සරත්ගේ පාක්ෂිකයන්ට ශුභාරංචියක්


1965 මහ ඡන්දයට රත්නපුර අසුනට ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් පිලෙන් සරත් ඉල්ලා ජනතාව උද්ඝෝෂණ කළහ. සරත් කොමියුනිස්ට් පිලේ බැහැර වීමට අකමැති වු අතර හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් ඇතුළු කොමියුනිස්ට් විරෝධීහු ශ්‍රීලනිපයට එන ලෙස ඔහුට බළ කළහ. 


මං පක්ෂය අත්හරින්නේ නෑ. ස්වාධීනව සටන එන්න කැමතියි. 


සරත් පාක්ෂිකයන්ට කීවේය. මෙය ඔවුන්ට ශුභ ආරංචියක්ම විය. ඒ අනුව යු.ඇන්.පී. අපේක්ෂකයාට තනිවම ජය පැන් බීමට නොහැකි විය. 


රත්නපුරේ බබළවන්න සරත්ට ඔබේ ඡන්දෙ දෙන්න. පහනට අපට අපි පහනට සරත් අපිට අපි සරත්ට 
“ජනතාව පෙළපාළි ගියහ. තැනක මෙසේද සඳහන් බැනරයක් විය. සිරිමාවෝ රජ කරවමු. රුවන්පුරෙන් සරත් යවමු.” 
එය ඉතා ජනප්‍රිය සටන් පාඨයකි. එහෙත් කොමියුනිස්ට් විරෝධීහු මැතිනිය අවුස්සා ඊට එරෙහිව නිවේදනයක් ප්‍රකාශයට පත් කළහ. 


සරත් කරන්නේ වැරදි වැඩක්, එතුමාගේ සහයත් ලැබිය යුත්තේ ශ්‍රීලනිපයටයි. 


එහෙත් ඒ වන විට සරත් ජන හද දිනාගෙන අවසන්ය.  ශ්‍රීලනිපය දින වීමට තවත් තුරුම්පු ආසියාවක් ද වේදිකා ගත කෙරිණ. ඒ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයන් ලවා සභාව ඇමතීමයි. ඔහු කීවේ “සහෝදරවරුනි රත්නපුරට ඉදිරිපත්ව සිටින අපේ ප්‍රගතිශීලී පිලේ අපේක්ෂකයාට සහය දෙන්න කියාය.” 


මෙම ප්‍රගතිශීලි අපේක්ෂකයා කවුදැයි එතුමා සඳහන් නොකළේය. එයිනුත් වාසිය ලැබුණේ සරත්ටය. සරත්ගේ පහන ලකුණ ඉදිරියෙන් ජනතාව කතිරය ගැසුහ. 


ඊළඟට දොඩම්පේ ශ්‍රීලනිපය රැස්වීමට මහාගල් වරුසාවක් එල්ල විය. එහි වරද ද සරත්ගේ කල්ලියට පටලවන්නට ප්‍රතිගාමිහු උත්සාහ කළ නමුත් සැකකරුවන් මැතිවරණය පැවැත් වු දා තෙක්ම අතුරුදන් වී තිබිණ. 


සරත්ට පක්ෂව ගඟුල්විටියේ ඤාණාලංකාර හා දුම්බර පාලිත සහ හිමිවරු රැස්වීම් ඇමතූහ. ශ්‍රී.ල.නි.ප. වේදිකාවේ සිටියේ හේන්පිට ගෙදර ඤාණසිහ හිමියෝ උන්වහන්සේගෙන්  ඇසීය. 


සරත් අප්පො ගැන ඔබ වහන්සේට තියෙන රුදාව මොකක්ද?


ඤාණාලංකාර හිමියෝ ද වේදිකාවේ සිටම ඊට පිළිතුරු සැපයුහ. 


සරත් අප්පෝ මවුකුසේ ඉන්න කොටත් අංගුලිමාල පිරිත කිව්වේ මං. අපි එතරම් සමිපයි. 


කෙසේ වෙතත් මෙම කඹ ඇඳීම් නිසා ප්‍රගතිශීලි බලවේගයේ සමගියට බාධා ඇති විය. එය ඡන්ද ප්‍රතිඵල තුළින්ද මොනවට ඔප්පු විණ. දිනුවේ යු.ඇන්.පියයි. 


ධනපාල ආටිගල (එජාපය) 11163 සරත් මුත්තෙටුවෙගම (ස්වාධින) 8860 ධර්ම පේම ජයවර්ධන (ශ්‍රීලනිප) 8560 ඒ. විජේරත්න (ශ්‍රීලනිසප) 180 ඇස්. වීරවර්ධන (ස්වාධීන) 681 මෙයින් පෙනෙන්නේ වාමාංශික පක්ෂ දෙක එක්ව තරග කළා නම් එජාප අපේක්ෂකයාගේ පරාජය කියන බවයි. ප්‍රතිඵල ඇසු ඤාණසීහ හිමියන්ගේ මුවින් මෙවැනි වදන් පිට විය. 


“සරත් වගේ ආත්ම ශක්තියක් තියෙන කොල්ලෙක් ආයේ සබරගමුව උපදි ද කියලා හිතා ගන්න බෑ.” 


සරත් මුත්තෙට්ටුවේගම වනාහි දේශපාලන කරළියෙන් උසාවියේ මෙන්ම ක්‍රීඩාංගණයේ ද දස්කම් හා විස්කම් පෑ චරිතයකි. ඒ නීති තර්ක හෝ දේශපාලන තර්ක ඇද බෑමෙන් නොව තර්ක බිඳ හෙළීමෙනි. ඔහු තරුණ දෙවන පෙළ නායකත්වයට සුදුස්සකු ලෙස පිළි ගැනුණේ ද මෙවැනි සිද්ධීන් නිසාය. 


1965 නොවැම්බර් 20 දා රත්නපුර ක්‍රීඩාංගණයේ දී ඔහු සභාපතිත්වය දැරු රත්නපුර ක්‍රීඩා සමාජය හා පොලිස් පිල අතර පාපන්දු තරගයක් විය. දහස් ගණනක් පාසල් සිසුවෝත් ජනතාව එය නැරඹීමට පැමිණ සිටියහ. 


රතුතරු පිලට ජය අත් වන්නට මොහොතකට පෙර පොලිස් ක්‍රීඩකයෝ ප්‍රචණ්ඩකාරිව හැසිරුණහ. අන්තිමේදී ගුටි බැට හුවමාරුවක් දක්වා එය ඉහළට ගියේය. පොලිස් පහර දීම් මැද ප්‍රේක්ෂකයෝ සීසී කඩ දිව යන්නට වූහ. 
සරත් ද කණ්ඩායම රැගෙන පිටිය මැදට කඩා පැන්නේ ඒ විටය. සරත් දුටු පොලිස් භටයන් මාරු වීමට තැත් කළත් අරගලය අවසන් වුයේ රතුතරු පිලේ හය දෙනකු මෙන්ම පොලිස් පිලේ කිහිප දෙනෙකු රෝහල ගත කිරීමෙනි. 


තම තමන්ට පහර දුන් බව කියමින් දෙපිරිස එකිනෙකාට පැමිණිලි කළහ. සරත් රතු තරු පිලේ තම සගයන්ගේ පැත්තට පෙනී සිටියේය. පොලිස් ක්‍රීඩකයන්ගේ පැත්තට උසස් පොලිස් නිලධාරීහු තම පිරිස බේරා ගැනීමට බලතල යෙදුවත් සරත්ගේ තර්ක ඊට වඩා ප්‍රාණවත් විය. 


අන්තිමේදී සරත් සොයා පැමිණි පැමිණිලි කාර පොලිස් ක්‍රීඩකයෝ හය දෙනා තමන්ගේ වැරැද්ද පිළිගන්නට සූදානම් බව පැවසූහ. උසාවියේ දී ප්‍රසිද්ධියේ සමාව ගත් පසු දෙපිරිස සාමදාන වූහ. 


මෙම පොලිස් පහර දීම් හෙළා දැක ලංකා ජාතික ශිෂ්‍ය සංගමය රත්නපුර නගර ශාලාවේදී පක්ෂ භේදයකින් තොරව රැස් වූ ජනතාව සමග විරෝධතා රැලියක් පැවැත් වුහ. රැස්වීම උණුසුම් මෙන්ම ගල් වරුසාවක් වේදිකාව දෙසට එල්ල වන්න විය. 


ශාලාවේ වහළටත් වීදුරු කවුලුවලටත් බරපතළ අලාභ හානි විය. අලාභ හානි ගෙවිය යුත්තේ ශිෂ්‍ය සමංගමය විසින් යැයි ප්‍රතිගාමිහු තර්ක කළහ. අහිංසක සිසුන් වෙනුවෙන් බලධාරීන්ට කරුණු දැක්වූයේ සරත්ය. ගල් ප්‍රහාර ආවේ තනිකඩ පොලිස් නිවාස දෙසින් බවත් මෙය පළිගැනීමක් බවත් සරත් ඔප්පු කළේය. ඒ අනුව අලාභය පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයකර ගැනීමට තීන්දු විය. 


ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් සමගිය තවත් තහවුරු කරන සිද්ධි ගණනාවක් 1966 දී යුඇන්පී ආණ්ඩු සමයේ සිදු විය. සරත්ට වැඩ ගොඩ විය. 


යු.ඇන්.පිය. ඇතුළු හත්හවුලට පෙඩරල් පකෂය ද එක්ව සිටියේය. ඔවුන්ගේ යටිහිතේ සැලසුම් වූයේ යු.ඇන්.පීය සමග කරට අත දමාගෙන තම ඉල්ලීම් දිනා ගැනීමය. මේ සඳහා අත්පත් කරන රහස් ගිවිසුම හෙළි දරව් කරන ලෙස වැඩ කරන ජනතාව උද්ඝෝෂණය කළහ. 


අවසානයේ රට පුරා පෙළ පාළි විරෝධතා රැලි හා සිවිල් නීති කඩ කිරීම් ඇරඹිණි. සරත් සිටියේ ප්‍රගතිශිලී පිලේය. 
1966 ජනවාරි 08 දා අත්සන්කළ ඊනියා ගිවිසුම පිළිබඳ රෙගුලාසිවලට එරෙහිව ජනතාව පෙළ පාළියෙන් පාර්මේන්තුව වට කිරීමට බලාපොරොත්තු වූහ. 


එහිදී පොලිසිය හා හමුදාව මාර්ග බාධක යොදා කඳුළු ගෑස් දමා බැටන් පහර දී අනතුරුව සජීව උණ්ඩ දමා වෙඩි තැබුහ. සිවුරු ලෙසින් පෙනී ගිය අතර දුමාරය මැද තවත් හිමිවරු බිම වැටී සිටිනු දක්නට ලැබිණ. 


අගමැති සංඝ රත්නයේ ලේ සොලවයි. 


සඟරුවනේ ලෙයින් කොළඹ තෙත් වෙයි. මෙවැනි සිරස්තල වලින් පත්තර මුල් පිටු ඡායාරූප සමග පිරි තිබිණ. දඹරාවේ රතනසාර සාමණේර හිමියෝ මෙම ප්‍රහාරය නිසා දිවි පිදුහ. සරත් ද යුක්තිය පසිඳ ලීම සඳහා මහත් වෙහෙසක් දැරීය. 


මෙම වසරේම හත්හවුල් ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයක් දියත් විණ. චෝදනා එල්ල වූවන් අතර පුජ්‍ය හෙන්පිටගෙදර ඤාණසීහ හිමියෝ මුල් තැන වුහ. 


හිටපු හමුදාපති රිචඞ් උඩුගම සහ උසස් හමුදා නිලධාරීන් ඇතුළු චුදිතයෝ 28 දෙනෙක් වූ අතර දෙවැනි විත්තිකරු වූයේ පතිරගේ ටයිටස් ප්‍රනාන්දු හෙවත් සුනිල් හේවගේය. 


සුනිල් හේවගේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් විය. ඔහු දුටු තැන අල්ලන ලෙස කොළඹ ප්‍රධාන විනිසුරු නියෝග කළේය. මාස පහක්ම ඔහු සොයා පොලිස් බළ ඇණි ගම් නියම් ගම් පිරූහ. රුපියල් දහදහසක දීමනාවක් ඔත්තුකරුට දීමට පොලිසිය පොරොන්දු විය. 


සුනිල් හැංගිලා ඉන්නේ වෙන කොහෙවත් නොවෙයි. මිල්ලවිටියෙ වලව්වෙයි. සරත් අප්පොගෙ රැකවරණය ඇතුව එම ඔත්තුව අනුව වලව්ව පරීක්ෂා කිරීමට පොලිස් හමුදාවක්ම පිටත් කර හැරිණ. 


පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තේය.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි