින් 1940 ජුනි 3 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ආරක්ෂක හදිසි නීතිය යටතේ ජුනි 17 වැනිදා නිකුත් කරන ලද නියෝගයට අනුව අත්අඩංගුවට ගත යුතුව තිබූ ලෙස්ලි ගුණවර්ධන 1941 මැයි දක්වාම අත්අඩංගුවට ගැනීමට හිරු නොබසින අධිරාජ්‍යයේ ආඥා චක්‍රයට යටත් ලංකාණ්ඩුවට නොහැකි විය. පොලිස්පති රොබින්සන් මේ ගැන ආණ්ඩුකාරවරයාට මෙන්ම යටත්විජිත මහ ලේකම්වරයාට ද සිය නොහැකියාව ගැන සඳහන් වාර්තා ගණනාවක්ම යවා තිබිණි.


1941 මැයි 14 වැනිදා කේ. ඩී. රොබින්සන් දන්වා සිටියේ ඉතා නුදුරේදීම ඔහු අත්අඩංගුවට ගන්නා බවය. එහෙත් එය ඉටු නොවූ අපේක්ෂාවක්ම විය.


අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ ලෙස්ලි ගුණවර්ධනයන්ගෙන් පළිගැනීමට තීරණය කළ බි්‍රතාන්‍ය ආණ්ඩුවට ලෙස්ලි ගුණවර්ධනගේ නමින් තිබූ සියලු චංචල සහ නිශ්චල දේපොළ රාජසන්තක කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඇතැම් දේපොළ එසේ පවරාගන්නා ලදී.


එන්න එන්නම තත්ත්වය නරක අතට හැරිණ. ලෙස්ලි අල්ලා ගැනීමට පොලිසිය යෙදූ මුරකාවල් තර විය. මෙබඳු පරිසරයක් යටතේ තවදුරටත් මෙහි රැඳී සිටියොත් නිසැකවම පොලිසියට අසු වී හිර ගෙදර යාමට සිදුවිය හැකි නිසා ලෙස්ලිගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයෝ බිය වූහ. යම් විදියකින් ඔහු අල්ලා ගතහොත් පක්ෂයේ සංවිධාන කටයුතුවලට එයින් ලොකු බාධාවක් විය හැකි බව පෙනිණි. මේ නිසා ඉන්දියාවට පැන ගතහොත් වඩා ප්‍රවේශම් සහිත යැයි ඔවුනට අවබෝධ විය. 


මේ වන විට හෙක්ටර් අබේවර්ධන, වී. කරාලසිංහම්, බර්නාඞ් සොයිසා සහ ඇන්තනි පිල්ලෙයි යන අය ඉන්දියාවට පැනගොස් සිටියහ. මේ නිසා ලෙස්ලි එහි යාම නුවණට හුරු යැයි සියලු දෙනාම උපදෙස් දුන්හ.


ලෙස්ලිගේ ගමන තීරණය විය.


වෙල්වෙටිතුරෙයි හරහා රුවල් බෝට්ටුවකින් ගමන පිළියෙල විය. නීතිඥයකු වූ කනගරත්නම් කලින් එහි ගොස් අවශ්‍ය ස්ථාන ආදිය සොයා බලා පැමිණියේය.


අවුරුද්දකටත් වැඩි කාලයක් අඳුරේ සැඟවී සිටීම නිසා ලෙස්ලිගේ මුළු සිරුරම වෙනස් වී තිබිණ. ඉන්දියාවට ගොඩබැස්සාට පසු දිය බිබිලිවලින් මුළු සිරුරම වැසී යන්නට විය. දිගු කාලයක් දිය බිබිලිවලට වෙදකම් කොට යාන්තම් සුව අතට හැරිණ. මදුරාසියේ දාදර් ප්‍රදේශයේ නවාතැනක්ද ඔහුට ලැබිණි. 


මේ කාලයේ කොළඹ වැල්ලවත්තේ රෙදි මෝලේ විශාල වැඩ වර්ජනයක් පැවැත්වුණි. රටේ හැම තැනකම සම සමාජ පක්ෂයේ මෙහෙයවීම යටතේ කම්කරු උද්ඝෝෂණ මතුවන්නට විය. රජයට විශාල අනතුරකට මුහුණපෑමට මේ නිසා සිදුවිය.


කුළුඳුල් දියණියට අවුරුද්දකුත් මාස දෙකක් තිබියදී විවියන්ද සිය සැමියා සොයාගෙන ඉන්දියාවට ගියාය. මෙරට හැම තැනකම මුරකාවල් දමා විවියන් ගැන සෝදිසියෙන් සිටි අතර ඔවුනට බියෙන් හැමදාම කටයුතු සිදු කිරීමට සිදුවීම මහත් කරදරයක් විය. ඇලන් මෙන්ඩිස්ගේ භාර්යාව ලෙසින් විවියන් සහ දියණිය රටින් පැන යන්නට බැලුවාය. මණ්ඩපන්හිදී කෝච්චියෙන් බසින විට ලෙස්ලිගේ ඥාතියකු වන දුම්රිය ස්ථානාධිපතිවරයාට නොපෙනෙන්නට ඔහු යනතුරු වැසිකිළියකට වී ඇය සැඟවී සිටියාය. ලෙස්ලි හමු වූ විවියන් එහිදී නම් වෙනස් කොට ඉන්දියානු යුවළක් ලෙසින් කල් ගත කළාය.


දිනය 1940 ජුනි 18 වැනිදාය. අනුරාධපුර රුවන්වැලි සෑයේ කොත පලඳවන ලද්දේ ද එදාය. බොරැල්ලේ ටිකල් පාරේ නිවසක පදිංචිව සිටි ඇන්. ඇම්. ට වැදගත් පණිවිඩයක් ලැබිණි. වහාම මෝටර් රථයට නැඟුණු ඔහු රෙජී පෙරේරාගේ නිවසේදී ජැක් කොතලාවල හමු වුණේය. එදිනම සම සමාජ නායකයන් සිර භාරයට ගන්නා බව දැනුම් දුන්නේය. ආපසු නිවසට ළඟාවන විට නුපුරුදු දෙයක් ඔහුට දක්නට ලැබුණි. නිවසට යාර කිහිපයක් ඔබ්බෙහි පොලිස් රථයක් නවත්වා ඇත. බොනට්ටුව හැරගත් කිහිප දෙනෙක් එහි කාර්මික දෝෂයක් ගැන විමසිලිමත් වෙති. මෙය මොහොතකින් තමන් අත්අඩංගුවට ගන්නට පැමිණි පිරිසක් බව දැනගත් ඔහු ගමනට සූදානම් විය.


අලුත්කඬේ උසාවියේ නඩුවකට පෙනී සිටියදී පක්ෂයේ සභාපති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අත්අඩංගුවට ගැනිණ. අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන එදිනම සන්ධ්‍යා භාගයේදී අත්අඩංගුවට පත්විය.

 

 


එඞ්මන්ඞ් සමරක්කොඩි ගල්කිස්සේදී සිර භාරයට පත්විය. කොළොන්නාවේ පිහිටි සම සමාජ මුද්‍රණාලයට කඩාවැදුණු පොලිස් බළඇණියක් එය පරීක්ෂා කොට සමහර ලිපි ලේඛන සියතට ගෙන මුද්‍රණාලයට සීල් තැබීය.


මුද්‍රණාලයට සීල් තැබුවද නායකයන් සිරගත කරනු ලැබූවද ‘සම සමාජ” පත්‍රය නිතිපතා පළවන්නට විය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් වූ පත්‍රයේ ප්‍රධාන කර්තා වූයේ හෙන්රි පීරිස්ය. ඔහුගේ අත් පිටපත වර්ණ යෝජකයින් ලවා අමුණාගැනීමේ සිට පත්‍රය මුද්‍රණය වනතුරුත් යන්ත්‍රවල හඬ පිටතට නොඇසෙන්නට ග්‍රැමෆෝන හඬ නිකුත් විය.
ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, එඞ්මන්ඞ් සමරක්කොඩි යන සතර දෙනා ලංකාවේ පළමුවැනි දේශපාලන සිරකරුවන් බවට පත්වූහ. දේශපාලන සිරකරුවන්ද රිමාන්ඞ් සිරකරුවන් හැටියට සැලකිය නොහැක. තවද වරදක් කළා ද යන්න ගැන චෝදනාවක් නොවීය. සෙසු සිරකරුවන්ගෙන් වෙන්කොට වැලිකඩ සිරගෙදර උඩ තට්ටුවේ ‘එච්’ කොටසේ කුඩා කාමරයක් මොවුනට වෙන්විය. දවසේ පැය විසිහතරෙන් දහ අටක්ම අඳුරු කාමරයේ සිටීමටද සිදුවිය. ඔවුන් එළියට ගනු ලැබූයේ අනෙක් සිරකරුවන් හමු නොවන ඉර මුදුන් යාමයේය.


අමුත්තන් හමුවීම, ලියුම්කියුම් යැවීම ආදිය සම්බන්ධයෙන් අනෙක් සිරකරුවන්ට නැති අවහිරකම්වලට මොවුනට මුහුණපෑමට සිදුවිය. මෙම අමානුෂික සැලකිලි දේශපාලන සිරකරුවන්ට දැක්වීම ගැන මැති සබයේදීත් ඉන් පිටතදීත් උද්ඝෝෂණ ගෙනයාමට සම සමාජවාදීන් ගත් ප්‍රයත්නයක් නිසා මහනුවර විශේෂ සිර මැදිරියකට ඔවුන් යොමු කෙරිණ.
වැලිකඩ සිර ගෙදරට වඩා බෝගම්බර සිර ගෙදර තත්ත්වය මඳක් යහපත් විය. ආහාර ගැනීමට තැනක්, කියැවීමට පොත්පත්, ක්‍රීඩා පහසුකම් ලැබිණ. මේ සමගම අනෙකුත් සිරකරුවන් සමගත් නිලධාරින් සමගත් එක්වීමට අවස්ථාව ලැබිණ.

 

 

නන්දසේන සූරියආරච්චි ලියූ “ඇන්.ඇම්.” කෘතියෙනි