සම්භාවනීය නීතිපති පදවියේ දේශපාලන පුරාණය


 

 

  • මෙරට පැවති බි්‍රතාන්‍ය ප්‍රදේශ සඳහා එවකට මෙරට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඞ්රික් නෝත් විසින් 1801 දී ජේම්ස් ඩන්කින් නීතිපති ධුරයට පත්කළ බව වාර්තාගතව තිබේ. එදා සිට මේ දක්වා බි්‍රතාන්‍යයන් 26 දෙනෙක් නීතිපති පදවියේ කටයුතු කළහ. එහෙත් 1936 දී පත්වූ වැලිගම ජෝන් විලියම් රොනල්ඞ් ඉලංගකෝන් මහතා මෙම ධුරයට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සලකනු ලැබේ.
  • නීතිපතිවරයා යනු රජය පාර්ශ්වයේ ප්‍රධාන නීති නිලධාරියාය. රාජ්‍යයේ ඕනෑම බලවතෙකු හෝ නිලධාරියෙකු විසින් කරන ලද රාජකාරිමය වරදක් හෝ නීත්‍යානුකූලව කළ යුතු කාර්යයක් නොකර හැර චෝදනාවකට ලක්වෙන අවස්ථාවක දී ඒ වෙනුවෙන් රජය වෙනුවෙන් කරුණු දක්වන්නේ නීතිපතිවරයාය.

 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව පැවති බව කියන හඬපට නිසා රටේ මහා ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. විවිධ අංශ ඔස්සේ විසිරී පැතිරී යන මෙම කතාබහවල පඹගාලේ පැටලුණු අය බොහෝ දෙනෙකි. ඉහළ උසාවිවල නඩුකාරවරු පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරු, තොඳොල් බස් කියන නළු නිළියන්, රට කරවන තැන සිටියත් ඒ අහලකටවත් යාමට නුසුදුසු ළමා ළපටියන් ආදී බොහෝ ක්‍ෂේත්‍රවල අය මෙම හඬ ගාලේ පැටලී නොයෙකුත් අර්බුදවලට මුහුණ දී සිටිති. ඍජුවම සම්බන්ධයක් නොමැති වුවත් අවසානයේ රටේ නීතිපතිවරයා ද වක්‍රාකාරයකින් අපහසුතාවකට මුහුණ දී සිටින ආකාරයක් මාධ්‍ය වාර්තා අනුව අපට පෙනේ. අධිකරණයේ විනය නීතිරීති හා ආචාරධර්ම පද්ධතියට විරුද්ධ අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැඳවා ඒ තීරණය සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇති බව වාර්තාවේ. මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකි.


නීතිපතිවරයා යනු රජය පාර්ශ්වයේ ප්‍රධාන නීති නිලධාරියාය. රාජ්‍යයේ ඕනෑම බලවතෙකු හෝ නිලධාරියෙකු විසින් කරන ලද රාජකාරිමය වරදක් හෝ නීත්‍යානුකූලව කළ යුතු කාර්යයක් නොකර හැර චෝදනාවකට ලක්වෙන අවස්ථාවක දී ඒ සදහා රජය වෙනුවෙන් කරුණු දක්වන්නේ නීතිපතිවරයාය. ඔහු රටක බලපවත්නා සෑම නීතියකම අධිපතිවරයා හෙවත් බලධාරියා ද වෙයි. අවස්ථාවන්ට උචිත ලෙස නීති කෙටුම්පත් කර ඒවා පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු ක්‍රියාත්මක කිරීමේ බලය දරන්නේ නීතිපතිවරයා වශයෙනි. මෙවැනි ඉතා සම්භාවනීය හා ගෞරවාන්විත පදවියක් වූ මෙම තනතුර දරන්නා වූ පුද්ගලයා ද නිසැකවම මහජන ගෞරවයට පාත්‍රවන්නෙකි.
බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ අපට දායාද වූ තානාන්තරයක් වන නීතිපති ධුරයට එංගලන්තයේ දී වසර අටසියයක පමණ ඉතිහාසයක් ඇති බව වාර්තා වේ. ක්‍රි.ව. 1243 දී එම ධුරය එංගලන්තයේ ස්ථාපිත වූ බව සැලකෙන අතර එය රජුගේ නීතිපතිවරයා ලෙස සලකනු ලැබීය. මෙසේ එංගලන්තයේ නීතිපති ධුරය දැරූ ප්‍රථමයා ලෙස ඉතිහාසයට එක්වන්නේ විලියම් ඩී. බොන්සිල් මහතාය. 1815 මාර්තු 02 වැනිදා මහනුවර මගුල් මඩුවේ දී සුප්‍රසිද්ධ උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යය බි්‍රතාන්‍යයට අයත් වූ බව අපි දනිමු. එයට පෙර මෙරට පැවති බි්‍රතාන්‍ය ප්‍රදේශ සඳහා එවකට මෙරට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඞ්රික් නෝත් විසින් 1801 දී ජේම්ස් ඩන්කින් නීතිපති ධුරයට පත්කළ බව වාර්තාගතව තිබේ. එදා සිට මේ දක්වා බි්‍රතාන්‍යයන් 26 දෙනෙක් නීතිපති පදවියේ කටයුතු කළහ. එහෙත් 1936 දී පත්වූ වැලිගම ජෝන් විලියම් රොනල්ඞ් ඉලංගකෝන් මහතා මෙම ධුරයට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සලකනු ලැබේ.


එවකට ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් ස්ටබ්ස් විසින් එම පත්වීම සිදුකරන ලද බව පැවසේ. මොහු මෙරට ප්‍රකට දේශපාලන පවුල් රැසකට සම්බන්ධකම් ඇතිව 1893 අප්‍රියෙල් 16 වැනි දින උපත ලැබීය. මොහු මාතර වැලිගම් පත්තුවේ මුදලි තනතුර දැරූ ජෝන් හෙන්රි ඉලංගකෝන් මහතාගේ සහ එම පතිනිය වූ රොස්මන්ඞ් ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ පුත්‍රයෙකි. ඉහළ පෙළේ අධිනීතිඥයෙකු වශයෙන් ප්‍රකටව සිටි මොහු මුලින්ම තම මයිලණුවන් (මවගේ සොහොයුරා) වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළේය. පසුව නීති කටයුතු දෙපාර්තමේන්තුවට බැඳී රජයේ අධිනීතිඥයෙකු ලෙස කටයුතු කළේය. 1939 දෙසැම්බර් 02 වැනි දින යටත් විජිත පාලනය යටතේ ඇටෝර්නි ජෙනරාල් වශයෙන් හඳුන්වන ලද නීතිපති ධුරයට ඔහු පත්වූවේ එම තනතුරට පත්වූ ප්‍රථම සිංහල ජාතිකයා වශයෙනි. 
ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙමින් 1833 දී පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් පත් කරනු ලැබුවේ හය දෙනෙකි. ඒ පත්වීම් කරනු ලැබුවේ ජාතීන් නියෝජනය කරමින් බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා විසිනි. එම මන්ත්‍රීවරුන් හය දෙනාට අමතරව රාජ්‍ය නිලධාරින් අට දෙනෙකු ද පත්කිරීම සඳහා ප්‍රතිපාදන සලස්වා තිබුණි. එම යටත් විජිත යුගයේ සමහර ලේඛනවල (රජුගේ) රැජිනගේ අද්වකාත් යන නිල නාමයෙන් හැඳින්වූ ඇටෝර්නි ජෙනරාල්වරයා ද ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ සභිකයෙකු වශයෙන් නිල බලයෙන් පත්වීම එකල සම්ප්‍රදායක් විය. 1931 දී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී රාජ්‍ය මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමේ දී ද නීති ලේකම් යන පදවි නාමය යටතේ නිල ලත් මන්ත්‍රී ධුරයකට පත්වීමට එම පදවි ධාරියාට අවස්ථාව සලස්වා තිබුණි. මෙම නීතිමය ප්‍රතිපාදන යටතේ රාජනීතිඥ ජෝන් විලියම් රොනල්ඞ් ඉලංගකෝන් මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ධුරයක් දැරීමට ද අවස්ථාව හිමි කර ගත්තේය. 


පෙර සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ෆීලික්ස් ඩයස්  බණ්ඩාරනායක මහතාගේ දියණිය වූ ඇනට් ලීනා සමග ඉලංගකෝන් මහතා විවාහ විය. 
ඔහුගෙන් පසුව දිගින් දිගටම මේ දක්වාම නීතිපති තනතුරට දේශීයයන් (දෙදෙනකු හැර) පත් වූ බව වාර්තාවන්හි දැක්වේ. ඒ අනුව ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා, සී. නාගලිංගම්, හේම බස්නායක, ඊ. පී. රෝස්, ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන්, ඩග්ලස් ජෑන්ස්, ඒ. සී. ඇම්. අමීර්, වික්ටර් තෙන්නකෝන්, සිවා පසුපති, සුනිල් ද සිල්වා, තිලක් මාරපන, ෂිබ්ලි අසිස්, සරත් එන්. ද සිල්වා, කේ. කමලසබේසන්, චින්තා ද සිල්වා, මොහාන් පීරිස්, ඊවා වනසුන්දර, පාලිත ප්‍රනාන්දු සහ යුවන්ජන විජේතිලක යන අය නීතිපති පදවිය දරා ඇති බව පැරණි වාර්තා අනුව පෙනී යයි.
නීතිපති තනතුර අතිශය ස්වාධීන හා අපක්ෂපාතව කටයුතු කළ යුතු පදවියක් බව අවිවාදිතය. එහෙත් එම තනතුරෙන් විශ්‍රාම ලැබීමෙන් පසු තම තමන් ගරුකරන මතවාද ඔස්සේ ක්‍රියාකාරී දේශපාලනයට එක්වූ අය ද නැත්තේ නොවේ.
එක්දහස් නවසිය පනස් හයේ දී මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයෙන් පසුව පිහිටුවන ලද බණ්ඩාරනායක රජයේ අධිකරණ ඇමති ධුරයට පත් කරගනු ලැබුවේ මානික්කු වඩුමේස්ත්‍රිගේ හෙන්ද්‍රික් ද සිල්වා නොහොත් රාජනීතිඥ ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා මහතාය. ඔහු හිටපු නීතිපතිවරයෙකි. හවුල් ආණ්ඩු නිතරම අවුල් යැයි කියවෙන සදාතනික සත්‍යය රටට ප්‍රකාශ කළ දේශපාලනඥයා එකී සිල්වා මහතාය. 


නීතිපති තනතුර වැනි ඉහළ තනතුරක් දැරූ යටත් විජිත යුගයේ බි්‍රතාන්‍ය රජු වෙතින් රාජ නීතිඥ යන ගරු සම්මානයක් ලබා සිටි ප්‍රභූවරයෙකු වුවත් දැඩි ප්‍රගතිශීලී මතධාරියෙකු වශයෙන් ඔහු තම දේශපාලන කටයුතු කරගෙන ගියේය. එම රජයේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් පිලිප් ගුණවර්ධන මහතා ගෙන ආ කුඹුරු පනත ආරම්භයේ සිටම දැඩි මතභේදයට හේතු විය. අක්කර දහස් ගණන් හිමි ධනවත් පුද්ගලයෝ ද එවැනි සමහර විහාරස්ථානවල නායක හිමිවරු කීප දෙනෙක් ද මෙම පනත නීතිගත වුවහොත් තමන්ට සිදුවන පෞද්ගලික පාඩුව ගැන සලකා තමනට හිතවත් දක්ෂිණාංශික මත දැරූ ඇමතිවරු ද පොලඹවාගෙන පිලිප් රජයෙන් නෙරපා දමන ලෙස ඉල්ලා කැබිනට් වර්ජනයක් ඇරඹූහ. අගමැති බණ්ඩාරනායක පිලිප් ඉවත් කිරීමට එකඟ වූයේ නැත. අති බහුතරයක් ඇමතිවරුන් ගත්තේ පිලිප් ගුණවර්ධන මහතාට විරුද්ධ පිලය. එහෙත් හිටපු නීතිපති ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා මහතා ටී. බී. ඉලංගරත්න මහතාත් සමග එක්ව ස්ථිරසාර ලෙසම පිලිප් අරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් නොයෙකුත් පාර්ශ්වයන් වෙතින් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ බණ්ඩාරනායක අගමැතිවරයා අසරණ විය. කුඹුරු පනත සහ සමුපකාර බැංකු පනත නිසා පිලිප් කෙරෙහි වෛර බැඳගත් බොහෝ ඇමතිවරු අගමැතිට හිසරදයක් බවට පත්විය. එනිසා අකමැත්තෙන් වුවත් තම රජය තුළ සිටි දක්ෂම සහ ප්‍රගතිශීලී ඇමතිවරුන් දෙදෙනා වූ කෘෂිකර්ම සහ ආහාර ඇමති පිලිප් ගුණවර්ධන මහතාත් කර්මාන්ත සහ ධීවර කටයුතු ඇමති පී. එච්. විලියම් ද සිල්වා මහතාත් එම තනතුරුවලින් ඉවත් කිරීමට ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කටයුතු කළේය. එම තීරණය ගැන බලවත් සේ කම්පාවට පත්වූ අධිකරණ ඇමති ඇම්. ඩබ්ලිව්. එච් ද සිල්වා මහතා වහාම තම ධුරයෙන් ඉල්ලා අස්වූවා පමණක් නොව ක්‍රියාකාරී දේශපාලනයෙන් ද සදහටම සමු ගත්තේය.


අධිකරණ ක්‍ෂේත්‍රයේ දී අග්‍ර විනිශ්චයකාර ධුරයට පමණක් දෙවැනි කොට සලකන නීතිපති තනතුර දැරූ බොහෝ දෙනෙකු අග්‍ර විනිශ්චයකාර ධුරයට පත්වූ බව ද එම නාම ලේඛනය පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. එවැනි එක් නීතිපතිවරයෙකු වූ හේම බස්නායක මහතා ද අගවිනිසුරුවරයා ලෙස කටයුතු කර සේවයෙන් විශ්‍රාම ගිය පසු යම් යම් සමාජ සංවිධානවල කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බව පෙනී ගියේය. විශේෂයෙන්ම බෞද්ධ සංවිධානවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඔහු සංඝයා වහන්සේලා සමග ද සමීප ඇසුරක් පැවැත්වූ බව මෙම ලියුම්කරුට මතකය. 1964 අවසාන භාගයේ දී එවකට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමසමාජ සභාග ආණ්ඩුව මගින් මෙරට පුවත්පත් ආයතන රජයට පවරා ගැනීමට ප්‍රයත්නයක් දරමින් සිටිය දී එය පුරවැසියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලකරන මාරක ප්‍රහාරයක් ලෙස වටහාගත් බොහෝ දෙනා එම පියවරට එරෙහිව දැවැන්ත විරෝධයක් එල්ල කළහ. එවකට මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා තම අයවැය ලේඛනයෙන් අවශ්‍ය නම් කෙනෙකුට තම ගෙවත්තේ පොල් ගසක් රා මැද ගැනීමට අවසර දීමේ යෝජනාවක් ඉදිරිපත් වීම නිසා අර්බුදය දෙගුණ තෙගුණ වූවේය. මෙම කරුණු දෙකම එකාබද්ධ කර ගත් ආණ්ඩු විරෝධී බලවේග රට පුරා රැස්වීම් තබමින් මහජන මතයක් ගොඩ නැගූ ආකාරය මවිතය දනවන සුලු විය. හිටපු අග විනිසුරු හේම බස්නායක මහතා ද මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වු අතර ගමක් පාසා සංඝ සභා පවත්වමින් “බුද්ධාගම මාක්ස්වාදීන්ගෙන් බේරා ගැනීමේ” සටනට නායකත්වය දුන්නේය. කිසිදිනක එක වේදිකාවකට ගොඩවිය නොහැකි දේශපාලන බලවේග රාශියක් එක මිටට එක්ව සිටි මෙම අවස්ථාවේ දී පුවත්පත් නිදහස මානව අයිතිය බුද්ධාගම බේරා ගැනීම, මාක්ස්වාදය පරාජය කිරීම ආදී නොයෙකුත් සටන් පාඨ ඔස්සේ ප්‍රබල ජන මතයක් ගොඩනැගීමට මොවුහු සමත් වූහ. කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සංඝ සභා රැලියට දිවයින පුරා වෙසෙන මහා සංඝයා වහන්සේලා දස දහසකට අධික පිරිසක් වැඩම කර සිටි බව පුවත්පත්වල පළවී තිබුණි. මෙසේ සංඝයා වහන්සේලා දේශපාලන කරළියට ගෙන ඒමට නායක්තවය දුන්නේ හිටපු නීතිපති සහ අග විනිසුරුවරයා ද වූ හේම බස්නායක මහතාය. අවසානයේ 1964 දෙසැම්බර් 03 වැනිදා රජය පාර්ලිමේන්තුවේ දී රාජාසන කථා ස්තුති යෝජනා විවාදයේදී එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්වූ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. එම පසුබිම හමුවේ 1965 මාර්තු 22 වැනිදාට මහා මැතිවරණයක් පැවැත්වීමට යෝජිත විය. එයින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මිත්‍ර බලවේගය ජය අත්කර ගන්නා ලදී. එයින් ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවන ලදී. පැවති ආණ්ඩුව පෙරළා දැමීමටත් නව ආණ්ඩුව බලයට ගෙන ඒමටත් ජනතා පෙළගැස්ම ඇති කිරීමට මහත් කාර්යභාරයක් ඉටු කළ හිටපු නීතිපති හේම බස්නායක මහතා නව රජය යටතේ කිසිදු තනතුරක් භාර නොගත්තේය. ඔහු බෞද්ධ කටයුතු කෙරෙහිම කැපවූවේය.
බි්‍රතාන්‍ය ජාතිකයෙකු වුවත් මෙරට නීතිපති ධුරය දැරූ ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන් මහතා ද යම් පමණකට දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවී සිටි බව පැරණි වාර්තාවන්හි දැක්වේ. 1947 මහා මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ඩී.ඇස්. සේනානායක රජයේ නිර්දේශය පරිදි සුළු ජාතිකයන් වෙනුවෙන් පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන් හයදෙනාගෙන් එක් තනතුරක් සඳහා එඩවඞ් ෆෙඞ්රික් නොයෙල් ග්‍රේෂන් මහතා පත්කරන ලද්දේ 1947.10.06 දිනදීය. එහෙත් ඔහුට එම ක්‍ෂේත්‍රය රුචි නොවූ අතර 1948 මාර්තු 15 වැනිදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූවේය. ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය මාස 05 කුත් දින 11ක් ලෙස අදාළ වාර්තාවන්හි සඳහන්ව තිබේ. ග්‍රේෂන් මහතා පාර්ලිමේන්තු දේශපාලනයට රුචි නොකළා වුවද නීති ක්‍ෂේත්‍රයේ දී ඔහු ඉටු කළ කාර්යභාරය මෙරට අධිකරණ ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන්ව පවතී. එයින් එක් අවස්ථාවක් වනුයේ සුප්‍රසිද්ධ සතාසිවම් මිනීමැරුම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග කර ඔහු දුන් තීන්දුවයි. එහිදී නඩුව ගොනු කිරීමේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය තදින්ම විවේචනය කර තිබුණි. ජූරිය අමතා විනිසුරු සිදු කළ සාක්ෂි සම්පිණ්ඩන දේශනයේ දී පොලිසිය බරපතළ ලෙස හුවා දැක්වූ බව සඳහන් වේ. ඒ ගැන පළකෙරුණු එක් පුවත්පත් වාර්තාවක මෙසේ සඳහන් වේ. සතාසිවම් නඩුවේ දී තීරණාත්මක ලෙස ඔප්පු වූ කරුණක් තිබුණා නම් එය අන්කිසිවක් නොව මේ ත්‍රාසජනක නඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමේ අනිවාර්ය අවශ්‍යතාවයි. මේ නඩුවේ මූලික සාක්‍ෂි විභාගය පටන් ගත් තැන සිටම මේ නඩුව සම්බන්ධව පොලිසිය කළ කටයුතු ගැන මහජනයා තුළ සැක පහළවීමට පටන්ගත් අතර ඒ සැක සියල්ලම ග්‍රේෂන් විනිශ්චයකාර තුමාගේ දේශනයෙන් පසු තවත් තහවුරු විය. පොලිසිය ගැන ඇති වූ සැකය වන්නේ කලින් හිතා මතා ගත් ආකාරයක් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් පොලිසිය සාක්කි සෙව්වා මිස මිනීමරුවා කව්ද? කියා සෙවීමට පොලිසිය සාක්කි නොසෙවූ බවයි. එයින් ඇති වූ ප්‍රතිඵලය වූයේ කතාවේ බොහෝ හිස්තැන් ඇති බව ජූරි සභාවට ඒත්තු යාමයි. 


මේ සම්බන්ධයෙන් ග්‍රේෂන් විනිසුරුතුමාගේ දේශනයෙන් බොහෝ කරුණු එළිදරව් විය. එතුමාගේ දේශනයෙන් එළි වූ කරුණු සියල්ල මෙහි ලා සඳහන් නොකළත් එක කරුණක් නම් ඉතා වැදගත් හෙයින් දක්වනු වටී. එනම් කෙනෙකු වරදකරු යැයි පොලිසිය සිතුවිට ඔහුගේ වාසියට ඇති සියලුම කරුණු බොරු බව කියා, ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වෙන බව විත්තිය විසින් පැවසීම නඩුව සම්බන්ධයෙන් එතරම් ප්‍රියජනක ලක්ෂණයක් නොවන නමුත් පොලිසිය විසින් සමහර ලේඛන හා තොරතුරු ඉවත්කොට ඇති විටෙක විත්තිය විසින් එබඳු චෝදනාවන් නැගීම ගැන විත්තියට දොස් පැවරිය හැකිදැයි විනිසුරු තුමා ජූරියෙන් ඇසීමයි. මෙවැනි කීර්තිමත් ඉතිහාසයක් හිටපු නීතිපති ග්‍රේෂන්ට තිබුණි.


නීතිපතිවරුන්ගේ තවත් රසවත් දේශපාලන තොරතුරු රැගත් සමග ඉතිරි කොටස ලබන සතියේ.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි