1961 වන විට මෙරට අධ්‍යාපන ආයතන රැසක පාලනය කිතුනුවන් අත පැවතිණ. පාසල් ජනසතුවට අන්තගාමීන් කොහෙත්ම කැමැත්ත දැක්වූයේ නැත. ඔවුහු ආගමික පාඨශාලා රජයට පවරා ගැනීම වැළැක්වීම සඳහා පවුල් පිටින් ජනතාව එහි පදිංචි කළහ.
ජනවාරි 03 වැනිදා රත්නපුර ක්‍රීඩාංගණය සුදු ඇඳුමින් වැසී ගියේය. දෙතුන් දෙනා බැගින් එහි ඇතුළු වූ සිසුන්ගේ ගණන දහවල් වන විට දහස ඉක්මවිය. සුදු වතින් සැරසුණු සිහින් උස තරුණයෙක් ඔවුන් අමතා වේගවත් කතාවක් පැවැත්වීය. ඔහු සරත් ය.
අනතුරුව ඔහු පෙරටු කරගත් තරුණ පෙළපාළිය රත්නපුර පල්ලියපාරේ පිහිටි ශාන්ත ඇලෙවිසියස් විදුහල වැටලූහ. කටුකම්බි වැට නිසා ඇතුළුවීම අපහසු විය.
“සහෝදරවරුනි අපි බාධක බිඳගෙන පෙරට යමු”
සරත් මුත්තෙට්ටුවේගම නායකයාගේ හඬින් අවදි වූ තරුණයෝ කටු කම්බි වැට දෙබෑකරගෙන පාසල් බිමට කඩා වැදුණහ.
මිෂනාරීන් විසින් මීගමුව හා ජාඇළ ප්‍රදේශවලින් කුලියට ගෙනවිත් රඳවාගෙන සිටි පවුල්වල ජනතාව හිස් ලූලූ අත දුවන්නට වූහ. ඊළඟ පැයේ එහි ඉතිරි වී තිබුණේ ඔවුන්ගේ ඇඳිවත හා පාවහන් පමණි.
සරත්ගේ පූර්වාදර්ශය රටේ අනිකුත් ගම්වලට පැතිරගියේ නිමේෂයකිනි. ඒ ඒ පළාත්වල ජනයා තම පාසල වෙනුවෙන් පෙරට ඒම නිසා රජයේ පරමාර්ථය ඉටුකර ගැනීම ඉතා පහසු විය.
ලංකා කොමියුනිස්ට් හා ප්‍රගතිශීලි තරුණ සමිති සම්මේලනයේ තෙවැනි සමුළුවේදී වැඩිම ඡන්දයෙන් මධ්‍යම කාරක සභාවට පත් වූ සරත් ප්‍රධාන සභාපති වන විට ලේකම්වරයා වූයේ ‘ඇත්ත’ ආරම්භක කර්තෘ එච්.ජී.එස්. රත්නවීර සහෝදරයාය.
එම වසරේ සැප්තැම්බර් 06 වැනි දා උදේ පාන්දර අවදි වූ ජනතාව දුටුවේ අමුතුම දසුනකි. ඒ රත්නපුර - අවිස්සාවේල්ල පාරේ මහ පෙරහරක් ඇදෙමින් පැවතීමයි. කැති, උදලු, දරා ගත් මහ පිරිසක් සැතපුම් හතරක් මග ගෙවා හිදැල්ලන, උක්වත්තෙදෙනිය, විලපොළදෙනිය වැනි ගම්වල පිහිටවූ නව ජනපදවල පාරවල් ශ්‍රමදානයෙන් කැපීම ඇරඹූහ.
රත්නපුර ජනපද ජනතා සංවිධානය මෙහෙය වූ මෙම ස්වෙච්ඡා හමුදාවේ සභාපති වූයේ සරත් මුත්තෙට්ටුවෙගමය. රත්නපුර මන්ත්‍රී ධනපාල වීරසේකර සහ සංවිධායක ඩග්ලස් ආර්. ද සිල්වා ද එහි වූහ. සරත්ගේ මෙම පියවර නිසා ජනපද තුනේම මාවත් කැපීම කෙටි කලකින්ම නිමවිය.
1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, නිසා පසුබෑමකට ලක් වූ සංවර්ධන කටයුතු යළි ඇරඹිණි. එම වසරේ දෙසැම්බරයේ පැවැති රත්නපුර පළාත් ආණ්ඩු සභා ඡන්දයේදී පුළුගුපිටිය අසුන වැඩි ඡන්දයෙන් ජයගන්නට සරත් සමත් විය.
සරත් මුත්තෙට්ටුවෙගම වනාහි රැඩිකල්වාදි අදහස් ඇති දඟකාර දේශපාලනඥයකු පමණක් නොව සාම්ප්‍රදායික නීතිඥයන් අබිබවා ගිය සියුම් තන්වැසි නුවණින් හෙබි පෙරළිකාර නීතිවේදියෙකි. ඔහුගේ නීති දැනුම යොමුවූයේ අපරාධකාරයන් හා ධනපතියන්ගේ සල්ලි හා තනතුරු බලය සුරැකීම උදෙසා නොව පීඩිත ජනතාවට සිදුවිය හැකි අයුක්තිය අසාධාරණය පැරදවීමටය.
වරක් නිවිතිගල පොලිසිය විසින් හොරසුරා බෝතල් 14ක් සමඟ ගැමියකු උසාවි ගෙන එන ලදී. එම බෝතල රැගෙන ආ භාජනයෙහි බෝතල් 14ක් පිරවිය නොහැකි බවට සරත් තර්ක කළේය.
අන්තිමේදී භාජනය හිස්කර එය බෝතල් ජලයෙන් පුරවා බැලීමේදී එහි අල්ලන්නේ බෝතල් 9 1/2ක් බව හෙළිවිය. ඒ අනුව බොරු පැමිණිලි චෝදනාව කැරකී එල්ල වූයේ පොලීසියටය.
රත්නපුර ගඟබඩපාරේ සීවලී මහා විදුහලේ ගුරුවරයකුට හා සිසුන් අට දෙනකුට පාසලේ දේපොළවලට අලාබහානි කළ බවට චෝදනා එල්ලවිණි. අලාබය ලොකු මුදලකි. සරත් ඉදිරිපත් විය.
ස්වාමිනී මෙම ගුරුමහතාගේ මාරුවට සුබපතන්න සිසුන් සංවිධානය කළ උත්සවයට ගුරු පිරිසක් විරුද්ධ වුණා. ඒ නිසා ඔවුන් පිට්ටනියේ රැස්වුණා. අවාසනාවට එදා මහවැස්සක් කඩා වැටුණ නිසා පාසල තුළට එන්නට ඔවුන්ට සිදුවුණා. ඒත් අලාභ හානි කළේ නෑ.
සරත්ගේ තර්කය වූයේ ගුරු දෙපිරිසක් අතර වූ මත භේදයක් නිසා මෙම බොරු පැමිණිල්ල කළ බවය. එය පිළිගත් විනිසුරු චූදිතයන් නිදහස් කළ අතර ගුරුසිසු නම්බුව එයින් බේරිණි.
විසිරී සිටි වාමාංශිකයන් එකතු කිරීමට සරත් ඇතුළු පිරිස ගෙනගිය උත්සාහය සාර්ථක විය. 1962 දී සහල් සලාකය කැපීමට රජය ගත් තීරණයට එරෙහිව රජය තුළ හා පිටත සිටි වාමාංශිකයෝ එක් හඬක් නැගූහ. වමේ පක්ෂ එකමුතුව 1963 දී ගෝල්ෆේස් පිටියේ මහ රැලියක් පවත්වා තම බලය පෙන්වූහ.
මේ නිසා වමේ ශක්තිය රටට වඩාත් ඕනෑ විය. 1963 අගෝස්තු 12දා එනම් 53 හර්තාලයේ දස වැනි සැමරුම දා සමසමාජ කොමියුනිස්ට් හා මහජන එක්සත් පෙරමුණ සම්මුතියකට අත්සන් තැබූහ.
ඊළඟ පියවර නව අදහස් ජනතාව අතරට ගෙනයාමයි. ඒ අනුව සරත් රත්නපුර ප්‍රගති මුද්‍රණාලය ඇරඹීය. “රුවන් තරුව” නමින් ඇරඹි නව පුවත්පත සමාජවාදී අදහස් දරන්නන් අතර උණුකැවුම් සේ අලෙවි විය. ඔහුගේ මැතිවරණ සටන්වලදී මිණිපුර සටන හා කලවාන තරුව යනුවෙන් ප්‍රගති මුද්‍රණාලයෙන් ප්‍රකාශනය වූ දේශපාලන පත්තර විශාල ශක්තියක් ලබා දුන්නේය. පත්‍ර ව්‍යාපාරයෙන් මුදල්වලට වඩා ඔහු ඉපැයුවේ ජනාදරයයි.
වතුකම්කරු සටන්වලදී සරත් වැඩකරන ජනතාවට මහත් ශක්තියක් විය. ලංකා වතුකම්කරු සමිතියේ සභාපති ලෙස ඔහු මුහුණ දුන් කම්කරු සටන් බොහොමයක් අවසන් වූයේ ඛේදවාචකවලිනි.
කීරගල වතුසේවක සටන ඉන් එකකි.
කම්කරුවන් පීඩනය දරාගත නොහැකි වූ තැන ඉල්ලීම් කිහිපයක් මත ඇරඹූ වැඩවර්ජනයේ නායකත්වය දැරුවේ අයි.එච්. විජේසේන සහෝදරයාය. මෙම පිරිසට වෙඩි තැබීම නිසා පියදාස නම් 12 හැවිරිදි දරුවකු තුවාල ලබා මියගිය අතර වතුපාලකයා හා මැරයන් සිරගත කෙරිණ.
දරුවාගේ අවමඟුල සරත්ගේ පෞද්ගලික වියදමෙන් වාමාංශික නායකයන්ගේ ගෞරවාදරය මැද අතිවිශාල ජන සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
“කම්කරු සටන් වෙනුවෙන් දිවිපිදූ ලොව ළාබාලම පුද්ගලයා ලෙස මේ දරුවාගේ තම රන් අකුරින් ලියැවේවි’
සරත් ශෝකයට පත් ජනතාව අමතා පැවසීය.
1964 දී මැතිනිය කෙළින්ම වාමාංශිකයන්ගේ සහයෝගය ඉල්ලා සිටි අතර වාමාංශික එක්සත් පෙරමුණ ඇයට සහයෝගය නොපිරිහෙළා දුන්හ.
1965 වසර සමගි රජයට තීරණාත්මක කාලයක් විය. ශ්‍රීලනිපයෙන් කැඩී ගිය. සී.පී. ද සිල්වා, ඩබ්. දහනායක, පිලිප් ගුණවර්ධන ආදිහු ද පෙඩරල් පක්‍ෂ නායක ඇස්.ජේ.වී චෙල්වනායගම් හා ඩඞ්ලි සේනානායක අතර රහස් හවුල් ගිවිසුමක් ඇති බවද හෙළි විණ.
එබැවින් ජනප්‍රිය නායකයන්ගේ සහය ශ්‍රීලනිපයට නැතුවම බැරිවිය. ඔවුන්ට සරත් මතක් විය.
“රත්නපුරේ දිනන්නෙ මොන පක්‍ෂයද ඒ පක්‍ෂය රටේ බලය අල්ලනවා. අප්පොත් ඔය කොමියුනිස්ට් පක්‍ෂය අත්ඇරල රත්නපුරේ අපේ පක්‍ෂයෙන් තරග කරන්න.”
පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමියෝ ඉල්ලා සිටියහ.
සරත් අප්පො ඇහුවෙ එක ප්‍රශ්නයකි. “හාමුදුරුවනේ මගේ පක්‍ෂය හොඳ නැත්නම් මං හොඳ වෙන්නෙ කොහොමද?
අන්තිමේදී මැතිනියම සරත්ව දුරකථනයෙන් කතාකර එම ඉල්ලීම කළාය.
“මැතිනියනි, ආසනයක් වෙනුවෙන් පක්‍ෂ පාවා දෙන්න මං කැමැති නෑ” එතෙකින් සියල්ල නිමවිය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි