දකුණට ජීවය දුන් හිණිදුම සෙනෙවියා-2
ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට අතපොත් තැබූ මාතරගේ සිරිසේන අමරසිරි මහතා ඔහුගේ සාර්ථක දේශපාලන ගමන් මග පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙසේය.
“මම මුලින්ම ලංකා සමසමාජ පක්ෂය සමග සම්බන්ධතා ගොඩනැගුවේ නාවලපිටිය මධ්‍යම ලංකා බස් රථ සමාගමේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කළ යුගයේදී තමයි.
ඒ කාලේ ලංකා සමසමාජ පක්ෂයට හිතැති යූ. නවරත්න සහෝදරයා මට මුණගැසුණා. යූ. නවරත්න සහෝදරයා සමග එකතු වී අපි වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න නිතර නිතර සාකච්ඡා කළා. ඒ අතර විශ්වවිද්‍යාලයේ සිටි ඩොරික් ද සූසා සහෝදරයා ඇවිත් නාවලපිටියේ හෝටලයක උඩ තට්ටුවේ කාමරයක ඉතා රහසිගතව සම්මන්ත්‍රණ පැවැත්වුවා. ඒ සාකච්ඡාවලට මමද සහභාගි වුණා. ඒ සාකච්ඡාවල රහසිගත බව රැක ගැනීමට ද අපි සියලු දෙනා වගබලා ගත්තා. සමසමාජ පක්ෂය පළ කළ පුවත්පත් බෙදා හැරීමත් අපි රහසිගතව කළා. 1947 දී පැවැති සමස්ත ලංකා මහා වැඩවර්ජනයේදී මධ්‍යම ලංකා බස් රථ සමාගමේ සේවකයින් සමග මමද වැඩ වර්ජනයට සහභාගි වුණා. ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වය ඇතිව අපගේ ඉල්ලීම් බොහෝමයක් සාර්ථකව ඉටුකර ගත්තා. මේ අවදියේම තමයි ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ ලංකා වතු කම්කරු සමිතිය සමගත් මගේ සම්බන්ධතා ඇති වන්නේ. මේ හේතූන් මත තරුණයෙකු වූ මගේ සිත සමසමාජ දේශපාලනයට මෙන්ම වතු වෘත්තීය සමිති අංශය කෙරෙහි යොමු වුණා. 1950 දී මා නාවලපිටිය මධ්‍යම ලංකා බස් රථ සමාගමෙන් අස්වී මාපලගම මගේ ගම් ප්‍රදේශයට පැමිණුනා.
ගම් ප්‍රදේශයට පැමිණීමෙන් පසු ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු වන නීල් ද අල්විස් මහතා සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති කර ගත්තා. මුලින්ම ලංකා සමසමාජ පක්ෂයේ තරුණ සමිති පටන් ගත්තා. ඒ අනුව මාපලගම, අලුත් තානායම්ගොඩ සමසමාජ තරුණ සමිතිය ආරම්භ කර එහි සභාපතිවරයා වශයෙන් මම පත් වුණා.
ලේකම් එම්. දොන් දයාසේන සහෝදරයාත්, උපසභාපති ලෙස විල්සන් පොන්නම්පෙරුම සහෝදරයාත් පත්වුණා. අපි කවුරුත් වමේ ව්‍යාපාරයට එකතු වුණේ විශේෂයෙන් සුදු වතු අධිරාජ්‍යවාදීන්ට එරෙහිවයි. අපේ මාලපගම ගම වටවෙලා තිබුණේ අධිරාජ්‍යවාදී සමාගම්වලට අයිති විශාල වතුවලින් තමයි. මගේ මතකයේ හැටියට කාවිල් වත්තට අක්කර 800 ක් තිබුණා. නාකියාදෙණිය වත්ත අක්කර 10,000 ක්. මාපලගම වතුයාය අක්කර 900ක්. තල්ගස්වලවත්ත අක්කර 2000. ගමේ මිනිස්සුන්ට වගා කරන්න ඉඩම් තිබුණේ නැහැ.
මේ වතුවල අධිකාරිවරුන් වූ සුදු මහත්වරුන්ගෙන් අපේ ගම්වල මිනිස්සුන්ට තාඩන පීඩනවලට ලක්වෙන්න සිද්ධ වුණා. වතුවල වැඩ කරන මිනිස්සුන්ගෙන් අධික වෙලාවක් වැඩ ගත්තා. හරියට පඩි දුන්නේ නැහැ. ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන වතුකාරයින්ගේ වහලුන් වශයෙන් තමයි අපේ මිනිසුන්ට සැලකුවේ වැඩ ගත්තේ. මේ අවදියේදී තමයි මම පරණතානායම්ගොඩ ග්‍රාමාරක්ෂක සමිතියේ සභාපති වශයෙන් පත්වන්නේ.
මේ කාලේ පරණතානායම්ගොඩ ගම්වාසීන්ට සහ මාපලගම ගම්වාසීන්ට උඩුගම රෝහලට යන්න පාරක් තිබුණේ නැහැ. ඒ කාලේ රෝහලට ලෙඩෙකු ගෙන ගියේ හාන්සි පුටුවක ලෙඩා වාඩි කර හාන්සි පුටුව දෙපැත්තෙන් කඹ වලින් බැඳ මැදින් උණ ගසක් ඇතුළු කර දෙදෙනෙකු විසින් උණගස දෙපැත්තෙන් උස්සාගෙන ඒ කුඩා අඩි පාරවල් දිගේ ඇළ වල්වලින් එගොඩ වී උඩුගම රෝහලට ගෙන ගිය බවයි මා දැනගෙන හිටියේ. මේ තත්ත්වය වෙනස් කරන්න නොයෙක් උත්සාහ දැරුවා. අන්තිමේදී ගම්වාසීන් එකතු වී උඩුගම හෝම දොළ වත්තේ වතු අධිකාරි සුදු ජාතික ඒ. පී. පීටර්සන් මහතා හමුවීමට ගියා ඒ නියෝජිත පිරිසට මමත් ගියා. අපගේ ප්‍රධාන ඉල්ලීම වුණේ මාපලගම සිට උඩුගම දක්වා යන පාර පළල් කිරීමටයි. ඒකට තමයි වතු අධිකාරිවරයා ගෙන් අවසර ඉල්ලුවේ.
රබර් ගස්වලට හානියක් නොකර ගම්වාසීන්ට වාහනයක් ගෙන යා හැකි පරිදි මේ පාර සකස් කර ගැනීමට ඕනෑ කම තිබුණා. ඒ. පී. පීටර්සන් නමැති සුදු ජාතික මහත්මයා අපේ ඉල්ලීමට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ 1952 ජූලි මාසේ ඇසළ පෝය දිනයේ ගම්වාසීන් එකතු වෙලා මේ පාර කපන්න සූදානම් කර ගත්තා. 500 ක් විතර ගම්වාසීන් එකතු වෙලා උදලු, අලවංගු ආදිය අරගෙන වැඬේට සූදානම් වුණා. පාර කපන්න ඉස්සෙල්ලා ගමේ පන්සලේ හාමුදුරුවෝ නියාගම සාරානන්ද ලොකු හාමුදුරුවෝ අපිට පන්සිල් දුන්නා. පන්සිල් දීලා වැඬේ පටන් ගත්තා. වැඬේ පටන් ගෙන අවසන් වෙන්න ඉස්සෙල්ලා වත්තේ සුදු මහත්තයා මේ ස්ථානයට ආවා. ඇවිල්ලා අපිට තර්ජනය කළා. ඉංග්‍රීසියෙන් බැන්නා. මටත් තදින් දොස් කියා පොලිසියට අල්ලා දෙන බව පවසා ඔහු පිටත්වෙලා ගියා.
පස්සේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ට්‍රක් රථයකින් මේ ස්ථානයට ආවා. මේ වන විට අපි පාර කපලා බොහෝ දෙනා ගෙවල්වලට ගිහිල්ලා. නමුත් මම ඇතුළු කීප දෙනෙක් මේ ස්ථානයේ රැඳී සිටියා පොලිස් භටයින් 30ක් පමණ මාංචු ගෝනියකුත් අරගෙන තමයි මේ ස්ථානයට ආවේ. මා ඇතු`එ පිරිසක් අත්අඩංගුවට අරගෙන නාගොඩ පොලිසියට එක්ක ගෙන ආවා.
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්‍රීවරයාව සිටි නීල් ද අල්විස් මහතා පැමිණ මා ඇතු`එ පිරිසට ඇපදීලා නිදහස් කර ගත්තා. පස්සේ අපි 76 දෙනෙකු විත්තිකරුවන් කර නඩුවක් ගාල්ල උසාවියේ පවරලා තිබුණා. ඒ දවස්වල පුවත්පත්වලින් පවා මේ නඩුවට ප්‍රසිද්ධියක් දීලා තිබුණේ ‘ගාල්ලේ මහ නඩුව’ යනුවෙන් තමයි.
මේ නඩුව කීප වතාවක් ඇහුවා. මේ නඩුවේ චෝදනාව වුණේ බලහත්කාරයෙන් වත්තට ඇතුළු වී අලාභහානි කිරීම සහ කැරලි ගැසීම යන චෝදනා තමයි. ඒ දවස්වල මේ නඩු දිනයට ගාල්ලේ උසාවිය හිනිඳුම ගැමියන්ගෙන් පිරිලා. අන්තිමේදී උසාවි තීන්දුව වුණේ ගමේ පැරණි පාරක් අලුත් වැඩියා කිරීම බවයි. අපි 76 දෙනාම නිදහස් වුණා. ඊට පස්සේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් මම ඇතුළු පිරිසට පුළුවන් වුණා නියම විදිහට පාර කපලා පොදු පාරක් වශයෙන් මේ පාර උඩුගම දක්වා දීර්ඝ කරන්න. මේ නඩුවට අපේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කතා කළා.
මේ නඩුවෙන් අපි සියලු දෙනාම නිදහස්වීම මුළු ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයම ලබපු ජයග්‍රහණයක්. හොඳ චේතනාවෙන් පොදු යහපත සඳහා ඇතිකර ගන්න අරමුණු කවදාවත් පරාජය වෙන්නේ නැති බව මේ නඩු තීන්දුවෙන් අපි ඉගෙන ගත්තා.”
“මේ සිදුවීමෙන් පස්සේ පොදු ජන සේවයට මගේ තිබුණ උනන්දුව වැඩි වෙන්න පටන් ගත්තා.
මේ අවධියේ මම හා පුරා කියා දේශපාලනයට පිවිසෙන්න අදහස් කළා. මගේ දේශපාලන අදහස් වැඩිපුරම බරවුණේ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්තිවලට තමයි. මේ අනුව 1954 වසරේදී පැවැති නාගොඩ ගම්සභා මැතිවරණයේදී අලුත්තානායම්ගොඩ මහජන නියෝජිතයා. දැන් මම නාගොඩ ගම්සභාවේ ගම්සභා නියෝජිතයෙක්. මගේ ඊළඟ ඉලක්කය වුණේ ගම්සභාපති ධුරය සඳහා තරග කිරීමයි. මේක ප්‍රබල අභියෝගයක්. ඒකට හේතු මම සමසමාජයෙන් දේශපාලනය කිරීමයි. මම ගම්සභාපති ධුරය සඳහා තරග බිමට ආවා. ගමේ හිටපු බලපුළුවන්කාර හැම කෙනෙක්ම මට විරුද්ධව මගේ ප්‍රතිවාදීන්ට උදව් කරන්න ඉදිරිපත් වුණා.
මෙතැනදී මට තිබුණු එකම නුසුදුසුකම වුණේ වයසින් ළාබාලයෙකු වීම පමණයි. ගම්සභාපති තරගයට දින කීපයකට පෙර ගම්සභා මන්ත්‍රීවරු 7 දෙනෙකු සමග අනුරාධපුර වන්දනාවේ යෑමට තීරණය කළා. යෞවන අවධියේ වුණත් ආගමික පැත්තට මගේ දැඩි නැඹුරුවක් තිබුණේ මගේ මවගෙන් ලද ආභාසය නිසයි. මම ගම්සභාපති ධුරයට තරග කිරීමට විරුද්ධ පිරිසක් ගාල්ලේ ඉඳලා අනුරාධපුරය දක්වා අපේ වාහනය ලුහුබැඳලා තියෙනවා. ශ්‍රී මහා බෝධිය අසලදී මේ පිරිස හදිසියේම අපේ කණ්ඩායම වෙත කඩාපැන මාව ඔවුන් සිටිය රථයට බලහත්කාරයෙන් දමාගෙන පැහැර ගෙන යෑමට තැත් කළා. එතැනදී ඇති වුණේ විශාල කෝලාහලයක්.
තවත් කොටසක් ලබන සතියට...
මහින්ද ආරියවංශ