සම සමාජයට පිට පිට ජයග්‍රහණ


 

දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා වාරයේදී ශ්‍රී ලංකාවාසී පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඇන්. ඇම්. සහ පිලිප් ගෙන ගිය දැවැන්ත මෙහෙවර අතිශය වැදගත් වූවක් විය. ඔවුන් හඬ නැඟුයේ දැක්මක් උදෙසා වූ යහ පාලනයක් මෙරට ප්‍රතිෂ්ඨාපනය කරනු උදෙසාය. යෝජනාවේ මෙසේ සඳහන් විය. 


“මේ සභාවේ අදහසේ හැටියට ඉන්දියානුවන් රජයේ ආධාර ඇතිව තවදුරටත් මේ රටේ යහපතට අදාළ නොවන බැවින් ඒ කම්කරුවන් ගෙන්වන බලපත්‍ර කිසිම විදියකින් නොදෙන ලෙස මෙම සභාව කම්කරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටී.” 


මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙහිලා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට අදහස හටගත්තේ 1848 වර්ෂයේ සිට ඉන්දියානු වතු කම්කරුවන් ගෙන්වීමට බි්‍රතාන්‍ය ආණ්ඩුවට යටත්වැසි ලංකාණ්ඩුව ගත් තීරණය හේතුවෙන් 1868 වර්ෂය දක්වා හතර ලක්ෂයක් ගෙන්වා තිබීමයි. මෙතෙක් කලක් මුළුල්ලේ කෘෂි ආර්ථික රටාවකට යොමුවෙමින් තිබුණු මෙරට ආර්ථික රටාව තේ, කෝපි වගාවට යොමු කරමින් කන්ද උඩරට ජනතාවගේ ඉඩම් සිලිම් ගණනට පනම් ගණනට අත්පත් කර ගැනීමත් සමඟ තමන්ට හිමිව තිබූ පාරම්පරික ඉඩකඩම්වල කුලීකරුවන් වීමට අභීත සිංහලයෝ නොකැමැති වූහ. තම ආදායම් උපද්දා ගත හැක්කේ තවත් යටත් විජිතයක්ව පැවැති ඉන්දියානුවන් මෙහි ගෙනැවිත් වහලුන් මෙන් වැඩ ගැනීම වූ හෙයින් අතිශය බැරෑරුම් සමාජගත ප්‍රශ්න රැසක් ගොඩනැඟෙන්නට පටන් ගති. 


ඇන්. ඇම්. ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරි දොස්තර වැන්ඩොට්ගේ වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාව අනුව මෙරට 1867 දක්වා ගෙන්වූ ඉන්දියානු කම්කරුවන්ගෙන් හාරලක්ෂ හැටහතරදහසක් ආහාර හා වෛද්‍යාධාර නොමැති වීමෙන් අතරමඟදී මරණයට පත්වූ බව සටහන්ව තිබිණ. එයින් නොනැවතී වතු කම්කරුවන් තුණ්ඩු ක්‍රමයට ගෙන්වා ගැනීමත් වතු යායේ අයිතිකරුවන් එම වියපැහැදම් නොගෙවා වෙනත් වතුයායකට හෝ සිය රටට යෑමට තැත් කළහොත් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබාදීමට හැකියාව තිබිණ. ස්වාමියාට අවශ්‍ය වේලාවක සේවකයකු සේවයෙන් පහකළ හැකි වුවත් සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට නම් මාසයක් කල් දිය යුතු විය. එසේම කලින් වැඩ කළ වත්තේ ස්වාමියාගේ ලිඛිත අවසරයක් නැතිව වෙනත් වත්තක කම්කරු සේවයට නොගත්තේය. 


මෙම වහල් මෙහෙය තුරන් කිරීම උදෙසා මෙන්ම ඉන්දියානු වතු කම්කරුවන් ගෙන්වීමට විරුද්ධව මන්ත්‍රණ සභාවේදී මහ හඬක් නැඟුණේ ඇන්. ඇම්. අතිනි. එදා ඇන්. ඇම්. කර්මාන්ත හා කම්කරු වෙළෙඳ කාරක සභාවේ සිටි නිසා යුරෝපීය වතු හිමියන් ඉන්දියානු කම්කරුවන් ගෙන්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ගත හැකි නොවීය. එහෙත් එම යෝජනාව කම්කරු ඇමති ජී. සී. එස්. කොරයා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත හැකි විය. 


මෙහිදී මෙරට තේ සහ රබර් වතුවලට අවශ්‍ය වන තිස්දහසක් පමණ වූ කම්කරු පිරිස ලංකාවේ කම්කරුවන්ගෙන් පුරවාගත නොහැකි බව යුරෝපීය වතුකාරයන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටි ඇමැතිවරු ප්‍රකාශ කරන්නට වූහ. එයට එරෙහිව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඇන්. ඇම්. මෙරට රැකියා නැති ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් සිටින බව පෙන්වා දුනි. අවශ්‍ය කම්කරු පිරිස් ලාංකිකයන්ගෙන්ම පුරවා ගන්නා ලෙසට ඇන්. ඇම්. ගෙන ආ යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද පහක් පමණි. එකී පස් දෙනා නම් පිලිප් ගුණවර්ධන, ඩී. එම්. රාජපක්‍ෂ, ඒ. ඊ. ගුණසිංහ, බී. එච්. අළුවිහාරේ සහ ඇන්. ඇම්. පෙරේරාය. විසි නව දෙනෙක් යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. 


සමසමාජ පක්ෂය මඟින් සකස් කළ යෝජනා කිහිපයක් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේ පිලිප් ගුණවර්ධනය. එකී යෝජනාවන් මෙසේය. නිවෙස්වල හෝ ආයතනවල ළමා සේවකයන් සේවයේ යෙදීම තහනම් කිරීම, පහළ පන්තිවල සිසුන්ට නොමිලයේ පොත්පත් සැපයීම, පාසල් සිසුන්ට දහවල් ආහාර සහ කිරි සැපයීම, නොමිලේ තණ බිම් සැපයීම, දිය බද්ද අහෝසි කිරීම, සියලුම සේවකයන්ට පැය අටක වැඩ දිනයක් ඇති කිරීම, පහළ උසාවිවල සහ පොලිස් ස්ථානවල කටයුතු සිංහල දෙමළ භාෂාවලින් කිරීම එබඳු යෝජනා කිහිපයකි. 


නිරන්තරව ඇන්. ඇම්. සහ පිලිප් යන සමසමාජ මන්ත්‍රීවරුන් මන්ත්‍රණ සභාවේ නැඟූ හඬ ඉක්මවා යාමට අනෙකුත් ලාංකික මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් කිසිවකුටත් නොහැකි විය. මෙතෙක් පැවැති විදානාරච්චි ක්‍රමය වෙනුවට ගම්මුලාදෑනි තනතුර ඇති කරන ලද්දේ ද සමසමාජ පක්‍ෂයේ පිලිප් ගෙන ආ යෝජනාවක ප්‍රතිඵල වශයෙනි. 


විදානාරච්චි ක්‍රමය ගැන පිලිප් තුළ ප්‍රායෝගික අත්දැකීමක් තිබුණි. එය තම පියා විදානාරච්චි කෙනෙකු වූ හෙයිනි. නිතර නිතර ගෙදරට එන විදානාරච්චිවරුන්ගේ හැසිරීම්, ක්‍රියා පිළිවෙත් තුළින් මුළු මහත් ප්‍රදේශයක්ම ඔවුන් සිය අණසකට යටත්කොටගෙන සමාජය පීඩාවට පත්කරන ප්‍රබල පිරිසක් මෙන්ම අධිරාජ්‍ය ගැති පාලනය ඉදිරියට ගෙනයාමට ප්‍රදේශවාසීන්ද හවුල් කරගන්නා පිරිසක් ලෙස ඔහු එය දිටීය. 1937 අවුරුද්දේ විදානාරච්චි ක්‍රමය වෙනස් කළ යුතු යැයි පිලිප් මන්ත්‍රණ සභාවට යෝජනාවක් ගෙනාවේය. 


රටේ මහත්වරුන්, කෝරාළවරුන්, විදානාරච්චිවරුන්, ජාතියේ ප්‍රාණය බඳු තරුණ කොටස් උන්මත්තකයන් කරන ජාතික ආර්ථිකය තම මව්බිමෙන් බැහැර කරන රටට අනවශ්‍ය පිරිසක් වන හෙයින් ආරච්චි ක්‍රමය වහාම නතර කළ යුතු යැයි ඔහු මන්ත්‍රණ සභාවේදී උදාහරණ සහිතව කරුණු දැක්වීය. මන්ත්‍රණ සභාවේ ගැලරියෙහි සිටි බොරළුගොඩ රාලහාමි තම පුතා කියන දේ අසා සිටියේ දැඩි සංවේගයකිනි. 


බොරළුගොඩ රාලහාමි මන්ත්‍රණ සභා ගොඩනැඟිල්ලෙන් එළියට බැස්සේ දැඩි තීරණයක් ගෙනය. ඔහු කෙළින්ම ගියේ කච්චේරියටය.


බොරළුගොඩ රාලහාමි කොළඹ කච්චේරියට පැමිණෙන්නේ කුමක් හෝ හදිසි කටයුත්තකට බව එහි සේවකයෝ දැනගෙන සිටියහ. ආචාර සමාචාර පවත්වා දිසාපතිවරයා වෙත ගිය එක් සේවකයකු මොහොතක් නතර වන ලෙසට බොරළුගොඩ රාලහාමිට කීවේ විදානාරච්චිවරුන් කිහිප දෙනෙක් දිසාපතිවරයා සමඟ කතාබහක යෙදී සිටින බව දැක්වූ හෙයිනි. 


කඩුකස්තාන රිදී බොත්තම් හැඳ පැලඳ උජාරුවට දිසාපතිවරයාගේ කාමරයෙන් පිටතට එන විදානාරච්චිවරුන් එතැනින් පිටවන තුරු බොරළුගොඩ රාලහාමි බලා සිටියේ දැඩි පිළිකුලකිනි.


දිසාපති නිල කාමරයට බොරළුගොඩ රාලහාමි පිවිසේය. 


“බොරළුගොඩ මොකද මේ හදිස්සියේ?” දිසාපති ඇසීය. 


“මේ ලියමනක් භාර දෙන්න ආවා.” 


දිසාපතිගේ දෙබැම ඉහළට යැවිණ. දෙතුන් වතාවක් බොරළුගොඩ රාලහාමිනේ නිලයෙන් අස්වීමේ ලිපිය කියැවීය. 


“කිසිම පැමිණිල්ලක් නැති පළාතක්. ඇයි මේ වගේ හදිසි තීරණයක් ගත්තේ?”


“දිසාපතිතුමා දන්නේ නැද්ද අපේ කොල්ලො රටේ මිනිස්සු දැනුම්වත් කරනව. මේ කෝට් කබායවල් දැක්කම උන්නෙ ඇඟේ ලේ රත්වෙනව. මේව මට වටින්නෙ නෑ. අපිට රටක් ගොඩනඟන්න තියෙනව. කොල්ලො යන්නෙ හරි පාරක. මමත් උන්ට උදව් කරනව. කරුණාකරල මගේ ඉල්ලා අස්වීම භාර ගන්න.”


සමසමාජයේ පිලිප් තම පියා පළමුව අවනත කොට පසුව මුළු සමාජ පද්ධතියම උඩු යටිකුරු කරන්නට පියවර ගත්තේය.