සමාජවාදී පෙම් පැටලැවිලි


එක්දහස් නවසිය තිස් ගණන්වල මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළවුන් අතර දේශීය නියෝජිතයින් හැටියට සිටි බොහෝමයක් දෙනා පරම්පරාගත ධන බලය, පිරිස් බලය විසින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අවශ්‍යතා ඉටු කරනු ලැබූවෝ වූහ. එහෙත් සමසමාජ පක්‍ෂය බිහි කළ විශිෂ්ට පුද්ගලයන් අතර මන්ත්‍රණ සභාව නියෝජනය කළේ පරිපූර්ණ ගොවි කම්කරු ජනතා ප්‍රශ්න පිළිබඳව මෙරට මෙන්ම විදේශ රාජ්‍යයන්හි ද ඉහළම උපාධි ලැබූ පුද්ගලයන්ය. 


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර වික්‍රමසිංහ මෙන්ම ඒ වන විට කෘෂිකර්මය පිළිබඳ විදේශ උපාධිධරයකු වූ පිලිප් ගුණවර්ධන ද මේ අතර ප්‍රමුඛයෝ වූහ. 


හේවාගම් කෝරලයේ ජන ප්‍රධානියාව සිටි බොරළුගොඩ රාලහාමි තම දූ දරුවන් මෙහෙයවූයේ මේ රට විදේශ පාලනයෙන් විනිර්මුක්ත කොට නිදහස් රාජ්‍යයක් ඇති කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් වූ හෙයින් තම පරම්පරාගතව පැවැති අක්කර තුන්දහසක් පමණ වූ ඉඩකඩම් විකුණා ලද මුදල් සම්භාරය වැය කරනු ලැබූයේ නිදහස් අරගලය වෙනුවෙන් තමනට කළ හැකි එකම දෙය එය වූ බැවිණි. තම පුත් පිලිප් ගුණවර්ධන මන්ත්‍රණ සභාව දෙදරවමින් විදානාරච්චි ක්‍රමය ගැරහීමට පත් කරද්දී දිසාපතිවරයාගේ නිල මැදිරියේ තමන්ගේ කඩුකස්තාන නිල ඇඳුම් එල්ලා ආපසු පැමිණියේ තමන්ට කළ හැකි අවසන් ප්‍රහාරයත් බි්‍රතාන්‍ය පාලකයන්ට එල්ල කරමිනි. 


සමසමාජයේ ගමන් මඟ ගැන කීමේදී කිවයුතු තවත් විශේෂ කරුණක් ගැනද සඳහන් කළ යුතු වෙයි. පක්‍ෂයේ මූලිකයන් බොහෝ දෙනකු පෞද්ගලික ජීවිතයේදී තම අනාගත සහකාරියන් තෝරා ගත්තේ තම දේශපාලන න්‍යායධර්මයට සමාන අදහස් උදහස් සහිත අයවලුන්ගෙනි. පසුකලෙක ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ නායකයා වූ දොස්තර වික්‍රමසිංහ විවාහ වූයේ විජාතික මිතුරියක වූ ඩොරින් සමඟය. පිලිප් කුසුමා තම බිරිඳ වශයෙන් තෝරා ගත්තේය. 


ලෙස්ලි ගුණවර්ධන විවියන් ගුණවර්ධන සමඟ විවාහ වූයේය. ඇන්. ඇම්. තම සහකාරිය ලෙස සෙලීනා මාග්‍රට් පෙරේරා සමඟ එක්විය. 


මේ සමසමාජයේ ආදර කතාවට අපි දැන් ප්‍රවිෂ්ට වෙමු. මුලින්ම විවියන් ලෙස්ලි එකමුතුවට එකමුතු වෙමු. 


දඟකාර ළමාවිය යටපත්ව යොවුන් වියට එළැඹි සමසමාජයත් සමාජ හර පද්ධතියත් පිළිබඳව සිත යොමු කරන්නට ගිය විවියන්ට තමාට ගැළපෙන අදහස් ඇති තරුණයකු මුණ ගැසුණේ මේ වකවානුවේදීය.


දේශපාලනය ගැන කරන්නට ගිය කතාව ආදරය ගැන කියවෙන කතාවක් බවට ඉබේටම පරිවර්තනය විය. දේශපාලන දර්ශනයෙහි ගැඹුරට වඩා ආදරය ගැන කතා කරන කතාවෙහි සරල බව වඩාත් නැවුම් බවක් ඇති කරන්නට සමත් විය. තර්ක විතර්කයෙන් තොරව වූවක් මෙන්ම හැඟීම් උපදවන රස ලෝකයක් ද වූ හෙයින් ආදර කතාව ටිකෙන් ටික දුරදිග යන්නක් විය. තරමක දුරක් යන විට වටපිටාවම ඔවුන් දෙදෙනා දෙස නෙත් හෙළා බලා සිටියහ. ආලය අන්ධ නොවූවත් වටපිට සිදුවන්නේ කුමක්දැයි සොයා බලන්නට තරම් ඉස්පාසුවක් නැති වී ගිය විට එය රහසක් ලෙස වැඩි කලක් තිබිය යුතු යැයි මුලදී කළ සනිටුහන අමතකව ගොස් තිබිණ. 
කමලාදේවි වට්ඨෝපාධ්‍යාය මැතිනිය ඉන්දියාවේ සිට දේශපාලන රැස්වීම් මාලාවක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ආරාධනය පිට මෙරටට පැමිණියේ මේ අවධියේය. ගාලු මුවදොර පිට්ටනියේ පැවැති එම රැස්වීමට විවියන් ගියේ සිය කුලුපඟ පන්ති මිතුරියක වූ කුසුමා අමරසිංහ ද කැටුවය.


“අර කතා කරන්නෙ කවුද විවියන්?” 


“ඒ මගේ මාමා පිලිප්. ඇයි අහන්නෙ?”


“මම එයා අඳුනගන්න කැමතියි. මේ බලන්න එයා කියපු කතාවලට මගේ ඇඟේ හිරිගඩු පිපුණා.”


රැස්වීමෙන් පසුව මේ කණ්ඩායම රාත්‍රී කෑම සඳහා ගමන් ගත්තේ “80 ක්ලබ්” සමාජ ශාලාවටය. පිලිප් - කුසුමා මෙන්ම ලෙස්ලි - විවියන් ද පළමුවරට තම අනාගතය විනිශ්චය කරගනු ලැබුයේ මේ හමුවේදීය. 
විවියන්ගේ පියා ලෙස්ලි - විවියන් සම්බන්ධයට දැඩි විරුද්ධත්වයක් පළ කළද ලෙස්ලිගේ පියා එයට හාත්පසින්ම වෙනස් වූ අයෙකි. 


වරක් විවියන් ද සහභාගී වූ ස්පාඤ්ඤ චිත්‍ර ප්‍රදර්ශනයක දී මේ දැකුම්කලු හුරුබුහුටි කෙල්ල දුටු දොස්තර සයිමන් ගුණවර්ධන ඒ දැරිවිය කවුදැයි අසලම සිටි හිතවතාගෙන් විමසීය. 


“ඒ බොරළුගොඩ පිලිප් මහත්තයාගේ ලේලි කෙනෙක්.”


“කවදහරි ලෙස්ලි කසාද බඳින්නෙත් ඔය වගේ කෙනෙක්” 


පියා කීවේ අනාවැකියකි. ඒ වනවිට මේ දෙදෙනා අතර පැවති සබැඳියාව ගැන ඔහු කිසිසේත්ම දැන සිටියේ නැත. 


ලෙස්ලි විවියන්ගේ ප්‍රේම සම්බන්ධතාවට දැඩි ලෙසම විරුද්ධ වූ විවියන්ගේ පියා දොස්තර ගුණතිලක අලුත්ම ග්‍රැමෆෝන් එකක් ගෙදරට ගෙන ආවේය. ඒ විවියන්ගේ කාන්සිය දුරු කරන්නට සංගීතය උපයෝගී කර ගැනීමටය. 


කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වී සිටි විවියන් ලෙස්ලි සමඟ පැවැත්වූ ගනුදෙනුව නිසා ගෙදරින් දොරට බැසීම තහනම් වී තිබිණි. තම මව කොතෙකුත් ඉල්ලීම් කළ ද තාත්තා එයට විරුද්ධ විය. විවියන්ගේ සොහොයුරා තම සොහොයුරිය යන ගමන් මඟ හොඳින්ම දැන සිටියෙකි. 


“අක්කෙ මම ඔයාට කියන්නෙ මේ ගෙදරින් පිටවෙලා ගිහින් ලෙස්ලි අයියත් එක්ක ජීවත් වෙන්න”


විවියන්ගේ ගෙදර ඉඳහිට තොවිල්පවිල් කෙරිණ. පිරිත් දේශනා පැවැත්විණ. දානමාන පිළියෙල විය. 


ඇය කිසිවක් නොදන්නියක මෙන් සිටියත් මේ සියලු දේ දැකබලා ගත්තාය. තම මාමාවරුන් වන පිලිප්, රොබට් අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාවගේ රුධිරය, දහදිය සූරාකන්නා වූ බි්‍රතාන්‍ය පාලක බලවේගයට එරෙහිව ගෙන යන සටන තම ජාන ශක්තියට යළි යළි ඉපිද ඉපිද යන බලවේගයක් ලෙස දැනෙන්නට විය. 


අද මෙන් පඳුරක් පඳුරක් ගානේ සිටින පුවත්පත් දැන්වීම් පළ කරන ජ්‍යෝතිෂවේදීන් එකල නොවූවත් රොඩී දැහැන තමන් වෙත රඳවා ගත් චලිතයා පිරිත් ගෙදරට එවූයේ රොබට් ගුණවර්ධනය. 


මහ පිරිතට සියල්ලෝම සාධුකාර දෙමින් සවන් දෙමින් සිටියහ. 


අගුපිලේ සිටි චලිතයාට උණු උණුවේ කෝපි කෝප්පයක් රැගෙන ආයේ විවියන් ගුණවර්ධනය. පුංචි අම්මා කැරොලයින්ද ඒ අසල සිටියාය.


“සීදේවි මැණිකෙ කෙනෙක්. අගුපිල්වල හිටියට හොඳට සාස්තර එහෙම බලන්න දන්නවා. මම මැණිකෙල දෙන්නටම සාස්තරයක් කියන්නම්. දෙන්න පුංචි මැණිකෙ වම් අත.”


“බලන්න එපායැ රටක් රාජ්ජයක් හොල්ලනව. හිතේ තියෙනව නේද පුංචි මහත්තැන් කෙනෙක් ගැන. ඒක තිතට හරි යනවා. රාජ සභාවෙත් ඉඳගන්න වාසනාවක් තියෙනව.” 


චලිතයා විවියන් ගැන කී අනාවැකි පුංචි අම්මා කැරොලයින්ද අසා සිටියාය. 


“මේ මගේ අතක් බලලා මොනව හරි කියපන්. ඒ කිව්ව කාරණා ටික නම් හරියට හරි. මම මේකි ගැන දන්නව.” 


චලිතයා කැරොලයින්ගේ අත දෙස විපරම් කළේය.


“අනේ මැණිකෙ මේ මොනවද කරගන්නට හදන්නේ?”


“ඇයි මම අඩු කුලේක එකෙක් සහේට ගන්නවද?”


“එහෙම නම් කාරි නෑ. ඊටත් වැඩිය අන්ත කෙනෙක්. දෙමළෙක්.’


කැරොලයින් ගුණවර්ධන, විවියන්ගේ පුංචි අම්මා පසුව විවාහ වූයේ ඉන්දියාවේ සුප්‍රකට සමසමාජ නායකයකුව සිටි එන්. සී. ඇන්තනිපිල්ලේ මහතා සමඟිනි.