1935 දෙසැම්බර් මස 19 වැනිදා මෙරට නිර්ධන පන්තියේ ජනතාවට අමතක නොවන දිනයකි. සුදු අධිරාජ්‍යවාදී පාලනයෙන් හෙම්බන්ව සිටි ලක්වැසි ජනතාවගේ හදගැස්ම වටහාගත් මානව වාදීන් පිරිසක් විසින් අපේ රටට පූර්ණ නිදහස සහ සමාජවාදය ළඟාකර දීමේ අරමුණින් බිහිකළ නව පක්‍ෂය එදා කලඑළි දුටුවේය.
ඒ ලංකා සම සමාජ පක්‍ෂයයි. එහි පුරෝගාමියා වූයේ එසේ මෙසේ කෙනෙකු නොවේ. වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂයක් බඳු වූ බොරළුගොඩ පරපුරේ ප්‍රධානියා වූ දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන හෙවත් බොරළුගොඩ රාලහාමිගේ පුත්‍රයා වූ පිලිප් රූපසිංහ ගුණවර්ධනය.
බාල, තරුණ, මහලු පරපුර ඔහු හඳුනන්නේ පිලිප් ගුණවර්ධන නොහොත් බොරළුගොඩ සිංහයා යන අන්වර්ථ නාමයෙනි. සිංහල බෞද්ධකමට තදින් ඇලුම් කළ බොරළුගොඩ රාලහාමි ඇරඹූ ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මිශ්‍ර පාසල පසුව වේල්ස් කුමාර විදුහලටත්, කොළඹ ආනන්ද විදුහලටත් අනුබද්ධ වූ අතර පිලිප් පුතා ඉගෙනුම ලැබුවේත් එම පාසලේය. එබැවින් ඉංග්‍රීසි මෙන්ම සිංහල ද පිලිප් ට ප්‍රගුණ විය.
උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගිය පිලිප් ඇමරිකාවේ මෙන්ම බි්‍රතාන්‍යයේ ජාතිවාදී හා වර්ගවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව පැවති විරෝධතා පෙළපාළිවලට එක්විය. එංගලන්තයේ ඉන්දියානු ශිෂ්‍ය සංගමයේ වාම විපක්‍ෂය හෙවත් ට්‍රොස්කිවාදී කණ්ඩායම හා එක් වූ ඔහුගේ සටන් සගයන් වූයේ ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි, වික්‍රමසිංහ වැනි අයය.
1915 දී පිලිප්ගේ පියා හෙවත් බොරළුගොඩ රාලහාමි රාජ උදහසට ලක්විය. ඒ සිංහල - මුස්ලිම් ජාතිවාදී කෝලහාල සමයේය. ඔහු සිරගතකොට මරණ දණ්ඩනයට ලක් කිරීමට කටයුතු යොදා තිබියදී පිලිප් පුතු ආණ්ඩුකාරවරයාට අභියාචනයක් ඉදිරිපත් කර පියා බේරා ගත්තේය. එවකට කොළඹ දකුණ තරුණ සමිතිය පිලිප් වැනි නව අදහස් ඇති තරුණ කණ්ඩායම්වල තෝතැන්නක් විය. ලෝක සංග්‍රාමයට දායක වූ සෙබළුන් සමරා ඇරඹූ පොපිමල් ව්‍යාපාරයට එරෙහිව වමේ නායකයන් ඇරඹූ සූරියමල් ව්‍යාපාරය තුළින් සමාජවාදී සමාජ ක්‍රමයක් හඳුන්වාදීමට පිලිප් ඇතුළු සගයෝ උත්සාහ කළහ.
1934 දී තුන් කෝරලේ පැතිර ගිය මැලේරියා උණ වසංගතයෙන් පීඩාවට පත් ජනතාව අතරට ගිය ඔවුහු රෝගීන්ට ප්‍රතිකාර කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදී ඔවුන් සන්තර්පණය කළහ. බොරළුගොඩ වලව්ව මෙම ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය විය. අලුත් පක්‍ෂය වූ ලංකා සමසමාජය දේශපාලන ප්‍රවාහයට එක්වූයේ 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට තරග වදිමිනි.
හේවාගම් කෝරලයේ අවිස්සාවේල්ල රදල බළකොටුව නියෝජනය කළ පොරැස්ටර් ඔබේසේකර පරදා පිලිප් ගුණවර්ධන ජය ගත්තේය. පිලිප්ගේ සගයා වූ ඇන්. ඇම්. පෙරේරා අතින් පරාදය වූයේ රුවන්වැල්ලේ ඇඞ්ලින් මොලමුරේය.
මෙරට ඇළදොළ ගංගා ඇසුරෙන් ජල විදුලිය නිපදවා බලශක්තිකරණය කිරීම තුළින් කෘෂිකර්මාන්තය පෝෂණය කරලීමේ යෝජනා ඒ අතර විය. මෙතෙක් රටේ ප්‍රාදේශීය පාලනයට අදාළ වූ ගම්මුලාදෑනි හා රටේ මහත්තයා වැනි නිලතල අහෝසි කිරීමේ යෝජනාව පිලිප් සහ ඇන්. ඇම්. විසින් ගෙන එනු ලැබ සම්මත විය. මෙතෙක් තමා විසින් රැකගත් ගම්මුලාදෑනි තනතුරින් පිලිප්ගේ පියා වූ බොරළුගොඩ රාලහාමි ද ඉල්ලා අස්වූයේ පුතුගේ තීරණයට රට වෙනුවෙන් හිස නමමිනි.
වමේ නායකයන්ගේ ජයග්‍රහණ හමුවේ ධනවාදී කඳවුර නිහඬව නොසිටියහ. ඔවුන්ගේ රැලිවලට පහර එල්ල වුණි. වමේ සටන් සෙබළු ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. එවැනි සිද්ධියක් හෝමාගම දී සිදුවිය. හෝමාගම වමේ රැලිය කඩාකප්පල් කිරීමට පැමිණි පිරිසට වමේ අය ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර අයෙකුට පිහියෙන් ඇන්නේ යැයි පිලිප්ට චෝදනා එල්ල විය. කොල්වින් එහි විත්තියේ සාක්‍ෂිකරු වූ අතර නීතිඥ ආර්. එල්. පෙරේරාගේ තර්ක හමුවේ පිලිප් නිදහස ලැබීය.
මෙරට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි බ්‍රෙස්ගර්ඩල් නමැත්තාට එරෙහිව ආණ්ඩුව ඔහු මෙරටින් පිටුවහල් කිරීමට ආඥාවක් ලබාගත්තේය. පිලිප් ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගත් අතර බ්‍රෙස්ගර්ඩල් වෙරළුගස්වත්තේ ගල්ලෙනක හා බදුල්ලේ කඩ කාමරයක සඟවා තබා ආරක්‍ෂාව සැපයූවේය. පිටුවහල් කිරීමට නියෝග ලබා සිටි රොබට් බි්‍රස්ගේඞ්ල් ගාලු මුවදොර සමසමාජ රැලියේ වේදිකාවට නංවා ජනතාව ඇමතීමට කටයුතු සලසා තිබිණි. මෙය ආරංචි වූ පොලිසිය වහා රැස්වීම් සැසිය වැටලූ නමුත් ඒ වනවිට ඔහු සඟවා රැගෙන යාමට පිලිප් සමත්විය.
දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ එනම් 1940 ජුනි 18 වැනිදා අධිරාජ්‍ය විරෝධී චෝදනා මත ලංකා සමාසමාජ පක්‍ෂ නායකයන් අත්අඩංගුවට ගැනිණ. පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, එඞ්මන් වැනි සහෝදර නායකයන් බෝගම්බර බන්ධනාගාර ගත කෙරිණ. හිරගෙය තුළින් පිලිප් අරගලයේ ඊළඟ පියවර තැබීය.
ජේලර් සොලමන්ගේ උපකාරය ද ඇතිව පිලිප් සහ සගයෝ සිරගෙදරින් පලා ගියහ. එතැන් පටන් පොලිස් ඇසින් සහ සුදු සොල්දාදුවන්ගේ උණ්ඩයෙන් බේරෙමින් ඔවුන් ගත කළේ තීරණාත්මක අවධියකි. ශ්‍රී ලංකාවෙන් පලාගිය සටන්කරුවෝ ඉන්දීය නිදහස් සටනට එක්වූහ. ඒ සඳහා පිලිප් සහ කුසුමාට එකිනෙකාගෙන් වෙන්ව වෙස්වළාගෙන ජීවත්වීමට සිදුවිය. වෙනත් නම්වලින් හඳුන්වා දෙමින් ඔවුන් ගත කළ දිවිය සිනමා පටයක් මෙන් චමත්කාරය. බිහිසුණුය. අවසානයේ කුසුමා පිලිප් හමුවීමට ගියේ තෙප්පමක නැගී දිවි පරදුවට තබමිනි.
ජයප්‍රකාශ් නාරායන්ගේ සමාජවාදී පක්‍ෂයට එක්වූ පිලිප් මහත්මා ගාන්ධිගේ උපදෙස් අනුව සංවිධානය වූ අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව්‍යාපාරයට සහය දුන්නේය.
1943 ජූලි 13 වැනිදා පිල්ප්, කුසුමා සහ ඔවුන්ගේ පුත් ඉන්දික සමග බොම්බායේ දී අත්අඩංගුවට පත් වූ අතර සිරගෙයි රඳවා සිට මෙරටට එවූහ. එහෙත් සිරගෙයින් පැන යාමේ චෝදනා මත මෙරට දී බරපතළ වැඩ ඇතිව සිරගත කළ පිලිප් ඇතුළු පිරිසට සමාවක් ලැබුණේ 1945 මැයි 30 දරන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී සම්මත වීමෙනි.
එම පනත ගෙන ආවේ ඒ. පී. ජයසූරිය මැතිඳුන් විසිනි. එහෙත් බි්‍රතාන්‍යයෙන් නම් ඔවුන්ට සමාව නොලැබිණ. එනිසා දින 14 ක් පුරා සිරගෙය තුළ පැවැත් වූ උපවාසයෙන් පසු සමසමාජ නායකයන් නිදහස් කෙරිණ.
ජාතික වීරයන් සේ සැලකුණු මෙම සටන් නියමුවෝ බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව කම්කරු ජනතාව ඒකරාශී කරන්නට වූහ.
1947 සමස්ත කම්කරුවෝම මහා වැඩ වැරුමකට අවතීර්ණ වූහ. පිලිප් රත්මලානේ සවුත් වෙස්ටර්න් බස් රථ සමාගමේ වර්ජනයට නායකත්වය දුන්නේය.
“බස් යනවා නම් මගේ සිරුර උඩින් පලයල්ලා”
එදා පිලිප් ප්‍රධාන දොරටුව අසල වැතුරුණේය.
එම වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවිස්සාවේල්ල ආසනය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගත් පිලිප්ට නීතිය හරස් විය. බස් සේවකයන් වර්ජනයට පෙලඹවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් කළ පිලිප්ට තුන් මසක සිර දඬුවමක් නියම කෙරිණ.
අනතුරුට අවිස්සාවේල්ල අසුන සඳහා වූ තරගයට නාමයෝජනා භාර දුන් කුසුමා ගුණවර්ධන පිලිප්ගේ නාමයෙන් පාර්ලිමේන්තුවට ගියේ නිතරඟයෙනි. 1952 දී පිලිප්ගේ ප්‍රජා අයිතිය අහිමි වූ නිසා යළිත් අයට මන්ත්‍රී වරම් ලැබිණ.
මහජන එක්සත් පෙරමුණ බිහිකිරීමට පිලිප්ගේ දේශපාලන දර්ශනයට අන්තිමේදී හැකිවිය. 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු මැදුම් පිළිවෙත ගරු කළ දේශපාලන බලවේග ද ඒකරාශී කරගෙන මහජන එක්සත් පෙරමුණ මහ මැතිවරණයට මුහුණ දුන් අතර ඉන් ලද විශිෂ්ට ජනතා ජයග්‍රහණය තුළින් සමාජවාදී ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කිරීමට හැකිවිය.
මේ හැම පියවරක් තුළම පිලිප්ගේ දායකත්වය පැවතිණ. කටුනායක, ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරු ඉවත් කිරීම, සිංහල රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම, වැනි එඩිතර පියවර ද කුඹුරු පනත හඳුන්වාදීම, කෘෂිකර්මය පිළිබඳ දස අවුරුදු සැලැස්ම තුළින් කෘෂි ආර්ථිකය ගොඩ නැංවීම යන පියවර ගනු ලැබුවේ එම රජයේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධනයන්ගේ යෝජනා පරිදිය. සමුපකාර සංවර්ධන බැංකුව පිහිටුවා ගොවීන්ට ණය ආධාර ලබාදීම, වරාය ජනසතු කිරීම තුළින් සමාගම් ජාලය අහෝසි වී රැකියා උත්පාදනය වීම, බස් ජනසතුව වැනි සමාජවාදී පියවර ගනු ලැබුවේ පිලිප් ඇතුළු සමාජවාදීන් පැතූ ස්වශක්තිය මත නැගී සිටින දේශීය ආර්ථිකයක් බිහි කරමිනි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි