සම සමාජයේ හවුල්කරුවෝ


 

පුළුල් වූ දේශපාලන අවබෝධයක් පොදු ජනතාව තුළ නොතිබුණු රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයෙහි මෙරට පාලන තන්ත්‍රයෙහි නිෂේධ බලය අත්පත් කරගෙන තිබුණේ අධිරාජ්‍යවාදී පාලකයන් හා ඔවුන්ගේ යටත් සේවක පිරිසක් ලෙසින් සිටි අමැති මණ්ඩලයකි. බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මුළු දේශයම සතුව පැවැති ආර්ථිකය මෙහෙය වීමට ඔවුන්ට හිතැති වතු වගාකරුවෝ මෙම සශ්‍රීක භූමියෙහි හිමිකරුවන් පමණක් නොව වතු වගාව හා සම්බන්ධ ප්‍රදේශයන්හි නිල නොලත් පාලකයෝ ද වූහ. 


තවත් අතකින් රදල බලය හා එක්වුණු මුලාදෑනි කණ්ඩායම පොදු ජනතාව කෙරෙහි විවිධාකාර බලපෑම් එල්ල කරමින් සිටියහ. විදෙස් අධ්‍යාපනය ලැබ මතු වී නැගීගෙන එන මිනිස් සංහතියේ හදගැස්ම ළං කර ගත් බුද්ධිමතුන් පිරිසකගේ නායකත්වයෙන් මතුව ආ සමසමාජ ව්‍යාපාරය ඉහත කී ආක්‍රමණිකයන්ට මෙල්ල කර ගැනීම අපහසු වූයේ සුළු කලක් ඇතුළත වුවද ජාතිකාභිමානය සිත්හි දරාගත් දෑහිතකාමී පිරිසක් මෙම නායකත්වය සමග එක් වී දිවි පරදුවට තබා ඉදිරියට පැමිණෙමින් සිටි හෙයිනි. 


අවම වශයෙන් පොදු ජනතාව ඒකරාශී කොට ජාතියේ ඉදිරි ගමන ගැන ඔවුන් දැනුම්වත් කිරීමටවත් එකී බලවේග සමසමාජ නායකත්වයට ඉඩ නොතබමින් ඉදිරියට පැමිණියේ නිසැකවම පවත්නා පාලන ක්‍රමය සුළු කලක් ඇතුළත දී විනාශ කර දැමීමට තරම් බලවේගයක් මේ වන විටත් අළුයට ගිනි මෙන් කැකෑරෙමින් තිබුණු හෙයිනි. 


හෝමාගම, බුලත්කොහුපිටිය, ලෝලුවාගොඩ, මීරිගම, නාත්තණ්ඩිය, මාදම්පේ ආදී ප්‍රදේශවල සමසමාජවාදීන් මෙහෙය වූ මහජන රැස්වීම් කඩාකප්පල් කිරීමට මැරවර බලය මුළුමනින්ම යෙදවීමට රදල ධනපති දේශපාලකයෝ කටයුතු කළහ. එහෙත් ආත්ම පරිත්‍යාගයෙන් ඉදිරියට පැමිණි ප්‍රදේශ බද හිතකාමීන් නිසාම සුළු සුළු ගැටුම් ඇති වුවද මහජනතාවට සත්‍යය හඬගා කියන්නට මොවුනට හැකි විය. 


දරුණු ගැටුම් මෙකී රැස්වීම්වලදී ඇති විය හැකි හෙයින් පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණත් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරනු ලැබුවේ මැරවරයන්ගේ ජීවිතාරක්ෂාව වීම මෙහිදී දැක ගත හැකි වූ සුවිශේෂී ලක්ෂණයකි. බුලත්කොහුපිටියේ පැවැති රැස්වීම්වලදී පොලිස් නිලධාරීන් බලා සිටියදීම සමසමාජ නායකයින්ගේ මෝටර් රථවලට අලාභ හානි සිදු කෙරිණි. අනවසරයෙන් ඉඩ කඩම්වලට ඇතුළුවීම යන චෝදනාව යටතේ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු සමසමාජ නායකයින්ට විරුද්ධව නඩු පැවරිණි. මෙම නඩුව විභාග කෙරුණේ කෑගල්ලේ උසාවියේදීය. සිදු වන්නේ කුමන ප්‍රතිඵලයක් ද යන්න දැන ගැනීමට දහස් ගණනක් ජනතාව උසාවි භූමියට රැස්ව සිටියහ. විත්තිකරුවෝ නිදහස් වූහ. ඒ නිසාම මේ පිළිබඳ කිසිදු පුවත්පතක තොරතුරක් පළ නොවූයේ මුද්‍රිත මාධ්‍ය සියල්ලම තම අණසකට යටත් කර ගැනීමට පාලක පක්ෂයට හැකිව තිබූ හෙයිනි. 
1939 පෙබරවාරි 29 වැනිදා හෝමාගම නගරයේ රැස්වීමක් පවත්වන බවට සමසමාජ පක්ෂය කල්තබාම ප්‍රදේශවාසීන් දැනුම්වත් කර තිබිණි. රැස්වීම ආරම්භ වන්නට සුළු වේලාවකට පෙර නළා පිඹිමින්, දවුල්, තම්මැට්ටම් හඬවමින් පෙරහරක් රැස්වීම් භූමිය අසලට පැමිණෙමින් තිබිණ. පෙරහරේ ගමන් ගත් පිරිසේ වැඩි දෙනකු අත කඩු, කිණිසි ද තිබිණ. 


පිලිප් ගුණවර්ධනගේ සොහොයුරු රොබට් මේ වන විට සමසමාජය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ පුද්ගලයෙකි. ඇන්. ඇම්. සමසමාජ පක්ෂයේ නායකයා වුවද පිලිප් ගුණවර්ධන මෙන්ම රොබට් ගුණවර්ධන  ද පක්ෂය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු මෙකී බලවේගයට එක්තැන් වූ ආකාරය පිළිබඳව ද ඇත්තේ අපූරු කතා ප්‍රවෘත්තීන්ය. 


පිලිප් ගුණවර්ධන එතෙර අධ්‍යාපනයට මෙරටින් බැහැරව ගියේ 1922 අවුරුද්දේය. ඒ වන විට රොබට් ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ අන් සියලු දෙනාට වඩා කැපීපෙනෙන පුද්ගලයකුව සිටියේය. ආනන්දයේ ක්‍රීඩා පිටියේ සිය අණසක පතුරවාලන්නට රොබට් සමත්ව සිටියේය. තමාගේ සම වයස් හි වූ කොලු පිරිස සතු දේහ ශක්තිය, වාග් ශක්තිය ඉක්මවා ගිය කොලු ගැටයකු වූ රොබට් ගුරුතුමකු දුටු විට පියා මවට මෙන් ගරු සත්කාර දැක්වීම පුරුද්දක්කොට ගෙන සිටියේය. 

 


ආනන්දයේ කැඩෙට් භට කණ්ඩායමට රොබට් නම් කරන ලද්දේ පිලිප් ඇමෙරිකාවට ගිය දිනය පසු කර දින කිහිපයක් ගත වූ පසුවය. දියතලාවේ යුද අභ්‍යාස විද්‍යාලයේ ද සති කිහිපයක්  පැවැති පාඨමාලාව තරමක දුෂ්කර වූවක් විය. අවි භාවිතය එතරම් ප්‍රචලිතව නොතිබුණු ඒ සමයේ ශරීර ශක්තිය විසින් තමාට එරෙහිව එන පසමිතුරකු මෙල්ල කිරීමට ඇති උපක්‍රම ක්‍රමවත්ව හා විධිමත්ව මෙහිදී ප්‍රගුණ කෙරිණි. දියතලාවේ පුහුණුව ලැබ ආපසු කොළඹට පැමිණෙන තම සහෝදර සිසුන් අඟුරු කෝච්චියෙන් මොහොතින් මොහොත විසිර එන ගල් අඟුරු කුඩුවලින් බේරෙන්නට හිස් පාත් කරගෙන සැණෙකින් කඳුවැටි බලමින් විනෝදයෙන් එන අයුරු රොබට් දුටුවේය. 


“මල්ලිලා මෙහෙවරෙල්ලා අපි ඉගෙන ගත්ත දේවල්වලින් වැඩක් තියෙන්නත් එපායැ.” අපි පුංචි පහේ සෙල්ලමක් කරමු. 


“උඹල ඔක්කොම එක පැත්තක. මම අනිත් පැත්තේ කවුද දිනන්නේ කියලා බලමු.” 


රොබට්ගේ අභියෝගය මිතුරෝ භාර ගත්හ. කෝච්චි පෙට්ටිය එකම පොරපිටියක් විය. රොබට් තම සගයන් සියලු දෙනාම මොහොතක් ගත වන්නටත් මත්තෙන් මෙල්ල කර ගත්තේය. 


ආනන්දයේ මුළු ශිෂ්‍ය පිරිසම රොබට් සමග එක්ව සිටියහ. නේවාසිකාගාරය පාලනය වන්නේ ඔහුගේ අනුදැනුම අනුවය. කිසිදු ශිෂ්‍යයෙකුට කවර ආකාරයක හෝ අකටයුත්තක් සිදු නොවීමට ඔහු වගා බලා ගත්තේය. 


ඉතාමත් අහිංසක ශිෂ්‍යයෙකු ගාල්ල නාගොඩ පළාතෙන් පැමිණ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිට ඉගෙනුම් කටයුතුවල නියුක්තව සිටියේය. ඔහු පිළිබඳව විදුහල්පතිවරයාට විවිධ අංශවලින් පැමිණිලි ලැබී තිබිණි. ඒ ඔහු අතිදක්ෂ ශිෂ්‍යයකු වීමත්, විදුහලේ ඇතැම් ගුරුවරුන්ගේ ළමයින්ට වඩා ඔහු පෙරමුණ ගෙන සිටීමත් නිසාය. කිසිදු කරුණක් විභාග නොකළ ගුරුවරයා ඔහුට නේවාසිකාගාරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබුණි. 


“අයියෙ මාව මෙතැනින් එළවලා දාලා. මම ගෙදර යන්නේ නෑ. මේක ප්‍රින්සිපල් කරපු වැරැද්දක්. මාව කොහේ හරි නවත්වන්න” ඔහු රොබට් හමු වී බැගෑපත් විය. 
“මල්ලි බය වෙන්න එපා. මටත් ඕන ප්‍රින්සිපල්ට පාඩමක් උගන්නන්න.” රොබට් තම මිතුරන් කිහිපදෙනෙකු සමග කතා බහ කොට රැය එළිවන්නට මත්තෙන් එම ශිෂ්‍යයා කහවත්තට රැගෙන ගියේය. එතැන දිනක් නතර කොට තලවාකැලේට ගොස් ආපසු කොළඹ පිහිටි තම හිතවතකුගේ නිවසක නතර කළේය. 


විදුහල්පතිගේ ලිපිය ලැබුණු නේවාසිකාගාරය තහනම් කළ ශිෂ්‍යයාගේ දෙමාපියන් පාසලට පැමිණියේ දරුවා රැගෙන ගොස් වෙනත් නේවාසිකාගාරයක නතර කිරීමටය. එහෙත් දෙමාපියන්ට දෙන්නට ළමයකු නේවාසිකාගාරයේ නොවීය. මෙහි මුළු වගකීමම තමා සතුව පවතින බව තේරුම් ගත් විදුහල්පතිවරයා මෙහි විසඳුම ඇත්තේ දඟකාරයකු වූ රොබට් සතුව බව වටහා ගත්තේය. 


“රොබට් මම මේ අන්තිම වතාවටයි කියන්නේ. අර ළමයා හෙට උදේ වෙනකොට හොයලා දෙන්න ඕන. මට ආරංචියි වෙච්ච ඔක්කොම.” 


“මම හොයලා බලන්නම්කෝ.” 


පසුවදා අතරමං වූ ළමයා විදුහල්පතිවරයා ඉදිරියට පැමිණියේය. බ්‍රෙස්ගර්ඞ්ල් සඟවා තැබීමටත් පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, එඞ්මන්ඞ් සිර ගෙදරින් පිටමං කිරීමටත් මේ අත්දැකීම් ඔහුට පසුකාලීනව පිටිවහලක් විය. 


හෝමාගම පැවැති සමසමාජ රැලියේදී මැරවර බලයට එරෙහිව රොබට්ගේ නායකත්වයෙන් යුත් ස්වේච්ඡා සේවක කණ්ඩායම එදා ඉදිරිපත් නොවිණි නම් මැරවර බලය රජවී මුළු රටේම ඉදිරි ගමන් මඟ වෙනතකට පත්ව යනු නොඅනුමානය.

 

 

නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි